x නම් පුද්ගලයකු මෙසේ පවසනවා යැයි සිතමු. " අපගේ නිවසේ පසුගිය දිනයක සිදු වූ සොරකම නිසා තවත් ආරක්ෂක කැමරා වැඩි වශයෙන් සවිකළ යුතු යැයි මම සිතමි ".
එයට විරුද්ධව y නම් පුද්ගලයකු මෙසේ පවසයි. " ඔබ ඔබේ අසල්වැසියන් විශ්වාස කරන්නේ නැහැ නේද? ඇත්තටම ඔබ මොන මනුෂ්‍යයෙක් ද? අසල්වැසියන් විශ්වාස නොකර ඔබට තව දුරටත් ඔය නිවසේ වාසය කළ හැකි ද? ".
x මෙසේ කියයි " රටක් සංවර්ධනයේ දී පරිසරය හානියක් යම් පමණකට සිදු වූවත් සංවර්ධන ව්‍යාපෘති ද අත්‍යාවශ්‍ය බව අපි මතක තබා ගත යුතුය".
එයට y මෙසේ කියයි " ඔබ මොන නරුමයෙක් ද? ඔබ සතුන්ට සහ ගහ කොළට ආදරය කරන කෙනෙකු නොවේ. එම නිසා අඩුම තරමේ හුස්ම ගැනීමටවත් ඔබට අයිතියක් නැහැ ".
තව ඉදිරියට ගොස් බොහෝ දෙනෙක් අසා ඇති සහ අපට මතක උදාහරණයක් ගත හොත් x මෙසේ කියයි. " කාබනික පොහොර පමණක් 100 % ක් භාවිත කරමින් කෘෂිකර්මාන්තය සිදු කරන කිසිම රටක් මේ ලෝකේ කොහෙවත් ඇත්තේ නෑ".
එයට y කියන්නේ " ඔබ කියන්නේ අපේ රටේ ජනතාවට වස කවන්න ඕන කියලද, ඔබ ජනතාව වස කනවට කැමති කියල ද කියන්නේ? ඔබට රසායනික පොහොර සමාගම් වලින් කීයක් දුන්න ද මේ ටික කියන්න. ඇත්තටම ඔබලා වගේ මිනිසු එක්ක මේ රට දියුණු කරන්න පුලුවන්ද ? ".
getpeakonline අපගේ වෙබ් අඩවියේ මෙය ඔබට ඉතා වැදගත් ලිපියක් වේ යැයි සිතමි.
ඉහත සඳහන් ආකාරයේ සංවාද ඔබ මේ වන විට ඕනෑ තරම් අසා ඇත. ඉදිරියටත් අසන්නට ලැබේ. රූපවාහිනියේ, සමාජ මාධ්‍යයේ, විවිධ වැඩසටහන් අතරේ සහ විශේෂයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙවැනි සංවාද දිනකට සිය ගණනක් සිදු වන අතර ඒවා මේ වන විට ඔබට සාමාන්‍යකරණය වී තිබෙන්නට පුළුවන. නමුත් බැලූ බැල්මට මෙම සංවාද සාමාන්‍ය සංවාද සේ පෙණුන ද ඒවා සාමාන්‍ය සංවාද නම් නොවේ.
මෙම සංවාද සියල්ලකම පාහේ කොටසක් ලෙස අනතර්ගත වන්නේ පිදුරු මිනිසුන්ගේ තර්ක භාෂයයි. එය ඉතා භයානක දෙයකි. මන්ද එමගින් ප්‍රගතිශීලී අදහසක් සමාජගත වීම අඩපණ කරන බැවින් සහ ප්‍රගතිශීලී අදහස් දරන සමාජයේ මිනිසුන්ට එමගින් මහත් බලපෑමක් ඇතිවන හෙයිනි. එබැවින් පිදුරු මිනිසුන්ගේ තර්ක භාෂය නැතිනම් The straw man fallacy පිළිබඳව සමාජයේ ඕනෑම පුරවැසියකු දැන සිටිය යුතුම යැයි මාගේ පුද්ගලික අදහස වන අතර මේ ඒ පිළිබඳ හැඳින්වීමකි.

