Skip to content

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරක සම්බැරීනය අතුරුදහන්

ලෝකප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් 5 දෙනෙකුගෙන් යුතු පිරිසක් රැගත් සබ්මැරීනය අතුරුදහන් වී දින දෙකක් ගතවුවද මේවනතුරුත් කිසිදු තොරතුරක් අනාවරනය නොවූ බවට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසා සිටියි.

18 වනදා මෙම සංචාරක පිරිස රැගත් විශේෂ වූ සබ්මැරීණය අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය පවසා සිටියි.

කෙසේ වෙතත් අතුරුදහන් වූ මෙම සබ්මැරීනය සෙවීම සඳහා ඇමරිකානු වෙරලාරක්ෂක බලකාය විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇත.

අතුරුදහන් වූ මෙම යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම ප්‍රධාන අරමුණ බවටත් ඔවුන් සියලු දෙනා කරදරයකින් තොරව බේරා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බවටද අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පවසයි.

අතුරුදහන්ව ඇති මෙම සබ්මැරීනය තුල ගිය සංචාරකයින් අතර බ්‍රිතාන්‍ය ජාතක බිලියනපතියෙකුද සිටින බවට තොරතුරු අනාවරනය වෙයි.

අත්ලාන්තික් සාගරයේ අඩි 13,000 කට වඩා ගැඹුරින් ඇති ලෝකප්‍රසිද්ධ ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා අදටත් ලොවපුරා බොහෝ දෙනෙකු දැඩි ඇල්මක් දැක්වීම හේතුවෙන්ම එහි සුන්බුන් නැරඹීමේ අවස්ථාව ලබාදීමට OceanGate ගවේෂණ ආයතනය විසින් පියවර ගෙන තිබුණි.

එක් සංචාරකයෙකුට ඇමරිකානු ඩොලර් 250,000 ක් පමණ මෙම සංචාරය සඳහා වැයවන අතර සංචාරකයින් ටයිටැනික් නැවේ සුන්බුන් අතරට රැගෙන යන විශේෂ වූ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලයද ගිලී ගිය ටයිටැනික් නැවේ විශේෂ පර්යේෂකයින්ගේ නායකත්වයෙනි.

කෙසේ වෙතත් දින දෙකක් පුරාවට අතුරුදහන්ව ඇති මෙම සබ්මැරීණය සෙවීමේ කටයුතු මේ වන විට දැඩි අභියෝගයකට ලක්ව ඇත්තේ ගඹුරු මුහුදේ ඇති පීඩණය සහිත වූ වාතාවරනය හේතුවෙන් බවට ගලවාගැනීමේ කණ්ඩායම් විසින් පවසා සිටිති.

ලොව විශාලතම නෞකාව වූ මෙම මගී ප්‍රවාහන නෞකාව 1912 වසරේදී එහි මංගල ගමන වූ සවුතැම්ටන් සිට නිව් යෝර්ක් බලා යාත්‍රා කරමින් තිබියදී අයිස් කන්දක ගැටීමෙන් අනතුරට ලක් විය. අනතුරට ලක් වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් 2200 දෙනෙකු සිටි අතර ඉන් 1500 ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

Latest