Skip to content

ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳ කතාන්දරය 2

"හිඟන්නට කුළියට දෙන දරුවෙක් රුපියල් පනහයි; ආබාධිත බව පෙන්වන්න අතක් කඩා දමලා; පිටකොටුවේ හිඟන නායිකාවක්, මවකගෙන් දිනකට රුපියල් පනහේ කුලියට දෙහැවිරිදි දරුවෙක් කුලියට ලබාගෙන දරුවාගේ අත පය කඩා සිගරට් කොට වලින් පුළුස්සා ඇත. හිරිහැරවලට බඳුන් වූ දරුවා දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි ". ඒ 1992   දෙසැම්බර් මස 22 වැනිදා "ජනතා" පුවත්පතේ මුල් පිටුවේ පළ වී ඇති ප්‍රධාන ප්‍රවෘත්තියකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල, පොදු ස්ථානවල සහ වීදිවල ගැවසෙන කාන්තාවන්ට මෙන්ම හිඟන මව්වරුන්ට දාව උපදින අවජාතක දරුවන්, හිඟන මුදලාලිලාට කුලියට දීම ශ්‍රී ලංකා යාචක පරපුරේ සාමාන්‍ය පොදු සිරිතකි. එහිදී දරුවා ආබාධිත නම්, මන්ද බුද්ධිකනම් ඔහුට ඇති ඉල්ලුම ද අති විශාලය. අදාල දෙමාපියන්ට බත් මුලක් හෝ සුළු මුදලක් ගෙවීම මුදලාලිගේ සිරිත වන අතර ළදරුවන් පමණක් නොව ආබාධිත සහ විකෘති දරුවන් ද හිඟමන සඳහා කුලියට දීම සහ ගැනීම යටතේ හුවමාරු වේ.

යට කී කරුණු සඳහන් කිරීමට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳ කතාන්දරය 1 වශයෙන් මා මීට පෙර ගෙන ආ ලිපියෙහි අවසානය තුළ සාකච්ඡා කරමින් සිටියේ එවැනි කරුණු කිහිපයක් වූ නිසාවෙනි. එබැවින් යට දක්වන ලද කරුණු මීට පෙර ගෙන ආ ලිපිය සමඟ සම්බන්ධ කරණවා සේම යාචකයින් පිළිබඳව කතාන්දරය තුළ මෙතෙක් සාකච්ඡා කරණු ලැබූ කරුණු සියල්ල ද යලි ඔබට මතක් කර දෙනු ඇත.

මේ අනුව පෙනී යන්නේ, යැදීම, හිඟමන් කෑම ආදී නම් වලින් හැඳින්වෙන මෙම වෘත්තිය වැඩි මූල්‍ය සම්පතක් පහසුවෙන් උපයා සපයා ගැනීමට ඉඩ සලසා ගත් වෘත්තියක් බවය. මේ නිසාම යැදීම පහත් වෘත්තියක්‍ ය යන ආකල්පය මඟින් හෝ වෙනත් නීතිමය ක්‍රියා මඟින් හෝ යැදීමේ යෙදෙන පිරිස් ඉන් බැහැර කිරීමට නොහැකි වී ඇති බව ද හාර්ලන් ඩබ්ලිව් ගිල්මෝර් ඔහුගේ Beggar ( 1937 ) නම් කෘතිය තුළ දක්වා ඇති අතර ඒ පිළිබඳව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ ග්‍රන්ථය තුළ සඳහන් වේ.

නමුත් ජීවත්වීම සඳහා කිසිදු සරණක් නොමැති සහ ඔවුන්ගේ එකම ගැලවීම වශයෙන් හිඟමන තෝරාගත් පිරිසක් ද ශ්‍රී ලංකාවේ සිටින බව ද රහසක් නොවේ. ගැටළුව වී ඇත්තේ මෙහි මූල්‍යමය වාසි තකා මෙය ව්‍යාපාරයක් වශයෙන් සිදුකරන පිරිසක් ද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී තිබීමය.

හිඟන්නන් අතරට පිවිස මිස ඉන් බැහැරව සිට කිසිසේත්ම අවබෝධකරගත නොහැකි විවිධ ගති ලක්ෂණ රාශියක් ද හිඟන සංස්කෘතිය අතර වේ. ඔවුනටම ආවේණිකව පවත්නා කණ්ඩායම් අතර බැඳීම්, නෑකම් සහ පවුල් සම්බන්ධතා, ජීවන රටා, ඇදහිලි සහ විශ්වාස මෙන්ම ආකල්ප ද රාශියකි. මෙම පසුබිම හේතුකොටගෙන මෙම වෘත්තියට අලුතින් එක්වන හෝ පත්වන පුද්ගලයෙකුට තමන් අලුත් සමාජයකට එක්වුනේය යන මතය ද බැහැරව යයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ යැදීමෙහි නිරතවන බොහොමයක් පිරිස බිද්ධි මට්ටමෙන් ඉතා පසුගාමී පිරිසක් බවත්, මේ අය අතර අටවන පන්තිය සමත් වූවන් සිටින්නේ සියයට අටක් පමණ අඩු ප්‍රමාණයක් බවත් සහ සාමාන්‍යපෙළ දක්වා උගත් අය සිටින්නේ සියයට තුනක් පමණක් බවත් සමීක්ෂණ වලින් හෙලි වී ඇති බව ද මෙත්ලාල් වීරසූරිය මහතාගේ ග්‍රන්ථයෙහි සඳහන් වේ.

