Skip to content

Charlestown ඇමෙරිකාවේ අපරාධ සඳහා නම් දරාපු නගරයක් කීවොතින් නිවැරදියි. විශේෂයෙන්ම බැංකු මංකොල්ලයන් සඳහා. වර්තමානයේ තත්වය තරමක් වෙනස් වුණත් එක්තරා කාලසීමාවකදී එම නගරය බැංකු මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී තිබෙනවා.


Cambridge Public Works කියන නාම පුවරුව යටතේ වාහනයක් ආරක්‍ෂක නිලධාරීන් විසින් මුදල් රැගෙන එන බැංකුවක් ඉදිරිපිට කිසිවෙකුට සැකයක් ඇති නොවන ආකාරයෙන් ගාල් කර තිබෙනවා. Doug MacRayගේ නායකත්වයෙන් යුතු සිව් දෙනෙකුගේ කණ්ඩායමක් රිය ඇතුළේ සන්නන්ධව සිටිනවා මුදල් මංකොල්ලය සඳහා​. ක්‍ෂණයකින් බැංකුවට කඩා වදින පිරිස මිනිත්තු කිහිපයක් ඇතුළත ආරක්‍ෂක නිලධාරීන්, බැංකුවේ සේවකයන් සහ කළමණාකාරීත්වය​ ඇතුළු සියලු දෙනාව තමන්ගේ අණසකට නතු කර ගැනීමට කටයුතු කරනවා.

සියල්ල පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන මේ පිරිස බැංකු කළමණාකාරිනිය හරහා සේප්පුව නිරුපද්‍රිතව විවෘත කර ගැනීමට යම් උත්සාහයක් දරනවා. නමුත් ඇය සිටින්නේ ඉතාම බියට පත් වෙලා. කොහොම නමුත් මංකොල්ලය මෙහෙයවන Doug විසින්ම ඇයව තරමක් සන්සුන් කරවලා සේප්පුව විවෘත කර ගැනීමෙන් පස්සේ සියලුම මුදල් තමන්ගේ බෑග් වල අසුරගෙන සීසීටීවී සාක්‍ෂි විනාශ කරන්නත් ඇගිලි සලකුණු ඇතිවූවා නම් ඒ සාක්‍ෂි වසන් කරන්නත් යම් ද්‍රාවණයක් යොදලා පිටත්වෙන්න සූදානම් වෙනවා.

චිත්‍රපටයට අනුවනම් මොවුන් මීට පෙර ප්‍රාණ ඇපකරුවන් රැගෙන යාමක් සිදු කරල නැහැ මේ විදිහෙ මංකොල්ලකෑම් වලදී. නමුත් මෙහිදී ඇස් ආවරණයකින් බැඳලා බැංකු කළමණාකාරිනියවත් මොවුන්ගේ වාහනයේම මද දුරක් රැගෙන යන්න කටයුතු කරනවා. සියල්ල ආරක්‍ෂිත බව තහවුරු කර ගැනීමෙන් පස්සේ ඔවුන් කිසිදු හානියක් නොකර ඇයව බස්වා පලා යනවා.

මංකොල්ලය පිළිබඳ පරීක්‍ෂණ භාර වෙන්නේ FBI එකට​. Adam Frawley තමයි මෙම පරීක්‍ෂණය මෙහෙයවන ප්‍රධාන නිලධාරියා. ඔවුන්ගේ සංවාදය වෙන්නේ නම් මංකොල්ලය මෙහෙයවපු පිරිස මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් වෙන්න ඕන කියන එක. මක්නිසාද යත් ඔවුන් කිසිදු සාක්‍ෂියක් ඉතිරි කර යන්නේ නැහැ මේ ගැන FBI එකට Lead එකක් ලබා ගන්න​.

මංකොල්ල කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු James Coughlinහට ඔවුන් ප්‍රාණ ඇපකරුවෙක් විදිහට රැගෙන ආ කළමණාකාරිණියගේ යම් අනන්‍යතා කාඩ් පතක් වාහනයේ වැටී තිබී හමුවෙනවා. ප්‍රශ්ණය තරමක් සංකීර්ණ වෙන්නේ ඇයගේ පදිංචිය තිබෙන්නේත් මේ පිරිස රැඳී සිටින ස්ථානයට​ ආසන්නයේම වීම නිසාවෙන්​. Jamesගේ යෝජනාව වෙන්නේ ප්‍රශ්ණය දුරදිග යාමට මත්තෙන් ඇයව ඝාතනය කිරීම​. නමුත් Doug එතැනදී මේ ප්‍රශ්ණය විසඳීමට ඔහුම මැදිහත් වන බවට පවසනවා සහ අනිත් සාමාජිකයන්ටත් එයින් ඈත්ව ඉන්නා ලෙසට උපදෙස් ලබා දෙනවා. මොකද මෙම තරුණියව ඝාතනය කලොත් අනවශ්‍ය ප්‍රශ්ණයකට මැදි වෙන්න වන බව Doug කල් ඇතිවම තේරුම් ගන්න නිසා.​

Dougගේ ජීවිතය සැබවින්ම අතෘප්තිමත් එකක්. දර්ශණ තල කිහිපයකින්ම ඒ බව නරඹන්නන් වෙතට දැනෙන්න හැරලා තිබෙනවා. කණ්ඩායමේ අනෙක් පිරිස මංකොල්ල කන මුදල් ඉවර වන තුරුම සිදු කරන්නේ සූදු කෙළීම​, මත්ද්‍රව්‍ය​ භාවිතය සහ රාත්‍රී සමාජ ශාලා වලට ගොස් කාන්තා පහස වෙනුවෙන් වියදම් කිරීම​. ඉදින් තනිවම දිවි ගෙවන doug තමන්ගේ කාලය ගෙවා දමන්න​ සිදුකරන්නේ ව්‍යායාම කිරීම​, නැතිනම් රාත්‍රී කාලයේ මංමාවත් වල ඇවිද යාම​, councelling programmes වලට සම්බන්ධ වීම​ වගේ දේවල්.

