Skip to content

ශ්‍රී ලංකාවේ යාචකයයින් පිළිබඳ කතාන්දරය 1

"මුදලාලිලා අපිව වෙන්දේසියෙන් සල්ලිවලට අරගෙන අපිව සිරීපාදේ පැත්තෙ අරං යනවා. උත්සව කාලවලට එහෙම අරං ගිහිං අපව හිඟමනේ යොදවා රුපියල් දහස් ගණනක් හොයා ගන්නවා. අනේ අපට රෑට ලැබෙන්නේ අරක්කු ටිකකුයි බත් මුලකුයි විතරයි"

"නොනාවරුනි, මහත්වරුනි, මං හිඟන්නෙක් නෙවෙයි. මං ගායකයෙක්, මං හිඟන්නෙක් නම් මයිකල් ජැක්සනුත් හිඟන්නෙක්, තමුන්නාන්සේලා ටැලිග්‍රෑම් ගහල මාව මෙතෙන්ට නොගෙන්නපු එක ඇත්ත, නමුත් මං ගායනා කරන ගීත අහල රුපියලකින් දෙකකින් ආධාර කරන්න, මාරු සල්ලි නැත්තං මාරු කරල දෙන්නම්"

ශ්‍රී ලංකාවේ යාචකයකුගේ සහ යාචක ලක්ෂණ දරන තවත් පුද්ගලයකුගේ ආත්ම ප්‍රකාශනයක් පිළිබඳව එලෙස සඳහන් වන්නේ මෙත්ලාල් වීරසූරිය මහතාගේ "යාචක සන්නිවේදනය" නම් ග්‍රන්ථය තුළය.

ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳව සාකච්ඡා කිරීමට මුල පිරීමේදී ආරම්භයේදීම යට කී යාචකයකුගේ ආත්ම ප්‍රකාශනය උපුටා දැක්වීමට හේතුව වූයේ මෙම මාතෘකාවේ පසුබිම සම්බන්ධයෙන් ඔබට කිසියම් ඉඟියක් ලබා දීමට නැතිනම් මූලික අදහසක් ලබා දීමට මා හට අවශ්‍ය වූ බැවිනි.

හිඟන්නා, යාචකයා, යදින්නා සහ පුලන්නා වශයෙන් කුමන නාමකරණයක් යෙදූව ද එම නාමකරණයන් ඇසෙනා විට අපගේ මනසේ මැවෙන්නේ එකම චිත්‍රයකි. දුප්පත්කම, අසරණකම, නොහැකියාව මෙන්ම සටකපට බව ද උපයෝගීකොටගනිමින් මූලික වූ ක්‍රියාදාමයක් ඔස්සේ තම ජීවිකාව සරිකරගනු ලබන පිරිසක් එම නාමකරණයන් තුළින් විද්‍යාමාන වේ. විශේෂයෙන් මඟතොට හෝ බස් රථ තුළ, පූජනීය ස්ථාන තුළ සහ පොදු ස්ථාන තුළ අප නිතර නිතර දකින මෙම පිරිස සාමාන්‍ය ජීවීන් පිරිසක් සේ දුටුව ද සැබවින්ම එය ඉතාමත් සංකීර්ණ මාතෘකාවකි. සංකීර්ණ ජීවිතයකි.

යම් තැනැත්තෙකු දිවි පැවැත්ම උදෙසා හෝ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස හිඟමනට පිවිසීම තීරණය කරන හේතු සාධකයන් ඉතා පුළුල් ක්ෂේත්‍රයක් පුරා විහිද විසිරී ඇති අතර මෙම තත්වයන් සමාජ විද්‍යාත්මක පදනමක් මත ගැඹුරින් අධ්‍යයනය කළ යුතු පුළුල් කාර්යයක් ද වේ. එබැවින් එම කාර්යයේ නිරත වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියමුවා වශයෙන් අපට හඳුනාගත හැක්කේ. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා වන අතර එතුමන්ගේ Beggar in srilanka නම් කෘතිය තුළ එම කාර්යය වඩාත් විධිමත් ව සිදුකර ඇත.

