Skip to content

ලෝකයේ ගැඹුරුතම සිදුරු කිරීම චීනයෙන් ද​?

අද දිනයේ (21) විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ තරමක් වෙනස්ම ආකාරයේ පුවතකි. ඒ චීනය විසින් ස්වභාවික සම්පත් සෙවීම සඳහා ලෝකයේ ගැඹුරුතම සිදුරු කිරීම් හි නිරතව සිටිනා බවයි. චීන ඉංජිනේරුවන් පිරිසක් විසින් මෙම කටයුත්ත සඳහා මුල පුරා ඇති අතරම අඩි දස දහස් ගණනක් පොළොව යට තැන්පත්ව ඇති ස්වභාවික සම්පත් සෙවීමේ කටයුත්ත වේගවත් කිරීම ඔවුන් ගේ අරමුණ වී තිබේ.

එරට​ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා දක්වා ඇති පරිදි පොළව තුළට මීටර් 10,520 (අඩි 34,514) ක කැණීමක් දක්වා ළඟා වනු ඇති අතරම​, ඔවුන් මෙය සිදු කරනු ලබන්නේ නිරිතදිග චීනයේ Sichuan හි බව ද කරුණු වාර්තා වී තිබේ.

මෙම කලාපය තුළ ගෑස් නිධි බහුලව පවතින අතරම ඉංජිනේරුවන් විසින් ගෑස් නිෂ්පාදනය සඳහා ස්වාභාවික සංචිතයක් සොයා ගැනීමට අපේක්ෂා කරන බවද වාර්තා වල දැක්වේ. මෙම නිවේදනය නිකුත් වූයේ චීනය තවත් සුපිරි ගැඹුරු සිදුරක් හෑරීම ආරම්භ කර සති කිහිපයකට පසුව වන අතර සැලසුම් කර ඇති පරිදි එහි ගැඹුර මීටර් 11,100 (අඩි 36,417) කි. එම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ චීනයේ වයඹදිග Xinjiang හි Tarim ද්‍රෝණියේ ය.

සම්පූර්ණ කළහොත්, ඒවා ලෝකයේ මිනිසුන් විසින් සාදන ලද ගැඹුරුත​ම සිදුරු දෙකක් වශයෙන් එක් වන නමුත් දැනට පවතින ගැඹුරුතම සිදුර වනුයේ;  වයඹ දිග රුසියාවේ මේ වන විට​ අක්‍රිය වී ඇති Kola Superdeep Borehole ව්‍යාපෘතියයි.​ මෙය සීතල යුධ සමයේ සෝවියට් සමූහාණ්ඩුව විසින් විද්‍යාත්මක විදුම් ව්‍යාපෘතියක් වශයෙන් සිදු කරන ලද අතර මීටර් 12,262 (අඩි 40,229) දක්වා ගැඹුරට විදීම සඳහා අවුරුදු 20ක කාලයක් ගතවී තිබේ.

උපකල්පනයක් වශයෙන් ගතහොත් එවරස්ට් කන්දේ ඉහළ සිට පහළට මැනීම සිදු කල විට එන අගය මීටර් 8849කි. මෙම සිදුරු කිරීම් හි ගැඹුර ඊටත් වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර චීනයේ මෙම උත්සාහය පිලිබඳව බොහෝ රටවල් යම් අවධානයකින් පසුවන බව ද සඳහන් වේ.

Latest