Skip to content

තමිල්නාඩුවේ දීගය නිමයි. දකුණු ඉන්දියාවෙන් බීජේපීය දොට්ට​?

වසර කිහිපයක් තිස්සේ භාරතීය ජනතා පක්ෂය සමග පැවති සන්ධානය අවසන් කිරීමට තමිල්නාඩුවේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය (All India Anna Dravida Munnetra Kazhagam - AIADMK) පසුගියදා තීරණය කළේ ය​.

ඒ සමගම භාරතීය ජනතා පක්ෂයට දකුණුදිග ඉන්දියාවේ සිටි වැදගත්ම සන්ධාන සගයකු අහිමි වූයේ ය​.

AIADMK ආධාරකරුවන් පිරිසක්

මෙම පක්ෂ දෙක අතර බිඳීම පිළිබඳ මීට ප්‍රථම ද යම් යම් රාවයන් නැගුණ ද මෑතකදී තමිල්නාඩු බීජේපී ප්‍රධානී කේ. අන්නාමලෙයි විසින් සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් පක්ෂය සන් ධානයෙන් ඉවත්වීමේ අවසන් තීරණය ගත්තේ ය​.

ඒ සමගම බීජේපීය දකුණු ඉන්දියාව තුළ පැළපදියම් වීම සඳහා වූ බලාපොරොත්තු සුන්වනු ඇතිදැයි සැකයක් ද නිර්මාණය වී තිබේ.

අන්නාමලෙයි පෙරළිය

තමිල්නාඩුවේ දේශපාලනය තුළ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක වන්නේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) සහ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (AIADMK) ය​. කොන්ග්‍රස් පක්ෂය ඉන් පසුව වැදගත් තැනක් ගන්නා අතර තවත් විවිධ කුඩා පක්ෂ ගණනාවක් ද වෙයි. භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ එතරම් ප්‍රබල පක්ෂයක් නොවේ. එය 2014 දී ලෝක් සභා ආසනයක් තමිල්නාඩුවෙන් දිනාගත් නමුත් 2019 දී ඔවුන්ට ආසනයක් නොලැබිණ​. එම දෙවතාවේම බීජේපීය තවත් පක්ෂ සමග සන්ධානගතව තමිල්නාඩුවේ තරග කළ බව ද මෙහිලා සිහිපත් කළ යුතු ය​. 2019 දී AIADMK පක්ෂය ද එම සන්ධානයෙහි කොටස්කරුවන් විය​.

කේ. අන්නාමලෙයි තමිල්නාඩුවේ බීජේපී ප්‍රධානියා ලෙස පත්වූ තැන් පටන් බීජේපීය ප්‍රාන්තයේ ප්‍රබෝධයක් ලබනු පෙනිණ​. එක්තරා අවස්ථාවක එම පක්ෂය ප්‍රාන්තයෙහි සැලකිය යුතු බලයක් ගොඩනගනු ඇතැයි විශ්වාසයක් ගොඩ නැගුණේ ය​. කෙසේ වෙතත් ඒ සමගම ප්‍රාන්තයේ එතෙක් ප්‍රබලව පවතින පක්ෂ සමග ගැටීමක් ඇතිවීම පුදුමයක් නොවේ.

දෑත් එක්ව තබාගෙන සිටින තිදෙනාගෙන් මැද සිටින්නේ අන්නාමලෙයි ය​

අන්නාමලෙයි වරක් පැවසූ පරිදි පසුගිය වසර කිහිපය තුළ තමිල්නාඩු දේශපාලනයෙහි විශාල පෙරළියක් සිදුවිය​. එනම් දිගු කලක් ප්‍රාන්ත දේශපාලනයේ පතාක යෝධයින්ව සිටි එම්. කරුණානිධි සහ ජයලලිතා ජයරාම් මිය ගිය හෙයින් නායකත්ව හිඩැසක් නිර්මාණය විය​. මෙම නායකත්ව හිඩැස පිරවීමට හැකි නායකයා ලෙස ඔහු පෙන්වා දුන්නේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ය​. එහෙයින් මෝදිගේ නායකත්වය යටතේ තමිල්නාඩුවේ බීජේපී ප්‍රබෝධයක් ඇතිකළ හැකි යයි ඔහු විශ්වාස කළ අතර ඒ සඳහා ප්‍රාන්තයේ බිම් මට්ටමේ බීජේපී ජාලය ප්‍රතිසංවිධානය කර ශක්තිමත් කිරීමට ඔහුට අවශ්‍ය විය​. DMK පක්ෂය සමග අන්නාමලෙයි නිරන්තර ගැටුණ අතර, ඇතැම් අවස්ථාවල AIADMK පක්ෂය සමග ද ඔහු ගැටුම් ඇතිකර ගත්තේ ය​.

මෑතකදී අන්නාමලෙයි සහ අතර ගැටුම් උත්සන්න වූයේ අන්නාමලෙයි හිටපු තමිල්නාඩු මහ ඇමති සී. එන්. අන්නාදුරෙයි සහ හිටපු මහ ඇමති ජයලලිතා විවේචනය කිරීම හේතුවෙනි. අන්නාදුරෙයි DMK පක්ෂයේ නිර්මාතෘ වූ අතර AIADMK පක්ෂය ද සිය පැරණි නායකයා ලෙස ඔහුට ගෞරව කරයි. AIADMK පක්ෂය, DMK පක්ෂයෙන් බෙදී ගියේ 1972 දී වන අතර 1969 දී සිදුවූ සිය මරණය තෙක් නොබෙදුණ DMK පක්ෂය මෙහෙයවූයේ අන්නාදුරෙයි ය​.

අන්නාදුරේ සහ කරුණානිධි (දකුණේ) - Photo: EPS

අන්නාමලෙයිගේ අනාගත බලාපොරොත්තුව වන්නේ තමිල්නාඩුව තුළ බීජේපීය ශක්තිමත් කිරීම වුවද ඒ සඳහා අවදානම් සහගත පියවරක් ගැනීමට ඔහු ශක්තිමත්ද යන පැනය ඉතිරිව තිබේ. මෑතකදී ක්‍රියාත්මක කළ පාද යාත්‍රාව හේතුවෙන් ද ඔහු සිය ජනප්‍රියත්වය පිළිබඳ කිසියම් අධිතක්සේරුවකට පැමිණියේදෝ යයි සැකයක් ද මතුවේ. මේ අතර ඔහු නිරන්තරයෙන් මාධ්‍යවේදීන් සහ දේශපාලකයන් සමග ගැටුම් ඇතිකරගැනීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශ සඳහා ඇති වටිනාකම ද අඩු වන බව ඇතැම් විචාරකයෝ පවසති.

මෙවන් තත්ත්වයක් යටතේ AIADMK පක්ෂය NDA සන්ධානයෙන් ඉවත් වීම බීජේපීයට අවාසි සහගත බව පෙනේ. නමුත් අනෙක් අතින්, මෙය AIADMK පක්ෂයේ ද උපක්‍රමයක් විය හැකි බවට ද කිසියම් කුකුසක් මතුවීම වැළැක්විය නොහැක​. අනාගත කේවල් කිරීමකදී තමන්ට වඩා වැඩි වාසි ලබාගැනීමට සිය ශක්තිය පෙන්නුම් කිරීම සඳහා AIADMK පක්ෂය මෙම පියවර ගත්තා වන්නට ද පිළිවන​.

Latest