ලෝකෙ මිනිසුන්ට මොනා නැතත් ඕන කන්න. මිනිසු ඉස්සෙල්ලාම හොයන්නෙ කන්න. බලන්න කොරෝනා ආපු වෙලාවේ මිනිසු ඉස්සෙල්ලාම මොකක්ද කලේ. කන්න හොයපු එක නේ. මං හිතනවා ලෝකෙටම කන්න දෙන්න පුළුවන් රටක් තමයි ලංකාව, ඒක නිසා ලංකාව අපිට කෘෂිකර්මාන්තයෙන් ගොඩදාන්න බැරිද හිතුවොත්
වැලිමඩ, ඌවපරණගම යැයි කියූ විට ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට සාමාන්‍යයෙන් මැවෙන චිත්‍රය වන්නේ කිලෝමීටර් ගණනක් පුරා එක යායට විහිදුණු සාරවත් එළවළු වගාවයි. එයින් ද අල වගාව ප්‍රමුඛ වන අතර ඉහත විශේෂකොට දක්වන ලද පාඨය getpeakonline අප වෙත ප්‍රකාශ කරන ලද්දේ ඌවපරණගම ප්‍රමුඛ ගොවි මහතා වන ඌවපරණගම පල්ලේවෙල ග්‍රාමයේ පදිංචි ආනන්ද බණ්ඩාර මහතාය. මේ ස්ව උත්සාහයෙන් කෘෂි කර්මාන්තයෙන් සිය ජීවිත ඉලක්ක සැපිරූ ආනන්ද බණ්ඩාර මහතාගේ කතාවයි.

කෘෂිකර්මාන්තය පිළිබඳව ඔබට ඇත්තේ කිනම් අදහසක් ද?
ඔව් ඇත්තටම මම ඒක ගැන මුලින්ම කතාකරන්න හිටියේ මොකද ඕනම කෙනෙක්ට ගොඩ යනවනම් මේක තමයි රැකියාව. මොකද කාටවත් යටත් නොවී කරන්න පුලුවන් රැකියාවක් තියනවනම් මම හිතන්නෙ ඒ කෘෂිකර්මාන්තය.
නමුත් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. මිනිහෙක්ට ඕනම දේකට තියෙන්න ඕන ආත්ම ශක්තිය සහ තමන් තමා පිළිබඳව විශ්වාස කිරීම. ඉතිං කෘෂිකර්මාන්තයටනම් මේ කරුණු දෙක තියෙන්නම ඕන.
කෘෂිකර්මාන්තය හරියට විද්‍යාත්මකව කරනවානම් ඒ හරහා තමන්ගෙ ඉලක්කයන් වෙත යන එක අමාරු දෙයක් නෙවෙයි. මුදල් ලැබෙනව වගේම මේ හරහා ලැබෙන ආත්ම තෘප්තිය කිසිවෙකුට කුමන වෘත්තියකින් උනත් ගන්න බෑ කියල මම හිතනවා. මොකද මගේ ඉඩම්වල වැවෙන එලවළු ලංකාවේ මිනිසුන්ගේ බඩගින්න නිවන්න අරගෙන යනකොට මට දැනෙන ඒ සතුට වචනවලට පෙරලගන්න මට තේරෙන්නෙ නෑ. කෘෂිකර්මාන්තයෙන් මට ලැබෙන ලොකුම දේ තමයි ඒ ආත්ම තෘප්තිය.
නමුත් එක ගැටළුවක් තියනවා. ඒ මොකක්ද කියනවානම් කෘෂිකර්මාන්තය නැතිනම් ගොවි මහතෙකු යැයි කියූ විට ලංකාවේ සමාජය සලකන්නේ හරි පහත් විදිහට. අනිත් වෘත්තීන්වලට ලැබෙන සමාජ ගෞරවය ලංකාවේ ගොවි මහතෙකුට ලැබෙන්නෙ නැහැ. ඒක නිසාම මේ හරහා හොඳ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණත් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමුවෙන්නෙ නැහැ. ඒක ලොකු ගැටළුවක්. අපේ පරම්පරාවෙන් පස්සේ මේ කෘෂිකර්මාන්තය ලංකාවෙන් නැත්තටම නැතිවෙලා යයි කියල මට හිතෙනවා. එහෙම උනොත් අපි හැමෝටම බඩගින්නෙ ඉන්න සිද්ධ වෙයි.