straw man fallacy යන්න අපට සිංහලයට පරිවර්තනය කොටගත හැක්කේ පිදුරු මිනිසුන්ගේ තර්ක භාෂය යනුවෙනි. මෙය සමාජයේ සංවාදවල පැටලෙන සංවාදකයින් දැන හෝ නොදැන සිදුකරන තර්ක මැරීමේ කලාවක් ලෙස ද අපට හඳුන්වා දීමට හැකිය. මේ පිළිබඳව ඔබ හා මම දැන සිටිය යුත්තේ මෙය හරි හැටි දැන සිටීම මඟින් අපට අපගේ ප්‍රකාශනය, තර්කනය වඩාත් ප්‍රභල කරගත හැකි බැවිනි. එමෙන්ම පිදුරු මිනිසුන්ගේ උගුල්වලට හසු නොවී සිටීමට ද මේ පිළිබඳව දැනුවත් වීම වටී යැයි සිතේ.
ඔබ බොහෝ විට සමාජයේ ඉතා ප්‍රගතිශීලී අදහසක් පැළ කිරීමට යෑමේදී සමහරවිට ඔබට ඔබගේ අදහස කෙතරම් සමාජයට යහපත් දෙයක් වූව ද එය සමාජයේ පැළ කිරීමට නොහැකි වී. විවිධ තර්කනයන්ට හසු වී. ලැජ්ජා වී, බැණුම් අසා කොණකට වන්නට සිදු වී තිබෙන්නට පුළුවන. එසේ නම් බොහෝ විට ඔබ පිදුරු මිනිසුන්ගේ උගුල්වලට හසුවන්නට ඇත.
පිදුරු මිනිසුන්ගේ තර්ක භාෂයේදී සිදුවන්නේ තර්කයකට ප්‍රති තර්ක ඉදිරිපත් කිරීමට, එයට පහර දීමට හෝ එය ප්‍රතික්ෂේප කිරීමට මුලින් ඉදිරිපත් කරන ලද තර්කය විකෘති කිරීමය. සමාජයේ බොහෝ දෙනෙක් තමන් දායක නොවන හෝ විශ්වාස නොකරන අදහසක් අපකීර්තියට පත් කිරීම සඳහා straw man fallacy භාවිත කරන අතර මෙය ඉතා දිගු ඉතිහාසයක සිට එන්නකි.
පිදුරු මිනිසාගේ තර්ක භාෂය පිළිබඳ මුල්ම සඳහන් මාටින් ලූතර් වෙත දිව යයි. ඔහු 1520 රචනා කරන ලද ඔහුගේ Babylonian captivity of the church නම් ග්‍රන්ථයේ කියා සිට ඇත්තේ පල්ලියට විරුද්ධව තමන් ඉදිරිපත් කරන ලද තර්කයන්ට විරුද්ධව පල්ලිය විසින් පහර දිය හැකි පිදුරු මිනිසෙකු පිහිට වූ බවය. ඒ අනුව මෙය දිගු ඉතිහාසයක සිට පැවත එන්නකි.

ඉහත තොරතුරු ඇසුරින් පිදුරු මිනිසාගේ තර්ක භාෂය පිළිබඳව සුළු හෝ අවබෝධයක් නොලැබුණේ නම්
මෙය සරලව පැහැදිලි කර ගමු.
කිසියම් පුද්ගලයකු කිසියම් දෙයක් පිළිබඳව ප්‍රථමයෙන් කිසියම් තර්කයක් ඉදිරිපත් කරන්නේ නම් දෙවැනි පුද්ගලයා සිදු කරන්නේ එම තර්කයට ප්‍රති තර්ක ඉදිරිපත් කිරීම නොව පළවන පුද්ගලයාගේ තර්කය විකෘති කර පළවන පුද්ගලයා වෙනත් මානයන් කරා රැගෙන යෑමය. නැතිනම් පලවන පුද්ගලයාට පහර දීම සඳහා පිදුරු මිනිසෙකු නිර්මාණය කර දීමය.