විධිමත්ව හෝ අවිධිමත්ව යම් ඉගැන්මක් නොලැබීම ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් යාචකයන් යන තත්වයට වැටීමට බලපා ඇති ප්‍රධාන හේතුව වන අතර පොත පතේ හෝ දෑත දෙපයේ ආදී ලෙසින් කුමන අන්දමේවත් දැනුමක් නොලද පිරිසට අවසානයේ උරුම වන රැකියාව යාචකත්වය වන බව පෙනී යයි. එමෙන්ම ගත සවිය වියැකුණු මව් පියන් තම නඩත්තුව සිය දරුවන්ට දැරීමට නොහැකි වූ විට ද බසින්නේ හිඟමනට ය. එමෙන්ම විවිධ ආබාධයන් ට ගොදුරු වූ දරුවන් ද මව්පියන්ට තම නඩත්තුව දැරීමට නොහැකි වූ විට  ද තම ජීවිකාව උදෙසා තෝරා ගන්නේ හිඟමනය. ශ්‍රී ලංකාවේ යාචකයන් බිහි වීමට බලපා ඇති ප්‍රධාන හේතු වශයෙන් කැපී පෙනෙනුයේ මෙම හේතූන් වන අතර නමුත් පිටතට නොපෙනෙන හේතු රාශියක් ද පවතින බව අප මතක තබාගත යුතුය.

ගණිකා වෘත්තිය සේම යාචක වෘත්තිය ද ලොව පැරණිම වෘත්තීන්ගෙන් එකක් වශයෙන් හඳුනාගත හැකිය. එයට ඕනෑ තරම් සාක්ෂි අපගේ ජනශ්‍රැතියේ මෙන්ම පුරාණ ලිපි ලේකණවල ද සඳහන් වී ඇති අතර හිඟන්නන්ට උණු බත් කොයින් ද?, හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුණා වගේ, හිඟමනට වැටුණා, හිඟමනට ගියත් කාගෙවත් පිහිටක් ඉල්ලන්නෙ නෑ. ආදී පුරාණ කියමන් යට කී ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි වශයෙන් දැක්විය හැකිය.

අතීත කතා ප්‍රවෘත්තීන් කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ යැදීම තම දිවි පැවැත්ම උදෙසා උපයෝගී කරගන්නට සිදු වූ තැනැත්තන්ට අමතරව එය ජීවත්වීම උදෙසා යමක් කමක් සොයා ගැනීමට පහසු මඟක් ලෙස භාවිත කරමින් ව්‍යාපාරයක් ලෙස යැදීමෙහි යෙදෙන වෙස්වලාගත් යදින්නන් ද සිටින බව රහසක් නොවේ. නමුත් හිඟමනේ යෙදීම සියුම් උපක්‍රමයක් සහ කලාවක් ලෙස අවබෝධ කරගත් මොවුන් මෙම ක්ෂේත්‍රයේ සුළු පිරිසකි. වර්තමානයේ මෙය ඉතා පුළුල් වශයෙන් දක්නට ලැබුණත් අතීතයේදී ද එවැනි වංචනික හිඟන්නන් ශ්‍රී ලංකාව තුළ සිටි බව ද හඳුනාගත හැකිය. ඒ බව 1841 අංක 4 දරණ අයාල ආඥා පණත විමර්ෂණය කරන විට පෙනී යයි.

එහි සඳහන් වන්නේ, " වෘත්තියක යෙදීමෙන් හෝ වෙනත් මඟකින් හෝ තම නඩත්තුව සලසාගත හැකිව තිබියදී එසේ කිරීම හිතා මතාම නොසලකා හැර පොදු ස්ථාන, මාවත්, මහා මාර්ග උද්‍යාන හෝ මං පෙත් යනාදියට පිවිස හිඟමන් හෝ දන් බත් යනාදිය යදින හෝ එසේ යැදීමට තම පවුලේ අය පොළඹවන හෝ සෑම පුද්ගලයකුම පාදඩයකු හෝ කරදරකාරී පුද්ගලයකු ලෙස සැලකෙන බවත්." ආදී වශයෙනි.

නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේ ද කොතෙකුත් අණපනත් පැවතිය ද ඒවායින් රිංගා යෑමට අවශ්‍ය ශක්තිය සහ වුවමනාව යාචකයින් සතුව ඇත. ඒ සඳහා වූ දායකත්වය සැපයෙන්නේ හිඟමන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන විවිධ සංවිධානාත්මක පිරිස් සහ හිඟන මුදලාලිගෙන් බව ද පෙනෙන්නට තිබේ. මේ නිසා රැකී රක්ෂා කළ හැකි මට්ටමක පසු වූව ද එය නොසලකා හැර හිඟමනෙහි නිරතවීමට මෙවන් යමක් කමක් කර කියාගත හැකි පිරිස් ද පෙළඹී ඇති බව අද මැනවින් විද්‍යාමාන වී ඇති කරුණකි.