ඔබ කෘෂිකර්මාන්තයට පිවිසෙන්නේ කොහොම ද ?
ඒකත් ටිකක් දිග කතාවක්, අපේ පවුලේ හැමෝම වගේ ඉතා හොඳ රජයේ රැකියා කරපු අය. ඉතිං මාත් ඒක නිසාම හොඳ අධ්‍යාපනයක් ලැබුවා. විටෙක මට විශ්වවිද්‍යාලයට පිවිසීම සඳහා ද අවස්ථාව ලැබුණ නමුත් මම ඒ වන විට විවාහ වෙලා හිටියේ. ඒක නිසා විශ්වවිද්‍යාල ගමන මට නතර කරන්න සිද්ධ වුනා. කොහොම උනත් ඒක මගේ වාසනාව කියල මට හිතෙනවා. මොකද සමහරවිට මං විශ්වවිද්‍යාලයේ ගියානම් අද ඉන්න තත්වෙට එන්න මට බැරි වෙයි කියල මට හිතෙනවා.

ඉතිං පවුලෙ හැමෝම හොඳ රජයේ රැකියාවල නිරතවන නිසා මම ටිකක් මානසිකව වැටිල ඉන්නකොට මමයි බිරිඳයි දෙන්නම එකතුවෙලා පොඩියට තිබුණ ඉඩම්වල වවන්න ගත්තා. මොකද අපිට කරන්න ඉතුරුවෙලා තිබ්බේ ඒ දේ විතරයි. කාලයක් යනකොට කිසියම් ස්ථාවර මට්ටමකට අපිට එන්න පුළුවන් උනත් නැවත වතාවක් අපේ අවාසනාවට හේතු ගොඩක් නිස අපිට බිංදුවටම වැටෙන්න සිද්ධ වුණා. කොටින්ම කියනවනම් ජීවත් වීම සඳහා මාගේ නිවස ඇතුළු සියළු වත්කම් මට උකස් කරන්න සිද්ධ වුණා.
නමුත් කරන්න තිබුණ එකම දේ නැවත වතාවක් කෘෂිකර්මාන්තය පමණයි. ළිඳට වැටුණු මිනිහ ළිං කටෙන්ම ගොඩ එන්න ඕනනේ. ඉතිං මමයි බිරිඳයි දෙන්න නැවත වතාවක් මුළ ඉදං පොඩියට වවන්න ගත්‍තා. මං ඕනම දේකට ආත්ම ශක්තියක් තියෙන්න ඕන කියල මුලින් කිව්වෙ ඒකයි. එතනදි විශේෂයෙන් මගේ බිරිඳ මතක් කරන්නම ඕන. ඇය අමාරුම අවස්ථාවල ඒ සියල්ල දරාගෙන මාත් එක්ක හැම තත්පරයේම ශක්තියක් වෙලා හිටියා. අද මම යම් තැනක ඉන්නවනම් ඒ ගෞරවය ඇයටත් යන්න ඕන. මොකද විශේෂයෙන් කෘෂිකර්මාන්තය කියන්නේ පහත් රැකියාවක් කියලා ඇය කවදාවත් හිතුවෙ නෑ.
ඔබ කෘෂිකර්මාන්තයෙන් අද ඉන්නේ කොයි වගේ තැනක ද?
ඇත්තටම ඒ ප්‍රශ්නයට උත්තර දෙන එකනම් ටිකක් අමාරුයි මට මොකද එහෙම උනොත් මම මාවම වර්ණනා කරගත්තා වෙනවනේ. නමුත් ඔයා අහන නිසා මං පොඩි විස්තර ටිකක් කියන්නම්.