ඉදිං මුළින් තර්කය ඉදිරිපත් කල පුද්ගලයා මේ නිර්මාණය කර දෙන පිදුරු මිනිසාට පහර දීමට යෑම මගින් දෙවැනි පුද්ගලයාගේ ගැටයට හසුවන අතර එවිට සිදුවන්නේ ප්‍රථමයෙන් ඉදිරිපත් කළ තර්කය යටපත් වී යෑමය. සමාජයේ සංවාදවලදී අනෙකා හට මෙම පිදුරු මිනිසුන් නිර්මාණය කර දීම සමහරුන් දැනගෙන සිදු කරනවා විය හැකිය. නැතිනම් නොදැනුවත්වම ඔවුන් අතින් සිදුවනවා විය හැකිය.
ඉදිං මේකට පිදුරු මිනිසා කියන්නේ ඇයි
සිතන්න කවුරු හෝ කුඹුරක තැනින් තැන වැටී ඇති පිදුරු ගොඩවල් කිහිපයක් එකතු කර කිසිදු සවි ශක්තියක් නැති පඹයෙක් නැතිනම් මිනිසෙක් සාදා ඔබට පහර දෙන්න යැයි කිවහොත් ? සැබවින්ම පිදුරු පඹයින්‍ට පහරදීමෙන් ඔබට වැඩක් තිබේ ද? එයින් නාස්ති වන්නේ ඔබගේ ශක්තිය නොවේද? එයින් විනෝද වන්නේ පිදුරු මිනිසා සාදා ඔබට පහර දෙන්න යැයි ආරාධනා කළ පුද්ගලයා නොවේ ද?

straw man fallacy වල සිදුවන්නේ ද මෙවැනි ක්‍රියාදාමයකි. ඔබ සංවාදයක යෙදී සිටින විට ඔබගේ කතාවෙන් වචන කිහිපයක් තැනින් තැනින් අහුලා අනෙක් පාර්ශවයන් ඔබට පඹයෙක් නිර්මාණය කොට දී එයට පහර දෙන්න යැයි ආරාධනා කිරයි. එහිදී බොහෝ විට ඔබ එම පඹයාට පහර දීමට යෑමෙන් සිදුවන්නේ ඔබගේ සංවාද ශක්තිය හීන වී යෑමය.
ආරම්භයේ දක්වන ලද සංවාදයක් ගෙන බලමු.
x මෙසේ කියයි. " කාබනික පොහොර පමණක් 100 % ක් භාවිත කරමින් කෘෂිකර්මාන්තය සිදු කරන කිසිම රටක් මේ ලෝකේ කොහෙවත් ඇත්තේ නෑ ".
එයට y කියන්නේ " ඔබ කියන්නේ අපේ රටේ ජනතාව වස කවන්න ඕන කියලද, ඔබ ජනතාව වස කනවට කැමති කියල ද කියන්නේ? ඔබට රසායනික පොහොර සමාගම් වලින් කීයක් දුන්න ද මේ ටික කියන්න. ඇත්තටම ඔබලා වගේ මිනිසු එක්ක මේ රට දියුණු කරන්න පුලුවන්ද ? ".
x කිසිම විටෙක රටේ ජනතාවට වස කවන්න ඕන යැයි හෝ කාබනික කෘෂිකර්මාන්තය අයහපත් දෙයක් යැයි හෝ කියන්නේ නැත. x ගේ තර්කය වන්නේ නැතිනම් අදහස වන්නේ 100% ක් කාබනික කෘෂිකර්මාන්තය ඇති රටක් ලෝකයේ නැත යන වගය.
එයට විරුද්ධව y සිදුකරන්නේ පිදුරු ගොඩවල් කිහිපයක් එකතුකර ගැනීමය. ජනතාවට වස කැවීම, වස කැවීමට කැමති ද? රසායනික පොහොර සමාගම්වලින් පගාව ගත්තාද? වැනි පිදුරු ගොඩවල් කිහිපයක් එකතු කර ඔහු පිදුරු මිනිසෙකු නිර්මාණය කරයි. එසේ නිර්මාණය කර x පැමිණ පිදුරු මිනිසාට පහරදෙන තුරු බලා සිටී. නැතිනම් පහරදීමට ආරාධනා කරයි.
