" අපි දැං බලන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටත් සිංහල අයටත් සීමා වෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කොම එලතුවෙලා ගොඩ එන්නට ඕන. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙවෙයි. තවත් ප්‍රශ්න තියනවා සාකච්ඡා කරන්න ".

ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි මස 15 වන දා ජාතික තෛපොංගල් උත්සවයට සහභාගී වෙමින් උතුරේදී දැක් වූ අදහස් කිහිපයකි. කෙසේ නමුත් මෙම ප්‍රකාශයත් සමඟ වසර ගණනාවක් තිස්සේ විසඳා ගැනීමට නොහැකි වූ ඉබතෝකෝටික ප්‍රශ්නයක් සේ මෙන්ම වසර ගණනක් තිස්සේ සුව නොවන තුවාලයක් බඳු වූ 13 නමැති මාතෘකාව නැවත වරක් කරලියට පැමිණෙන්නට වූ අතර ඒ පිළිබඳව දැනුදු සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ, ප්‍රධාන මාධ්‍යයේ, දේශපාලන වේදිකාවේ සහ පාර්ලිමේන්තුවේ දැවැන්ත කතිකාවක් නිර්මාණය වී ඇත.
මෙම සන්දර්භය තුළ මතුවන ප්‍රධාන අදහස් ලෙස හඳුනාගත හැක්කේ 13 මඟින් උතුරේ මෙන්ම දකුණේ දේශපාලඥයින් ද දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව සහ මැතිවරණයක් ආසන්නේ 13 කරළියට රැගෙන එන්නේම මෙම දේශපාලන වාසිය ලබා ගැනීමට වන බවය. එදා සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ කතාන්දරය තුළ ජෝන් කොතලාවල සිදුකළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයා ද 13 නම් මාතෘකාවෙන් ගැලවීමට මංත්‍රීවරුන් හට අවස්ථාවක් ලබා දී නැත. එම නිසා 13 මඟින් සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් දැඩි අර්බුද්ධයකට ද ලක් වී ඇති අතර මන් ද ඔවුන් ඒ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කළ යුතු බැවිනි.
සැබවින්ම 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තුළ පළාත් සභාවලට පොළිස් බලතල සහ ඉඩම් බලතල ලබා දීම පිළිබඳව ය දැනට කතිකාවත පවතින්නේ. 13 සම්බන්ධයෙන් පවතින වත්මන් සන්දර්භය මෙයයි.
කෙසේ නමුත් 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා මහතා සමග එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සංවාදයකින් අනතුරුව ක්‍රිෂ්ණා මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය 13+ දේශපාලන විසඳුමක් ලබා දෙන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමන් හට පොරොන්දු වූ බවය. විශේෂයෙන් එම ප්‍රකාශයෙන් පසුව 13+ පිළිබඳව කතිකාවත ඇරඹුණු නමුත් මේ වන විට ද 13+ ක්‍රියාත්මක කර නැත. එනම් පළාත් සභාවලට පොලිස් බලතල සහ ඉඩම් බලතල ලබා දී නැත.
13 සම්බන්ධයෙන් සමහර දේශපාලන විචාරකයින් කියා සිටින්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභාවලට අසීමිත බලතල ලබා දී ඇති බැවින් 13 + ක්‍රියාත්මක නොවුණ ද පළාත් සභාවලට ද යම් බලතල ප්‍රමාණයක් හිමි වී ඇති බවය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ 9 වැනි උප ලේඛණයේ දැක්වෙන අන්දමට පළාත් සභාවලට පැවරෙන විෂය 37 අතරට නොවැටෙන බලයක් නැති තරම් යන බව ද ඔවුන්ගේ අදහසයි.
එපමණක් නොව දේශපාලන විචාරකයින් තව දුරටත් අදහස් දක්වමින් යම් යම් අවස්ථාවලදී කියා සිටියේ එවකට ඉන්දීය විදේශ ඇමැතිවරයා හට 13 ට එයා ගිය විසඳුමක් ලබාදෙන බවට එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පොරොන්දු වූව ද 13 ට එහා යන්නෙන් අදහස් කලේ සැබවින්ම කුමක් ද යන්න බව නිශ්චිතව ප්‍රකාශ නොවූ බවත් සහ ක්‍රම ක්‍රමයෙන් දේශපාලන පාර්ශව, විශේෂයෙන් ද්‍රවිඩ දේශපාලන පක්ෂ කාලයත් සමග 13 ට එහා යෑම පොළිස් බලතල සහ ඉඩම් බලතල යන්න බවට අර්තකතනකොට එය ස්තීර කරගත් බවය.
ඔය අතර එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල එවක මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සෙනෙට් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව වන අතර එම නිසා 13 ට එහා ගිය යන එවකට ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සැබවින්ම නිශ්චිත නොවූ වූ බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. ඒ කරුණු කෙසේ වෙතත් මේ වනවිට 13 ට එහා යෑම පොළිස් බලතල සහ ඉඩම් බලතල ලබා දීම බවනම් නිශ්චිතය.
13+ සම්බන්ධයෙන් සමාජයේ මෙතරම් දැවැන්ත කතිකාවතක් පැවතුණ ද 13+ ක්‍රියාත්මක කිරීම සැබවින්ම පහසු කටයුත්තක් ලෙස මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පිරික්සා බැලීමේදී පෙනී යයි. ඒ සඳහා ජනමත විචාරණයක්, ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් වැනි කිසිවක් අවශ්‍ය නොවේ. සිදු කිරීමට ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් එම බලතල පළාත් සභාවලට මුදා හැරීම පමණි.
කෙසේ නමුත් මෙම ලිපියේ ප්‍රධාන අරමුණට පිවිසෙන්නේ මින් පසුවය. එනම් 13 නමැති මේ ඉබතෝකෝටික ගැටළුව නිර්මාණය වූයේ කෙසේ ද? නැතිනම් එය අපට සාදා දුන්නේ කව් ද?, එය හැදුනෙ කෙලෙස ද? එසේත් නැතිනම් මෙහි ඉතිහාස කතාව කුමක් ද? යන්න සවිස්තරව සොයා බැලීමය. ඉහත දක්වන ලද්දේ 13 සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් පමණක් වන අතර එය අද පවතින තැනට ආවේ කෙසේදැයි යන්න සොයා බැලිය යුතුමය. මන් ද ලී ක්වාන් යූ පවසන ආකාරයට
" ඔබ ඉතිහාසය නොදන්නේ නම්, ඔබ කෙටි කාලීනව සිතන්නේය. ඔබ ඉතිහාසය දන්නේ නම් ඔබ සිතන්නේ දිගු කාලීනවය " ඉදිං ඔබට දිගු කාලීනව සිතීමට මෙය වැදගත් වේවි.