අද මට කෘෂිකර්මික ඉඩම් බොහොමයක් තිබෙනවා. ඒ සෑම ඉඩකමකම දිනකට සාමාන්‍යයෙන් සේවකයින් 40 ක් පමණ ස්ථීරවම වැඩකටයුතු සිදු කරනවා. මම හිතනවා අප ප්‍රදේශය පවතින මට්ටමින් මට කෘෂිකර්මාන්තය හරහා බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදාකරල දෙන්න පුලුවන් වුනා කියලා. මම ඒ සැමටම හොඳ ගෙවීමක් සිදුකරනව. කොහොම නමුත් අල, තක්කාලි, ගෝවා, බෝංචි, බීට් රූට් ආදී සියළුම එළවලු වර්ග වලට අමතරව, සලාද, සැල්දිරි, නපා, පචෝ වගේ චයිනීස් එළවළු ද ඒ ඉඩම්වල වවනවා. කොහොම නමුත් මගේ ප්‍රධාන වගාව වෙන්නේ අල වගාව. සාමාන්‍යයෙන් එක කන්නයකට අල පෙට්ටි 200 ක් වගේ හදනවා.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රධාන වශයෙන් එළවලු සපයන එක් පුද්ගලයෙක් තමයි මම. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සපන පිරිස් සහ වගාවට අමුද්‍රව්‍යය සපයන පිරිස් ද මගේ වගා කටයුතු ආශ්‍රිතව යම් යම් ප්‍රතිලාභ රාශියක් ලබනවා.
එසේ සේවය කරන ඍජු සේවකයින් සේම ඔවුන්ගේ පවුල්වල බිරිඳ, දරුවන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුත මා පියන් ආදී සියලු කටයුතු නඩත්‍තු වන්නේ මාගේ කෘෂිකර්මික කටයුතු ආශ්‍රිතව කියල මම හිතනවා. එක අතකින් ඒක මට ලොකු සතුටක්. ඒ විතරක් නෙවෙයි මිනිහෙක්ට අවශ්‍ය ඉඩම් කඩම්, ගෙවල් දොරවල් යාන වාහන ආදී භෞතික සම්පත් සියල්ල ගත්විට ඒවා සියල්ල ප්‍රමාණවත් තරමින් මට තියනවා කියල මම හිතනවා. ඉතිං ඒ සියළුදේවල් මම සම්පූර්ණ කරගත්තෙ මේ කෘෂිකර්මාන්තයට පිංසිද්ධ වෙන්න.
ඔබ රැකියා ස්ථානයක ප්‍රධානියෙක් වශයෙන් සේවකයින් පිළිබඳව සිතන්නේ කෙසේ ද?
ඔව් කුඹුර කියන්නෙත් රැකියා ස්ථානයක් තමයි. ඒ රැකියා ස්ථානයේ ප්‍රධානියා ලෙස මම අංක එක ලබා දෙන්නේ මගේ සේවකයින්‍ට. මොකද මම අද සාර්ථක වී ඇත්නම් ඒ සාර්ථකත්වය පසු පස බොහෝ පිරිසකගේ දහදිය සැඟවෙලා තියනවා. සේවකයින් නැතුව මට මුකුත් කරන්න බෑ. මේ එළවළු කොටු සරුවට වැවෙන්නේ ඔවුන්ගේ දහදිය හින්දා.
එක අතකට මම හිතන්නේ ලංකාවේ මිනිසු හැමෝම රස කර කර බුක්ති විඳින්නේ උදේ සිට රෑ වන තුරු මේ අහිංසක ගොවි මහතුන් කුඹුරුවලට හෙලන දහදිය.
මම ගොඩාක් වෙලාවට ලංකාවේ දැකල තියනවා. ගොඩක් ආයතනවල ප්‍රධානීන් තමන්ගෙ සේවකයින්ට සලකන්නේ ඉතාමත් පහත් විදිහට, සේවකයින්ට කතා කරන්නේ ඔවුන්ගේ අතපල්ලෙන් වැටුණු අය විදිහට, මිනිහෙක්ට ලබා දෙන්න ඕන අවම මින්ස් ගෞරවයවත් ලබා දෙන්නේ නෑ. නමුත් කිසිම වෙලාවක මම මගේ සේවකයින්ට එහෙම සලකන්නේ නෑ.

