පෘථිවියටත් එහි වෙසෙන මුළු මහත් ජීව ප්‍රජාවටත් වැසි වනාන්තරවල ඇති අති විශාල වටිනාකම, වැදගත්කම, විෂ්මජනක බව, සුන්දරත්වය සහ ඒවා ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ගෝලීය දින කැලැන්ඩරයේ සෑම වසරකම ජූනි 22 වනදා පෘථිවියට වැදගත්ම දිනයක් වශයෙන් වැසි වනාන්තර දිනය නම්කර ඇත. මෙම දිනය නම්කර ඇත්තේ 2017 වර්ෂයේ සිට ගෝලීය වැසි වනාන්තර හවුල්කාරීත්වය විසිනි.

නිවර්තන කලාපය ආශ්‍රිතව එනම් වර්ෂය මුලුල්ලේ ඉහළ වර්ෂාපතනයක් සහ ඉහළ උෂ්ණත්වයක් ඇති කලාපවල ව්‍යාප්තව ඇති වැසි වනාන්තර, වනාන්තර බියෝම අතරින් වැදගත්ම බියෝමය ලෙස සැලකේ. මන්ද ඒවා පෘථිවියේ පැවැත්මට අත්‍යාවශ්‍යම සම්පතක් වන බැවින් සහ ඇමර්සන් වනාන්තරය ලෝකයේ හදවත ලෙස නම්කොට ඇත්තේ එම නිසාය. ප්‍රධාන වශයෙන් දකුණු ඇමෙරිකාවේ ඇමර්සන් සහ අප්‍රිකාවේ කොංගෝ යන වනාන්තර ද, මධ්‍යම චිලී. මධ්‍යම ඉන්දියාව, ඉන්දුනීසියානු දූපත්වල සහ ශ්‍රී ලංකාවේ ඇති වැසි වනාන්තර ද ලොකයේ වැසි වනාන්තර අතරින් ප්‍රධාන වේ.

ගෝලීය වශයෙන් වැසි වනාන්තර දිනයේ ප්‍රධාන වශයෙන් අවධාරණය කිරීමට උත්සාහ ගනුයේ වැසි වනාන්තර විනාශ වී යන බව සහ ඒවා ආරක්ෂා කරගත යුතුය යන බවත් ය. වැසි වනාන්තර ද ඇතුළුව ගෝලීය වශයෙන් සෑම වසරකම සාමාන්‍යයෙන් මිනිසුන් විසින් වනාන්තර හෙක්ටෙයාර මිලියන 10 ක් පමණ විනාශ කරණු ලබයි. සෑම වසරකම මෙසේ සිදුකරන වන විනාශය පෘතුගාලයේ විශාලත්වයට සමානය. මෙම වන විනාශයෙන් භාගයක් පමණ අලුතින් නිර්මාණය වන වනාන්තර ප්‍රමාණයෙන් ආවරණය වන නමුත් හෙක්ටෙයාර මිලියන පහක ප්‍රමාණයක් සෑම වසරකම අහිමි වේ. විශේෂත්වය වන්නේ මෙම වන විනාශයෙන් 95% ක්ම සිදුවන්නේ නිවර්තන කලාපය ආශ්‍රිතව වීමත් සහ නිවර්තන කලාපය යනු වර්ෂා වනාන්තර ව්‍යාප්ත වී ඇති කලාපය වීමත් ය. එය අති විශාල ගැටළුවක් බවට පත්ව ඇත.
mongabay පර්යේෂණ ආයතනය පවසන්නේ 2001 සිට 2018 දක්වා සිදුකරන ලද පර්යේෂණ වලට අනුව ඇමර්සන් වනාන්තරයේ මිනිස් නිරීක්ෂණයන්ට හසු නොවූ 38 % ක ප්‍රමාණය ද නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා බලපෑමට ලක්වෙමින් පවතින බවය. එම 38% ක ප්‍රමාණයෙන් ද මේ වන විට වර්ග සැතපුම් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් හායනය වී ඇති බව ද ඔවුන් වැඩි දුරටත් දක්වයි. එමෙන්ම ඇමර්සන් හී විශාල ගැටළුවක් වී ඇති ලැව්ගිණි හේතුවෙන් සෑම වසරකම හෙක්ටෙයාර 10000 ක ප්‍රමාණයක් ස්ථීර වශයෙන් ම අහිමි වන අතර එමෙන්ම මෙසේ ඇතිවන ලැව් ගිණි වනාන්තරයේ වෙසෙන ශාක සහ සත්වයින්ගෙන් 90% කටම බලපානු ලැබේ.

ශ්‍රී ලංකාවට පැමිණි විට 1989 වර්ෂයේ ජාතික උරුමයක් ලෙස නම් කෙරූ හෙක්ටෙයාර 11187 ක භූමි ප්‍රමාණයක් සහ තවත් පරිවාර වනාන්තර වලින් යුත් සිංහරාජය ශ්‍රී ලංකාවේ විශාලතම වැසි වනාන්තරය වේ. එය යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන අතර සිංහරාජයට අමතරව පහත රට සහ කඳුකර වනාන්තර කිහිපයක් වැසි වනාන්තර වශයෙන් සලකයි. ( කන්නෙලිය, නාකියාදෙනිය, එරත්න, ගිලී මලේ, බඹරබොටුව, මොරපිටිය, රුනාකන්ද ) පහතරට වැසි වනාන්තර මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 2.14% ක් ආවරණය කරන අතර එම ප්‍රමාණය හෙක්ටෙයාර 124340.8 කි.

