Skip to content

රෝමය ගිනි ගද්දී විණාව වැයූ නීරෝගේ කතාව

පුරාණ නටබුන්වල සෙවනැලි යට ගලා යන ටයිබර් ගංගාව පිහිටා ඇති රෝමයේ, පාවාදීමේ කතාවක් සියවස් ගණනාවක් පුරා දෝංකාර දෙයි. මෙම පරම්පරාවෙන් පරම්පරාවට කියන ලද කතාවක් වූ අතර නගරයේ ගල්වලද මෙම කතාව කැටයම් කර ඇත. ඔහුගේ නම කෲරත්වයට සහ පරිහානියට සමාන වන අතර බොහෝ දෙනා විශ්වාස කරන පරිදි රෝමය විනාශය කරා ගෙන ගිය අධිරාජ්‍යයෙකුගේ කතාවකි. මේ රෝමය පාවා දුන් නීරෝ අධිරාජ්‍යයාගේ කතාවයි.

නීරෝ අධිරාජ්‍යයා 

ඉතිහාසඥ ටැසිටස් ලියූ පරිදි, "රෝමය සැබවින්ම ප්‍රතිවිරුද්ධ නගරයක් (City Of Contrast) විය". එය මහා ධනයෙන් හා විනාශකාරී දරිද්‍රතාවයෙන් මෙන් ඇදහිය නොහැකි සුන්දරත්වයෙන් හා කිව නොහැකි කෲරත්වයෙන් පිරුණු තැනක් විය. ඒ සියල්ලේ කේන්ද්‍රය වූයේ නීරෝ නම් ඔහුගේ පාලන සමය තුළ ඉතිහාසයේ ගමන් මග සදහටම වෙනස් කෙරූ මිනිසෙකි. ඔහු අධිරාජ්‍යයෙකු පමණක් නොව, රෝම අධිරාජ්‍යයේ වැටීමට තුඩු දුන් ප්‍රචණ්ඩත්වයේ සහ දූෂණයේ සංකේතයකි. ඔහුගේ පාලන සමය අතිවිශේෂත්වය (Extravagance), කෲරත්වය සහ මහජන යහපැවැත්ම නොසලකා හැරීම මගින් සංලක්ෂිත විය.

ඉතිහාසඥ ටැසිටස්

ඉතිහාසඥ සූටෝනියස් සඳහන් කරන පරිදි, නීරෝ යනු 'රෝමය ගිනි ගනිද්දී වීණාව වයමින් සිටි මිනිසා' ය. ඔහුගේ මෙම අවාසනාවන්ත කීර්තිය තිබියදීත්, නීරෝ වැදගත් ඓතිහාසික චරිතයක් ලෙස සලකයි. ඔහුගේ ජීවිතය සහ පාලන සමය ඉතිහාසඥයින්, විද්වතුන් සහ මානව ඉතිහාසයේ සංකීර්ණතා ගැන උනන්දුවක් දක්වන සියලු දෙනා ආකර්ෂණය කරයි.

ඉතිහාසඥ සූටෝනියස්

ක්‍රිස්තු වර්ෂ 37 දෙසැම්බර් මාසයේදී ලුසියස් ඩොමිටියස් ඇචෙනොබාර්බස් ලෙස උපත ලැබූ නීරෝට මුලින් රෝම අධිරාජ්‍යයේ සිංහාසනයේ උරුමය නියම වූයේ නැත. ඔහුගේ පියා වූ Gnaeus Domitius Ahenobarbus වංශවත් පවුලක උපතක් ඇති මිනිසෙක් වූ නමුත් ඔහුගේ නම ප්‍රසිද්ධ වූයේ ඔහුගේ කුරිරු චරිතය සහ ම්ලේච්ඡ ක්‍රියා නිසාය. නීරෝට වයස අවුරුදු තුනේදී ඔහු මිය ගියේය.

Gnaeus Domitius Ahenobarbus

අභිලාෂකාමී, අනුකම්පා විරහිත අභිලාෂයක් ඇති කාන්තාවක් වූ, කැලිගුලා අධිරාජ්‍යයාගේ සහෝදරිය සහ ඔගස්ටස් අධිරාජ්‍යයාගේ පරම්පරාවේ උරුමාකාරිය වූ ඇගේ මව වූ ඇග්‍රිපිනාගේ රැකවරණය නීරෝ හට උරුම විය.
ජූලියා ඇග්රිපිනා යනු අසමසම අධිෂ්ඨානශීලී සහ කපටි කාන්තාවක් විය.