යාචකත්වය වෘත්තීය මට්ටමින් මනා ලෙස ප්‍රගුණ කළ පිරිසකගේ සමජ අවතීර්ණය අපට දිස්වන්නේ මෙවැනි පසුබිමක් තුළ වන අතර හිඟන දරුවන් නම් තම මව් පියන් වෙතින් ද, ඇතැම් පිරිස් ඒ සඳහාම සිටින හිඟන උපදේශකයන්ගෙන් ද විධිමත් පුහුණුවක් සහ උපදේශනයක්  ලබති. බොහෝ විට මේ සඳහා යොමු වන්නේ කොළඹ නගරය හා ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල හිඟමනේ යෙදෙන පිරිස් යැයි මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සිය The Beggar in sri lanka නම් කෘතියෙහි දක්වා ඇත.

වෘත්තියක් ලෙස හිඟමන තෝරාගෙන එහි නියැලෙන්නෝ බොහෝ විට සංවිධානාත්මකව ඒ කාර්යයෙහි නිරත වේ. මෙහිදී ගම් මට්ටමින් සංවිධානය වී ඇති සුළු හිඟන පිරිස් සේම නගරාශ්‍රිතව ඉතා මැනවින් සංවිධානය වී ඇති පිරිස් ද ශ්‍රී ලංකාව තුළ සිටින බව නන්දසේන රත්නපාල මහතාගේ ග්‍රන්ථය පරිශීලනය කිරීමේදී පෙනී යයි. මේ හිඟන සංවිධාන ක්‍රියාත්මක වන්නේ යම්කිසි නායකයකු යටතේය. මෙය තරමක් අපූරු සංවිධානවීමක් වන අතර මෙය වූ කලී මහ සමාජ සංස්කෘතියෙන් වෙන් වූ යාචක උප සංස්කෘතියකි.

එක් එක් හිඟන්නන් පිළිබඳ කටයුතු සහ ඔවුන්ගේ වගකීම පැවරෙන්නේ අදාළ ප්‍රදේශය බාරව සිටින නායකයින් හටය. මෙසේ සංවිධානාත්මකව මෙම ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයින් කටයුතු කළ යුත්තේ ඔවුන්ටම වෙන් වූ කිසියම් බල ප්‍රදේශයක වන අතර යම් යම් පොදු එකඟතා මත ගොඩනැගුණු අනු කණ්ඩ ද මෙම සංවිධාන තුළ පවතී. සංවිධානය කෙබඳු ආකාරයේ පුද්ගලයින්ගෙන් සමන්විත වූව ද එහි අවසන් අධිකාරීත්වය දරන්නේ, හිඟන්නන්ගේ බල ප්‍රදේශය, ඔවුන්ගේ ආදායම් ඉලක්ක, ඔවුන්ගේ චරිත ස්වාභාවය, ආදී මේ සියළු දෑ තීරණය වන්නේ ඔවුන්ගේ නායකයන්ගේ අනුමැතිය මතය.

කෙසේ නමුත් සිඟමන පිළිකුල්කොට සැලකීමේ සිරිතක් හෝ ආගමික පසු බිමක් ශ්‍රී ලංකාව තුළ දක්නට තිබුණේ නැත. දුරාතීතයේ සිටම මෙහි පැවති සමාජ, ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදාය අනුව හිඟන්නා අන්‍යයන්ගේ උදව් උපකාරත්, අනුකම්පාවත් ලැබියයුතු කෙනෙකු සේ සැලකිණි. නමුත් පැවති එම තත්වය වර්තමානය වන විට වෙනස් වී ඇති අයුරු පෙනෙන්නට තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙය සංවිධානාත්මක ව්‍යාපාරයක් වශයෙන් සිදුවීම සහ හිඟමන ද විශාල පරිවර්තනයකට භාජනය වී මිනිසුන් නොදැනුවත්වම ඔවුන්ට රැවටීමය.

එම නිසා හිඟන පුද්ගලයකු දුටු විට මිනිසුන් වර්තමානයේ වෙනදාට වඩා සුපරීක්ෂාකාරී වී ඇත. සමහරවිට ඔවුන් සහයෝගය නොදක්වන තැනකට ද පත් වී ඇත. එම නිසා සහයෝගය අත්‍යාවශ්‍යම සිඟන්නන්ට පවා මිනිසුන්ගේ මෙම සහයෝගය නොලැබී ගොසින් ඇත. යාචකත්වය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් වශයෙන් සිදුකිරීම හා සම්බන්ධව සාකච්ඡා කරනවිට ශ්‍රී ලංකාවේ යාචක වෙන්දේසි පවා පවතිනවා යැයි කිවහොත් සමහරවිට ඔබ පුදුම විය හැකිය. නැතිනම් ඒ පිළිබඳව දැනටමත් ඔබ දන්නවා විය හැකිය. කෙසේ නමුත් යාචක වෙන්දේසියක් පිළිබඳව මෙත්ලාල් වීරසූරිය මහතාගේ ග්‍රන්ථය තුළ දැක්වෙන්නේ පහත සඳහන් අයුරිනි.

