අසීමිත ධණස්කන්ධයකට හිමිකම් කියන සැපවත්ම දිවි පෙවතක් ගෙවන ලොව වෙසෙන බොහෝ පුද්ගලයන් පිළිබඳ පුවත් අපට ඇසෙන්නට ලැබෙනු ඇත. නිරන්තරයෙන්ම අප ඒ පිළිබඳව අවධානයන් යොමු කරනුයේද ඇතැම් කථා පුවත් තුල අපගේ ජීවිතයට උකහා ගත හැකි පාඩම් බොහෝමයක්ම ඇති නිසාවෙනි. එමෙන්ම තවත් ඒවා තුල ඇති කථා රසය , චරිත රසය හේතුවෙන්ද අප එවැනි පුවත් පිළිබඳව මහත් උනන්දුවක් දක්වයි. මෙම පුවතද ලොව සැපවත්ම දිවි පෙවතක් ගෙවන රාජ්‍ය පාලකයෙකු පිළිබඳවය.
ගිණිකොනදිග ආසියාවේ බෝර්නියෝ දූපතේ උතුරු වෙරළ තීරයේ පිහිටි සුන්දර රටක් ලෙස බෲනායි දේශය (Brunei) හඳින්විය හැක. දකුණු චීන මුහුදේ වෙරල තීරය හැරුණු කොට එය සම්පූර්ණයෙන්ම මැලේසියානු Sarawak ප්‍රාන්තයෙන් වටවී ඇති අතරම එහි භූමිය Limbang හී Sarawak දිස්ත්‍රික්කයෙන් බෙදී ඇත. බෲනායි යනු මුලුමනින්ම බෝර්නියෝහී ඇති එකම ස්වෛරී රාජ්‍ය වන අතර භූමියේ අනෙකුත් කොටස මැලේසියාව සහ ඉන්දුනීසියාව අතර බෙදී පවතී. 2020 වසරේ සංඝණනයන් අනුව එරට සමස්ථ ජනගහනය වී තිබුනේ 460,345 කි. එරට පාලනය සුල්තාන් විසින් සිදු කරනු ලබයි. ඉස්ලාම් ආගම් අදහන, මැලේ භාෂාව මව් භාෂාව වන බෲනායි දේශයේ සමීක්ෂණ වාර්ථාවන් අනුව එරට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 32,000 ට ආසන්නය. එමෙන්ම එරට ප්‍රධානතම ආදායම් මාර්ගයන් ලෙස ගෑස් සහ තෙල් අපනයනය හැඳින්වීමට ද පුලුවන. සැමට එක ලෙස සැලකෙන නීතී පද්ධතියක් රට තුල පැවතීම හේතුවෙන්ම ඕනෑම විදේෂිකයෙකුට වුවද කිසිදු බියක් හෝ සැකයකින් තොරව එරට තුල සංචාරය කිරීමට හැකි රටක් ලෙස ලොව පුරා බෲනායි දේශය ප්‍රකටය.

මේ සුන්දර බෲනායි රාජ්‍ය පාලනය කරනු ලබන්නේ සුල්තාන් හසානල් බොල්කියා විසිනි. ඒ වර්ශ 1967 සිටය. වර්ශ 1946 ජූලි මස 15 වන දින උපත ලබා ඇති හසාන්ල් බොල්කියා ගේ වයස මේ වනවිට අවුරුදු 77 කි. තමන් සතු ධණය කිසිදු ලෝබකමකින් තොරව වියදම් කරන පාලකයෙකු ලෙස බොල්කියා ප්‍රකටය. ඒ එතරම්ම ධණයක් ඔහු සතුවන බැවිනි.
වත්කම්
බොල්කියාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 30 පමණ වන බවට විදෙස් මාධ්‍ය වාර්ථාවන් පෙන්වා දෙයි. මේ වනවිට ලොව ධනවත්ම රාජකීයයන් අතර දෙවන ස්ථානයේ ඔහු පසුවෙයි. ඒ තායිලන්තයේ රජුට පමණක් දෙවෙනි වෙමිනි. 2016 වසරේදී ඔහුගේ වත්කම් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් ලෙස ගනන් බලා තිබුනද එය 2023 වසර වන විට ඩොලර් බිලියන 30ක් දක්වා වැඩිවී තිබිණ. එය ඩොලර් බිලියන 30ද ඉක්මවා තිබිය හැකි බවටයි වාර්ථාවන් පෙන්වා දෙනුයේ.
රථ වාහන එකතුව ..