ජූලිය ඇග්‍රිපිනා 

ඇගේ සොහොයුරු කැලිගුලාගේ අනපේක්ෂිත සහ ප්‍රචණ්ඩ පාලනය නිසා ඇති වූ බොහෝ අවධානම් වලින් ඇය දිවි ගලවා ගත්තාය.

කැලිගුලා 

කැලිගුලා විසින් ඇය පිටුවහල් කරනු ලැබුවද, ඇය ආපසු පැමිණ ඇගේ මාමා වූ ක්ලෝඩියස් අධිරාජ්‍යයා සමඟ විවාහ වූවාය. ඔහු සමඟ ඇයගේ විවාහය ඇගේ පුත් නීරෝව සිංහාසනය උරුම කර දීම සඳහා සැලසුම් කරන ලද උපායමාර්ගික පියවරකි. ක්ලෝඩියස් කෙරෙහි අග්‍රිපිනාගේ බලපෑම විශාල විය.

ක්ලෝඩියස් අධිරාජ්‍යයා

ඇය නීරෝව හදා වඩා ගන්නා ලෙසත් ඔහුගේම පුත් බ්‍රිටැනිකස් වෙනුවට නීරෝව ඔහුගේ උරුමක්කාරයා ලෙස නම් කිරීමටත් ඔහුව පොළඹවා ගත්තාය. බ්‍රිටැනිකස් ක්ලෝඩියස්ගේ පුත්‍රයා බැවින් මෙය මතභේදාත්මක පියවරකි. කෙසේ වෙතත්, ඇග්‍රිපිනාගේ උපාමාරු සහ ඒත්තු ගැන්වීම ජයගත් අතර නීරෝ ක්ලෝඩියස්ගේ උරුමක්කාරයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ක්‍රි.ව. 54 දී ක්ලෝඩියස්ගේ මරණයෙන් පසු ජූලියාගේ කූටෝපායන් ප්‍රතිඵල පල දැරුවේය.

බ්‍රිටැනිකස්

ප්‍රේටෝරියානු ආරක්ෂක බළකාය විසින් නීරෝ අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, සෙනෙට් සභාවට නීරෝව පිළිගැනීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත. පළමු වතාවට, රෝම අධිරාජ්‍යයේ නිරපේක්ෂ බලය වයස අවුරුදු 17 ක් නොවූ පිරිමි ළමයෙකුට පැවරුණි.

ප්‍රේටෝරියානු ආරක්ෂක බළකාය

ඉතිහාසඥ ටැසිටස් මේ මොහොත ගැන ලියා ඇත.

"රෝම ලෝකයේ නීරෝ යන නමේ තේරුම බලාපොරොත්තුව සහ භීෂණය වේ."

සිංහාසනයේ තරුණ උරුමක්කාරයා නව යුගයක සංකේතයක් වන බලාපොරොත්තුවේ කිරණ ලෙස සැලකේ. එහෙත් මෙම තරුණ හා අද්දැකීම් අඩු පාලකයා කුමක් ගෙන එයිද යන බිය පිළිබඳ හැඟීමක් ඇති කරයි. නීරෝගේ පාලනය ආරම්භ වූයේ පොරොන්දු සහගත ලෙස ය. ඔහුට වයස අවුරුදු 17ක් පමණක් වූ අතර ඔහු අධිරාජ්‍ය පදවිය දැරූ ලාබාලතම පුද්ගලයාද විය.

නීරෝ අධිරාජ්‍යයා 

ඔහුගේ සිංහාසනයේ පළමු වසර කිහිපය තුළ ඔහු ශුභවාදී ලෙස කටයුතු කරන ලදී. ඔහු බදු අඩු කළේය. සෙනෙට් සභාවට වැඩි ස්වාධීනත්වයක් ලබා දුන්නේය, කලාව දිරිමත් කළේය. ඔහු කවියන්ට, සංගීතඥයින්ට සහ කලාකරුවන්ට අනුග්‍රහය දැක්වූ අතර සංගීතයට සහ කලාවට ඇති කැමැත්ත නිසා ඔහු ප්‍රසිද්ධ විය. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් තරුණ අධිරාජ්‍යයාගේ සැබෑ ස්වරූපය ඉස්මතු වීමට පටන් ගත්තේය. ඔහු අධික කුරිරු සහ වඩ වඩාත් අස්ථාවර විය. ඔහු තම මව සහ බිරිඳ ඝාතනය කළ අතර, විශාල මාලිගා සංකීර්ණයක් වූ ඔහුගේ ගෝල්ඩන් හවුස් නිර්මාණය කිරීමට අවශ්‍ය ඉඩම ලබා ගැනීම සඳහා ක්‍රිස්තු වර්ශ 64 දී රෝමයේ මහා ගින්න ඇති කළ බවට කටකතා ඇත.

