Skip to content

මූල්‍ය වංචා වලට හසුනොවීමට.. ලිපි අංක 03 - Ponzi Scheme

පසුගිය කාලය පුරාවට වසංගතයක් සේ පැතිරී ගිය Ponzi Scheme මාලාවකට අප රටේ ජනයා විටින් විට හසු වූ බව මේ වන විට අප සැම දෙනෙක්ම පාහේ දන්නා කාරණයකි. එය කොතෙක් දුරට​ පැතිරී ගියා දැයි කිවහොත්, අප ආදරයෙන් වැළඳ ගෙන සිටිනා ක්‍රිකට් ක්‍රීඩාවට ද අනුග්‍රාහකත්වය හරහා හෝ සිය ආධිපත්‍යය පැතිරවීම සැබවින්ම කණගාටුදායක කාරණාවක් විය​.

මාගේ පෞද්ගලික හැගීම වන්නේ සමාජ මාධ්‍ය ජාලා, කුඩා කණ්ඩායම් සහ විශේෂයෙන්ම Youtube ක්‍රියාකාරීන් මෙම ව්‍යසනයට එදිරිව හඩ නොනගන්නට​, අදට ද මේ වන තුරුද OnmaxDT, MTFE වැනි Ponzi Scheme පැවතීමට ඉඩක් තිබූ බවයි. ඔවුන් මේ ජාවාරමට මේසා විශාල පිරිසක් නතු කර ගත්තේ කෙසේ ද​? අද අපගේ සාකච්ඡාව යොමුවන්නේ ඒ පිළිබඳවයි​..

මාතෘකාවට අවතීර්ණ වීමට ප්‍රථමයෙන් මාගේ පෞද්ගලික අත්දැකීමක්ද ඔබ හා බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. ඒ මෙවන් වංචාවකට හසුවීමක් පිළිබඳව නොවන අතර; Trading තුළින් වංචනිකයන් ඔබට පවසන​ ආකාරයේ විශාල ධනස්කන්ධයක් ඉපැයීමට හැකිද යන කාරණාව පිළිබඳ පැහැදිලි කරලීමටය​​. කලකට ඉහතදී මාද Binance හරහා USDT 10ක මුදලක් Deposit කරගනිමින් Crypto Trading සම්බන්ධ මූලික දැනුම ලබා ගැනීම සඳහා මුල පිරුවෙමි. එවකට Trading BOT ක්‍රමවේදයක් නොතිබුණු අතර අප විසින්ම candles පරීක්‍ෂාවට ලක් කරමින් ක්‍රිප්ටෝ සබැඳි පුවත් පිළිබඳ නිතරම යාවත්කාලීන වෙමින් පසුවිය යුතු වූ අතර එමගින් සැලකිය යුතු දැනුමක් ලගා කර ගැනීමට ද අවස්ථාව ලදිමු. (රුපියල් වෙනත් විදේශ විනිමයකට හැරවීමක් සිදු නොකල අතර fiverr හරහා ඉපැයූ මුදලක් binance wallet වෙත යොමු කරවා ගන්නා ලදී)

මා invest කරන ලද​ coins අතර ADA, Raven, TRX වැනි වටිනාකමින් තරමක් අඩු ඒවා වූ අතර ආයෝජනය කල හැකි නම් USDT 400-600 අතර පරාසයේ coins ද විය​. (එයටත් වඩා වටිනාකමක් සහිත coins ද වන අතර Bitcoin හි වර්තමාන වටිනාකම Google කර බලන්න​.​) කෙසේ වෙතත් මාගේ අවසානාත්මක නිගමනය වූයේ Crypto Trading හරහා බොහෝ දෙනා පවසන ආකාරයෙන් සුළු මුදලක් තැන්පත් කර විශාල වශයෙන් ලාබ ඉපැයීම කිසිසේත් කල නොහැකි බවය​. Crypto Mining සංකල්පයද එවකට තදින් මුල් බැසගෙන තිබුණු අතර එහිද අවාසිදායක තත්වයන් වන්නේ GPU Power ගොඩනැංවීම නැතහොත් Mining RIG එකක් නිර්මාණය කර ගැනීමට යන අධික මුදලත් ඒ හා සමගාමීවම ඒමට නියමිත විශාල විදුලි බිලත්ය​.

