Skip to content

අද ජාත්‍යන්තර නිවර්තන දිනයයි

නිවර්තන කලාපීය රාජ්‍යයන් මුහුණදෙන ගැටළු සහ අභියෝග අවධාරණය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2016 වර්ෂයේදී සෑම වසරකම ජූනි 29 වන දා ජාත්‍යන්තර නිවර්තන දිනය ලෙස නම් කරන ලදී. ඒ ලෝකයේ ප්‍රමුඛ පෙළේ නිවර්තන පර්යේෂණායතන 12 ක් එකතුව ඉදිරිපත් කරන ලද නිවර්තන වාර්තාව නම් වාර්තාව පදනම්කොටගෙනය. ජාත්‍යන්තර නිවර්තන දිනය අපට වැදගත් වන්නේ අපද නිවර්තන කලාපීය රටක් වන බැවිනි.

සමකාසන්නව කර්කටක නිවර්තනයට සහ මකර නිවර්තනයට මැදි කොටස නිවර්තන කලාපය වශයෙන් හඳුන්වන අතර නැතිනම් සමකයෙන් දෙපස අශක 15 කලාපය නිවර්තන කලාපය වේ.

එමෙන්ම ලෝකයේ දේශගුණය අතින් ඉතාමත් වැදගත් කලාපය වන්නේ මෙම නිවර්තන කලාපයයි. පෘථිවි පැවැත්මට ඉතාමත් වැදගත්වන ඇමර්සන් කොංගෝ ප්‍රමුඛ කරගත් වැසි වන්නාන්තර සියල්ලද ව්‍යාප්තව ඇත්තේ සෑම වසරකම ඉහළ උෂ්ණත්වය සහ ඉහළ වර්ෂාපතනයක් ඇති ඍතු භේදයක් නොමැති මෙම නිවර්තන කලාපයේ ය.

එපමණක් ද නොව ලෝකයේ කඩොලාන වනාන්තර වලින් 95% කට ආසන්න ප්‍රමාණයකට සහ කඩොලාන විශේෂ 95% කට ආසන්න ප්‍රමාණයකට සත්කාරකත්වය දරන්නේත්, ලෝකයේ පුනර්ජනනීය ජල සම්පත්වලින් 54% කට සත්කාරකත්වය දරන්නේත් සහ ශාක සහ සත්ව විශේෂ මිලියන ගණනකට නිජබිම වන්නේත් නිවර්තන කලාපයයි.

මුලින් කී පරිදි මෙම කලාපය මුහුණදෙන ගැටළු සහ අභියෝග අවධාරණය කිරීම ජාත්‍යන්තර නිවර්තන දිනයේ අරමුණ වන අතර ඉන් පාරිසරික සහ මානුෂ ගැටළු ප්‍රධාන වේ.

නිවර්තන කලාපය ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත් කලාපයක් වූව ද ජෛව විවිධත්වය විනාශ වීමේ වේගයෙන් ද ඉහළින් සිටින්නේ මෙම කලාපයයි. එමෙන්ම දේශගුණ විපර්යාස, වන විනාශය, දැව කැපීම, නාගරීකරණය සහ ජල දූෂණය වැනි පාරිසරික ගැටළු රාශියක් ද කලාපයේ පවතින ප්‍රධාන ගැටළු වේ.

පුරෝකතනය කර ඇති පරිදි 2050 වන විට ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට වග කියන්නේ ද නිවර්තන කලාපයයි. මේ වන විට මෙම කලාපය සංවර්ධනයේ යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත් තිරසාර සංවර්ධනය අතින් සිටින්නේ ඉතාමත් පහත් ස්ථානයක ය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව දරිද්‍රතාවයේ ඉහළ මට්ටම්වල පසුවන ජනතාවක් සහ ඉහළ මන්දපෝෂණයෙන් පෙලෙන ජනතාවක් ද සිටින්නේ නිවර්තන කලාපයේ ය. පර්යේෂකයින් දක්වන්නේ මුඩුක්කු තුළ ජීවත්වන නාගරික ජනගහනයේ අනුපාතය ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා නිවර්තන කලාපයේ වැඩි බවය.

නිවර්තන කලාපයේ ලෝකයේ පුනර්ජනනීය ජල සම්පත්වලින් අඩක් පමණ ව්‍යාප්ත වී තිබුණ ද මෙම කලාපයේ ජනගහනයෙන් අඩක් පමණ ජල ආතතියකින් පෙලෙන බව ද වාර්තා වේ. මේ ආදී ගැටළු සහ අභියෝග රාශියක් නිවර්තන කලාපයේ පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන අතර ඔවුන් වැඩි දුරටත් පවසන්නේ අනාගතය අයිති නිවර්තන කලාපයට බැවින් මෙම ගැටළු සහ අභියෝග පිළිබඳව ලෝක ප්‍රජාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය.

Latest