Skip to content

QR කියන්නේ අලුත් තාක්ෂණයක් නොවුනත් අපේ රටේ ඉන්දන කෝටාව වෙන් කිරීමේ වැඩසටහනේදී QR භාවිතයත් සමග මෙම තාක්ෂනය භාවිතා කිරීම සහ ඒ පිලිබඳ කතාබහ වැඩි වෙලා තිබෙනවා. එමෙන්ම බස් ගාස්තු ගෙවීම් ආදී වෙනත් වැඩසටහන් සඳහාද මෙම තාක්ෂනය භාවිතා කරන්න සලකා බලන බව අපට අසන්නට ලැබුනා. එවන් පසුබිමක මෙම තාක්ෂනය ගැන විස්තරාත්මක සොයාබැලීමක් සිදු කරන්න සිතුවා.

මොකක්ද මේ QR

Quick Response Code යන්න කෙටි කර QR නමින් හදුන්වන අතර මෙය ද්විමාන (two-dimensional) matrix barcode ලෙසද හදුන්වන්න පුළුවන්. අපි මේ වචන එකින් එක පැහැදිලි කරගමු.

Barcode

අපිට අකුරු කියවා පහසුවෙන් තේරුම් ගත හැකි වුවත් පරිගණක යන්ත්‍ර වලට මෙය අපහසු ක්‍රියාවලියක්. එනිසා යම් අංකයක් වැනි තොරතුරක් වේගයෙන් සහ නිවැරදිව පරිගණකයකට කියවිය හැකි ලෙස මුද්‍රිතව නිරුපනය කිරීමට මේ barcode නිර්මාණය කරනු ලැබුවා. බොහෝ භාණ්ඩ ඇසුරුම් වල දකින්නට තිබෙන මෙම barcode වල ඇති විවිද මහත සහිත සමාන්තර රේඛා වලින් එම අයිතමයේ කේතය නිරුපනය වනවා. Barcode reader උපකරණ වලට laser ආලෝකය භාවිතා කර මෙම රේකා වල මහත මැනිය හැකි අතර එම දත්ත ගණනය කර අදාල කේතය ඉතා වේගයෙන් සහ නිවැරදිව ගණනය කල හැකිය. ඉහත කී ආකාරයේ barcode වල එක පෙළකට පමණක් දත්ත නිරුපනය වන නිසා ඒවා 1D barcode ලෙස හදුන්වනු ලබනවා.

Barcode සඳහා උදාහරණයක්

මෙම 1D barcode වල ගැටළු කිහිපයක් තිබෙනවා. මේ හරහා නිරුපනය කල හැක්කේ ඉතා සීමිත අකුරු ප්‍රමාණයක් පමණයි. එමෙන්ම ගබඩා කරන දත්ත ප්‍රමාණයට සාපේක්ෂව ලොකු ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා. තවද මෙම code කියවීමට ඒ සදහාම නිර්මාණය කල උපකරණයක් අවශ්‍ය වෙනවා. camera එකක් හරහා පින්තූරයක් ගෙන එය ඇසුරෙන් මෙම දත්තය කියවිය හැකි වුවත් එහි ඇති රේකා වල ඇති මහත නිවැරදිව ගණනය කිරීමේ හැකියාව අදාල camera එකේ resolution එක මත සීමා වෙනවා.

QR Code

1D barcode වල ඇති ඉහත සඳහන් කල අඩුපාඩු නැති ක්‍රමයක අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් 1994 වසරේදී ජපානයේ Denso ආයතනයේ කොටසක් වන Denso Wave ආයතනය QR code හදුන්වා  දෙනු ලැබුවා. මෙහිදී පේලි වශයෙන් තොරතුරු ගබඩා කරන නිසා මේවා ද්විමාන (2D) Matrix code ලෙස හදුන්වන අතර එම නිසා 1D barcode වලට සාපේක්ෂව වැඩි දත්ත ප්‍රමාණයක් අඩු ඉඩක ගබඩා කිරීමට මෙම ක්‍රමයට හැකියාව තිබනවා. මෙහිදී දත්ත නිරුපනය කිරීමට තීරු වල මහත වෙනුවට තිත් භාවිතා වන නිසා camera එකකින් ලබාගත් පින්තුරයක් ඇසුරින් පහසුවෙන් සහ නිවැරදිව තොරතුරු කියවිය හැකිය.