පිදුරු මිනිසා ඉන්නේ y ගේ පිටිය තුළය. x තම මූලික තර්කයෙන් බැහැරව පිදුරු මිනිසාට පහර දීමට යන්නේ නම් ඔහුට සිදුවන්නේ වෙනත් පිටියකට යෑමටය. එවිට x හට කිසි සේත්ම ජයග්‍රහණය කළ නොහැක. සිතන්න x මෙසේ කියයි.

මට පොහොර සමාගම්වලින් කීයක්වත් දුන්නේ නෑ. ඔබ තුමාට ඔප්පු කරන්න පුලුවන්ද ඒක. ඔබතුමා ගැනත් අපි දන්නවා. ඔබ තුමාට තමයි අහවල් අහවල් තැනින් පහාව අරගෙන චෝදනා තියෙන්නේ. ඔබතුමා එනව ද මට කියන්න. වැනි දේ පවසා x විසින් y සාදා දුන් පිදුරු මිනිසාට පහර දීමට ගියහොත් සිදුවන්නේ කුමක් ද? කාබනික කෘෂිකර්මාන්තය 100% ක් සිදු කරන රටක් මේ ලෝකයේ කොහේවත් නෑ යන x ගේ මූලික තර්කය යටපත් වී යෑමය.
මෙහිදී straw man fallacy ය භාවිත කරන පුද්ගලයා කිසිම විටෙක වෙහෙසට පත් වන්නේ නැත. එනම් y වෙහෙස වන්නේ නැත. වෙහෙසට පත් වීමට සිදුවන්නේ x හටය. අපි සිතමු පිදුරු මිනිසගෙ ඔලුව තමයි ජනතාවට වස කවනවට කැමතිදැයි y විසින් නගපු ප්‍රශ්නය. අත් දෙක තමයි රසායනික පොහොර සමාගම්වලින් පගාව ගත්තාද යනුවෙන් නගපු ප්‍රශ්නය. ඉදිං x නෑ නෑ එහෙම නෙවෙයි යනුවෙන් පවසා පිදුරු පඹයගේ ඔලුව හද හද ඉන්න විට සමහරවිට පඹයගෙ අත් දෙක කඩාගෙන වැටේ. ඔහු ආය අත් දෙක සාදමින් සිටින විට නැවත ඔලුව කඩා වැටේ.
එම නිසා සංවාදයකදී straw man fallacy යන උගුලට හසු වුවහොත් ඉන් කිසිදු ගැලවීමක් නැති බවනම් පැහැදිලි වන අතර සංවාදය ද ගලාගෙන යනුයේ වෙනත් වෙනත් පැතිකඩයන් දෙසටය. විශේෂයෙන් මෙහිදී කිව හැක්කේ ශ්‍රී ලංකාවේ පර්ලිමේන්තුව තුළ ඇතිවන නොයෙකුත් සංවාදයන් කිසිදු වැඩකට නැති සංවාදයන් වී ඇත්තේ එහි නියෝජිතයින් සියල්ලම පාහේ සංවාද වලදී මෙම straw man fallacy භාවිත කිරීම නිසාවෙනි යන්න මාගේ පුද්ගලික හැඟීමය. කෙසේ නමුත් අපි ප්‍රබුද්ධ සංවාදයන් යැයි බොහෝවිට පවසන්නේ දැන හෝ නොදැන පිදුරු මිනිසුන් භාවිත නොවන සංවාද වලට වන බව ද සිහිපත් කළ යුතුය.
straw man fallacy පිළිබඳ කතාව තවදු ඉවර නැත. ඉදිරියට යමු
straw man fallacy හී ප්‍රධාන කොටස් තුනකි.