ගෝල්ඩන් හවුස් ඇතුළත

ගෝල්ඩන් හවුස් නොහොත් ඩොමස් ඕරියා (Domus Aurea) නීරෝගේ අතිවිශිෂ්ටත්වය පිළිබඳ සාක්ෂියකි. මාලිගාව කිසි විටෙකත් නිම නොකළ නමුත් එහි ආරම්භය පවා සිත් ඇදගන්නා සුළු විය. විවිධ වාර්තාවලට අනුව ගොඩනැගිලි සංකීර්ණය හෙක්ටයාර් 40ත් 120ත් අතර ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ අතර, මෙහි විශේෂත්වය වන්නේ නීරෝගේම මීටර් 35ක ප්‍රතිමාවකි. එයට "කොලොසස් ඔෆ් නීරෝ" යන නම ලබා දී ඇත. එම ගොඩනැඟිලි රන් හා වටිනා ගල්වලින් සරසා තිබූ අතර විශාල උද්‍යාන සහ කෘතිම විල් වලින් සරසා තිබූ බව පැවසේ.

ගෝල්ඩන් හවුස් හි අනුමාන චිතයක්

මෙම මාලිගා සංකීර්ණය අද දක්වාම යුරෝපයේ ඉදිකරන ලද සියලුම රාජකීය වාසස්ථාන වලින් විශාලතම මාලිගාව වන අතර ලෝකයේ ඇති රාජකීය වාසස්ථාන අතරින් එය ප්‍රමාණයෙන් කුඩා වන්න්  චීන අධිරාජ්‍යයන්ගේ වාසස්ථානය වන "තහනම් නගරය (Forbidden City)" ට ය.

තහනම් නගරය

රෝමයේ මහා ගින්න නීරෝගේ පාලන සමයේ හැරවුම් ලක්ෂයක් විය. රෝමයේ දිස්ත්‍රික්ක දාහතරෙන් තුනක් විනාශ වූ අතර තවත් හතකට දැඩි ලෙස හානි කරමින් ගින්න දින හයක් සහ රාත්‍රී හතක් පුරා පැතිර ගියේය. නීරෝ විසින්ම ඔහුගේ මාලිගාව සඳහා ඉඩම එළිපෙහෙළි කිරීම සඳහා ගින්න ඇවිලවූ බවට කටකතා ඉක්මනින් පැතිර ගියේය. ඔහු ක්‍රිස්තියානීන්ට ප්‍රසිද්ධියේ දොස් පැවරුවද, රෝමයේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ අධිරාජ්‍යයා වගකිව යුතු බවයි. ඔහුගේ පාලනය, නාස්තිය, කෲරත්වය සහ රෝම පුරවැසියන් කෙරෙහි නොසැලකිලිමත්කමෙන් පිරී ගියේය. පුලුල්ව පැතිරුනු අතෘප්තියට තුඩු දුන් අතර අවසානයේ කැරලි ඇති විය.

රෝමයේ ඇති වූ ගින්න පිළිබිඹු කරන චිත්‍රයක් 

68 දී සෙනෙට් සභාව නීරෝව රෝම අධිරාජ්‍යයේ පොදු සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඔහුට රෝමයෙන් පලා යාමට සිදු විය. වැඩි කල් යන්නට මත්තෙන්, ඔහු සියදිවි නසාගත් අතර, ජූලියෝ-ක්ලෝඩියන් රාජවංශය අවසන් කර රෝමය අධිරාජ්‍යයන් හතර දෙනාගේ වසර (Year Of The Four Empires) ලෙස හැඳින්වෙන සිවිල් යුද්ධයේ වසරක් බවට පත් කළේය. ඉතිහාසඥ සූටෝනියස් නීරෝගේ අවසාන මොහොත ගැන මෙසේ ලියයි,

"සියල්ලන් විසින් අත්හැර දැමූ ඔහු රෝමයෙන් පලා ගොස් නගරයෙන් පිටත විලා (Villa) එකක රැකවරණය ලබා ගත්තේය. එහිදී විලා එක දෙසට අසරුවන් එන දෝංකාරයත් සමඟ ඔහු සියදිවි නසා ගත්තේය."