මේ බෲනායි සුල්තාන්වරයා විවිධ වර්ගයේ නවීනතම මෝටර් රථ සඳහා ඉමහත් ඇල්මක් දක්වන අයෙකි. මේ වනවිට ඔහු සතුව ඇති සමස්ථ මෝටර් රථ සංඛ්‍යාව 7000කටද වඩා වැඩිය. ඒවා සියල්ලම ලොව මිල අධිකම වූත්, නවීනතම වූත් මෝටර් රථයන්ය. එය ඇත්තෙන්ම සුල්තාන්වරයාගේ විනෝදාංශයකි. ඔහුගේ මෙම මෝටර් රථ එකතුව තුල Rolls Royce වර්ගයේ රථ 600ක් , Aston Martin රථ 11ක් , Ferrari රථ 450ක් , Lamborghini රථ 21ක් , Mercedes 500ක් මෙන්ම නවීනතම BMW රථ ඇතුලු තවත් රථ බොහෝමයක් ඇතුලත් බවට සඳහන්. මේ සියල්ල සුල්තාන්වරයාගේ මාලිගය තුල ඇති රථවාහන අංගනයන් 110ක් තුල සුරක්ෂිතව නවතා ඇති බවටත් සඳහන්.
Brunei Investment Agency සමූහය සුල්තාන්වරයාට අයත් සමාගමකි. එමඟින් එරට තුල මෙන්ම තවත් රටවක් කිහිපයකම තරු පංතියේ ස්ඛෝභෝගී හෝටල් සමූහයක්ම පවත්වා ගෙන යනු ලබයි. ධණවතුන්ටම සේවා හා පහසුකම් සපයන හෝටල් සමූහයක් වන මේ හෝටල් සමූහය තුල ප්‍රංශයේ Le Meurice Hotel , ඉතාලියේ Hotel Eden වැනි හෝටල් පෙන්වා දිය හැකිය.
රාජකීය ගුවන් යානය ..