එහි පළමුවැන්න වන්නේ සංකල්ප විකෘති කිරීමය. දෙවැන්න විකල්පය විකෘති කිරීමය. තෙවැන්න නම් පුද්ගලයා විකෘති කිරීමයි. එනම් කිසියම් පුද්ගලයකු සංවාදයකදී straw man fallacy භාවිත කරන්නේ නම් එක්කෝ ඔහු පළමු පුද්ගලයාගේ සංකල්පය විකෘති කරයි. නැතිනම් ඔහු ඉදිරිපත් කරන විකල්පය විකෘති කරයි. එසේත් නැතිනම් එම පුද්ගලයාගේ චරිතය, හැසිරීම ආදිය විකෘති කරයි.

සංකල්පය විකෘති කිරීමේදී පළවන පුද්ගලයාගේ ප්‍රකාශය පුම්බා දැක්වීම සිදුකරයි. අප දිගින් දිගටම ගත් උදාහරණය ගන්නේ නම් වස කවනවට කැමති ද? ඔබ කියන්නේ වස කවන්න ඕන කියල ද? රසායනික පොහොර සමාගම් වලින් කීයක් දුන්න ද? ආදිය පවසමින් පළවන පුද්ගලයාගේ සංකල්පය වඩාත් පිම්බීමකට ලක් කරයි. ඉදිං සිදුවන්නේ කාබනික කෘෂිකර්මාන්තය සිදුකරන ලෝකයේ රටවල් ගැන කතා කිරීම නොව රසායනික පොහොර සමාගම්වලින් පගාව ගත්තා ද? නැද්ද යන්න සම්බන්ධයෙන් මහා වාදයක් ඇති වීමය.
සංකල්පය ඕනෑවට වඩා පිම්බීම තුළින් මෙන්ම ඕනෑවට වඩා සරල කිරීම තුළින් ද එම සංකල්පය විකෘති කළ හැකිය. උදාහරණ ලෙස පවන්නේ නම් මේ දක්වා ගත් උදාහරණයට අනුව y මෙසේ කියයි. ආ ඔබ කියන්නේ 100 % කාබනික කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක වන රටක් ලෝකේ නෑ. ඒ නිසා අපිටත් මේක කරන්න බෑ. ඔබට ඔබේ රට ගැන විශ්වාස නෑ නේද? යනුවෙන් y විසින් x ගේ සංකල්පය අතිශය සරල කරයි. එවිට x නෑ මට මගේ රට විශ්වාසයි. මං අංක එකේ සිංහල බෞද්ධයෙක්. මගේ පවුල මෙහෙමයි. මං අධ්‍යාපනය හැදෑරුවේ මේ පාසලේ ආදී වශයෙන් ප්‍රාකශ කිරීමට ගියහොත් මූලික තර්කය විකෘති වේ.
විකල්ප විකෘති කිරීම උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නේ නම් x මෙසේ කියයි. " මේ රටේ පවතින සෞඛ්‍ය ගැටළුව සඳහා ජනතාවගේ බදු මුදලින් වැඩි කොටසක් වෙන් කල ද කිසිදු ගැටළුවක් නැත. එවිට straw man fallacy භාවිත කරමින් y කියන්නේ එතකොට ඔයා කියන්නේ මිනිසුන්ගේ බදු මුදල් සෞඛ්‍යයට විතරක් දාන්න කියල ද? තව කොපමණ දේ කරන්න තිබේ ද? මෙහෙම කළොත් මේ රට බංකොලොත් වේවි. ඔයා කියන්නේ එක්කො රට බංකොලොත් කරන්න ඕන. නැත්තං සෞඛ්‍ය දියුණු කරන්න ඕන. එහෙම ද?
ආදී ලෙස x විසින් ඉදිරිපත් කරන ලද විකල්පයට හාත්පසින්ම විකෘති වූ විකල්පයක් y විසින් ගොඩ නගන අතර ප්‍රසිද්ධියේ මෙම සංවාදය සිදුවන්නේ නම් බොහෝ විට හුදී ජනයා ද සිතන්නේ සැබවින්ම සෞඛ්‍යයට බදු මුදලින් වැඩි කොටසක් වෙන් කලහොත් රට බංකොලොත් වේවි යනුවෙනි. එවිට x ගේ විකල්පය කෙතරම් ප්‍රගතිශීලී වූව ද ඔහුට සිදුවන්නේ සභාවක් ඉදිරියේ අපහසුතාවයට පත් වීමටය.

