Skip to content

අලි මරා වල්ග එකතුකල සුද්දෝ...

මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවලින්  අසන්නට දකින්නට ලැබෙන්නේ අලින් පිළිබඳ කතාය.  ඒවා විටෙක සිත ලොමුදැහැ ගැන්වෙන සුළුය. තවත් විටෙක සිත දුකින් පිරී යන කතාය. වෙඩි වැදුණු වන අලි, දෑස් අන්ධ වන අලි වගේම තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින වන අලි ගැන කතාද ඒ අතර වේ.
සියඹලන්ගමුවේ උපන් "අග්බෝ"  මේ දින වල සිටින්නේ  තිරප්පනේය. ඒ ඌට වෙඩි වැදී අසාධ්‍ය තත්වයෙන් පසු වෙන නිසාය. වනජීවී නිලධාරීන් රොද බැඳගෙන මේ දිනවල අග්බෝට ප්‍රතිකාර කරන්නේ කෙසේ හෝ මේ දළ ඇතගේ ජීවිතය රැක ගන්නා අටියෙනි. ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙක් තමන්ගේ පැසෙන ගොයම් සහිත කුඹුරු යායක්ම අග්බෝ ගේ අහාරය වෙනුවෙන් වෙන් කලේ මිනිසා වන සතුන්ට දක්වන කරුණාවේ තරම ලෝකයටම කියා පාමිනි.

එසේම ගල්ගමුවේ "චන්ඩි"ද මේ දිනවල සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයකය. චන්ඩිගේ දෑස් වල පෙනීම අතිශයින් දුර්වල ව පවතින හෙයින් ඌට සිය ආහාරපාන පවා සොයාගැනීමට අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත.  මේ ගල්ගමුවේ "චන්ඩි" වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් අතහැරීමට වන ජීවි නිළධාරින් විසින් පිඹුරුපත් සකසා ලක ලෑස්ති වෙද්දී ඊට විරෝධය ප්‍රකාශ කරමින් එසේ කළහොත් අලියගෙ ජීවිතේ අනතුරේ වැටෙනවා යැයි තර්ක කළේ වනයට සහ අලි ඇතුන්ට තම දිවි දෙවෙනි කොට සළකන පිරිසක් විසිනි්. ඔවුන්ගේ විරෝධය හමුවේ ගල්ගමුවෙ චන්ඩි තවදුරටත් එහිම රඳවා තිබීමට වනජීවී නිලධාරීන්ට සිදුවිය.

අලින් පිළිබඳව මෙවන් පූර්විකාවක් ගෙනහැර දක්වන්නට සිදුවූයේ  අතීතයේ දී අලින්ට ශ්‍රී ලංකාවේදී විඳින්නට සිදු වූ අති මහත් දුක් කරදර කම්කටොළු හා ජීවිත පූජා කිරීම් ගැන සිදුවීම් රැසක් පවතින නිසාය. අලි වෙළඳාම් කිරිම සදහා අලිගාල් ද මෙරට පැවතී තිබේ. මේ එසේ ඉපැරණි ලංකාවේ අසන්නට ලැබුණු අලි පිළිබඳව රසවත් සිද්ධි කීපයකි.

කුරුණෑගල අලි ගාලක්

පුරාණයේ පටන් අලිඇතුන් ගෞරවනීය සත්ත්වයින් ලෙසයි ශ්‍රී ලංකාවේ සැලකුණේ. නමුත් ඇත් දළ සහ අලි අපනයනය පුරාණ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණා. අනුරාධපුර යුගයේ සිට උඩරට රාජධානිය දක්වා සියලු රාජධානිවල රජකම් කළ රජවරුන් අලිඇතුන් වෙළෙදාම කරගෙන ගිය බව විදේශිකයන්ගේ වාර්තාවල සදහන් වෙනවා.  1505 දී මුහුදුබඩ පළාත් අල්ලා ගත් පෘතුගීසීන් ද, පසුව ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලකයන් ද මෙරට අලි ඇතුන් අල්ලා එතෙර රටවලට විකුණා ආදායම් උපයාගත්තා. ඉන්දියානු රජවරුන් සිය යුද වාහනයක් ලෙසත්, රාජකීය හමුදාවේ අලංකාරත්වය වැඩි කර ගැනීමටත් අලංකාර පෙනුමකින් යුත් ලංකාවේ අලි ඇතුන්ම මිල දී ගැනීමට පෙළඹී සිටියා. වසර දහස් ගණනක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර අලි ඇතුන් වෙළෙඳාම සිදුව තිබෙනවා. එය එදා පමණක් නොව අදත් බලවතුන්ගේ ආශිර්වාදයෙන් කෙරෙන නීතිවිරෝධී වෙළෙදාමක් බව නම් නොකියාම බැරිය.