මම හිතන්නේ ඔවුන් මගේ මිත්‍රයින් කියලා. ඒක නිසාම මම ඔවුන්ට ඉතා හොඳ වැටුපක් ලබා දෙනවා සේම ඔවුන් සමඟ එකට කුඹුරුවල වගා කටයුතු කිරීමට, ඔවුන් සමග එකට කෑමට බීමට, ඇවිදීමට කිසි විටෙකත් අමතක කරන්නේ නෑ. ඔවුන්ද මා ආශ්‍රය කරන්නෙ මිත්‍රයෙක් හැටියට. එහෙම උනාම අපිට වැඩකටයුතු කරන්න හරි ලේසියි. මේක ඔවුන්ගේම ව්‍යාපාරයක් කියලා මගේ සේවකයො හිතන්නේ ඒ නිසා. ඔවුන් ඔවුන්ගේ උපරිමය මෙම ව්‍යාපාරයට යොදවන්නේ ප්‍රධානියා ලෙස මම ඔවුන් සමගම ඉන්න නිසා. ඉතිං ව්‍යාපාරයක් ගොඩ නැගීමේදී ඒක හරි වැදගත්, සේවකයො තමයි අංක එක.
ආනන්ද බණ්ඩාර මහාතාගේ මෙම විස්තර කිරීමෙන් පසුව ඔහු පිළිබඳව ඔහුගේ සේවකයකුගෙන් විමසා බැලීමට අපට සිත් වූ අතර ඒ සඳහා වගා බිම්හී වැඩකටයුතුවල නිරත වෙමින් සිටි ඌවපරණගම සිසිල්පැන්කඳුර ග්‍රාමයේ පදිංචි ඩී.ජී. පේමදාස මහතා අපට මුණගැසුණි.
ඔබට සේවකයකු ලෙස ආනන්ද බණ්ඩාර මහතා පිළිබඳව ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක් ද?
ඇත්තටම ආනන්ද මහතාගේ වගා බිම් තුළ අප සේවය කරන්නේ ඉතාම සතුටින්. අපිට පුළුවන් එකම දේ කෘෂිකර්මාන්තයනේ. ඉතිං ආනන්ද මහත්තයා ඒකට අපිට හොඳ අවස්ථාවක් හදල දීල තියනවා. මම වගේම අපේ ගමේ වගේම ගම් බොහොමයක් යැපෙන්නේ මේක නිසා.

මම ගොවියෙක් විදිහට මෙම වගා බිම්වල කටයුතුවල නිරතවුනාට මගේ පුතා විශ්වවිද්‍යාල උපාධිදාරියෙක්. ඉතිං පුතා විශ්වවිද්‍යාලයේ දක්ෂතම ළමය කරන්න මට හැකි වුනේ මේ ගන්න වැටුපෙන්. ආනන්ද මහත්තය අපිට හොඳ වැටුපක් ගෙවනව වගේම ඕනෑම කරදරයකදී පිහිට වෙන කෙනෙක්.
අපි කොරෝනා දවස්වල වැටෙන්න පුළුවන් අඩියටම වැටුණා. ඒත් ආනන්ද මහත්තය අපිව අත ඇරියෙ නෑ. එයා අපිට හැම වෙලාවකම අඩුපාඩු හොයල බලල සැලකුවා. මඟුලකදි, මරණයකදී, ලෙඩකදි අපිට පිහිටවෙන්න ඉන්නෙ එයා විතරයි . ඒ විතරක් නෙවෙයි අපි හැම අවුරුද්දකම විනෝද චාරිකාවක් පවා එක්කන් යනවා. ඒ වගේ හැම දෙයක්ම හොයල බලල කරනව එයා. ආනන්ද මහත්තය නැති වුනත් අපි අපේ කුඹුරු වගේ මේවා බලා ගන්නේ ඒ නිසා.
පේමදාස මහතා ආනන්ද බණ්ඩාර මහතා පිළිබඳව දැක්වූයේ එවන් අදහසක් වන අතර නැවතත් සිය වගා භූමිය තුළ වගා කටයුතුවල නිරත වෙමින් සිටි ආනන්ද මහතා වෙත අප යොමු වීමු.