x මෙසේ කියයි. " මේ රටේ දූෂිත දේශපාලුවන් ඉවත් කිරීම සඳහා ජනතාව පෙලගැසිය යුතුය. එම නිසා අපට වහ වහා මැතිවරණයක් අවශ්‍යය. එවිට y කියයි. " මේක මේ දේශපාලඥයින්ගේ වරද නෙවෙයි. මේ මැතිවරණ ක්‍රමයත් වග කියන්න ඕන. අනික මේ රටේ ඡන්ද දායකයෝ. ඔවුන්ට දේශපාලන සාක්ෂරතාව නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ රටේ අධ්‍යාපන ක්‍රමය. ඒක නිසා කරන්න ඕන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන එක. පාසල්වල ප්‍රාථමික පංතිවල ඉදං මේක පටන්ගන්න ඕන. මේ ආකාරයට ද විකල්ප විකෘති කිරීම සිදු වේ. x පවසන්නේ දූෂිත දේශපාලඥයින් එලවා දැමිය යුතු බවය. නමුත් සෑම විටම straw man fallacy භාවිත කරන y එය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම දක්වා එය විකෘති කර ඇත.
පුද්ගලයා විකෘති කිරීමේදී බොහෝ විට යමෙකු මින් බොහෝ කලකට පෙර සඳහන් කළ යමක් straw man fallacy යටතේ භාවිත වේ. බොහෝ කලකට පෙර එම වටපිටාව අනුව පවතින තත්වයට අනුව ප්‍රකාශ කල යමක් රැගෙන විත් මේ මොහොතේ සාකච්ඡා කරණු ලබන සංකල්පයට එය සම්බන්ධ කිරීමට උත්සාහ දැරීම මෙහිදී සිදු වේ. එවිට ඔහුට මින් පෙර එසේ ප්‍රකාශ නොකලේ යැයි කිව නොහැක. එමෙන්ම පෙර පැවති සන්දර්භය ඒ මොහොතේ සභාවේ සිටින පිරිස ද නොදැන සිටිය හැකිය.

පුද්ගල විකෘතියේ දෙවැනි ආකාරය නම් ඔයත් එහෙම ද? යනුවෙන් කීමට උත්සාහ කිරීමයි. උදාහරණ ලෙස x නම් පුද්ගලයා මෙසේ කියයි. අපි අපගේ වටිනා සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරගත යුතුය. එයට y පවසන්නේ ඔයා මේ මොනවද කියන්නේ. ඔයත් ටයි කෝට් පැළඳගෙන සපත්තු දාගෙන බටහිර සංස්කෘතියට අනුව ඉන්න කෙනෙක්නේ. ඔයත් අපගේ සංස්කෘතිය විනාශ කරන කෙනෙක් නේද? යනුවෙනි. මේ ආකාරයට ද පිදුරු මිනිසුන් විසින් පුද්ගල විකෘතිය සඳහා උත්සාහ කරයි.
එමෙන්ම සමහරවිට straw man fallacy තුළ ප්‍රතිවාදියෙකුගේ වචන, සන්දර්භයෙන් පිටතට ගැනීම සිදු කරයි. එනම් ප්‍රතිවාදියාගේ අභිප්‍රාය වැරදි ලෙස නිරූපණය කරන වචන තෝරා ගනී. ප්‍රතිවාදියාගේ මුල් තර්කයේ කුඩා නමුත් වැදගත් තොරතුරු වෙනස් කිරීමට උත්සාහ දරයි. ඒ අනුව පිදුරු මිනිසුන් සෑම විටම සංවාද කරන්නේ ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් එහිම විකෘති වූ ආන්තික අනුවාදයක් ලෙස ඉදිරිපත් කිරීමෙනි.