QR Code සඳහා උදාහරණයක් 

QR Code මුලින් එම සමාගමේ රථවාහන අමතර කොටස් ලේබල් සඳහා නිර්මාණය කලත් පසුව පොදු භාවිතය සඳහා අවස්ථාව ලබාදීමත් සමග බොහෝ සමාගම් මෙම ක්‍රමය භාවිතා කිරීමට පෙළඹුනා. 2000 වසරේ ජුනි මාසයේ ISO ජාත්‍යන්තර සම්මතයක් ලෙසද මෙය පිළිගනු ලැබුවා. Camera සහිත smartphone ආදිය ප්‍රචලිත වීමත් සමග Phone numbers, Email සහ web ලිපින ආදිය එම උපකරණ වලට පහසුවෙන් කියවීමට හැකි පරිදි සටහන් කිරීමට QR Code භාවිතයට බොහෝ දෙනා යොමු විය.  

වෙනත් 2D code වර්ග

QR වලට අමතරව තවත් විවිධ කණ්ඩායම් නිර්මාණය කල 2D code සම්මතයන් රැසක් තිබෙනවා. බෙහෙත් ඇසුරුම් වැනි දේ සඳහා භාවිතා කරන DotCode,  United Parcel Service ආයතනය පාර්සල් ලේබල් කිරීම සඳහා නිර්මාණය කල  MaxiCode ආදිය ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කර මේ ඕනෑම වර්ගයක code ඔබටම ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

Free Online Barcode Generator: Create Barcodes for Free!
This free online barcode generator creates all 1D and 2D barcodes. With TEC-IT Barcode Software you generate barcodes as part of applications or web-sites. Available as Barcode ActiveX, Barcode .NET Web Forms Control, Barcode DLL.

QR සැකැස්ම

සියලුම QR code වල කෙරවල තුනක විශාල කොටු තුනක් ඇති අතර මෙම code කියවීමේදී එහි ආරම්භක ස්ථානය, හරහට සහ පහලට අවසන් වන තැන් හදුනා ගැනීමට මෙම කොටු තුන භාවිතා කරයි. මෙහිදී සම්පුර්ණ කේතයම නිර්මාණය වන්නේ දිග සහ පළල අතට එකිනෙකට යාවූ කුඩා තිත් තැබිය හැකි ජාලයකිනි (grid). මෙම ජාලයේ දිග සහ පළල කොටු ප්‍රමාණය සැමවිටම සමාන විය යුතුය. මෙහි අවම ප්‍රමාණය 21 x 21 වන අතර උපරිමය 177 × 177 වෙයි. කොටුවක තද වර්ණය ඇති නැති බව අනුව ද්විමය (binary) ආකාරයට දත්ත නිරුපනය සිදු කෙරෙන අතර අප ගබඩා කරන අකුරු ප්‍රමාණය මත මෙම කොටු ප්‍රමාණය වැඩි වීම සිදු වෙයි.

වරද නිවැරදි කරගැනීමේ හැකියාව

QR Code වල දත්ත ගබඩා කිරීමේදී තෝරාගැනීමට අපට වරද නිවැරදි කරගැනීමේ මට්ටම් (Error correction levels) 4ක් ඇත. මෙම මට්ටම් L, M, Q, H ලෙස හදුන්වන අතර ඒ හරහා පිළිවලින් මුළු කේතයෙන් 7%,15%, 25%, සහ 30% ප්‍රමාණයක් විකුර්ති වී තිබුනද නිවැරදිව කියවීමට පහසුකම් සලසයි. සමහර QR Code මැද යම් කුඩා icon එකක් සදහන් කර තිබෙනවා ඔබ දැක ඇති. එසේ තිබියදීද එම කේත ක්‍රියාත්මක වනුයේ මෙම අඩුපාඩු නිවැරදි කරගැනීමේ හැකියාව නිසාය. කෙසේ නමුත් මෙම Error correction levels ඉහල යනවත් සමග ඒ සඳහා භාවිතා වන අමතර ඉඩ ප්‍රමාණයද වැඩි වෙයි.

එකම දත්තය විවිධ Error correction levels භාවිතයෙන් නිරුපනය කල විට 

වර්තමාන භාවිතය

Fuel Pass

ලංකාවේ මෑත කාලයේ QR Code ගැන කතාබහ වැඩි වන්නේ ඉන්දන කෝටාව ලබාදීම සඳහා මෙය භාවිතයට ගැනීමත් සමගය. මෙහිදී ලබාදෙන QR කේතයෙහි අපගේ වාහන අංකය සහ තවත් අකුරු 12 කින් පමණ සමන්විත රහස්‍ය  කේතයක් අඩංගු වෙයි. ඉන්දන නිකුත් කරන්නන්ට අපගේ ඉන්දන කෝටාව ලබාදීම ලකුණු කිරීමට මේ විස්තර ඔවුන් සතු smart phone එකෙහි ඇති වැඩසටහනට ඇතුලත් කල යුතුය. මෙම ක්‍රියාවලිය පහසු කිරීමට ඉහත කී විස්තර අඩංගු QR code වාහන හිමිකරුවන්ට නිකුත් කරන ලදී.