අලි රට පටවා සල්ලි හෙවීම

එදා අලි ඇල්ලීම  සිදුකර ඇත්තේ මුස්ලිම් ජාතික පනික්කියන් විසිනි. ඔවුන් මදු ගසා අලි ඇල්ලීමට දක්ෂයන් වුණා. 1662 වසරේ දී ලන්දේසි මුදල් ඒකකය වූ ගිල්ඩර් එක්ලක්ෂ හතළිස් නවදාහක් අලි ඇතුන් අපනයනයෙන් ලන්දේසීන් උපයා ගෙන තිබුණා. එය ඔවුන් එවකට ලංකාවෙන් ලැබූ මුළු ආදායමෙන් සියයට විසිපහක් පමණ වුනා.

යටත්විජිත සමයේ දී ශ්‍රී ලංකාවේ ඇත්දළ හා අලිඇතුන් අපනයනය මහාපරිමාණ වශයෙන් සිදුවූ බව පෙනෙනවා. කුරුණෑගල, ලබුගම වැනි ප්‍රදේශ ගණනාවක ඇත්ගාල් සාදා අපනයනය සඳහා එකවර අලිඇතුන් සිය ගණනින් අල්ලා ගත්තා. වර්ෂ 1800 දී පමණ මාතර දිස්ත්‍රික්කයේ වර්ෂයකට ඇත්ගාල් තුනක් පැවැත්වූ බව ජේම්ස් කෝඩිනර් සදහන් කරනවා. මීගමුවට නුදුරින් ද අලිගාල් පැවැත්වූ බවද කෝඩිනර් විසින් මේ ගැන ලි‍යූ පොතේ සදහන්. ඒ අතර ඇත්ගාල්වල අලි අල්ලනවා බැලීම පොහොසතුන්ගේ ත්‍රාසජනක ක්‍රීඩාවක් බවටත් පත්ව තිබුණා.

අලින්ගෙන් ගොවිතැනට උදව්-

ඉංග්‍රීසින්ගේ අලි සංහාර

පෘතුගීසි සහ ලන්දේසින් අලි නැව්වල පටවා පිටරට යවා මුදල් ඉපයුව ද, එදවස අලි නිකරුණේ මරා දැමීමක් ගැන සදහන් වන්නේ නැත. ඉංග්‍රීසින් මෙරට යටත් කරගත් පසු 19 වැනි සියවසේ මැද භාගය වන විට වාණිජ බෝග වගාව රටට හඳුන්වා දෙනවා. මුලින්ම කෝපිත්, ඊට පසු තේ හා රබර් වතුත් වනාන්තර වනසාගෙන මතු වෙනවා. අලි ඇතුන් නිදහසේ සැරිසැරූ වනබිම් අහිමි වීම නිසා උන් වගාවලට හානි කරනවා.

අලි ඇතුන්ගෙන් වගාවලට එල්ල වු තර්ජනයට පිළිතුර වුයේ වෙඩි උණ්ඩය යි. මහා මාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කිරීම නිසාත් අලිඇතුන්ගේ සිදුවන හිරිහැර වලට ඉංග්‍රීසින්ට මුහුණ දෙන්නට සිදු වුනා.  මේ නිසා එවැනි අවස්තාවල අලින්ට වෙඩි තැබීම සිදුවුණා. පසුව විනෝදයට අලි මරා තම නම කීර්තිමත් කර ගන්නා දඩයක්කාර සුද්දන් පිරිසක් බිහි වුණා. දහස් ගණන් අලි දඩයම් කළ අතර උන්ගේ මළ සිරුරු සමග සේයාරූ ගැනීමත් ඔවුන්ගේ විනෝදාංශයේ කොටසක් බවට පත් වුණා. මේජර් තෝමස් ස්කිනර්, සැමුවෙල් බේකර්, මේජර් විලියම් රොජර්ස්, හැරී ස්ටෝරි, ඊ. එල්. වෝකර් වැනි දඩයම්කරුවන් එකල ප්‍රකටව සිටි අලි ඝාතකයන්ගෙන් කිහිප දෙනෙක් පමණ යි.