ඉදිං ඔබට මට එදිනෙදා සංවාද තුළ මේ ආකාරයේ පිදුරු මිනිසුන් ඕනෑ තරම් මුණ ගැසී ඇත. මුණ ගැසෙන්නට පුළුවන. පිදුරු මිනිසුන් ඔවුන්ගේ පිටියට පැමිණ පිදුරු මිනිසුන්ට පහර දීමට ආරාධනා කරණු ඇත. එමෙන්ම ඔබට මට යහපත් රටක් සමාජයක් බිහි කිරීම සඳහා ප්‍රගතිශීලී අදහස් තිබෙන්නට පුළුවන, ඒවා සමාජගත කිරීමට උත්සාහයක් තිබෙන්නට පුළුවන. එම නිසා
පිදුරු මිනිසුන්ගෙන් බේරී සිටින්නේ කෙලෙස ද?
The straw man fallacy සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති මූලාශ්‍රයන්හී විද්වතුන් පොදුවේ කියන්නේ සංවාද වලදී දැන හෝ නොදැන straw man fallacy භාවිත වන බව ඕනෑම අයකු පුද්ගලිකව දැන සිටිය යුතු බවය. මේ භාවිත වන්නේ straw man fallacy බව දැන සිටිය යුතුය. මෙසේ දැන සිටින්නේ නම් පිදුරු මිනිසුන්ට පහර දීමට යෑමෙන් වැලකී සිටිය හැක. එමෙන්ම සංවාදවලදී straw man fallacy භාවිත වන්නේ නම්, මේ එය බව සභාවට හෝ අනෙකා හට පෙන්වා දිය හැකිය. පැහැදිලි කරදිය හැකිය. තමන්ගේ මුල් අදහසෙහි පිහිටා විද්වත් ලෙස සාකච්ඡා, සංවාද කළ හැකිය.

විද්වතුන් තව දුරටත් දක්වන්නේ ඔබ පැහැදිලි වන තරමට, ඔබ සංසුන් වන තරමට ඔබට පිදුරු මිනිසුන්ගෙන් බේරී සිටිය හැකි බවය.
සිතන්න
ලිපිය පුරාවටම බොහෝ ස්ථානවලදී උදාහාරණයට ගත් මෙම සංවාදය
x මෙසේ කියයි. " කාබනික පොහොර පමණක් 100 % ක් භාවිත කරමින් කෘෂිකර්මාන්තය සිදු කරන කිසිම රටක් මේ ලෝකේ කොහෙවත් ඇත්තේ නෑ ".
එයට y කියන්නේ " ඔබ කියන්නේ අපේ රටේ ජනතාවට වස කවන්න ඕන කියලද, ඔබ ජනතාව වස කනවට කැමති කියල ද කියන්නේ? ඔබට රසායනික පොහොර සමාගම් වලින් කීයක් දුන්න ද මේ ටික කියන්න. ඇත්තටම ඔබලා වගේ මිනිසු එක්ක මේ රට දියුණු කරන්න පුලුවන්ද ?
මෙහ්දී x පැවසූ මූලික තර්කය මත ඉදිරියට ගියේ නම් සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ හට මේ වන තුරුද බලයේ සිටින්නට ඉඩ තිබුණි. රටේ ජනතාවට ආහාර පිට රටින් එනතුරු බලා සිටීමට කිසිදු අවශ්‍යතාවයක් උදා නොවන්නට ද තිබුණි. සිදු වූයේ කුමක් ද? මෙම සංවාදයේ පැටලුණු සියල්ල සිදුකරන ලද්දේ පිදුරු මිනිසුන් නිර්මාණය කිරීමය. ප්‍රගතිශීලී අදහස් දැරූවන් හට ද පිදුරු මිනිසුන්ට පහරදීමට යෑමට සිදු විය. ඉදිං මේ දැවැන්ත සංවාදය අවසානයේ රටේ ජනතාවට ඉතුරු වූයේ පිදුරු පමණි.
එම නිසා පිදුරු මිනිසුන් අතිශය භයානකය. ප්‍රවේශම් වීම නුවණට හුරුය.