සැබවින්ම 13 ට මුල් වූ සිද්ධි මාලව ඇරඹෙන්නේ අදින් වසර 40 කට පමණ පෙර සිටය. එනම් වර්ෂ 1983 සිටය. 1977 දී තමන්ම සාදාගත් ව්‍යවස්ථාවක් මගින් අති විශාල බලයක් සමඟින් ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන 1983 වන විට තම ජනප්‍රියත්වය කෙලෙසාගෙන සිට ඇති අතර ඒ සඳහා ඔහු අනුගමනය කළ දැඩි මර්දනකාරී ප්‍රතිපත්ති, ජීවන වියදම අධික ලෙස ඉහළ යෑම, දූෂිත මැතිවරණ පැවැත්වීම මඟින් බලය රැක ගැනීමට කටයුතු කිරීම ආදී හේතු සාධක රාශියක් බලපෑ බව ඉතිහාසය කියයි.
1982 වර්ෂයේ ඉතාමත් දූෂිත ජානාධිපතිවරණයකින් ( විද්වතුන් පවසන ආකාරයට ) ජේ. ආර්. ජයවර්ධන නැවත වතාවක් ජනාධිපතිවරයා ලෙස කිරුළු දැරීමට සමත් වූව ද එම මැතිවරණයෙන් තම පක්ෂයට ඇති ජනතා ප්‍රසාදය ඉතාම අවම බව දැනගත් ජේ. ආර්. ජයවර්ධන 1983 දී පැවැත්වෙන මහමැතිවරණය නිසැක ලෙසම පරාජයට පත්වන බව ද දැනගන්නට විය. එම නිසා ජේ. ආර්. සිදුකරණුයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවති දූෂිතම මැතිවරණය වන ලාම්පු කළගෙඩි සෙල්ලම පැවැත්වීමය.