Mining Rig

කෙසේ හෝ ඒ ලැබූ අත්දැකීම් වලට ස්තුති වන්නට MTFE මුලාවේ ප්‍රබලම කියමන බවට පත්වූ බොට් කෙනෙකු හරහා trade කොට ලාබ සපයනවාය යන කරුණ කිසිලෙසකින්වත් කල නොහැකි බවට එහි ජනප්‍රියත්වය පැතිර යන කාල සීමාවේම අප විසින් පසක් කරගෙන හමාරය.​

නැවතත් මාතෘකාව වෙතට යොමු වුවහොත් බොහෝ දෙනෙකු ඔබව මේ සඳහා නම්‍යශීලී කර ගැනීමට පැවසූ කාරණාව පිළිබඳව විමසා බැලිය යුතුව ඇත​. Crypto Trading වශයෙන් වැඩි වැඩියෙන් මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් ඇති බවත් AI තාක්‍ෂණයේ දියුණුව නිසාවෙන්ම Bot කෙනෙකු යොදා Trading සිදුකිරීමටත් ඒ සඳහා තමන් යොමු වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් බොහෝ විට මෙහි නියැළෙමින් සිටි ඔබගේ මිතුරෙකු හෝ ආයතන නිලධාරියෙකු යැයි වෙස් වළාගත් වංචනිකයෙකු විසින් ඔබට පවසන්නට ඇත​. ඔවුන්ගේ යෝජනාව වන්නේ ‍X යන සමාගමට ඔබ විසින් මුදලක් ආයෝජනය කල විට එම සමාගම විසින් ඔබේ මුදල් ​trade කර ලාබ උපයා ඔබට ලාභාංශ ගෙවීමට බැඳී සිටින බවය​. සතියේ දින පහේ mobile applicationයේ ඇති ස්විචය ඔන් ඕෆ් කිරීමටත්, සතිඅන්තයේ [පොපිට්]් සමාවන්න ප්‍රොෆිට් නොමැති බවටත් ආකාරයෙන් විවිධ ප්‍රචාරණයන් ඔවුනගේ what's app / Facebook වැනි සාමූහිකයන් තුලින් ප්‍රචාරණය කරමින් වැඩි වැඩියෙන් පිරිස් මුදල් යෙදවීම සඳහා උනන්දු කරවනු ලැබේ. එනයින්ම​ බොහෝ දෙනා එකී කරුණු විශ්වාස කරමින් මුදල් ආයෝජනය සඳහා පෙළඹේ.

ඔබ ලක්‍ෂයක මුදලක් ආයෝජනය කලේ නම් මාස කිහිපයක් වැනි සුළු කාල සීමාවකින් එම මුදල නැවත ලබා ගත හැකි බවත්, ඉන් පසුව දිගින් දිගටම ලාබ පමණක් ඔබ වෙත ගලා එන බවටත් ඔවුන් ප්‍රකාශ කරයි. තවත් පුද්ගලයන් මෙම ජාලයට එකතු කිරීමෙන් ඔබට අමතර ලාභයක් ඉපයිය​ හැකි බවට​ත් දක්වන අතර​ එනයින්ම; ඔබගේ නෑදෑ හිත මිත්‍රයින් මේ පිළිබඳ දැනුවත් කිරීමත් නිරායාසයෙන්ම සිදු වනු ඇත. රුපියල් වලින් කරනු ලබන ආයෝජනයට ඩොලර් වලින් ප්‍රතිලාභ ගැනීමට අප කිසිවෙකුත් අකමැති වන්නේ නැත​. මක් නිසාද යත් වර්තමානයේ අප රටෙහි සිදුව තිබෙන ආර්ථික පරිහාණියත් උද්ධමනයත් හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම හා සසඳන විට ඩොලර් ඉපැයීම සැබවින්ම වාසි සහගත නිසාය​​. නමුත් මේ කිසිවෙකුත් ඩොලර් ඔබගේ අතට හෝ පෞද්ගලික ගිණුමකට යොමු නොකරන අතර ඔවුනගේ වෙබ් අඩවියක ඔබේ user account එක යටතේ යම් USD අගයක් Display වීමට සලසනු ලබයි. සතියකට වරක් හෝ මසකට වරක් ඔබට ගෙවීමක් සිදු කරනවා නම් ඒ ගෙවනුයේ රුපියල්ම​ මිස ඩොලර් නොවේ.