ඔහු කලකට ඉහතදී අතිදක්‍ෂ හොකී ක්‍රීඩකයෙක්. ඒ වගේම බොහොම ආදරණීය පුද්ගලයෙක්. ඒ බව සිනමා පටය අවසන් වනතුරු නැරඹූ විට​ ඔබට වැටහේවි. අපරාධමය ජීවිතයකට ඇද වැටෙන්නත් ඔහුට යම් යම් හේතු තිබෙනවා. එකක් ඔහුගේ මව ඔහු කුඩා කාලයේදීම හැර යාම​. දෙවැන්න ඔහුගේ පියාත් අපරාධමය වරදකට දිගු කලක් තිස්සේ බන්ධනාගාර ගතව සිටීම​. මේ හේතූන් නිසාම කුඩා කල පටන් ඔහුව රැක බලාගන්නේ ඔහුගේ හොඳම මිත්‍රයා වන Jamesගේ පවුලේ උදවිය විසින්.

ලිපිය එක් තීරණාත්මක සන්දිස්ථානයකට රැගෙන ගොස් සිනමා පටය සහ එහි චරිත පිළිබඳව කරුණු ගෙන හැර දැක්වීම නැවැත්වීම උචිත යැයි සිතනවා. ඔබට මතකයිනේ Doug ඇතුළු කණ්ඩායම​ ප්‍රාණ ඇපකරුවෙක් විදිහට රැගෙන ආ බැංකු කළමණාකාරිනිය​. Doug ඇය පිළිබඳව සොයන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම ඇය බියකින් ද සිටින්නේ, මංකොල්ලය සම්බන්ධ තොරතුරු සැපයීම සඳහා ඇය FBI එකත් සමග දිගින් දිගටම​ කටයුතු කරනවද වැනි කාරණා සෙවීම තමයි ඔහුගේ අරමුණ වෙන්නේ. එක් දීප්තිමත් උදෑසනක ඇයගේ නිවස අසලින් වාහනය නවත්වා ගෙන සිටින ඩග් හැඳ පැලඳ පිටව යන​ Claire Keeseyව නැතිනම් කළමණාකාරිනියව දකිනවා. ඇය ගමන් කරන්නේ ලොන්ඩ්‍රියක් වෙතට​. ඩගීත් කිසිදු අමුත්තකින් තොරව ලොන්ඩ්‍රිය තුලට ගිහින් කෝපි කෝප්පයක් වත් කරගෙන එය රසවිඳිමින් ඉන්නවා.

Claireගේ මතකය සැනින් දිව යන්නේ මංකොල්ලයට. ඒ ඩග් සිටින නිසාවෙන් නොවෙයි. තමන්ටත් වඩා ඉහළ නිලයක සිටි මැදිවිය ඉක්මවා ගිය අයෙකුට James විසින් තුවක්කු බඳෙන් එල්ල කරන ලද පහරක් නිසා විසිවූ ලේ පැල්ලමක් ඇය රැගෙන ආ ඇඳුම් තුළ තිබීම ඇස ගැටුණු නිසාවෙන්​. මේකත් එක්ක ඇය අනපේක්‍ෂිතවම හඩන්නට ගන්නවා. මෙතැනින් ඉදිරියට චිත්‍රපටය යම් තීරණාත්මක සංදිස්ථානයකට යොමු වනවා කීවොතින් නිවැරදියි. ඩග් විසින් ක්ලෙයාර්ව යම් අස්වැසිල්ලකට ලක් කරන්නත් සුළුවෙන් කතා බහ කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ ආරම්භය මොවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් දක්වාම දුරදිග යනවා..

නිර්මාණාත්මක කාරණා රසවින්දනය පිණිස මෙතෙකින් නැවැත්වීම සුදුසු නමුත් බොහොම වැදගත් කරුණු කිහිපයක් කෙටියෙන් සඳහන් කල යුතුමයි. ඒ තමයි මේ සිනමා පටය පාදක වෙන්නේ Chuck Hogan මහත්මයාගේ prince of thieves කියන නවකතාව හරහා. ඊට අමතරම මෙම නිර්මාණය වෙනුවෙන් රංගණයෙන් දායකත්වය ලබා දෙන නළු නිළියන් පිරිස​. Ben Affleck, Rebecca Hall, Jon Hamm සහ​ Jeremy Renner විසින් තම තමන්ගේ චරිත සඳහා උපරිම සාධාරණයක් කර තිබෙනවා කියන්න පුළුවන්. Ben Affleck මෙම සිනමා පටය සඳහා ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා වශයෙන් මෙන්ම තිර රචනයෙනුත් දායක වී තිබෙනවා.

Jeremy Renner  2011 වසරේදී සහය භූමිකාවක හොඳම රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයකට පවා The Town සිනමා පටය​ හරහා නිර්දේශ වී තිබෙනවා. ඊට අමතරව ජයග්‍රහණ නවයකුත් නිර්දේශ වීම් 46කුත් මෙම සිනමා පටයට ඇතුලත්. ලක්‍ෂ හතරක් ඉක්මවා ගිය IMDB ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අතුරින් නිර්මාණය මේ වන විට රැඳී තිබෙන්නේ 7.5/10ක වැනි ඉහළම අගයක​. Crime/ Drama/ Thriller වර්ගීකරණයට අයත් The Town සිනමා පටය ඔබව​ disappoint නොකරන්නක් බව නම් විශේෂයෙන්ම කිව යුතුම​යි.

නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්:

 

Latest