කෙසේ නමුත් මෙම code වල අඩංගු කිසිවක් රහස්‍ය නොවන අතර එහි පින්තුරයක් ගැනීමෙන් ඕනෑම අයෙකුට පහසුවෙන් මෙම දත්තය පිටපත් කරගත හැකිය. මෙවන් අවස්ථාවකදී අපට https://fuelpass.gov.lk/login වෙබ් අඩවියෙන් අපගේ ගිණුමට ඇතුලත් වී නව QR code එකක් ලබාගැනීමට සිදුවේ. මෙහිදී code එක තුල සඳහන් වාහන අංකය නොවෙනස්ව පැවතියදී  ඉතිරි කොටස වෙනස් වන අතර පරණ කේතය අවලංගු වෙයි.

ගෙවීම් සඳහා

කාඩ්පත් ගෙවීම් ක්‍රියාවලියේදී ගෙවීම කරනු ලබන තැනැත්තා සතුව තම ගිණුම් විස්තර රහසිගතව ගබඩා කර ඇති කාඩ්පතක් ඇති අතර ගෙවීම ලබන්නා සතුව එම කාඩ්පතෙහි ඇති විස්තර කියවා අදාල මුදල ලබාගැනීමට කටයුතු කල හැකි උපකරණයක් ඇත. නමුත් QR වල එවැනි රහසිගත භාවයක් නැති නිසා ගෙවීම් ලබන්නා තම ගිණුම් විස්තර QR එකක් ඇසුරින් ප්‍රදර්ශනය කරන අතර මුදල් ගෙවන්නා තම ගිණුමට අදාළ app එක භාවිතයෙන් ඉහත කී කේතය scan කර විස්තර ලබාගෙන මුදල් යැවීම සිදු කරයි. ගනුදෙනුව සම්පුර්ණ වීමෙන් අනතුරුව මුදල් ලබන්නාගේ බැංකුව ඒ පිළිබද තහවුරු කිරීමේ පණිවිඩයක් ලබන්නා වෙත යවයි.

IPhone Mockup
Photo by David Dvořáček / Unsplash

මෙම ගෙවීම් සඳහා ලංකාවේ බැංකු පද්ධතිය නිල වශයෙන් භාවිතා කරනුයේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ක්‍රියාත්මක කරන LANKAQR පද්ධතියයි. මෙම ක්‍රමය භාවිතා කරන බැංකු සහ app පිලිබඳ විස්තර පහත වෙබ් පිටුවෙන් ලබාගත හැකිය

https://www.lankapay.net

Web සහ email ලිපින පල කිරීමට

මුද්‍රිත මාධ්‍ය වල web සහ email ලිපින මුද්‍රණය කිරීමට අමතරව qr ලෙසද පළකිරීම මගින් එය කියවන පුද්ගලයාට පහසුවෙන් එම තොරතුරු තම smart phone එකට ලබාගත හැකි වනවා. අපට අවශ්‍ය QR Code නොමිලේ online නිර්මාණය කරගත හැකි වෙබ් අඩවි රැසක් තිබෙනවා. පහල තිබෙන්නේ එවැනි එක් සේවාවක්. මෙවැනි සේවාවන් භාවිතා කර ඔබගේ web ලිපින ආදිය නිරුපනය කිරීම සඳහා ඉතා පහසුවෙන් QR code ඔබටම නිර්මාණය කරගත හැකියි.

https://express.adobe.com/tools/qr-code-generator

QR කියවීම

මෙම QR කියවා අදාළ තොරතුර ලබාගැනීමට භාවිතා කල හැකි ආකාරයේ වැඩසටහන් (app) එකක් හෝ කිහිපයක් බොහෝ smart දුරකථන සමගම අපට ලැබෙනවා. එසේත් නැතිනම් ඔබගේ smartphone එකට අදාළ APP store එක හරහා එම වැඩසටහනක් ලබාගැනීමට හැකිය.

සරලව කිව්වොත්...

QR Code කියන්නේ Smart phone වැනි පරිගණක උපකරණ වලට පහසුවෙන් කියවිය හැකි ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කල හැකි පහසු ක්‍රමයක් පමණයි. විවිධ පරිගණක වැඩසටහන් භාවිතා කිරීමේදී දත්ත ඇතුලත් කිරීමට ගතවන කාලය මෙම තාක්ෂනය භාවිතා කර අඩු කරගන්න පුළුවන්. කෙසේ නමුත් මෙවැනි තාක්ෂණ ජනප්‍රිය වනවාත් සමග රැල්ලට ගොසින් සියලු අවස්තා සඳහා භාවිතා නොකර ගැලපෙන අවස්ථා සදහා භාවිතා කිරීම ඉතා වැදගත්.

Latest