Skip to content

අද ලෝක ස්වාභාව සංරක්ෂණ දිනයයි

ඉතිහාසයේ සිට මේ දක්වා පරිසරය සහ මිනිසා සම්බන්ධයෙන් ගැටුණු මතවාද දෙකක් වන්නේ පරිසර නියතිවාදය සහ ශඛ්‍යවාදය වන අතර එහිදී ඇරිස් ටෝටල් ප්‍රමුඛ නියතිවාදීන් ප්‍රකාශ කරන්නට වූයේ මිනිසා කෙතරම් බුද්ධිමත් සත්වයකු වූව ද ඔහුට පරිසරයේ අණසකට යටත් වීමට සිදුවන බවය. ප්‍රධාන වශයෙන් පරිසරය විසින් මිනිසා පාලනය කරන බව ඔවුන්ගේ අදහස විය.

නමුත් එයට හාත්පසින්ම වෙනත් අදහසක් දැරූ විඩල්ඩිලාබ්ලාච් ප්‍රමුඛ ශඛ්‍යවාදීන් ප්‍රකාශ කරන්නට වූයේ මිනිසාට පරිසරය වෙනස් කළ හැකි බව සහ එය ඔහු ඔප්පුකොට ඇති බවය. මෙම සංවාදය කාලයක් තිස්සේ තර්ක විතර්කයන්ට භාජනයවෙමින් ඉදිරියට පැමිණි අතර නමුත් 21 වන සියවස ආරම්භවන විට පමණ නියතිවාදීන්ගේ මතය පිළි ගැනීමට තරම් වඩාත් සාධාරණ හේතු සාධක ඕනෑ තරම් අපට මුණගැසෙන්නට විය.

එසේ නම් පරිසරය විසින් මිනිසා පාලනය කරන බව සත්‍යයකි. මෙය වඩාත් පුළුල් අයුරින් ලෝකයට අවධාරණය කිරීම වෙනුවෙන් සහ ස්වභාවධර්මය සංරක්ෂණ කිරීමේ වැදගත්කම ලෝකයට ප්‍රකාශ කිරීමට සෑම වසරකම ජූලි 28 වන දා ලෝක ස්වාභාව සංරක්ෂණ දිනය සමරනු ලබයි. ඒ අනුව එම දිනය අදට යෙදී ඇත.

ලෝක ස්වාභාව සංරක්ෂණ දිනයේ ආරම්භය සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් ඉතිහාසයේ නිශ්චිතව සොයා ගැනීමට අපහසු වන අතර කෙසේ නමුත් මෙම දිනය සොභාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (International union for conservation of nature / IUCN) ආයතනයේ ක්‍රියා කලාපයන් සහ අවධාරණය කිරීම් මත ගොඩනැගුණු සැමරුම් දිනයක් වශයෙන් පිළි ගැනේ.

1948 ඔක්තෝබර් මස 05 වන දා සොභාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ආරම්භය සිදුවන අතර ඔවුන් එතැන් සිට මානව බලපෑම ස්වාභාවධර්මයට බලපා ඇති ආකරය විමර්ෂණය කරයි. එහිදී ඔවුන් විශේෂයෙන් 1970 න් පසුව සොභාදහමේ බොහොමයක් ශාක සහ සත්ව විශේෂ සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමේ සම්බන්ධයෙන් සිය අවධානය යොමුකරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සොභාදහම සංරක්ෂණ සඳහා වූ ජාත්‍යන්තර දිනය නිර්මාණය වී ඇත. කෙසේ නමුත් 2023 වසරේ දිනයේ තේමාව වන්නේ " සොභාදහම සුරකින්න, ජීවිතය සුරකින්න " යන්නය.

දිනය සැමරීම සඳහාත් විශේෂයෙන් සොභාදහම සංරක්ෂණ කිරීමේ ඇති අගය ලොවට ප්‍රකාශ කිරීමටත් සහ ලෝක අවධානය මේ සම්බන්ධයෙන් යොමු කිරීමටත් ලොව පුරා අද දිනයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර එහිදී විශේෂයෙන් ගෝලීය ශ්‍රී  ලංකා කොංග්‍රසයේ තරුණ පෙරමුණ මඟින් ද ශ්‍රී ලංකාව තුළ සොභාදහම සංරක්ෂණයේ ඇති වටිනාකම ප්‍රකාශ කිරීම සඳහා අංශ කිහිපයක විවෘත තරඟාවලියක් දියත් කරන්නට වූ අතර එහි ප්‍රතිඵල ද අපට දැක බලා ගැනීමට අවස්ථාව උදා වේ.

කෙසේ නමුත් ලෝක ස්වාභාව සංරක්ෂණ දිනය වෙනුවෙන් සොභාදහම සංරක්ෂණ සඳහා වූ ජාත්‍යන්තර සංගමය අදහස් දක්වමින් කියා සිටින්නේ ලෝක ප්‍රජාව ජල සංරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව , දිරිද්‍රතාව පිටු දැකීම වැනි ගෝලීය අභියෝග රාශියකට මුහුණදෙන අතරම සොභාදහම සංරක්ෂණය සඳහා ද ක්‍රියා කළ යුතු බවය.

