1886 වර්ශයේදී පතල් ඉංජිනේරුවෙකු වුන ජෝන් ටී රීඩ්ට යෝධයන් ගැන කියවෙන පවුට් (Pauite) ඉන්දියානු පුරාවෘත්තයක් අහන්න හම්බෙනවා. මේ පුරාවෘත්තයට අනුව නෙවාඩා ප්‍රාන්තයේ ලව්ලොක් ගුහාව අසල ප්‍රදේශයේ දිගු කාලයක් තිස්සේ පැවතුන යුද්ධයකට පස්සේ ස්වදේශික ඉන්දියානුවන් විසින් මේ යෝධයන්ව පරදා කරනවා. මේ පුරාවෘත්තය පිළිබඳ රීඩ්ට තිබුණ විශ්වාසය නිසාම ලව්ලොක් ගුහාවේ රහස ගැන ගවේශණය කරන්න ඔහු තුළ විශාල උනන්දුවක් ඇති වෙනවා. 1912 වර්ශයෙදී සහ 1924 වර්ශයේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලය විසින් මේ ස්ථානයේ කරපු නිල කැණීම් කටයූතු වලදී පුරාවස්තු දහස් ගණනක් සොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සොයා ගත්ත පුරාවස්තු අතර තිබුණ මිනිස් අවශේෂ නිසා මේ කැනීම් කරපු පුරාවිද්‍යාඥයන්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා.
"මිනිස් අවශේෂ කියලා සඳහන් කෙරුවාට මේවා මිනිසුන්ගේ අවශේෂ කියලා හඳුන්වන්න බැහැ."

මේ කැණීම් වලදී අඩි 8ත් 10ත් අතර උසක් තිබුණු ඇටසැකිලි හමුවෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ ඇටසැකිලි වල අයිතිකරුවන්ව දැන් හඳුන්වන්නේ ලව්ලොක් යෝධයන් කියන නමින්. විශාල ශරීරයක් තිබුණ යෝධයන් වගේ මිනිසුන් ගැන ජනප්‍රවාද කතා අපිට ලෝකය පුරා පැතිරිලා තියෙන විවිධ සංස්කෘතීන් වලින් හොයා ගන්න පුලුවන්. ඇමරිකා එක්සත් ජනපදයෙන් වගේම ලෝකයේ අනිත් රටවල් වලින්ද යෝධයන් ගැන සාක්ෂි හම්බෙලා තියෙනවා.
ඉතින් මේ සොයා ගැනීම් ගැන කෞතුකාගාරවල සහ පාසල් වල උගන්වන්නේ නැත්තේ ඇයි?
එහෙම කරන්නේ නැත්තේ මොකක් හරි හේතුවක් නිසා යෝධයන්ගේ පැවත්ම අපෙන් වසන් කරලා තියෙන නිසා...
පැරණි සංස්කෘතීන් බොහොමයක වගේ යෝධයන් ගැන සඳහන් වෙනවා. පුරාණ ඉන්දියානු දැනුම් පද්ධතියේ එන ඉගැන්වීම් තුළ මනුෂ්‍ය වර්ගයා අනෙක් සියලු දෙනා සමඟ සාමයෙන් හිටපු යුගයක් ගැන කියවෙනවා. වේදයට අනුව සත්‍ය යුගය එහෙම නැති නම් ගෝල්ඩන් ඒජ් (Golden Age) කියලා කියන්නේ මෙන්න මේ යුගයට. සත්‍ය යුගයේදී ජීවත් වුන මිනිසුන්ගේ උස අඩි 32 ක් කියලා විශ්වාස කරනවා.

පැරණි ගිවිසුමේ ඒ කියන්නේ ඕල්ඩ් ටෙස්ටමන්ට් (Old Testament) එකේ නෙෆිලිම් කියලා ජීවින් කොට්ටාසයක් ගැන කියවෙනවා. ඒ විතරක් නෙමෙයි නිෆිලිම් කියන ජීවින් කොට්ටාසය ගැන ජෙන්සසි (Genesis) පොතෙත් සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් විදිහට හඳුන්වන ෆෝලන් ඒන්ජල්ස්ලා (Fallen Angels) මිනිස් කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත්වලා තියෙනවා. මේ සම්බන්ධතා වලින් ඉපදුන යෝධයන් වගේ දරුවන් නෙෆිලිම් කියලා හඳුන්වනවා.



