Skip to content

විහිළු සඳහා ජාත්‍යන්තර දිනය අදයි

ශ්‍රී ලංකාව තුළ විහිළු නැතිනම් jokes පිළිබඳව පෙර නොවූ විරූ අන්දමේ දැවැන්ත කතා බහක් නිර්මාණය වී ඇති වාතාවරණයක ජාත්‍යන්තර විහිළු දිනය අදට යෙදී ඇත. ඒත් සමඟම ඊයේ දිනය යෙදී තිබුණේ  ජාත්‍යන්තර පාර්ලිමේන්තුවාදය සඳහා වන අතර දින දෙකම එක ළඟ යෙදී තිබීම සැබවින්ම සැළසුමකට අනුව සිදු වූවාක් වැනිය.

සාමාන්‍යයෙන් ලෝකයේ ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කිරීම සඳහා මැදිහත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වන නමුත් ජාත්‍යන්තර විහිළු දිනය සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිදු මැදිහත්වීමක් නැත.

ජාත්‍යන්තර විහිළු දිනය සැබවින්ම තනි පුද්ගල නිර්මාණයකි. ඒ සඳහා සම්බන්ධ වී ඇත්තේ 1994 දී Wayne Reinagel නම් ඇමෙරිකාවේ ලේඛකයෙකු වන අතර ඔහු ජූලි  01 දින විහිළු දිනය නමින් දිනය සමරා ඇත්තේ ඔහුගේ විහිළු පිළිබඳ ග්‍රන්ථ ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ය. ඉන් පසුව ලොව බොහෝ රටවල් ජූලි 01 දින මෙම දිනය සැමරීමට පටන් ගැනීමත් සමඟ ජූලි 01 දින ජාත්‍යන්තර විහිළු දිනය වශයෙන් නම් වී ඇත.

ලොව පුරා මෙම දිනය සමරනු ලබන ජනතාව සිදුකරණුයේ මිනිසුන්ට විහිළු කිරීම මඟින් එකිනෙකා අතර සිනහව සහ සතුට බෙදා ගැනීමය. එමෙන්ම ඒ හරහා සිනහවේ ඇති වැදගත්කම අවධාරණය කිරීමත් සිදුවන අතර සැබවින්ම මෙම දිනයේ සිදුවන්නේ මිනිසුන්ගේ සිනහව සැමරීමකි.

කෙසේ නමුත් ලෝක ඉතිහාසයේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ විහිළු මානව සංස්කෘතියේම කොටසක් වී ඇත. අපගේ රාජාවලිය තුළ ද රාජකීය කවටයෙකු පිළිබඳව අප අසා ඇත. එමෙන්ම පුරාණයේ ග්‍රීක් වරුන්ට සහ රෝමවරුන්ට ද ඔවුන්ගේම විහිළු අනුවාද තිබූ බව මූලශ්‍රවල සඳහන් වන අතර සේක්ෂ්පියර් පවා ඔහුගේ නාට්‍ය තුළ විහිළු ජවනිකා ඇතුලත් කොට ඇත.

එමෙන්ම 1800 ගණන්වල මුල් භාගයේ පවා විහිළු ග්‍රන්ථ සම්පාදනය වී ඇති බවට මූලාශ්‍ර සාක්ෂි දරන අතර එසේ පැමිණි මෙම ගමන තුළ 1950 ගණන් වලින් පසුව නැගී සිටීමේ ප්‍රහසන නැතිනම් satand-up comedy හරහා විහිළුවලට සුභාවිත අගයක් එක් වී ඇත. එම නිසා අතීතයේ සිට වර්තමානය දක්වා විහිළු සහ එයින් උත්පාදනය කරන සිනහව මානව සංහතියට නැතුවම බැරි වූ සංසිද්ධියකි.

සිනහවට අප කොයි කවුරුත් කැමතිය. මනුෂ්‍ය ජීවීන් සිය ජීවිත කාලය මුලුල්ලේ සිදුකරන සියළුම ක්‍රිකාකාරකම් පසුපස ඇති අරමුණ වන්නේ ද සිනහවය. සෞඛ්‍ය ප්‍රතිලාභ ප්‍රමුඛ කොටගනිමින් ඒ හරහා මනුෂ්‍ය ජීවීන්ට අත්වන ප්‍රතිලාභ බොහෝය. එබැවින් ජාත්‍යන්තර විහිළු දිනය ඔබට ද ඔබගේ නිවැසියන්, අසල් වාසීන් සහ හිත මිතුරන් සමඟ විහිළුවක් කිරීම මඟින් සැමරිය හැකිය. ඔවුන් සමඟ සහයෝගය වර්ධනය කරගත හැකිය.

නමුත් මතක තබා ගන්න. විහිළු තේරුම්ගත හැකි අයට පමණක් විහිළු කිරීමට වග බලා ගන්න.

Latest