1982 දී පැවති ලාම්පු කළගෙඩි සෙල්ලම නැතිනම් ජනමත විචාරණයෙන් පසුව එය ඉතාමත් දූෂිත යැයි සහ එහි ප්‍රතිඵල පිළි ගැනීමට නොහැකි යැයි පවසා එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අධිකරණයට යන්නේ මේ අතරතුරදීය. එහිදී මෙම නඩුවේදී ආණ්ඩුව නිසැක වශයෙන්ම පරාජය වන බව ආණ්ඩුවේ නීතිවේදීන්ගේ මතය වූ අතර මෙම තත්වය තුළදී 1983 කළු ජූලිය ඇතිවන්නේ හෝ දේශපාලන විචාරකයින් පවසන ආකාරයට ඇතිකරවන ලද්දේ ආණ්ඩුවේම වාසියටය.
කළු ජූලිය පිළිබඳව කෙටි සඳහනක් කරන්නේ නම් එවකට උතුරේදී ඝාතනය වූ හමුදා සෙබළුන් 13 දෙනෙකුගේ මළ සිරුරු කොළඹට ගෙනැවිත් භූමදානය කිරීමට සූදානම් වන අවස්ථාවේදී ඇති වූ කෝලහාලයක් වන බව මෙය ඉතා සරලව හඳුනාගත හැකිය. කෙසේ නමුත් සාම්ප්‍රදායික හමුදා සෙබළ භූමදාන කටයුතුවලින් බැහැරව මොවුන්ගේ සිරුරු බොරැල්ල කනත්තට රැගෙන ආවේ ඇයි යනුවෙන් ගැටළුවක් මතු වූ බව ද ඉතිහාසය කියයි.
මේ සම්බන්ධයෙන් ධර්ම ශ්‍රී කාරියවසම් වැනි ප්‍රාමාණික දැනුමක් ඇති දේශපාලන විචාරකයින් පවසන්නේ මෙය ජේ. ආර්. ජයවර්ධනගේ උප්පරවැට්ටියක් වූ බවය. මන්ද ඔහුට මේ හරහා ජනමත විචාරණය සම්බන්ධ නඩුව මග හැරීමට අවස්ථාව උදාවනවා මෙන්ම අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ ද දේශපාලන වේදිකාවෙන් ඉවත් කර ගැනීමට මගක් සාදාගත හැකිව තිබුණි.
හමුදා සිරුරු 13 බොරැල්ල කනත්තට රැගෙන ආ පසු ඉතා කුඩා සිද්ධියකින් විශාල කෝලහාලයක් ආරම්භ වන අතර එය බොරැල්ල කනත්තෙන් ඔබ්බට බොරැල්ලේ සහ පිටකොටුවේ දෙමළ වෙළඳසැල් ගිණි තබන තත්වයක් දක්වා වර්ධනය වී ඇත. දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම සියළු කෝලහාල පසුපස සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මැරයන් වන බවය. දින කීපයකින් මෙම කෝලහාලය රට පුරා ව්‍යාප්ත වන අතර අවසානයේ සිදුවන්නේ මහා විනාශයකි. නමුත් ඉතිහාසය කියන්නේ ජේ. ආර්. මෙම සිදුවීම් සිදුවන අතරතුරදී ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවය.