මළ මුහුදේ ලියවිලි අතර දක්නට ලැබෙන ආගමික ග්‍රන්ථවලින් එකක් වන ඒනොක්ගේ පොතෙත් තරමක් දුරට යෝධයන් ගැන සඳහන් වෙනවා. මේ පොතට අනුව මහා ගංවතුරට කලින් හිටපු "පැරණි කාලයේ මිනිසුන්" විදිහට තමයි නෙෆිලිම්වරුන් හඳුන්වන්නේ.

ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ යෝධයාව අපට හමුවෙන්නේ සැමුවෙල්ගේ පොතෙන්...
ගොලායත් ගැන අහලා තියෙනවා නේද?
ගොලායත් කියන්නේ තනි සටනක් සඳහා ශූරයෙකු එවන්න කියලා ඊශ්‍රායෙල්වරුන්ට අභියෝග කරපු පිලිස්තියන් රණශූරයෙක්ට. දෙවියන් වහන්සේ කෙරෙහි තිබුණ විශ්වාසය නිසා කැටපෝලයක් විතරක් අරගෙන ආපු ඩේවිඩ් මේ යෝධයාව තනි ගලක් යොදා ගෙන පරාජය කරනවා. අනකිට් එහෙමත් නැතිනම් අනකිම් කියලා හඳුන්වපු පරම්පරාවෙන් පැවතගෙන ආපු අඩි 7 ක් සහ අඩි 11 ක් අතර උසක් තිබුණ යෝධයක් විදිහට තමයි ගොලායත් ගැන විස්තර කරලා තියෙන්නේ. ඇනකින් කියන්නේ නෙෆිලිම්වරුන්ගෙන් පැවතගෙන ආපු මිනිසුන් කොට්ටාසයක්.

සුමේරියානු සහ බැබිලෝනියානු ග්‍රන්ථවල අර්ථ නිරූපරණයන්ට අනුව අනුනාකි කියන්නේ නිබීරු කියන ග්‍රහලෝකයෙන් ආපු පිටසක්වල ජීවීන් කොට්ටාසයක්. ඔවුන් පෘථිවියට ඇවිල්ලා තියෙන්නේ රත්තරන් සොයා ගෙන. අනුනාකිවරුන්ට මේ කැණීම් කටයුතු සඳහා යොදා ගන්න ශ්‍රම බලකායක් ඕනේ වෙලා තියෙනවා. අලුත් වහල් ජාතියක් නිර්මාණය කර ගැනීමේ අරමුණෙන් ඔවුන් පෘථිවියේ ජීවත් වුන විවිධ ජීවි කොට්ටාස යොදා ගෙන ජානමය පරීක්ෂණ රාශියක් සිදු කරලා තියෙනවා. අවසානයේ හෝමෝ එරෙක්ටස් කියන නමින් හඳුන්වපු ගුහා මිනිසුන්ගේ ජාන සහ අනුනාකිවරුන්ගේ ජාන එකතු කිරීමෙන් නව විශේෂයක් නිර්මාණය කරන්න ඔවුන් සමත් වෙනවා.
"හෝමෝ සේපියන් කියලා හඳුන්වන්නේ ඔවුන් නිර්මාණය කරපු නව විශේෂයට."
සුමේරියානු සහ බැබිලෝනියානු ග්‍රන්ථවල මේ නව විශේෂය හඳුන්වන්නේ පළමු මිනිසා එහෙමත් නැති නම් ආදමු (Adamu) කියන නමින්. හීබෲවරුන් ආදම්ගේ මිනිසුන් කියලා හඳුන්වන්නෙත් මෙන්න මේ නව විශේෂය. පළමු මිනිසුන් නිර්මාණය කරලා තියෙන්නේ අනුනාකිවරු වෙනුවෙන් වැඩ කරන්න. මිනිසුන් සමඟ වර්ගයා බෝ කිරීම අනුනාකිවරුන්ට තහනම් වුනත් සමහර අවස්ථාවලදී අනුනාකිවරුන් සහ මිනිසුන් අතර ඇති වුන සම්බන්ධතා නිසා යෝධයන් වගේ දරුවන් බිහි වෙලා තියෙනවා. ඔවුන්ව හඳුන්වලා තියෙන්නෙත් නෙෆිලිම් කියන නමින්.
චොක්ටාව් කියන්නේ ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයක්. නහුල්ලෝ කියන නමින් හඳුන්වන මිනී මස් අනුභව කරපු යෝධයන් ජාතියක් ගැන පුරාවෘත්ත කතාවක් චොක්ටාව් සංස්කෘතියෙන් අපිට හොයා ගන්න පුලුවන්. චොක්ටාව් ගෝත්‍රිකයන් ඔවුන්ට හැකි සෑම වෙලාවකදීම මේ යෝධයන් මරලා තියෙනවා. ඉතින් අවසානයේ මේ යෝධයන් බටහිර දිශාවට සංක්‍රමණය වෙලා ගිහින් තියෙනවා.