"මේ වෙන්දේසි සඳහා බොහෝ විට යොදා ගන්නේ අත පය අහිමි වූ අංගවිකල බව විදහා දැක්වෙන පිරිස් බව එම වෙන්දේසි පවත්වන ස්ථාන සහ පුද්ගලයින් පිළිබඳ අනාවරණය වන තොරතුරු මඟින් හෙලි වේ. කොළඹ නගරයේ එවන් හිඟන වෙන්දේසියක් පැවැත්වුණු අවස්ථාවක් පිළිබඳ විස්තරයකි මේ

ඔහුගේ දෑත් නැත. දෙපා ද නැත. එහෙත් මේ වෙන්දේසි පොළේ ඔහු අලෙවි වූයේ රුපියල් 3200 කට ය. වෙන්දේසිය පැවැත්වුණේ කොළඹ කොල්ලුපිටියේ දුම්රියපොළ අසලදීය. මේ හිඟමන් යදින්නන් වෙන්දේසිකරන වෙන්දේසි පොළකි. මේ වෙන්දේසිපොළට පැමිණි සිටි පිරිස අතරින් සමහරු ජැන්ඩි පහට සැරසී සිටියහ. එදා වේලාව උදේ දහය හමාරට පමණ ඇත. පළමුවෙන් ම වෙන්දේසියට ගැණුනේ දෑත දෙපය නැති අයෙකි. වෙන්දේසිකරු ඈවරයි කීවේය. ඉල්ලුම ඉහළ ගියේය. ගාණ තවත් ඉහළට ගියේය. තුන් ඈවරයි කියවුනේ රුපියල් 3200 කට අතපය නැත්තා තීන්දු වූ පසුවය.

ඊ ළඟට වෙන්දේසි වූයේ ඇස් අඳ දැරියකි. ඇයට ද ලන්සුවක් පැමිණ ඉල්ලුම ඉහළ යද්දී දෙපා නැත්තා ඒ අසලින් ඔසවාගෙන යනු දක්නට ලැබුණි. ඒ ගැන විපරම් කලවිට දුටුවේ ජැන්ඩි පහේ මුදලාලිකෙනෙකුගේ වාහනයක දෙපා නැත්තා වැතිර සිටින බවය".

අතපය සතර යහතින් ඇති තැනැත්තෙකු හට කීයක් හෝ දෙන්නට ශ්‍රී ලංකාවේ බහුතර මිනිස් ප්‍රජාවක් කැමැත්තක් නොදක්වන බව රහසක් නොවේ. මෙය හොඳම හැටි දන්නා යාචකයින් සිදු කරන්නේ වෙනත් ලෙඩ රෝග තමන්ට ආරෝපණය කර ගැනීම වන අතර ඒ අතර බහුල වන්නේ අපස්මාරය, මීමැස්මොරය වැනි ලෙඩ රෝගයන් ය.

එමෙන්ම ඔවුන්ටම වෙන් වූ විවිධ සන්නිවේදන ක්‍රමයන් ද පවතින අතර එක් දිනක ඔවුන් පවසන්නේ සිය මව සහ පියා දෙදෙනාම ගසකින් වැටී මියගිය බවය. නමුත් තවත් දිනෙක එම පුද්ගලයාම පවසන්නේ මව සහ පියා දියේ ගිලී මියගිය බවය. මෙය තරමක් ප්‍රාථමික සන්නිවේදන ක්‍රමයක් වූවත් ඊටත් වඩා නිර්මාණශීලී සන්නිවේදන ක්‍රමයන් ද මොවුන් භාවිත කරයි.