කැප්ටන් ගැල්වේ, කර්නල් ලින්ඩ්සේ, ලුතිනන් හොලිඔක්‌ යනාදීන් ද ඉංග්‍රීසි පාලන සමයේ දී වන අලි ඇතුන් සිය ගණන් මරා දැමූ පුද්ගලයන් ලෙස සැලකෙනවා. කැප්ටන් ගැල්වේ පමණක් මෙසේ අලි – ඇතුන් 700ක් දෙනා මරා දැමූ බවට වාර්තා පලවී තිබෙනවා. වර්ෂ 1831 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අලි විනාශ කිරීමට ත්‍යාග පිරිනැමීම ආරම්භ කළා. ඉන් පසු වර්ෂ ගණනාවක් යනතුරු තෑගි ලබාගැනීමට වාර්ෂිකව අලි හොඬ හා වල්ග කච්චේරිවලට ඉදිරිපත් කිරීම සිදු වුණා.

අලි දඩයම ගැන සර් හෙන්රි චාල්ස් ලියන්නේ මෙහෙමයි,

"අලි ඇතුන් වෙඩි තැබීමේ පළපුරුදුකම් ඇත්තෝ ඔවුන්ගේ ඉලක්කයට හසුකොට ගැනෙන හස්තියා එක පහරකින් බිම හෙළිය හැකි මර්මස්ථානය, එනම් නළල් තලය එල්ල කර ප්‍රබල ආලෝක ධාරාවක් නිපදවීමේ උපක්‍රමයක් හැකි සෑම අවස්ථාවකදීම යොදා ගනිති. වෙඩි උණ්ඩයකින් හස්තියකුගේ මොළයම සිදුරු වුවහොත් විනා සිරුරේ අනෙක් තැනකට ඉන් සිදුවන තුවාලයකින් ඌ බිම හෙළීම උගහට ය. බහුල වශයෙන් අලිඇතුන් දඩයම් කරන්නන් මැරුණු අලි සංඛ්‍යාව මතක තබාගැනීමට උන්ගේ වලිගය කපා තබාගැනීම සිරිතක් කර ගෙන සිටිති."
(ලංකාව සහ සිංහලයෝ- 126 පිට)

මේජර් තෝමස් ස්කිනර්

මේජර් ස්කිනර්

මේජර් තෝමස් ස්කිනර්ගේ ලංකාවේ පනස් වසරක් (Fifty Years of Ceylon) නැමති ග්‍රන්ථයේ ආඩම්බරයෙන් සදහන් කරන්නේ ඔහු මුල්ම අලියා  අඹේපුස්සේ දී වෙඩිතැබුවේ ඔහුට වයස අවුරුදු 15 දී බව යි. ස්කිනර් ලංකාවේ හමුදා සේවයට එක්වූයේ 1827 දී යි. දක්ෂ වෙඩිකරුවෙකු වු මේජර් ස්කිනර් ලක්දිව ගත කළ කාලය තුළ අලි ඇතුන් 700කට ආසන්න ප්‍රමාණයක් මරා දමා තිබෙනවා.

"1827- 29 කාල සීමාවේ දී කොළඹින් සැතපුම් 30-40 ඈතින් අලියකු ගැවසෙන ඕනෑම අවස්ථාවක දී ගම්පති විසින් මට ඒ බව දැන්වූ විට උන්ට වෙඩි තැබීම සදහා මම මගේ නිලධාරින් ද කැටුව එහි ගියෙමි." යි මේජර් ස්කිනර් සිය කෘතියේ තැනක සදහන් කරනවා.
(ලංකාවේ පනස් වසරක්- මේජර් ස්කිනර්, පරි. පරාක්‍රම ඇස්. විජේවර්ධන, 52 පිට)

තු වගාවට මරා දැමූ අලියෙක්

විලියම් රොජර්ස්

ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා.  ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී තිබෙන්නේ ඒ නිසාමයි. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි විය යුතුයැයි විශ්වාස කරනවා. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ආදී සතුන්ගේ සම්වලින්. මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් ගැන ඉංග්‍රීසින් එකල ලියූ පොත්වල වර්ණනා කර තිබෙන්නේ මහ ඉහලින්. වරක් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන බවට ඔට්ටුවක් ඇල්ලූ රොජර්ස් සුද්දන් පිරිසක් සමග දඩයමේ ගොස් පැටවකු සමග සිටි ඇතින්නියකට වෙඩි තැබුවා. ඇතින්නිය‍ මිය ගියේ පැටවා මත වැටෙමින්. ඇතින්නියට යට වූ පැටවා ද එහිදී මිය ගියෙන් රොජර්ස් එම ඔට්ටුවෙන් ජය ගත්තා. ඔහු විසින් ඝාතනය කරන ලද ඇතුන්ගේ දළ 60ක් වෙන්දේසි කළ බවත් සඳහන්.