ඔබ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඇති ගැටළු ලෙස දකින්නේ මොනවාද?
ඇත්තටම ලංකාවේ කෘෂිකර්මාන්තයේ නම් ගැටළු ගොඩක් තියනවා. ඒත් මම කරන්නේ එළවළු වගා කරන එකනේ. ඒ පැත්තෙන් මම දකින ගැටළු ගොඩක් තියනවා.

මම දකින ප්‍රධාන ගැටළුව තමයි ගොවියෙක් යැයි කියූ විට ලංකාවේ සමාජය ඉතාම පහත් තැනකින් බලන එක. මුලින්ම ඒක වෙනස් වෙන්න ඕන. මෙම වෘත්තියට ගෞරවයක් දෙන එක හැමෝගෙම යුතු කමක්. මොකද හැමෝගෙම බඩගින්න නිවෙන්න මේක නිසානේ.
අනිත් එක තමයි මිළ ඉහළ පහළ යෑම, ඒක නිසා එක එක වෙලාවට මේකෙන් ලොකු ලාභයක් ගන්න අපිට බැහැ. හැබැයි හරියට කලොත් පාඩුවක්නම් වෙන්නේ නෑ. ඒකට කරන්න පුලුවන් හොඳම දේ තමයි රජය මැදිහත්වෙන එක. උදාහරණ විදිහට මෙහෙම කිව්වොත්, දැං වැලිමඩ ඌවපරණගම අල ගලවන කාලෙට පාකිස්තානෙන් අල ගේන්න ගියොත් මොකද වෙන්නේ. අපිට අපේ අල ටික විකුණගන්න බැරි වෙනවනේ. අනික ලංකා අල කියන්නේ හොඳම අල, ඒක නිසා ගොවියො අතරට ඇවිල්ල තියන ප්‍රශ්න මොනාද කියල හොයල බලල රජය වැඩපිළිවෙළක් ඇතුව මේකට මැදිහත් වෙන්න ඕන.
අර රසායනික පොහොර තහනම් කරපු කාලේ අපි වැටෙන්න ඕන බිංදුවටම වැටුණා. කවුරුත් අපෙන් ඇවිත් ඇහුවෙ නෑ ඒක ගැන. වවන මිනිසුන්ගෙන් ඕනනේ ඒ ගැන අහන්න. මොකද ඒ අයනේ දන්නේ. ඒක නිසා රජයක් ඒ වගේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ තීරණ ගන්නකොට ගොවියන්ගෙන් අහන්න ඕන. ඒත් එක්කම දෙයක් කියන්න ඕන කියල හිතුනා. රසායනික දේවල් අපි වගාවට යොදනව තමයි. නමුත් අස්වැන්න මාකට් එකට යවන්න ලං වෙනකොට අපි කිසිම රසායනිකයක් වගාවට යොදන්නේ නෑ බොහෝ වෙලාවට. මොකද මිනිසුන්‍ට කන්නනෙ මේවා ගෙනියන්නේ. ඉතිං හැකි උපරිමෙන්ම ඒවාගේ ගුණාත්මක බව රකින්න අපි උත්සාහ කරනවා.
අනිත් එක තමයි ඉස්සර වගේ ලේසියෙන් දැං අපිට කෘෂිකර්මාන්තය කරන්න බැහැ. තාක්ෂණය එක්ක යන්නම වෙනවා. ඉස්සර මේ වවන හැම එකකටම වැඩිය ලෙඩ රෝග මුකුත් එන්නේ නැහැ. නමුත් දැං ඔක්කොම බීජ පිටරටින් ගෙන්වන ඒවා. ඒක නිසා මේවට ලෙඩ රෝග ගොඩයි. මං හිතන්නේ මේ පොහොර, බීජ හදන සමාගම් මේ වැඩේ ඉතා සූක්ෂමව කරනවා. ඉතිං අපිත් දැනගන්න ඕන සූක්ෂම වෙන්න.