මෙවන් ආයතනවල​ නියෝජිතයන් වශයෙන් තමන්ව​ හඳුන්වා ගන්නා පිරිස් ඉහළ ආර්ථික සහ සාමාජයීය ස්ථාවරයක සිටිනා බව හැගවීම පිණිස ඔවුනගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් නිරතුරුවම යාවත්කාලීන කිරීම සිදු කරනු ලැබේ. මිල අධික වාහන​, සුපිරි හෝටල්වල කෑම බීම සහ​ විදෙස් සංචාර වුව ද ඔවුනගේ එදිනෙදා යාවත්කාලීන කිරීම් තුල තිබිය හැක​. මිනිසාගේ පොදු දුර්වලතාවයක් වන භෞතික සම්පත් ලගා කර ගැනීමට ඇති ගිජු බව ඔවුහු අපූරුවට තම ජාවාරම ප්‍රවර්ධනය කිරීම උදෙසා භාවිත කරනු ඇත​. වංචනික ආයතනයන්හි නියෝජිතයන් වශයෙන් පෙනී සිටිනා පිරිස් පවසන තවත් සුලභ කරුණක් වන්නේ ඔවුනගේ මව් සමාගම් ඕස්ට්‍රේලියා කැනඩා වැනි විවිධ රටවල පිහිටා තිබෙන බවයි.

උද්‍යෝගය හා විශ්වාසය​ ඇති කරලණු පිණිස මුල් කාලීනව ඔවුන් විසින් යම් මුදල් ප්‍රමාණයක් ආපසු ඔබ වෙත ගෙවීමට ද පසුබට නොවේ. නමුත් ඔබට වරදින අවස්ථාව නම් මොවුන් මේ නැවත ලබා දෙන්නේ සැබවින්ම ආයෝජනයක ප්‍රතිලාභයක් නොව, ඔවුනට එකතු වූ මුදලින්ම කොටසක් යන්න බව​​ ඔබ විසින් අවබෝධ කරගත යුතුය​.​ සාමාජිකයන් වැඩි වශයෙන් එකතු වත්ම ඔවුන් ඒ ආයතනයට ලබා දෙන මුදලින්ම කෙටි කලක් මෙම ක්‍රියාදාමය ඔවුනට​ සිදු කල හැකිය​. Ponzi scam යනු සරලවම වැඩි වශයෙන් මිනිසුන් එයට එකතු වීම මත පදනම්ව​ ඔවුන් යොමු කරන මුදල් වංචනික ආයතනයට හැකි උපරිම කාලයක් ආපසු සුළු වශයෙන් ලබා දී විශාල මූල්‍යමය​ වංචාවක් සිදු කර පලා යෑමය​.

මෙය කාලාන්තරයක් පුරාවටම විවිධාකාරයෙන් වැඩි ප්‍රතිලාභ ලබා දෙනවා යැයි පවසමින් මිනිසුන් මුලාවට පත් කරනු ලැබූ ජාවාරමක් වූ අතරම මේසා විශාල වශයෙන් ජනතාව​ නැවත නැවතත් රැවටීමට භාජනය වන්නේ ඇයි ද යන්න පිළිබඳව ඔබට ගැටළුවක් පැන නැගීමට වුව ද​ පුලුවන​. ආර්ථික පීඩනය හමුවේ ඇතිවන දුගී භාවයෙන් අත් මිදීම සඳහා ගත හැකි ඉක්මන් විසඳුමක් ලෙසට මෙවන් ආයතනයන්හි මුදල් ආයෝජනය කිරීම විකල්පය වශයෙන් ප්‍රජාවෙන් බහුතරයක් දෙනා සිතීම සැබවින්ම කණගාටුදායකය​. තවත් පසෙකින් මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳව අප රටේ බහුතරයකට දැනුම නොමැති කමද මෙහි තවත් පැතිකඩකි. ඉතාම ධනලෝභී මුදලට කෑදර පිරිස් අතලොස්සක් ද වන අතර එක් ජාවාරමකින් අහිමි කරගත් මුදල් යථාවත් කරගනු පිණිස ඔවුන් තවත් එවැනිම වංචනික ආයතනයක මුදල් ආයෝජනය කිරීමට පසුබට නොවේ. සමහරෙකු මෙය සිදු කරනුයේ පිරමීඩ වලින්ම ගොඩ යාමට සිතාගෙනය​.

සුළු පිරිසකට තමා තැන්පත් කල මුදලට වඩා වැඩි මුදලක් ලැබීමට හැකියාව පවතින අතර මෙම ස්ථරයේ පහලින්ම සිටින පිරිසට තම මුදල් ස්ථිර වශයෙන්ම අහිමි වීම මෙකී ජාවාරමේ ස්වභාවයයි. Tech Startups, Real Estate, Foreign Exchange, Arts & Antiques සහ​ Crypto Trading වැනි විවිධ ආකාරයන්ගේ ආයෝජන මුවාවෙන් Ponzi Scams ඔබ වෙතට පැමිණීමට පුලුවන​. රට තුල නීති කඩිනමින් ක්‍රියාත්මක නොවීමත් වංචනිකයින්ට පැන යාමට ලබා දෙන අත්වැලත් එක අතකින් ලංකාව තුල මෙවන් ජාවාරම් වැඩි වශයෙන් ක්‍රියාත්මක වීමට හේතුවක් යැයි සිතීමෙහි ද වරදක් නැත​.