1846 ජුනි 7 දා හපුතලේ තානායමේ දී මේජර් තෝමස් විලියම් රොජර්ස් අකුණක් වැදී මියයන විට ඔහුගේ  වයස අවුරුදු 41ක් වුනා පමණ යි. නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා.

සැමුවෙල් බේකර් ලියූ පොත- කවරයේ දැක්වෙන්නේත් බේකර්ය.

සැමුවෙල් බේකර්

ලංකාවේ පමණක් නොව ලොව වටා ගොස් සත්ත්ව ඝාතනයේ යෙදුණු තවත් සුප්‍රකට චරිතයකි සැමුවෙල් බේකර්. අප්‍රිකානු වනාන්තරවල ඇතුන් වෙඩි තැබූ බේකර් පසුව ලංකාවට පැමිණෙනවා. නුවරඑළිය ජනාවාස කිරීමට පුරෝගාමී වන ඔහු මෙරට අලි ඇතුළු සතුන් දඩයම ප්‍රධාන විනෝදාංශය බවට පත් කරගත් අයෙක්. ඔහු ශ්‍රී ලංකාවේදී ලද දඩයම් අත්දැකීම් ඊළග පරම්පරාවට මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙසත් සකස් කලා. එම ග්‍රන්ථයේ නම ලෙස ඔහු යෙදුවේ  “ලංකාවේ ගිනි අවි සහ දඩයම්” (The Rifle and the Hound in Ceylon) යන්නයි. එහිදී ඔහු වසර 9 ක් අප්‍රිකාවේ දඩයමේ නිරත වූ කාලයේදී තමන් විසින් මරා දැමූ වන අලින් සංඛ්‍යාව නොගිනිය හැකි තරම් බව පවසනවා. එසේම ශ්‍රී ලංකාවේ වසර 30ක් ගතකළ කාලයේ දී ඔහු හා ඔහුගේ කණ්‌ඩායම විසින් මරා දමන ලද අලි – ඇතුන්ගේ සංඛ්‍යාව ද අතිවිශාලයි. සැමුවෙල් බේකර් මෙන්ම ඔහුගේ සොයුරු ලුතිනන් වී. බේකර් ද හිතේ හැටියට අලි – ඇතුන් මරා දැමූ පුද්ගලයෙකි.

1851 නොවැම්බර් 06 වැනිදා බේකර් තමන් ලංකාවේදී සිදුකළ දඩයමක් පිළිබඳව ඔහුගේ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබෙනවා:

“මා සහභාගි වූ හොඳම දඩකෙළිය මෙය බව කිව හැකියි. අලි පසුපස හඹා යෑම පැයක පමණ කාලයක් පැවතිණ. ඒ රැළේ අලි 13 දෙනකු සිටි අතර, සෑම අලියෙකුම හඹා ගොස් මරා දැමීමට අපි සමත්වීමු. එක් ඇතින්නක් මරා දැමීමට වෙඩි 15 ක් තැබීමට සිදුවිය. එදින අපි අලි – ඇතුන් 14 දෙනකු දඩයම් කොට තිබිණි. අපි අම්බලමට ( අකුණු පහරකින් මිය ගිය මේජර් රොජර්ස්ගේ අම්බලම) ආපසු පැමිණියේ ලංකාවේ දී දඩයක්කරුවකුට දිනකට දඩයම් කළ හැකි උපරිම අලින් සංඛ්‍යාව දඩයම් කිරීමෙන් පසුව යි."
(The Rifle and the hound in Ceylon- Samuel Baker)

බේකර් සහ ඔහුගේ සොහොයුරා 1850 නොවැම්බර් මාසයේ සිදු කළ එක් දඩයම් ගමනක දී දින කිහිපයක් තුළ අලිඇතුන් 31 දෙනෙක් මරාදමා තිබෙනවා. 1851 නොවැම්බරයේ බේකර් තවත් දඩයක්කරුවන් පිරිසක් සමග මින්නේරියේ සිට බිබිල දක්වා වනය මැදින් දඩයම් ගමනක යෙදෙමින් අලිඇතුන් 75 දෙනෙක් මරා දැමූ බව සදහන් කරනවා.