මේ වන විට පරිසර සංරක්ෂණයේ අවශ්‍යතාව වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඉවක් බවක් නොමැතිව මිනිසා විසින් අධික ලෙස සම්පත් සූරාකෑම වන ජීවී වාසස්ථාන විනාශ වීමට, විශේෂ වඳ වී යෑමට, අසාමාන්‍ය කාළගුණික රටා ඇති වීමට ප්‍රධානම වශයෙන් බලපාන අතර කණගාටුවට කරුණ නම් මෙය ලොව පුරා සම්මතයක් බවත් පත් වී තිබීම බව ඔවුන් කියා සිටී.

එමෙන්ම ඔවුන් වැඩි දුරටත් දක්වන්නේ පසුගිය ශතවර්ෂයේ මානව ක්‍රියාකාරකම් ස්වාභාවික වෘක්ෂලතා සහ සියළු ස්වභාවික සම්පත් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කර ඇති බවය. සීඝ්‍ර කාර්මීකරණය සඳහා වන ගවේෂණය සහ දිනෙන් දින වර්ධනය වන ජනගහනයට ඉඩකඩ සැලසීම සඳහා වන ආවරණ කපා හැරීම දේශගුණ විපර්යාස සහ අනෙකුත් පාරිසරික බලපෑම්වලට හේතු වී ඇත.

එම නිසා ස්ථාවර සහ සෞඛ්‍යසම්පන්න සමාජයක් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙම දිනය අවධාරණය කරන බවත්, විශේෂයෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින ශාක සහ සතුන් සුරැකීම ලෝක ස්වාභාව සංරක්ෂණ දිනයේ මූලික අරමුණක් වන බව ද සොභාදහම සංරක්ෂණ සඳහා වූ ජාත්‍යන්තර සංගමය ප්‍රකාශ කර සිටී.

කෙසේ නමුත් සොභාදහම සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව තව දුරටත් කරුණු සොයා බලන්නේ නම් විශේෂයෙන් 2050 වන විට වැඩිවන ජනගහනය නඩත්තු කිරීම සඳහා විශාල වශයෙන් කෘෂිකර්මික ඉඩම් ව්‍යාප්ත වීම හේතුකොටගෙන පාරිසරික සම්පත් සහ ජීව විශේෂ විශාල තර්ජනයකට ලක්වන බවට පුරෝකතනය කර ඇත. ඒ වන විට දැනට පවතින පරිණත ගෝලීය වනාන්තර 10 % කින් හැකිලෙනු ඇත.

එමෙන්ම ආසියාවේ , යුරෝපයේ සහ දකුණු අප්‍රිකාවේ ද ජෛව විවිධත්වය සැලකියයුතු ලෙස දැනට පවතින මට්ටමට වඩා 10 % කින් අඩුවනු ඇතැයි ද පුරෝකතනය කර ඇත. මෙහිදී ජෛව විවිධත්වය විනාශ වීමට ප්‍රධාන හේතු සාධක වශයෙන් හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්මාන්තය සහ  දේශගුණ විපර්යාසයි.

ගෝලීය මිරිදිය ජෛව විවිධත්වයෙන් තුනෙන් දෙකක් පමණ දැනට ද විනාශ වී ඇති අතර ඉදිරි දශක කිහිපය තුළදී එය තවත් තිවෘ වන බවට පුරෝකතනය කර ඇත. තවත් භයානක කරුණක් නම් සොභාදහම වෙත සිදුකරණ බලපෑම් හේතුවෙන් සිදුවන දේශගුණ විපර්යාස නිස 2050 වන විට ලෝකයේ බිලියන 1.2 ක ජනතාවකට දැනට පදිංචි වී සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානය වෙත යෑමට ද සිදුවනු ඇත.

මේ ආකාරයට දේශගුණ විපර්යාසත් සමග ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, ග්ලැසියර දියවීම, සාගර ජල මට්‍ටම ඉහළ යෑම, වර්ෂණය සහ සුළං සංසරණ රටා වෙනස්වීම, ආදී හේතු සාධකවල බලපෑමෙන් මිනිසුන්ගේ ජීවිත සහ ජීවනෝපාය ඉතාමත් කඩකප්පල්කාරී තැනකට තල්ලු වීමට නියමිතය.

නැගී එන සාගරය දැනටමත් නැගෙනහිර ෆැසිපික් සාගරයේ දූපත් අටක් යටකර ඇති අතර 2100 වන විට තවත් දූපත් 50 ක් අතුරුදහන් වේ යැයි අපේක්ෂිතය.  2050 වන විට උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ලෝක බිම් ප්‍රමාණයෙන් 20 % ක් යන්තමින් ජීවත්විය හැකි කලාප බවට පත් වේ. එමෙන්ම 2100 වන විට දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ සමහර ප්‍රධාන අගනගරවලින් පිටත පැය කිහිපයක් ගත කිරීම මාරාන්තික විය හැකි තරමට උෂ්ණත්වය ඉහළ යා හැකි බවට ද පුරෝකතනය කර ඇත.

Latest