සෙනට් සභාව

නීරෝගේ මරණය රෝම අධිරාජ්‍යයන්ගේ පළමු රාජවංශයේ අවසානය සනිටුහන් කළේය. ජෙනරාල්වරුන් සහ දේශපාලනඥයන් බලය සඳහා සටන් කරන විට එය රෝමය අවුල් සහගත හා සිවිල් යුද්ධයකට ඇද දැමීය. මෙම කාලපරිච්ඡේදය, වෙස්පේසියන් යටතේ ෆ්ලේවියන් රාජවංශය පිහිටුවීමට පෙර කෙටිකාලීන අධිරාජ්‍යයන් තිදෙනෙකුගේ නැගීම සහ වැටීම දැකගත හැකි විය.

වෙස්පේසියන්

නීරෝගේ පෞද්ගලික ජීවිතය නාටකාකාර විය. ඔහුගේ පාලනයේ කැළඹිලි ස්වභාවය පිළිබිඹු කරමින් ඔහුගේ වටා ඇති සියලු දෙනා හැසිරවීම (Manipulation), පාවාදීම සහ ඛේදවාචක මගින් සලකුණු විය. නීරෝගේ පළමු විවාහය ක්ලෝඩියස් සහ මෙසලිනාගේ දියණිය වන ඔක්ටේවියා සමඟයි. මෙම විවාහය සිදු වූයේ ආදරයෙන් නොව දේශපාලන උපාය මාර්ගයෙනි. ඔක්ටේවියා යනු නීරෝගේ සිංහාසනයට හිමිකම තහවුරු කිරීමට උපකාර වන ජූලියෝ-ක්ලෝඩියන් රාජවංශයට සම්බන්ධයක් වූ නීත්‍යානුකූලභාවයේ සංකේතයකි. නමුත් ඇගේ රාජකීය පරම්පරාව සහ ඔවුන්ගේ විවාහයේ දේශපාලන වාසි තිබියදීත්, නීරෝගේ හදවත වෙනත් කෙනෙකුට අයත් විය.

ඔක්ටේවියා

ඔක්ටේවියා සමඟ විවාහ වී සිටින අතරතුර, නීරෝ අසාමාන්‍ය සුන්දරත්වයෙන් හා අභිලාෂයකින් යුත් කාන්තාවක් වන පොපියා සබීනා සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරයි. ඇය නීරෝගේ අනියම් බිරිඳ බවට පත්වන විට, පොපියා වෙනත් කෙනෙකු සමඟ  විවාහ වී සිටියාය. නමුත් මෙය ඔවුන්ගෙන් කිසිවෙකුට බාධාවක් නොවිය. විවාහයේ පරිශුද්ධභාවය නොසලකා හැරීම නිසා ඔවුන්ගේ සම්බන්ධය රෝම පුරවැසියන් කම්පනයට පත් කරන ලදී.

පොපියා සබීනා

පොපියා විවාහ කර ගැනීම සඳහා, නීරෝ ඔක්ටේවියා අනාචාරයේ යෙදෙන බවට චෝදනා කෙරුවේය. එය පදනම් විරහිත චෝදනාවක් මෙන්ම ඉතා කුරිරු චෝදනාවකි. ඔක්ටේවියාව පැන්ඩටේරියා දූපතට පිටුවහල් කරනු ලබන අතර, එම දඩුවම ඇයට පෙර බොහෝ අපකීර්තියට පත් රෝමානු කාන්තාවන්ට අත් වූ ඉරණමකි. කෙසේ වෙතත් නීරෝට ඇයව පිටුවහල් කිරීම ප්‍රමාණවත් නොවීය. ඔක්ටේවියාගේ නැවත පැමිණීම තවමත් ඔහුගේ සිංහාසනයට තර්ජනයක් විය හැකි බවට බියෙන් ඔහු ඇයව මරා දැමීමට නියෝග කෙරුවේය.