බොල්කියා සුල්තාන්වරයාගේ නිල ගුවන් යානය Flying Palace ලෙස හඳුනවනු ලබයි. Air Bus A340 – 212 වර්ගයේ ගුවන් යානයක් වන මෙය මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 103ක පමණ වූ මුදලකටය. පසුව ඔහු විසින් තවත් ඩොලර් මිලියන 124ක් පමණ වැය කර එය තමන්ට අවශ්‍ය ලෙස නවීකරණය කර ඇත. යානයේ අභ්‍යන්තරය තුල රත්තරං , පළිඟු මෙන්ම ලොව මිල අධිකම දැව වර්ගයන්ගෙන් සැදුම් ලත් ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් මෙම නවීකරණයන් සිදු කොට ඇත.
සුපිරි දිවි පෙවෙත ..
සුල්තාන් බොල්කියා සිය 50 වන උපන්දිනය සමරා ඇත්තේ වර්ශ 1996 දීය. ඔහුගේ එම උපන්දින සැමරුම් උත්සවය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක් පමණ වැය කර ඇත. සති දෙකක් පුරාවට පැවති උපන්දින උත්සවය වෙනුවෙන් එංගලන්තයේ චාල්ස් කුමරු සහ සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් හටද ඇරයුම් කර තිබිණ. එහිදී මයිකල් ජැක්සන් විසින් ප්‍රසංගයන් තුනක්ද පවත්වා තිබූ අතර ඉන් එකක් ජනතාව වෙනුවෙන් ද අනෙකුත් පෙඅසංගයන් දෙක රාජකීයයන් සහ රජ පවුලේ පිරිස වෙනුවෙන් වෙන් කර තිබූ බවටත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
එසේම මොහු සිය මිතුරන් හට මෙන්ම විශේෂ අමුත්තන් හට විවිධ වූ මිල අධිකම ත්‍යාගයන් ලබා දෙන්නෙකු ලෙසටද ප්‍රසිද්ධය. ඉන් වඩාත් කැපී පෙනෙනුයේ ඔහු ලොව මිල අධිකම ආභරණයන් සිය මිතුරන්ට ත්‍යාගයන්, සිහිවටනයන් ලෙස ලබා දීමය. වරක් ඔහු විසින් සිය අමුත්තන්ට ත්‍යාගයන් ලෙස ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 592ක් වටිනා ආභරණ එංගලන්තයේ ආභරණ අලෙවි කරුවෙකුගෙන් ලබාගෙන් ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
සුල්තාන්වරයාගේ වැඩිමහලු දියණිය වන රශීදා කුමරියගේ විවාහ මංගල උත්සවයේදී ඔහු විසින් සිට දියණිය මෙන්ම අමුත්තන්ද පුදුමයට පත්කිරීමේ අරමුණින් යුතුව ජනප්‍රිය ඇමෙරිකානු ගායිකාවකවූ විට්නි හූස්ටන් ට ආරාධනා කර තිබිණ. ඒ වෙනුවෙන් ඔහු විසින් ඇයට ඩොරල් මිලියන 7ක මුදලක් එවකට ලබා දී ඇති බවත් මාධ්‍ය වාර්ථාවන්හී සඳහන්. එසේම සුල්තාන් වරයා විසින් තවත් විශාල මුදලක් වැය කරනුයේ සිය කොණ්ඩය කැපීම පිණිසය. ඔහුගේ ප්‍රියතම කරනවෑමියා සිටිනුයේ එංගලන්තයේය. සුල්තාන්වරයා විසින් සිය කොණ්ඩය කැපීම සඳහා සෑම සති තුනකට පමණ වතාවක් මෙම කරනවෑමියා ලන්ඩන් නුවර සිට බෲනායි රාජ්‍යය වෙත කැඳවීම් සිදු කරනු ලබයි. එසේ පැමිනෙන කරනවෑමියා වෙනුවෙන් ගුවන් යානාවන්හී පළමු පංතියේ අසුනක් වෙන් කිරීමටත් බෲනායි හී තරු පන්තියේ හෝටල් වල ලැගුම් ගැනීමට සැලැස්වීමත් සුල්තාන්වරයා කටයුතු කරයි. සිය කොණ්ඩය කැපීම වෙනුවෙන් ඩොලර් 20,000 වැය කරන ලොව එකම පුද්ගලයා ලෙසත් විදෙස් මාධ්‍ය මෙම සුල්තාන්වරයා හඳුන්වා දී ඇත.

බෲනායි සුල්තාන්වරයාගේ මාලිගය ලොව විශාලම මාලිගය ලෙසටද වාර්ථා පොත් අතරට ඇතුලත්ව ඇත. ඉස්තානා නුරුල් ඉමාන් ලෙස මෙම මන්දිරය හැඳින්වේ. 1984 වසරේ නිර්මාණය කර ඇති මෙය අක්කර 49ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබේ. එහි මහල් 17ක් තුල කාඹර 1788ක් තිබෙන බවටද සඳහන් වෙයි. මෙවැනි මන්දිරයක් තුල තිබෙන සැපපහසුව පිළිබඳව අප නැවත නැවතත් ඔබට සිහිපත් කල යුතු නොවන්නේ එය ඔබටද සිතා ගැනීමට හැකියාවක් පවතින නිසාවෙනි.
දිවි පෙවෙත ගෙවීම වෙනුවෙන් මෙසේ අසීමිත මුදලක් වැය කරන , මෙවැනි සැප සම්පත් රැසකට උරුමකම් කියන වෙනත් අයෙකු පිළිබඳව ඇතැම් විටෙක ඔබ අසා නොතිබෙන්නට පුලුවන. එහෙයින්ම මෙම විශේෂාංග ලිපිය ඔබට නිතැතින්ම ආශ්වාදයක් ගෙන දුන්නාට නම් සැකයක් නැත.






Sources - Foreign News Channels , wikipedia ,Other Internet sources