කුණු කරවල සහ ඉදුණු තක්කලි ඉස්ම කකුලට තබා උඩු දිවූ තුවාලයක් ලෙස පෙනෙන අයුරින් වෙලාගෙන සිඟමනේ යෙදෙන්නන්ද වෙති. කකුලේ එතූ කුණු කරවල කැබලිවල ඉස්ම සහ ඒ හා මුසු වූ තක්කාලි ඉස්ම ද සමගින් වෙලුම් පටියෙන් පැතිර යන දියර තුවලයකින් ගලනා සැරව මෙනි. මේ ඉස්ම මත මැස්සෝ වසති. මෙවන් තැනැත්තෙකු පැමිණ යදිනවිට ඔහු තමා වෙතින් ඉක්මනින් පලවා හැරීමේ අරමුණින් යුතු මිනිසුන් ඔවුනට කීයක් හෝ දෙති.

එමෙන්ම හිඟමන් යෙදීමෙන් උපයා ගන්නා මුදල් තැන්පත් කර තබා අග හිඟ ඇති වූ අවස්ථාවලදී පරිහරණ පිණිස ලබා ගැනීම ද සමහර හිඟන්නන්ගේ සිරිත බව හෙලි වී තිබේ. කොළඹ නගරය තුළ හිඟන්නන්ගේ මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් පවතින බව ද ඔවුන් එම මුදල් කොටහේන ප්‍රදේශයේ එක්තරා කාන්තාවක් ළඟ තැන්පත් කරන බව සමීක්ෂණයකින් හෙලි වී ඇති බවද මෙත්ලාල් වීරසූරිය මහතා සිය ග්‍රන්ථය තුළ සඳහන් කර ඇත.

එපමණක් නොව තවත් පුදුමසහගත කරුණක් වන්නේ සේවා නියුක්තිකයන්ගේ අරමුදලට දායක වීම සඳහා ද ශ්‍රී ලංකාවේ ඇතැම් යාචකයින් ඉල්ලුම්කර තිබීමය. මේ බව නිල වශයෙන් ම අනාවරණය වූ අවස්ථාවක් දක්වන්නේ නම්

" සේවා නියුක්ත බාරකාර අරමුදලට දායක වීම සඳහා යාචකයන් විසි පස් දෙනෙකු දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇත. මෙම අරමුදල සඳහා දායකවීමට ඉල්ලුම් කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බව කම්කරු සහ සමාජ සේවා ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා සිව්රැසට පැවසීය " යනුවෙන් වරෙක පල වූ ප්‍රවෘත්තිය තුළින් මෙය වඩාත් හොඳින් තහවුරු වේ.

එපමණක් නොව ඇතැම් යාචකයන් හිඟමන මඟින් තමා උපයා ගන්නා මුදල් නගරාශ්‍රිතව වෙසෙන සුළු පරිමාණ වෙළඳ ප්‍රජාව හට ඔවුන්ගේ එදෙනෙදා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑම සඳහා පොළියට ලබා දෙන බව ද හෙලි වී ඇත. යාචකයින් මෙසේ තම ජීවිත කාලය තුළදී හිඟමනින් විශාල මුදලක් උපයා ගැනීමට සමත් වී ඇති අතර එලෙස හිඟමනේ යෙදීමෙන් උපයාගත් මුදලක් පුරා වසර කිහිපයක් තිස්සේ තමන්ට බත්මුලක් ලබා දුන් තැනැත්තෙකු හට ලබා දීමට ගිය කටුගස්තොට ප්‍රදේශයේ යාචකයකු පිළිබඳව ද අප අසා ඇත.

මෙලෙස බලනවිට මෙම වෘත්තිය පිළිබඳව සාකච්ඡා කිරීම කොතකින් පටන්ගෙන කොතකින් නිමා කරන්නදැයි නොතේරේ. ඔවුන්ගේ එක් මාතෘකාවක් පිළිබඳව වූවද ලිපි රාශියකින් සාකච්ඡා කළ හැකිය. උදාහරණ ලෙස යාචක වෙන්දේසි පිළිබඳව ග්‍රන්ථයක් වුව රචනා කළ හැකිය. එය ඉතා පලල්ව විහිදුණු ගැඹුරු මාතෘකාවකි.

එබැවින් ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳ කතාන්දරය මෙතකින් නිම වන්නේ ද? නැත. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සහ මෙත්ලාල් වීරසූරිය මහතා වැනි අය මෙම මාතෘකාව පිළිබඳව ග්‍රන්ථ පවා රචනා කර ඇත. එබැවින් මේ පිළිබඳව ඔබ හමුවේ තැබීමට රසවත්ම කරුණු රාශිය තවදු ඉතිරිය. මේ සිදුකරන ලද්දේ ඒ සඳහා පසුබිම සකසා ගැනීම පමණි. එබැවින් ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳ කතාන්දරය 2, ඔබට මතු දිනෙක බලාපොරොත්තු විය හැකිය.

Latest