වර්තමාන පැන්ඩටේරියා දූපත

ඔක්ටේවියා තවදුරටත් බලයට තර්ජනයක් නොවන නිසා, නීරෝට පොපියා සමඟ විවාහ වීමට නිදහස තිබේ. ඔවුන්ගේ විවාහය ඔවුන්ගේ ආදරය හා බලයේ උත්කර්ෂවත් භාවය පෙන්වූ උත්සවයකි. කෙසේවෙතත්, ඔවුන්ගේ සතුට කෙටිකාලීන විය. පොපියාගේ ගැබ් ගැනීම, නීරෝගේ රාජවංශය සුරක්ෂිත කළ යුතු ප්‍රීතිමත් සිදුවීමක් වුවද එය ඛේදවාචකයකින් අවසන් විය. ඔවුන් අතර ඇති වූ ආරවුලකින් පසුව, නීරෝ පොපියාගේ බඩට පයින් ගසා ඇයව සහ ඔවුන්ගේ නූපන් දරුවා මරා දැමුවේය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව නීරෝගේ පාලන සමයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර, සමාව දිය නොහැකි මෙම කෲරත්වයේ ක්‍රියාව නිසා ඔහුව රෝම ජනතාවගෙන් තවදුරටත් ඈත් කළේය.

ඉතිහාසඥ ටැසිටස් නීරෝගේ පෞද්ගලික ජීවිතය ගැන මෙසේ ලිවීය.

"ඔහුගේ විවාහයන් ඔහුගේ පාලන සමය තරම්ම විනාශකාරී විය. ඔහු කාන්තාවන්ට සැලකුවේ සහකාරියන් ලෙස නොව බලය සඳහා වූ ඔහුගේ ඉත්තන් ලෙසය. ඔක්ටේවියා සහ පොපියා වෙත ඔහුගේ කෲරත්වය මගින් ඔහු රෝමයට දැක්වූ කෲරත්වය පිළිබිඹු කරයි"

අද, රෝම අධිරාජ්‍යයේ විනාශය සම්බන්ධයෙන් බොහෝ විට නීරෝට දොස් පවරනු ලැබේ. ඔහුගේ නම කුරිරු පාලනයට සහ පරිහානියට සමාන පදයක් වී ඇති අතර ඔහුගේ පාලන සමය රෝම අධිරාජ්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සඳහන් වේ.

නමුත් මෙම අපකීර්තිය ඔහුට ලැබිය යුතුද?

සමහර ඉතිහාසඥයන් තර්ක කරන්නේ නීරෝ අනෙක් අධිරාජ්‍යයන්ට වඩා නරක නැති බවත් ඔහුගේ පාලන සමය තුළ කලාව හා සංස්කෘතිය සැලකිය යුතු ජයග්‍රහණ මගින් සලකුණු කර ඇත. ඔහුගේ අනුග්‍රහය යටතේ කලාව දියුණු විය.

කෙසේ වෙතත්, නීරෝගේ පාලන සමය කුරිරුකම් වලින් සලකුණු විය. අධික බදු අයකිරීම් සහ දේපළ රාජසන්තක කිරීම හරහා මුදල් සපයා ගත් ඔහුගේ සුඛෝපභෝගී සාද සහ අධික ජීවන රටාව සඳහා ඔහු ප්‍රසිද්ධ විය.
ඔහු රෝම පුරවැසියන්ට සැලකූ ආකරය, විශේෂයෙන්ම ඔහු කිතුනුවන්ට හිංසා පීඩා කිරීම, කුරිරු පාලකයෙකු ලෙස ඔහුට කීර්තියක් ලබා දුන්නේය.

ඉතිහාසඥ ටැසිටස් නීරෝගේ පාලන සමය ගැන මෙසේ ලිවීය.

"ඔහු මහත් අභිලාෂයක් ඇති මිනිසෙකි. නමුත් ඔහුගේ අභිලාෂය රෝමයේ යහපත සඳහා නොවේ. ඔහු සෙව්වේ තම සතුට පමණි. ලාභය සහ බලය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔහු තම ජනතාවගේ සුබසාධනය කැප කිරීමට කැමති විය."

තවත් අය තර්ක කරන්නේ රෝමයේ පරිහානිය වේගවත් කළේ නීරෝගේ අශිෂ්ටත්වය බවයි. ඔහු සෙනෙට් සභාව නොසලකා හැරීම සහ ඔහු දේශපාලන ක්‍රමය හැසිරවූ ආකාරය අධිරාජ්‍යයේ ස්ථාවරත්වය අඩපණ කළේය. තවද, නීරෝගේ සියදිවි නසාගැනීම, අවුල් සහගත වසර සහ සිවිල් යුද්ධය අධිරාජ්‍යය දුර්වල කළ අතර එය බාහිර තර්ජනවලට ගොදුරු විය.

මෙම කාල පරිච්ඡේදය බොහෝ විට රෝම අධිරාජ්‍යයේ අවසානයෙහි ආරම්භය ලෙස පෙන්වා දෙයි.

Latest