දකින්න පුළුවන් තවත් ලොකු ගැටළුවක් තමයි අපේ රටේ තරුණ දරුවො මේ කෘෂිකර්මාන්තයෙන් ටිකෙන් ටික ඈත්වෙන එක. මං හිතන්නේ අපෙන් පස්සෙ මේවා කරන්න ලංකාවේ කවුරුත් නැතිවෙයි කියලා. ඒක නිසා තමයි මම කිව්වේ රටේ ගොවි මහත්තුරුන්ට අනෙක් වෘත්තීන්ටත් වඩා සමාජ පිළි ගැනීමක් දෙන්න ඕන කියලා. තරුණ දරුවො මේකෙන් ඈත් වෙන්න ලොකුම හේතුව තමයි තමන් ගොවියෙක් කිව්වම කවුරුත් වැඩිය පිළිගන්නෙ නැති එක.
ආනන්ද මහත්මයා කෘෂිකර්මාන්තයට අලුතෙන් පිවිසෙන්න බලාපොරොත්තු වන කෙනෙක්ට ඔබට දෙන්න පුලුවන් උපදෙස් මොනා ද?
ඔව් ඇත්තටම මම හිතනවා උපදෙස් දෙන්න තරම් මම මහා උගතෙකු නොවුනත් ඌවපරණගම ප්‍රධාන ගොවියා ලෙස මා සලකන බැවින් සහ මම වසර ගණනාවක් මේ කටයුතු කරන බැවින් මට උපදෙස් රාශියක් දෙන්න පුලුවන් කියලා.

පළවෙනිම එක තමයි ආත්ම විශ්වාසය සහ තමන් තමන් ගැන විශ්වාස කිරීම ඔය දෙක තියනවනම් අනිත් ඒවා අපිට හදාගන්න පුළුවන්. මේ කටයුතු කරගෙන යනකොට මම වැටුණ වගේ ඕන කෙනෙක් යම් යම් අවස්ථාවලදී වැටෙන්න පුළුවන් ඒක නිසා වැටෙන අවස්ථාවල මේක අල්ලගෙන ඉන්න ආත්ම ශක්තියනම් අනිවාරෙන් ඕන.
වැදගත්ම දේ තමයි කෘෂිකර්මාන්තයේ ඕනෑම කටයුත්තක් කරනකොට යම් මූලික දැනුමක් ඕන. මහා ලොකූ දැනුමක් නැති වුනත් මූලික දැනුමක් නැතුව මේක කරගෙන යන්න හරි අමාරුයි අලුතින් කෘෂිකර්මාන්තයට පිවිසෙන කෙනෙක්ට. උදාහරණයක් විදිහට මම එළවළු වගාවෙන් ම කියන්නම්කෝ
එළවළු වගා කරනකොට අපි දැනගන්න ඕන අදාළ භෝගය හදන්නේ කොයි කාලෙට ද කියලා. ඒක හරි වැදගත් දැං මේ කාලේට අපි බෝංචි හැදුවොත් හදාගන්න බෑ මොකද සුළඟත් එක්ක වෛරස් එනවා. ඉතිං මේ කාලෙට අපේ පැත්තෙ තියන කාළගුණයත් එක්ක හොඳ ගෝවා වගා කරන එක. ඉතිං ඒ වගේ කාළගුණය, දේශගුණය, පස, භෝගය ආදී හැම දේ ගැනම මූලික දැනුමක් තියෙන්න ඕන මොකද මේක පරිසරයත් එක්ක කරන ගණදෙනුවක් නේ.

ඒ විතරක් නෙවෙයි අදාළ පසට සුදුසු භෝගය කුමක් ද? අපි පැළයක් පසේ යට කරනකොට කොපමණ ප්‍රමාණයක් යට කරන්න ඕන ද, වතුර කොච්චර ඕන ද, වතුර දානවනම් දාන්න ඕන කොයි වගේ වෙලාවට ද වගේ දේවල් හරී වැදගත්. ඇත්තටම මේක පොඩි දරුවෙක් බලා ගන්නව වගේ ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. ඔය වගේ මූලික දේවල් දැනගන්න ඕන වගේම ඉවසීමක් තියෙන්න ඕන.
