ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇණවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදා ගනිමින් සැකසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි අක්කර 800ක් යොදාගනිමින් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
පළමු ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය හා සැකසුම් මධ්‍යස්ථානය රාජංගනයේ ස්ථාපිත කර තිබේ.
මීට අමතරව දෙවන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය යාපනයේ ස්ථාපිත කෙරුණි.
රාජාංගනයේ අක්කර 800ක හා යාපනයේ අක්කර 400ක ඇඹුල් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබේ.
පසු අස්වනු තාක්ෂණික ආයතනය විසින් මෙම ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයයි.
ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 65කි.
මෙම සැකසුම් මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ සියල්ලම දේශීය වශයෙන් නිපදවන ලද ආයතනයකින් මිල දී ගැනීමට නියමිතයි.
මේ වනවිට අප රටේ ඇඹුල් කෙසෙල්වලට අමතරව, වට්ටක්කා, මඤ්ඤොක්කා හා තවත් එළවළු වර්ග කිහිපයක් අපනයනය සඳහා ඩුබායි හි අපනයන ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව ඇත. රටවල් ගණනාවකින් අප රටේ එළවළු හා පලතුරු සඳහා ඇණවුම් ලැබී ඇති අතර එම නිසා මුරවැසිහේන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු දෙසැම්බර් මාසය වනවිට අවසන් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත්තේ.
තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය තුළ ගොවීන් 800 දෙනෙක් තෝරා ගන්නා අතර ඔවුන්ට කෙසෙල් වැවීම සඳහා වන අධි ඝනත්ව වගා ක්‍රමය, තාක්ෂණය හා තාක්ෂණික උපකරණ , වගාවේ අස්වැන්න මිල දී ගැනීම සඳහා ව්‍යාපාරික අවස්ථා සියල්ලම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ උපදේශකත්වයෙන් ලබා දීමට නියමිතය.