ශ්‍රී ලංකාව ජෛව විද්‍යාත්මකව ලෝකයේ උණුසුම් ස්ථානයක් වශයෙන් නම් කිරීමට ද බලපා ඇත්තේ මෙම වැසි වනාන්තර වන අතර ගැටළුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ද එනම් විශේෂයෙන් සිංහරාජය විනාශ වෙමින් පැවතීමය. ශ්‍රී ලංකාවට ආවේණික සත්ව සහ ශාක විශේෂවලින් බොහොමයක් ද නියෝජනය කරන්නේ මෙම වැසි වනාන්තරයි.
විශේෂයෙන් 1990-2005 අතර කාලය තුළ ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ වීමේ අනුපාතය අතින් ඉහළම රටක් ලෙසට ශ්‍රී ලංකාව නම් වූ අතර මෙම කාලය තුළදී වසරකට හෙක්ටෙයාර 26800 බැගින් වනාන්තර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි විය. එමෙන්ම මෙම කාලය තුළදී වනාන්තර විනාශ වීමේ අනුපාතය වසරකට 1% සිට 25% දක්වා විපර්යාසයකට ද භාජනය වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සහ කෘෂිකර්මාන්තය වන අතර වර්තමානයේ ද එම තත්වය එලෙස හඳුනාගත හැකිය . විශේෂයෙන් සිංහරාජ වැසි වනාන්තරය හරහා ඉදිකරන්නට යෙදූ මාර්ගයත් සමඟ එම වැසි වනාන්තරය දැඩි තර්ජනයකට ලක් වූ බව පරිසරවේදීන්ගේ අදහස වේ.

ලෝක වැසි වනාන්තර දිනයේදී වැසි වනාන්තරවල ඇති වැදගත්කම පහදා දෙමින් ගෝලීය වැසි වනාන්තර හවුල්කාරීත්වය ප්‍රකාශ කර සිටින්නේ අපට අපගේ සෞඛ්‍යයට ආහාර සහ ඖෂධ අවශ්‍ය වන්නා සේ පෘථිවියට යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා වැසි වනාන්තර අත්‍යාවශ්‍ය වන බවය. එමෙන්ම වැසි වනාන්තරවල හෘද ස්පන්දනය යනු පෘථිවිය ඇතුළු මුළු මහත් සත්ව සංහතියේම හෘද ස්පන්දනය බවය.
එමෙන්ම සශ්‍රීක හරිත පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මේ වන විට පැන නැගී ඇත. ප්‍රධාන වශයෙන් වැසි වනාන්තර ඇතුළු සමස්ත වනාන්තර මගින් විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කර පෘථිවියට ඔක්සිජන් මුදාහරින අතර එය ජීවීන්ගේ පැවැත්මට උපකාර කරයි. එමෙන්ම ලෝකයේ දේශගුණය ස්ථාවර කිරීමේ ප්‍රධාන වගකීම දරන්නේද මෙම වැසි වනාන්තරය. ශාක සහ සත්ව විශේෂ මිලියන ගණනකට අවශ්‍ය ආහාර සහ වාසස්ථාන සැපයීම ද වැසි වනාන්තරවල මූලික කටයුත්තක් වන අතර වසර මිලියන ගණනක් පුරා ඔවුන්ගේ පැවැත්මට සහයෝගය ලබා දී ඇත්තේ ද මෙම වැසි වනාන්තරය.

වැසි වනාන්තර අපගේ පෘථිවිය ජීවමාන කරමින් සිටිය ද සෑම තත්පරයකම වැසි වනාන්තර වලින් හෙක්ටෙයාර එක හමාරක් අපට අහිමි වේ. අපට සියළු දේ ලබා දෙන්නේ ඔවුන් ය. මිනිස් ප්‍රජාව ලෝකයේ තාක්ෂණයට මුල්තැන ලබා දෙමින් ක්‍රියා කරමින් සිටිය ද ඔවුන් කිසි දිනෙක වැසි වනාන්තරවලට ඔවුන්ගේ අගය වැඩි වශයෙන් එක් කරන්නේ නැත. නමුත් සියල්ලෙහි පදනම මෙය බව ඔවුන් නොදනී. ආදී වශයෙන් ගෝලීය වැසි වනාන්තර හවුල්කාරීත්වය වැසි වනාන්තරවල ඇති වටිනාකම පහදා දෙමින් ප්‍රධාන වශයෙන් අවධාරණය කර සිටින්නේ මේවා ආරක්ෂා කිරීමට ලෝක ප්‍රජාව සක්‍රීයව දයකවිය යුතු බවය.