Skip to content

යුදසමයේදී කිලිනොච්චියේ කැලෑ වැදුනු ඉඩම් මුල් අයිතිකරුවන්ට

යුද්දය හේතුවෙන් කිලිනොච්චියේ මුල් ඉඩම් අතහැර ආරක්ෂාව පතා දිවයිනේ විවිධ පලාත් වෙතට සහ විදෙස්ගත වූ සාමාන්‍ය වැසියන්ට නැවත එම මුල් ඉඩම් ලබාදීමේ විශේෂ සාකච්ඡාවක් කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවත්වුණි.

මෙම සාකච්ඡාව කිලිනොච්චිය දිස්ත්‍රීක් දිසාපතිණිය රූපවතී කේදීස්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මේ සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තු ව ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක විධායක වනිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටයහ.

එහිදී යුද්දය හේතුවෙන් අතහැර දමාගොස් වසර ගණනවක් පුරාවට කැලෑවැදී ඇති අදාල ඉඩම් මේවන විට කිලිනොච්චිය වනජීවි සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු වෙතට අයිතිව තිබෙන අතර එවැනි අඩම් අක්කර විහාල ප්‍රමාණයක් නිදහස් කොට මුල් අයිතිකරුවන් වෙතට භාරදීම කෙරෙහි මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.

මේ අනුව 1985 වසරට පෙර අදාල ඉඩම්හි හිමිකාරීත්වය තිබෙන ලියකියවිලි හෝ ඉඩම් සනාථ කල හැකි සාක්ෂි ඇත්නම් පළමුව එම පිරිස් වෙතට අදාල ඉඩම් නිදහස් කිරීමට පියරවර ගන්නා බවටද මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

නමුත් කිලිනොච්චියේ නැවත පදිංචි වූ වැසියන් බහුතරයක් පවසා සිටින්නේ යුද්දය හේතුවෙන් ඇඳිවත පමණක් අතැතිව සිය ඉඩම් අතහැර ගිය තමන්ට කිසිදු ලියකියවිල්ලක් නොමැති බවටත් සියලු ලියකියවිලි යුද්දය හේතුවෙන් විනාශ වී ඇති බැවින් තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසටය.

කෙසේ නමුත් නැවත පදිංචියට පැමිණ ඇති ජනතාවට කෘෂිකාර්මික කටයුතු සිදුකර ගැනීමට ඉඩම් නොමැතිවීමෙන් දැඩි සේ අසරණව බොහෝ පිරිසක් සිටින බැවින් උතුරේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන කිලිනොච්චියේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා කැලෑ වැදී ඇති සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් සියල්ලක්ම නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත.

Latest