එපමණක් නොව අඳ, ගොළු සහ බිහිරි වැනි ආබාධයන්ගෙන් පෙලෙන යාචකයන් මෙයට වඩා තරමක් ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති බවද පෙනී යන බව ග්‍රන්ථයේ සඳහන් ය. බොහෝ විට මෙවන් පිරිස් පොත පතේ අධ්‍යාපනයට අමතරව දෑතේ දෙපයේ කර්මාන්තයක් ඉගෙනීමට ද වරම් ලබති.

ශ්‍රී ලංකාවේ යාචක වෘත්තියේ ඇති තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ යාචකයකු වීමටනම් ඔවුන් කිසියම් සුදුසුකම් කිහිපයක් සපුරා සිටිය යුතු වීමත් සහ ඔවුන්ට අවශ්‍ය ලක්ෂණ කිහිපයක් ද උපකරණ කිහිපයකින් ද යුතු වීමය. ඒවා නම් කිලිටිව කඩමාලුව ගිය ඇඳුම් පැළඳුම්, උරපත්තේ හෝ මැණික් කටුව දෙපසට ආසන්නයේ රඳවා ගත් දුර්වර්ණ වූ කළු ගැසී ගිය බෑගයක්, ආධාරකයක් ලෙස ඇතැම් විටෙක උපයෝගී කොටගන්නා සැරයටියක්, අතෙහි රඳවා ගත් ටින්, බෙලෙක්ක හෝ ප්ලාස්ටික් ජෝගු යාචක දිවියට අත්‍යාවශ්‍යම උපාංග වේ.

එමෙන්ම නොසේදූ මුහුණ, තඹවන් ව හැඩපළු ගෙතුණු හිසකෙස්, දිගට වැඩුණු පඬු පැහැ ගැන්වුණු රැවුල, දුර්වර්ණ වූ අපවිත්‍ර සිරුර සහ ඔවුන්ගෙන් විවිධ දුර්ගන්ධයන් හැමීම ද යාචකයන්ට අවශ්‍ය සුදුසුකම් වේ.

එක් අතකට මෙය ශ්‍රී ලංකාවේ සමාජය සිතන පතන ආකාරය අනුව සැකසුණු රාමුවක් යැයි සිතිය හැකිය. සිතන්න, මෙසේ සාකච්ඡා කරණ ලද කරුණුවලට අනුව හිඟන පුද්ගලයින් හට කිසියම් වත්කමක් හිමි බව පැහැදිලිය. එසේ නම් ඔවුන්ට හොඳ ඇඳුමක් ඇඳ පිරිසිදුව ප්‍රිය මනාපව සිටීමය බැරි කමක් නැත. නමුත් යම්කිසි හිඟන්නෙක් එසේ සිටියහොත් ඔබ ඔහු හට රුපියලක් හෝ ලබා දෙයි ද ? මමනම් එසෙ ලබා දෙතැයි නොසිතමි. මෙයට ද බලපා ඇත්තේ කාන්තාවන්නම් දසන් නොදක්වා සිනාසිය යුතුය. නාභිය නොදක්වා ඇඳුම් ඇඳිය යුතුය ආදී වශයෙන් හිඟන්නන් නම් මෙසේ සිටිය යුතුය ආදී වශයෙන් ශ්‍රී ලංකාකික සමාජය නඩත්තු කරන නීති නොවූ නීති ය.

මෙත්ලාල් වීරසූරිය මහතාගේ ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ 1988 වසර වන විට පමණක් කොළඹ නගරය තුළ යාචකත්වයෙන් දිවි ගෙවූ පිරිස 1,651 ක් වූ බවය. ඉන් 1,148 දෙනෙක් තනි පුද්ගලයන් වී ඇති අතර 503 දෙනෙක් පවුල් වශයෙන් යාචක වෘත්තියේ යෙදී ඇත. 550 දෙනෙකු කොළඹ නගරයේ ගස් යට, පදික වේදිකා වල සහ බස් නැවතුම්පළවල දිවි ගෙවා ඇත.

එමෙන්ම කොළඹින් පිටත සිට කොළඹට හිඟමන සඳහා පැමිණි පිරිස 901 ක් පමණ වී ඇති අතර හිඟමන ජීවිකාව කරගත් මෙම 1,651 දෙනා අතුරින් 634 දෙනෙකුම කාන්තාවන් වී ඇත. ඉන් 1017 ක ඉතුරු ප්‍රමාණය පිරිමින් වී ඇත. මෙම පිරිස අතරින් සියයට අසූවක් පමණ දෙනා කිසිසේත්ම පාසල් නොගිය හෝ පස්වැනි පන්තියෙන් පහළ අධ්‍යාපනයක් ලද අය වී ඇත.