බේකර්ගේ පොත 1874 දී පළ කරන විට වනජීවී සංරක්ෂණ නීතියක් ආණ්ඩුව සම්මත කරගෙන තිබුණා. ඒ ගැන ඔහු තම ග්‍රන්ථයේ මෙසේ සටහනක් කරනවා:
“මීට වසර 20 කට පෙර දඩයම් කිරීම සඳහා රජයෙන් ත්‍යාග පිරිනැමුවත්, අද වන අලි වන සංරක්‌ෂණ නීති රීති මඟින් ආරක්ෂාකොට ඇත. එනිසා මාගේ ග්‍රන්ථය තවදුරටත් ලංකාවේ දඩ කෙළිය සඳහා මාර්ගෝපදේශක පොතක් වශයෙන් සැලකීමට නොහැකිය.”
(The Rifle and the hound in Ceylon- Samuel Baker)

විනෝදයට අලි මරමින්

දඩකෙළි නීති

සුද්දන් විසින් මෙසේ හේතුවක් නැතිව වනසතුන් මරා දැමීම ඉංග්‍රීසි ආණ්ඩුවටත් හිසදරයක් වූ නිසා 1891 අංක 10 දරන සතුන් හිතුවක්කාර ලෙස විනාශ කිරීම වැළැක්වීමේ පනත ගෙනාවා. එයට අනුව අලියකු වෙඩි තැබීමට රු. 100ක් ගෙවා යටත් විජිත ලේකම්ගෙන් හෝ ආණ්ඩුවේ ඒජන්තවරයකුගෙන් බලපත්‍රයක් ලබාගත යුතු වුණා. බලපත්‍ර රහිතව ඇතෙකු මැරුවොත් රු. 1000ක දඩයකුත්, අලියකු මරුවොත් රු. 250ක දඩයකුත් එම නීටිය මගින් නියම කර තිබුණා. නමුත් මේ නීති නමට පමණක් සීමාවූ බව යි පේන්නේ. ලක්දිව පහතරට දඩකෙළි සැරිසර (Sport in the low country of Ceylon) පොත 1901 දී ලියන ඇල්ෆ්‍රඩ් ක්ලාක් සදහන් කරන්නේ එම ආසන්න කාලයේ දී වර්ෂයකට අලිඇතුන් 300ක් මරා දැමීමෙන් හෝ වෙනත් ආකාරයකින් මියගිය බව යි.

1938 දී ප්‍රකාශිත වන සත්ත්ව හා තුරුලතා ආරක්‌ෂා කිරීමේ ආඥාපනත මඟින්  තවදුරටත් අලි – ඇතුන් ආරක්ෂාකාරී සතුන් කොටසක් ලෙස සැලකුණා. නමුත් විටින් විට අලි – මිනිස් ගැටුම් හා දඩයම් හේතුවෙන් අලි ඇතුන් දඩයම් කිර්‍රිම නීති විරෝධී අන්දමින් හොර රහසේත් සිදුකෙරුණා. එවකට පැවැත්වුණු අලි ගාල්වලින් අල්ලන අලිඇතුන් අතරි කිහිප දෙනෙකු හෝ තුවාල නිසා මියයාමත් සාමාන්‍ය දෙයක් වුණා. පනාමුරේ ඇත්ගාල ගිනි ගන්නා අවස්තාවේ එහි නායක ඇතා තම එඩිතරභාවය ලොවට ප්‍රදර්ශනය කරමින් අනික් සතුන් ඇල්ලීම වැළැක්වීම නිසා ඌ වෙඩි තබා දැමීමට අණ කළේ ඇත්ගාලේ හිමිකරුව සිටි ෆ්‍රැන්සිස් මොළමුරේ විසිනි.  ඇතාට වෙඩි තැබූවේ  සෑම් කදීර්ගාමර් විසින්. ඉන් පසු ලංකාවේ ඇත්ගාල් පැවැත්වීම තහනම් කෙරුණා. කොපමණ නීති තිබුණත් අලිඇතුන්ගේ කලදවස නම් අදටත් අදුරු බවයි අපට පේන්නේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:
ලක්දිව පහතරට දඩකෙලි සැරිසර- ඇල්ෆ්‍රඩ් ක්ලාක්,  පරි. විභාවි විජයශ්‍රීවර්ධන
ලංකාවේ පනස් වසරක්- මේජර් ස්කිනර්, පරි. පරාක්‍රම ඇස්. විජේවර්ධන
ලංකාව සහ සිංහලයෝ - හෙන්රි චාල්ස් සර්, පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස්

Latest