කලකට ඉහතදී පැවති Best Life නමින් හැඳින්වූ පිරමීඩ ජාවාරම පිළිබඳවද ඔබට මතක ඇතුවාට සැක නැත​. ඔවුන් විසින් මාගේ මිතුරෙකුගේ පියාට අයත් ගොඩනැගෙමින් පවතින හෝටල් ව්‍යාපාරයක් සඳහා එවකට විශාල ධනස්කන්ධයක් ආයෝජනය කරන ලදී. පිරමීඩ ජාලයේ ඉහල පෙළ විසින් තමන්ට එකතුවන විශාල ධනස්කන්ධය එකලදී​ හවුල්කාරී ගිවිසුම් මත පදනම්ව කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී රිසි සේ ආයෝජනය කිරීම සිදුවිණි. නමුත් ඔබ විශ්වාස කරන්න​, පිරමීඩ ජාලයෙන් එක්තරා මොහොතකදී ඔවුන් පැන යන ආකාරයෙන්ම මෙකී ව්‍යාපාර හවුල්කාරීත්වයන් පදනම් කරගෙනද ඔවුන් ඒ සියල්ල සින්නක්කරවම විකුණා දමා ආයෝජනය කල මුදල මෙන් කිහිප ගුණයක් අත්පත් කරගනිමින් නික්ම යයි. (මාගේ මිතුරාගේ පියාගෙන් Best Life කළමණාකාරීත්වයේ ප්‍රධානියෙකු ලියවිල්ලකට අත්සන් ලබාගෙන ඇති අතර හෝටලය විකුණා ඔහුට සුළු මුදලක් ලබා දෙන තෙක්ම ඒ පිළිබඳව දැන සිට හෝ නැත​.)

මේ අප දන්නා ඉතිහාසයේ උදාහරණයක් දෙකක් පමණකි. එකතුවන මිලියන ගණනක මුදල් වලට සිදු වන්නේ කුමක් දැයි කියා සෙවීමටවත් වගකිව යුතු එකදු ආයතනයක් හෝ උත්සුක වී තිබේදැයි යන්න සැක සහිතය​. කෙසේ වෙතත් මා හට ඔබට දිය හැකි පණිවිඩය වන්නේ ඔබගෙන් ලබා ගන්නා මුදලට ඉතා විශාල ප්‍රතිලාභයක් ලබා දෙනවා යැයි කෙනෙකු පවසන්නේ නම්, තැන්පත් කරනු ලබන ආයතනයන්ගේ ලාබ ඉපයීම පිණිස සිදු කරන ක්‍රියාවලියේ අපැහැදිලි භාවයක් ඇත්නම් සහ විශේෂයෙන්ම තවත් පිරිස් මේ සඳහා යොමු කරලීමට උනන්දු කරනවා නම් ඔබ එවැනි ආයතන වල හෝ පුද්ගලයන්ට මුදල් ලබා දීමෙන් වැලකිය යුතුමය​.

එලෙසනම් නැවත ලිපියකින් හමුවෙමු! ලිපි මාලාවේ මුල් දිගහැරුම් පහතින්:

මූල්‍ය වංචා වලට හසුනොවීමට.. ලිපි අංක 01 - අත්තිකාරම් මුදල් වංචාව
මෙම ලිපි මාලාව හරහා රට තුළ ක්‍රියාත්මක වූ සහ මේ වන විටත් ක්‍රියාත්මක වන නොයෙකුත් ආකාරයේ මූල්‍ය වංචාවන් පිළිබඳව පාඨක ඔබ වෙතට යම් දැ
මූල්‍ය වංචා වලට හසුනොවීමට.. ලිපි අංක 02 Phishing Scam
ලිපි මාලාවේ දෙවැන්න වශයෙන් අද මා සාකච්ඡාවට බඳුන් කරනුයේ Phishing Scam නොහොත් පුද්ගලයෙකු තුල ගොඩනැගෙනා වූ විශ්වාසය වංචනිකයන් විසින් හසුරුවනු

Latest