දෙමළ ජාතිකයන්ගේ වෙළඳසැල් ගිණි තබන විට, ඔවුන්ට පහර දෙන විට ද්‍රවිඩ කාන්තාවන් දූෂණය කරන විට ආදී ද්‍රවිඩ ජනතාව තලා පෙලා දමන විට පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ද ඉතිහාසය කියයි. මේ අතරවාරයේ ජාතිවාදී කෝලහාල ඇති කලේ යැයි යන චෝදනාව මත ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව දේශපාලන පක්ෂ තුනක් තහනම් කරන අතර ඒවා නම් කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් සති දෙකක් වැනි කාලයකින් පසුව කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සමසමාජ පක්ෂයේ තහනම ඉවත් කිරීමට ජයවර්ධනගේ ආණ්ඩුව කටයුතු කළ ද ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් වන්නේ නැත.
කොහොම නමුත් 83 කළු ජූලිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉතාමත් පීඩාවට පත්වන අතර සැබවින්ම 13 ට පාර කැපෙන්නේ මෙම පසුබිම තුළය. ඒ ඉන්දියාව මෙයට සම්බන්ධ වීමත් සමගය. විශේෂයෙන් තමිල්නාඩු ප්‍රාන්තයෙන් එවකට ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි හට විශාල බලපෑමක් කරමින් කියා සිටින්නේ වහාම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව තලා පෙලා දැමීම සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවය.

මේ අනුව ඉන්දිරා ගාන්ධි සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ එවකට තැනින් තැන ආරම්භ වෙමින් තිබූ ද්‍රවිඩ සන්නද්ධ කල්ලිවලට අවශ්‍ය පුහුණුව ඉන්දියාව තුළ ලබා දීමට කටයුතු කිරීම වන අතර කෙසේ නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ සැබවින්ම ඉන්දිරා ගාන්ධිට අවශ්‍ය වූයේ මෙම ද්‍රවිඩ සන්නද්ධ කල්ලි භාවිත කර ජනාධිපති ජයවර්ධන මට්ටු කිරීමට වන බවය. එයට බලපෑ හෙතු දෙකකි. එකක් නම් ඒ වනවිට ජේ. ආර්. ජයවර්ධන ඉන්දියාව පසෙකලා ඇමෙරිකාව සමග සමීප වීම සහ ඉන්දිරා ගාන්ධිගේ සමීප මිතුරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජේ. ආර්. කටයුතු කර තිබීමය.
එම නිසා ඉන්දිරා ගාන්ධි ජේ. ආර් ව මට්ටු කිරීම සඳහා පියවරක් අනුගමනය කරන අතර සැබවින්ම ශ්‍රී ලංකාව කණපිට ගැසෙන්නට වූයේ මෙම පියවර නිසාය. එතෙක් තැනින් තැන මතුවෙමින් තිබූ දෙමළ බෙදුම්වාදී කල්ලි හට ශක්තිමත් පදනමක් ලැබෙන්නේ ඉන්දිරා ගාන්ධි ජේ. ආර්. මට්ටු කිරීමට යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් වන අතර නමුත් අවසානයේ සිදු වූයේ මුළු රටකට මට්‍ටු වීමටය.
මෙම පසුබිම තුළ ජයවර්ධන ජනාධිපතිවරයා දැඩි අසීරුතාවයකට පත්ව සිටින විට 1984 වර්ෂයේදී ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්වීමෙන් අනතුරුව බලයට පැමිණෙන්නේ ඇයගේ පුත්‍රයා වූ රජිව් ගාන්ධිය. මවගේ වියෝවෙන් පසුව ලැබුණු අනුකම්පා ඡන්දත් සමග විශාල ජන ප්‍රසාදයකින් රජිව් ගාන්ධි බලයට පැමිණිය ද ඉතිහාසය කියන්නේ ඔහු ක්‍රම ක්‍රමයෙන් තිබූ ඒ ජන ප්‍රසාදය අහිමිකරගත් බවය.