අනිත් එක තමයි කරන දේ සතුටින් කරන එක. කවුරු හරි කරන්නම දෙයක් නැතුව කෘෂිකර්මාන්තය තෝරගෙන ඒකට බැන බැන ඒකම කර කර ඉන්නවනම් මේකෙන් සාර්ථක වෙන්න කොහොමටවත් බෑ. ඒක නිසා කරන හැමදේම සතුටින් කරන්න ඕන.
බෝංචි කරලක් කඩනකොට සතුටක් එන්න ඕන. තක්කාලි ගෙඩියක් කඩනකොට සතුටක් එන්න ඕන. ඒවා අරං ගිහිං මිනිසු කනකොට තමන්ට ආත්ම තෘප්තියක් එන්න ඕන. එතකොට මේ වෘත්තිය ගැන භක්තියක් එනවා. ඔය දේවල් තියාගෙන කෘෂිකර්මාන්තය තෝරාගන්න ඕනෑම කෙනෙක්ට ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් කියල මම වගකීමෙන් කියනවා. ඒ වගකීම මං ගන්නවා.

ඔබට කෘෂිකර්මාන්තය නවතා දැමීමට අදහසක් තිබේ ද?
ඇත්තෙන්ම නැත. කෘෂිකර්මාන්තයෙන් මම මගේ සියළු ඉලක්කයන් වෙත මේ වන විට ගොස් හමාරය. මෙයින් උපයාගත් වත්කම් මට පමණටත් වඩා ඇති අතර නමුත් මම බොහෝ විට ආසා කරණුයේ ඒ සියල්ලකට නොව මගේ මේ සේවකයින් සමග කුඹුරුවල වගා කටයුතු කිරීමටය. එයින් ලැබෙන ආත්ම තෘප්තිය මට වෙනත් කිසිදු දෙයකින් ලැබෙන්නේ නැත. එම නිසා කෘෂිකර්මාන්තය මම මිය යන තුරු අත හරින්නේ නැත.
හොඳයි ආනන්ද මහත්මයා අපිට අවසාන වශයෙන් කියන්න ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් සංවර්ධනය කරන්න, නැත්තං ගොඩ දාන්න පුළුවන් ද?
ඔව් ඇත්තටම, ලෝකේ බොහෝ දෙනෙක් මෙහෙම තමයි ගොඩ ගියේ මේවා කරල තමයි ගොඩ ගියේ පොලොව කොට කොට ඉඳල හරියන්නේ නෑ කියල කියනව මං අහල තියනවා. නමුත් මං ගොවියෙක් නිසා මට තියෙන්නෙ වෙන අදහසක්.
ඔව් ලෝකේ හැමෝම එක එක විදිහට ගොඩ ගිහිං තියනව තමයි. ඒ එයාලගෙ හැකියාවනේ. හැබැයි ලංකාවේ අපි කල්පනා කරන්න ඕන අපිට තියෙන්නෙ මොනාද අපිට කරන්න පුලුවන් මොනාද කියලා. ඉතිං අපිට තියනවා ඕන දෙයක් හැදෙන හොඳ පොළොවක්, ඒ වගේම අපි ගොඩක් දෙනෙක්ට ඇඟේ තියන දෙයක් තමයි වවන එක. ඔය කොරෝනා දවස්වල හැමෝම වැව්වෙ. එහෙනම් ලංකාවේ හැමෝටම වවන්න බෑ කියලා කාටහරි කියන්න පුලුවන් ද?
මං ආයෙත් කියනවා. ලෝකේ එක එක මිනිසු එක එක විදිහට ගොඩ ගිහිං ඇති. අපි ඒවත් උත්සාහ කරමු. හැබැයි හැමෝම ඉස්සෙල්ලාම හොයන්නෙ කන්නනේ. බඩ පුරව ගන්න තමයි අපි හැමදේම කරන්නේ. ඉතිං බඩ පුරවන්නනම් වවන්න ඕන නේ. අපිට වවන්න බැරි කමක් නෑනේ. ඒක නිසා අනිත් ගොඩයන්න පුලුවන් දේවලුත් උත්සාහ කරන ගමන් කෘෂිකර්මාන්තයත් ටිකක් ප්‍රවර්ධනය කරල ගත්තොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්.