එම කාලයේදීම කොළඹ නගරයේ යදින්නන් පිළිබඳව කොළඹ නගර සභාව සිදුකරණ ලද සමීක්ෂ්ණයකට අනුව මෙම යාචකයන් අතරින් අවුරුදු 12 ට අඩු වයසක වූ ප්‍රමාණය 509 දෙනෙකු වී ඇත. අවුරුදු 12 ත් 18 ත් අතර වූවෝ 25 ක් ද, අවුරුදු 18 ත් 35 ත් අතර වූවෝ 468 ක් ද , අවුරුදු 35 ත් 55 ත් අතර වූවෝ 518 ක් සහ අවුරුදු 55 ට වැඩි පිරිස 965 ක් වී ඇත.

මෙම දත්ත තරමක් පැරණි යැයි සහ වර්තමානයේ මෙම තත්වය වෙනස් වීමට පුළුවන යැයි ඔබට සිතෙන්නට පුළුවන. සැබවින්ම එය සැබෑවකි. නමුත් ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳව යම්කිසි පොදු චිත්‍රයක් එම දත්ත හරහා අපට ලබාගත හැකිය. යාචකයින් පිළිබඳව වර්තමානයේ සමීක්ෂණ සිදුවනු හඳුනාගත නොහැකි බැවින් මෙහි වර්තමාන තත්වය පිළිබඳව දැනගැනීමට අපට අවස්ථාවක් නැත. යාචකයින් පිළිබඳව විනා ජනගහණය සම්බන්ධ සමීක්ෂණ පවා සිදුවන්නේ නැත. ශ්‍රී ලංකාවේ ජනගහන සමීක්ෂණයක් පැවැත්වීමට තිබුණේ ක්‍රමය හැටියට 2021 වසරේදී වන අතර නමුත් එම සමීක්ෂණය ද තවදු සිදු වී නැත. ඉදින් යාචක සමීක්ෂණ පිළිබඳව කවර කතා ද ?

මෙම සාකච්ඡා ඉදිරියට රැගෙන යන්නේ නම් 1990 වනවිට ශ්‍රී ලංකාවේ යාචකයින් ප්‍රමාණය 40,000 ක් වූ බව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ අදහසයි. 70 දශකය අවසාන වන විට 25,000 කට ආසන්න වූ මෙම පිරිස අසූව දශකය අවසාන වන විට ඉතා වේගයෙන් වර්ධනය වූ බව ද මහාචාර්යවරයා පවසයි.

ඒ හරහා විද්‍යාමාන වන වෙනත් කරුණක් ඇත. එනම් රටක් සංවර්ධනය වන්නේ නම් එම රටෙහි පහළම ස්ථරයේ පිරිසට වූව ද අවම සුදුසුකම් සපුරා ගනිමින් ජීවත්වීමට අවස්ථාවක් තිබේය යන්නය. නමුත් දශකයෙන් දශකය රටෙහි යාචක ප්‍රමාණය වැඩිවීම තුළ පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැබෑ නිරුවත වන අතර එම නිසා වත්මන් රටේ පවතින ආර්ථික අර්බුදය මැද අපට සිතිය හැක්කේ ශ්‍රී ලංකාවේ යාචකයින් ප්‍රමාණය බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙන්නට පුළුවන යන වගය. මන්ද ඇති හැකි අය පවා මේ මොහොතේ ගෙවමින් සිටින්නේ ඉතාම අපහසු කාලයක් වන නිසාය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මෙම යාචක වෘත්තිය සමාජ ගැටළුවක් වනබව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එක් අතකට යාචකයින්ට ද කිරීමට දෙයක් නැත. තවත් අතකට සමාජයේ අනෙකුත් පුද්ගලයින්ට ද මෙය හිරි හැරයක් වශයෙන් සැලකිය හැකිය. එබැවින් මේ සඳහා යාචක සුභසාධනයක් අවශ්‍ය වන නමුත් එය සිදු කිරීම ද ඉබතෝකෝටික ගැටළුවක් වී ඇත. එමෙන්ම අද වන විට යාචක වෘත්තියේද විශාල පිරිසක් නිරතව සිටින බැවින් මෙහිදි තරඟකාරීත්වයක් උද්ගත වී ඇත. ලෝකයේ විවිධ රටවල ද මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එහිදී ශ්‍රී ලංකාවේ යාචකයින් ද එම වෘත්තියෙන් ඉවත්කොට ජීවත්වීමට වෙනත් මාර්ගයක් සලසා දීමට මෙන්ම විවිධ සුභසාධන කටයුතු දියත් කිරීමට විවිධ අවස්ථාවලදී උත්සාහගෙන ඇත. නමුත් යාචකත්වය හරහා එයට වඩා මුදලක් ඉපයිය හැකි බැවින් ඔවුන් වෙනත් වෘත්තියක නියැලීමට ද අකමැතිය. මේ සඳහා නීතිමය පියවර ගත්ත ද ශ්‍රී ලංකාවේ යාචකයින් සියල්ලම බන්ධනාගාරගත කිරීමට ද නොහැක. එබැවින් මේ ගැටළුවට කුමක් කරම් ද ?

Latest