ඒ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන්නේ LTTE සංවිධානය අනෙකුත් සියලුම සන්නද්ධ කල්ලි අභිබවා පෙරට එමින් යාපනය අර්ධද්වීපය තුළ සම්පූර්ණයෙන්ම සිය ආදිපත්‍ය පැතිරවීම වන අතර මේ අතර රජිව් ගාන්ධිගේ නැතිවී යන සිය ජනප්‍රියත්වය නැවත ලබ ගැනීම සඳහා ඔහු භාවිතයට ගන්නේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබූ ප්‍රශ්නයයි. ඒ අනුව රජිව් ගාන්ධි සිදුකරන්නේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සහ රජය සමග සාකච්ඡාවක් ඇති කිරීමට මැදිහත් වීමය. එම සාකච්ඡා හැඳින්වූයේ " තිම්පු " සාකච්ඡා යන නමින් බව ඔබ කොතැන හෝ අසා ඇතැයි සිතමි.
1985 වර්ෂයේ භූතානයේ තිම්පු නුවර එම සාකච්ඡා ඇරඹුණු බැවින් තිම්පු සාකච්ඡා යන නම ලැබුණු අතර ඉදිං ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් සභා වැනි ක්‍රමයකින් ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කළ යුතු බවට යෝජනාවක් පලවන්නේ මෙම සාකච්ඡා තුළදීය. 85 ජූලි, අගෝස්තු සහ දෙසැම්බර් යන මාසවල මෙම සාකච්ඡා අදියර තුනක් යටතේ පැවැත්වුණු බව ද මූලාශ්‍රවල සඳහන් වේ.
භූතානයේ තිම්පු නුවර සාකච්ඡා පැවැත්වෙන විට ශ්‍රී ලංකාව තුළ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ද දියත්වන අතර මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නමින් නව ව්‍යාපාරයක් ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන් ය. අචාර්ය විලේගොඩ අරියදේව ස්වාමීන්වහන්සේ, මාදුලුවාවේ සෝපිත ස්වාමීන්වහන්සේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ දිනේෂ් ගුණවර්ධන, ප්‍රනාන්දුපුල්ලේ තංග රාජා වැනි අය එහි සාමාජිකත්වය දැරූ බව ද මූලාශ්‍ර කියයි.
1985 දෙසැම්බර් මස 19 වන දා තිම්පු සාකච්ඡා තුළදී ඇති වූ යෝජනා සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණෙන අතර එම යෝජනා හැඳින්වූයේ "දෙසැම්බර් 19 යෝජනා " වශයෙන් ය. මේ තත්වය තුළදී 1986 මැයි මස 01 වන දා " දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද? " යනුවෙන් ග්‍රන්ථයක් නිකුත්වන අතර එහි රචකයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරය. ප්‍රථම වතාවට කුමන හෝ බෙදුම්වාදය තුළින් රටකට යහපත් නොවන බවට මුල් වරට ස්ථිර ලෙසම ප්‍රකාශ වූයේ මෙම ග්‍රන්ථය තුළින් බව ද විද්වතුන්ගේ අදහසයි.

උතුරේ මෙන්ම දකුණේ ද ජයවර්ධනගේ පාලනයට විරුද්ධව අරගල සිදුවන අතර විශේෂයෙන් එහි කැපී පෙනෙන කටයුත්තක් සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණය. මෙම තත්වය තුළ 1987 මැයි දින රැළිය පැවැත්වුවහොත් ගැටළුවක් ඇතිවේ යැයි සිතූ ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරණුයේ මැයි දින රැළි තහනම් කිරීමය.
ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මැයි දිනයක් තහනම් වන්නේ මේ අයුරිනි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මව්බිම සුරැකීමේ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී මැයි දින රැළියක් පැවැත් වූ බව ද ඉතිහාසය කියන අතර කෙසේ නමුත් මැයි දිනයට සහභාගී වී පිටතට පැමිණෙන ජනතාවට පොලිසිය පහර දුන් බවත් එම පහරදීම් තුළදී පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත් වූ බව ද මුලාශ්‍රවල දැක් වේ.