හැබැයි හැමෝම වවන්න ගියොත් මේ රටේ ආහාර ඕන තරම් ඉතුරු වෙයි. ඒක නිසා වවන හැමදේම අපේ පරිභෝජනයට තියාගෙන වෙනත් රටවලට යවන්න ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඇත්තටම කෘෂිකර්මාන්තයෙන් ගොඩ යන්න පුලුවන් කියල මම කිව්වෙ අපේ රටේ වවන දේවල් පිටරටට යවන්න පුලුවන් කියන එක. ඒකට රජය මැදිහත්වෙලා රටේ හැම ගොවියෙක්ම ආවරණය වෙන විදිහට හොඳ යාන්ත්‍රණයක් හදන්න ඕන. එහෙම ක්‍රමයක් තියනවනම් මම හිතන්නේ නෑ රට සංවර්ධන කරන එක අමාරු වැඩක් කියලා.
මම අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන් අපි වවන චයිනීස් භෝගවලට හෝටල් කර්මාන්තයෙන් කොයි තරම් ඉල්ලුමක් තියනව ද කියල අපි දන්නවා. ඔක්කොම අරං යන්නේ නුවරඑළියෙ ටුවරිස්ට් හොටෙල් වලට. ඇයි ? පිටරට මිනිසුන්ගේ ආහාර වට්ටොරුවල ඒ භෝග ප්‍රධාන අංග. ඉතිං අපිට කෙලින්ම පිටරය යවන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් මේ වවන හැමදේම තව විධිමත් කරල ගුණාත්මක බව ආරක්ෂා කරල පිටරට යවන්න සුදුසු විදිහට වවන්න අපි දන්නවා. ඒක මහ ලොකු වැඩක් නෙවෙයි.
ඌවපරණගම ප්‍රමුඛ ගොවි මහතාවන ආනන්ද බණ්ඩාර මහතා getpeakonline අප සමග ඔහුගේ කෘෂිකර්මික ජීවිතයේ අත්දැකීම් බෙදා ගන්නා ලද්දේ ඒ අයුරිනි. සැබවින්ම ආනන්ද බණ්ඩාර මහතාගේ සාර්ථකත්වය ඔබ වෙත ගෙන ඒමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. අපට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ ස්ව උත්සාහයෙන් සාර්ථක වූ දිරිය මිනිසු සිටිනවා යැයි ඔබට පවසමින් ඔවුන්ගේ ජීවිතයෙන් ඔබට ගත හැකි ආදර්ශයක් වේ නම් එය ඔබ වෙත ගෙන ඒම පමණි.
අප සැමගේ බලාපොරොත්තුව මේ පුංචි රට දියුණුවනු දැකීමය. ඒ සඳහා ඔබට මට තනි තනිව වුව උත්සාහ කළ හැකිය. ආනන්ද බණ්ඩාර මහතා ප්‍රකාශ කළ පරිදි අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය පමණි. ආත්ම ශක්තිය ඇත්නම් අපට කළ නොහැක්කක් නොමැත.
ආනන්ද බණ්ඩාර මහතා අපට මේ අයුරින්ද යමක් පැවසුවේය.
අර බලන්න අර ආච්චි අම්මා. මම දන්න කාලෙ ඉදං එයාට පිළිකාවක් තියනවා. නමුත් එයා ඉතා හොඳට කිසි අමාරුවක් නැතුව කතා බහ කරල ඉන්නවා. ඇයි ඒ. කොහොමද එහෙම ඉන්නේ. මොකද එයා දන්නේ නෑ එයාට තියෙන්නේ පිළිකාවක් කියලා. එයා හිතාගෙන ඉන්නේ සාමාන්‍ය ලෙඩක් කියලා. සමහරවිට එයා මට තියෙන්නෙ පිළිකාවක් කියල දන්නවනම් කලබල වෙලා මේ වෙනකොට මැරිලා. ඕනම දේකට හිත තමයි.