Skip to content

චීන මහා ප්‍රාකාරයටත් වඩා ලොකු බලාපොරොත්තු හරින්ට තියනවා - fact check

අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි.මේ නිසාම දේශපාලකයින් විටින් විට සංචාරක ව්‍යාපාරය ගැන කථා කරති.බොහෝ දෙනෙකු සංචාරක ව්‍යපාරය පිළිබදව කථා කරන්නේ ධනාත්මකවය.මේ අතර ඉද හිට සංචාරකයින්ට අප රට එපා කරවන සිද්ධීන්ද වාර්තා වන්නේය.

මේ අතර තුර සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් මැයි මස 22 වෙනිදා මෙරට පළ වල වෙබ් අඩවියකට සංචාරක ව්‍යපාරය ගැන කථා කර තිබුණි.ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබුණි.

"සෑම චීන ජාතික සංචාරකයෙක්ම ඩොලර් 5,000 ක් වියදම් කළොත් ලැබෙන ආදායම අපට IMF සංවිධානයෙන් ලැබෙන සහනය හා සමානයි. ඇත්තටම බැළුවොත්, ශ්‍රී ලංකාව මේ අවුලෙන් ගොඩගන්න සංචාරක ව්‍යාපාරයට පුළුවන්"

විෂය බාර ඇමතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු කර ඇති එම ප්‍රකාශය පිළිබදව කරුණු පිරීක්සීමට fact check කටයුතු කර ඇත.කරුණු පිරීක්සීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් factcheck මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත.

"ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලින් මුදවා ගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) ලැබෙන සහයට ආදේශකයක් ලෙසත් සංචාරක ව්‍යාපාරයේ ආදායම යොදා ගත හැකි වනු ඇතැයි යන අදහස සමස්තයක් වශයෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් කියවේ. එම කරුණ තවදුරටත් විස්තර කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ එක් චීන ජාතික සංචාරකයෙකු එ.ජ.ඩොලර් 5,000 ක මුදලක් වියදම් කළහොත් එමගින් මෑතකදී IMF සංවිධානය වෙතින් ලැබුණු මුදලට සමාන මුදලක් එකතු කර ගත හැකි බවයි.

මෙම ප්‍රකාශයේ සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික වාර්තාවල ඇතුළත් ඉකුත් වර්ෂවල ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික හා අනෙකුත් සංචාරකයින් සංඛ්‍යාව, ඔවුන් මෙරට රැදී සිටි සාමාන්‍ය දින ගණන සහ ඔවුන්ගේ දෛනික වියදම ලෙස තක්සේරු කරන ලද මුදල අන්තර්ගත දත්ත පරීක්ෂා කරන්නට යෙදිණි.

චීන ජාතික සංචාරකයින් මෙරට රැඳී සිට ඇති වැඩිම දින ගණන 2016 වර්ෂයේදී වාර්තා වූ අතර එය දින 10.4 ක් ලෙස සටහන් විය. මෙරටට පැමිණි සියළුම සංචාරකයින්ගේ දෛනික වියදමෙහි උච්චතම අගය 2019 දී වාර්තා වූ අතර එය එ.ජ.ඩොලර් 181.2 ක් ලෙස වාර්තා විය.මෙම වාර්තාගත අගයන් දෙකම එක් වර්ෂයක් තුළ ළඟා කර ගත් අවසථාවක් යටතේ වුව ද එක් චීන ජාතික සංචාරකයෙකු විසින් එක් සංචාරයකදී වියදම් කරනු ලබන්නේ එ.ජ. ඩොලර් 1884 ක් පමණි (10.4 x 181.2). එබැවින්, චීන ජාතික සංචාරකයින් එක් සංචාරයකදී එ.ජ. ඩොලර් 5,000 ක් වියදම් කිරීමේ තත්ත්වක් පදනම් කරගනිමින් අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කල්පිතය යථාර්තවාදී නොවේ.

ඉකුත් වර්ෂවල වාර්තාගත වැඩිම චීන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 271,577 ක් ලෙස 2016 දී වාර්තා විය. එක් වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතික සංචාරකයින් ගණන 500,000 ක් දක්වා වැඩි කිරීමට ඇති සැළසුමක් පිළිබඳව අමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය තුළින් අවධාරණය කෙරේ. එම සංචාරකයින්, එක් සංචාරයකදී වඩා යථාර්තවාදී අගයක් වන එ.ජ. ඩොලර් 1,884 ක් වියදම් කළහොත් ඉන් උත්පාදනය කළ හැකි ආදායම එ.ජ.ඩොලර් මිලියන 942 කි. මෙම අගය IMF සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන එ.ජ.ඩොලර් මිලියන 725 ඉක්මවා යන අගයකි. එහෙත්, IMF වැඩ සටහනේ ආධාර ලැබෙන්නේ දැනටමත් චීන ජාතික සංචාරකයන් විසින් සිදු කරනු ලබන වියදම්වලට අමතරව යන වග මෙහිදී නොසලකා හැර තිබේ.

මෙරටට පැමිණෙන චීන ජාතික සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් එයින් ලැබෙන ආදායම IMF සංවිධානයෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර මුදලට සමාන වන තත්ත්වයක් ඇති වුව ද එම ආදායම IMF සංවිධානයෙන් ලැබෙන ආධාර සඳහා ආදේශකයක් ලෙස යොදා ගත හැකි බව හා ඊට ශ්‍රී ලංකාව පත්ව ඇති

‘අවුලෙන් මුදා ගත හැකි වේ’ යැයි පැවසීම වරදවා වටහා ගැනීමකි. ආර්ථික ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමට පොරොන්දු කරවා ගැනීමේත්, ජ්‍යාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමේත්, වත්මන් තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ජ්‍යාත්‍යන්තර එකඟතාවය ලබා ගැනීම සඳහා නිර්දේශ පැනවීමේත් වැඩපිළිවෙලක් ලෙස IMF සහය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරයි.

චීන ජාතික සංචාරකයින්ගෙන් ලබා ගත හැකි පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් ගොඩනඟා ඇති කල්පිතය යථාර්තවාදී නොවේ. කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ කල්පිතයේ ඇතුළත් පුරෝකථනයන්ගෙන් යම් සීමිත ප්‍රමාණයක් සාක්ෂාත් කර ගත්ත ද ඔහුගේ ගණනය කිරීම් නිවැරදි වේ. එහෙත්, IMF සංවිධානයෙන් ලැබෙන මුදල වෙනත් විකල්ප මූලාශ්‍රයකින් පියවා ගැනීම මගින් එය IMF වැඩසටහන මගින් ‘ශ්‍රී ලංකාව මෙම අවුලෙන් මුදා ගැනීම’ සඳහා සිදු කරනු ලබන සමස්ත කාර්යභාරයට ආදේශකයක් වෙතැයි පැවසීම වරදවා වටහා ගැනීමකි . එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු

FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි.  

සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබදව කරුණු පිරික්සීම සදහා factcheck පහත සදහන් මුලාශ්‍ර පාදක කරගෙන ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වාර්ෂික වාර්තා (වීවිධ වර්ෂයන් සඳහා), ප්‍රවේශය at https://www.sltda.gov.lk/en/statistics

· වෙරිටේ රිසර්ච් , Tourism Could Not Have Solved Sri Lanka’s Foreign Exchange Shortage (සංචාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය විසඳන්න පුළුවන්කමක් තිබුණේ නැහැ) https://www.veriteresearch.org/wp-content/uploads/2022/09/VR_EN_Insights_Sep2022_Tourism-Could-Not-Have-Solved-Sri-Lankas-Foreign-Exchange-Problem.pdf

Latest