මෙ සිද්ධිය නිසා නැවත නැවතත් ජයවර්ධනගේ ආණ්ඩුවට විරුද්ධව මහජන විරෝධය තිවෘ වන අතර අනෙක් අතට උතුරු පළාත සම්පූර්ණයෙන්ම LTTE සංවිධානයේ ග්‍රහණයට නතුවන්නට විය. එම නිසා ආණ්ඩුව සිදු කරන්නේ යාපනය මුදා ගැනීමේ සටනක් ආරම්භ කිරීමය. එය වඩමාරච්චි මෙහෙයුම ( oparation libaration ) වශයෙන් නම් වූ අතර 1987 මැයි මස 26 වන දා එය ආරම්භ වන්නේ ජෙනරාල් සිරිල් රණතුංග, බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් විජය විමලරත්න, මේජර් සරත් ෆොන්සේකා වැනි අයගේ නායකත්වයෙන් සෙබළු 80000 කගේ සහභාගිත්වයෙනි.

ආරක්ෂක හමුදාව ක්‍රම ක්‍රමයෙන් උතුරු පලාත මුදා ගනිමින් සිටින අතරතුරදී ඒ වන විට ඉන්දියාවේ තමිල්ලාඩු ප්‍රාන්තයෙන් වහාම ශ්‍රී ලංකාවේ තත්වයට මැදිහත් විය යුතුයි යනුවෙන් දැඩි අදහසක් පැනනැගෙන්නට වී ඇත. ඒ වන විට ජනතා ප්‍රසාදය අහිමිකරගෙන සිටි රජිව් ගාන්ධි හට ද මෙය ඉතා හොඳ අවස්ථාවක් වූ බැවින් ඔහු සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ පැවති එම තත්වයට මැදිහත් වෙමින් වහාම මෙහෙයුම නවතා දමන්න යැයි ජේ. ආර්. ජයවර්ධනට දැනුම් දීමය.

එහෙත් ආරක්ෂක හමුදාව සහ ඒ වන විට ආරක්ෂක ඇමති වූ ලලිත් ඇතුලත් මුදලි මෙහෙයුම නවතා දැමීමට සූදානම් නොවූ බව විද්වතුන් පවසන අතර ඒ අනුව 1987 ජූනි 01 වන දා මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ වී ඇත. නමුත් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන ඉන්දියාව සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය ටොන් 25 ක් රැගත් නාවික යාත්‍රා පෙළක් ශ්‍රී ලංකාව බලා පිටත් කර හැරීමය. ඒ ජූනි 02 වන දාය. නමුත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව එම යාත්‍රා ආපසු හරවා යවන අතර නමුත් නැවත වතාවක් ඉන්දියාව සිදුකරන්නේ ගුවන් හමුදාව උපයෝගීකොටගනිමින් එම ආහර ද්‍රව්‍ය ගුවනින් බිමට හෙලීමට කටයුතු කිරීමය.

විද්වතුන් පවසන්නේ යම් හෙයකින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ මෙම ක්‍රියාකලාපයට බාධා කිරීමට උත්සාහ කර සිටියේ නම් ශ්‍රී ලංකාවට පහරදීමට මිග් යානා සමූහයක් සූදනම් කර තිබූ බවය. එම නිසා මේ පසුබිම තුළ බලවත් ලෙස අසරණබාවයට පත්වන ජයවර්ධන ජනාධිපතිවරයා වහාම වඩමාරච්චි මෙහෙයුම නවතා දමන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ තත්වය තුළ ජයවර්ධන හට රජිව් ගාන්ධිගේ බලහත්කාරයට යටත්වීමට සිදුවන අතර එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වරයාද රජිව් ගාන්ධිගේ කීමට ජේ. ආර්. ව යටත් කර ගැනීමට කටයුතු සිදුකරමින් සිටි බව ද විද්වතුන් කියයි.

ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන මෙම ගැටළුව සම්බන්ධයෙන් රටවල් දෙක අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට එකඟ විය. ඒ අනුව 1987 ජූලි මස 29 වන දා පස්වරුවේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් කරණු ලැබීය. " එය ඉන්දු ලංකා සාම ගිවිසුම " වශයෙන් නම් විය. කෙසේ නමුත් ගිවිසුම අත්සන් කිරීමට පෙර දිනයේ එයට විරුද්ධව පිටකොටුවේදී ජනතා විමුක්ති පෙරමුණ සහ මව්බිම සුරැකීමේ සංවිධානය දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ බවත් එහිදී පොලිස් වෙඩි පහරින් 20 දෙනෙකු පමණ මියගිය බවත් සහ විරෝධතා ව්‍යාපාර රට පුරා ව්‍යාප්ත වූ බව ද මූලාශ්‍ර කියයි.

කෙසේ නමුත් ගිවිසුමේ එක් වගන්තියක් මගින් උතුරු සහ නැගෙනහිර තාවකාලිකව වසරකට ඒකාබද්ධ කිරීම ද අඩංගුව තිබුණි. ඒ සඳහා වර්ෂය අවසානයේ නැගෙනහිර පළාතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ද තීරණය කර තිබුණි. ගිවිසුම අත්සන් කරන දිනයේ ශ්‍රී ලංකාව පුරා ඇඳිරි නීතිය පනවන අතර නමුත් එය නොතකා දහස් ගණන් පිරිස් ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය පලකල බව ඉතිහාසය කියයි. " ජේ. ආර්. මරමු ! " යන සටන්පාට ලියැවෙන්නේ ද මේ තත්වය තුළය.

ගිවිසුම අත්සන් කළ රජිව් ගාන්ධි පසුවදා ඉන්දියාව බලා පිටත්වීමට පෙර ඔහුට සමුදීම සඳහා ආචාර පෙළපාලියක් පැවැත්වෙන අතර ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැවති මෙම පෙළපාලියේදී නාවික සෙබළ විජයමුණි විජිත රෝහණ ද සිල්වා අතින් රයිෆල් තුවක්කු පහරක් කෑමට ද රජිව් ගාන්ධිට සිදු වූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. එසේම ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කොට පැය කිහිපයකින් ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි බව ද මූලාශ්‍රවල දැක්වේ.


ඉදිං ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති වු මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතිවන්නේ. නැතිනම් 13 නිර්මාණය වන්නේ. මෙම සංශෝධනයේ පැවති කාරණා දෙකක් අද වන තුරුද ක්‍රියාත්මක වී නැති අතර එනම් පළාත් සභාවලට පොලිස් බලතල සහ ඉඩම් බලතල ලබා දීමය. ජේ. ආර්. ජයවර්ධනගේ සිට මේ දක්වා පත් වූ කිසිම ජනාධිපතිවරයකු පළාත් සභාවලට මෙම බලතල ලබා දීමට කටයුතු නොකළ අතර දැං නැවත වරක් කරලියට පැමිණ ඇත්තේ එම කතාවමය. 13 + හෝ 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යනු සැබවින්ම පළාත් සභාවලට මෙම බලතල ලබා දීමය.
ඉදිං 13 නම් උබතෝකෝටිකය හැදුණෙ මෙහෙමයි. නැතිනම් එය අපට හදා දුන්නේ මෙහෙමයි. 13 තුනේ සම්පූර්ණ කතාව මෙයයි.