පවුට් කියන්නෙත් වසර දහස් ගණනකට කලින් නෙවාඩා කාන්තාරයේ පදිංචි වෙලා හිටපු ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයක්. සි-ටෙ-කාහ් කියන නමින් හඳුන්වපු රතු පාට හිසකෙස් තිබුණ යෝධයන් ජාතියක් ගැන කතාවක් ඔවුන් අතර තියෙනවා. ජනප්‍රවාදයට අනුව නහුල්ලෝ යෝධයන් වගේම සි-ටෙ-කාහ් යෝධයනුත් මිනී මස් අනුභව කරලා තියෙනවා. සි-ටෙ-කාහ් යෝධයන් පවුට් ගෝත්‍රය සහ අනෙකුත් සියලුම අසල්වැසි ගෝත්‍ර එක්ක යුද්ධයක් පටන් අරගෙන තියෙනවා. ස්වදේශීකයන් කොච්චර නිර්භීතව සටන් කෙරුවත් වැඩක් වුනේ නැහැ. සි-ටෙ-කාහ් යෝධයන් කියන්නේ ස්වදේශිකයන්ට වඩා ගොඩක් ශක්තිමත් පිරිසක්. යෝධයන් ගොඩක් වෙලාවට මේ සටනේදී අල්ල ගත්ත මිනිසුන් ආහාරයට අරගෙන තියෙනවා.

වසර ගණනාවක් පුරාවට මේ යුද්ධය පැවතිලා තියෙනවා. සියලුම ගෝත්‍ර එකතු කරලා සි-ටෙ-කාහ් යෝධයන්ට විරුද්ධව විශාල ප්‍රහරය එල්ල කරන්න ඕනේ කියලා ස්වදේශිකයන් අවසානයේ තීරණය කරනවා. මේ අවසාන සටනේදී ඔවුන්ට පුලුවන් වෙනවා රතු පාට හිසකෙස් තිබුණ මේ යෝධයන්ව ගුහාවක හිර කරන්න. ගුහා දොරටුව ලී සහ පදුරු වලින් අවහිර කරපු ස්වදේශිකයන් මේ ගුහාවට ගිනි තියලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සි-ටෙ-කාහ් යෝධයන්ගේ අවසානය සිදුවෙලා තියෙන්නේ.

සාරා වින්නෙමුක්කා හොප්කින්ස් කියන්නේ ස්වදේශික ගෝත්‍රික ප්‍රධානියෙක් වුන වින්නෙමුක්කාගේ දියණියට. පරම්පරාවෙන් පරම්පරාවට කට වචනයෙන් පැවතගෙන ආපු සි-ටෙ-කාහ් යෝධයන්ගේ මේ කතාව මුලින්ම මුද්‍රණය කරලා තියෙන්නේ සාරා. මේ කතාව පුරාවෘත්ත කතාවක් විතරක් නෙමෙයි, මේ කතාවේ යම්තාක් දුරකට සත්‍යය ඉතිහාසයක් අඩංගු වෙලා තියෙනවා කියලා සාරා විශ්වාස කරනවා.

පතල් ඉංජිනේරුවරයෙක් වුන ජෝන්. ටී රීඩ්ට මේ කතාව අහන්න හම්බෙන්නේ 1886 වර්ශයේදී. මේ කතාව ඇහුවට පස්සේ ඔහුට අවශ්‍ය වෙනවා සි-ටෙ-කාහ් යෝධයන්ගේ අවසානය සිදුවුන ගුහාවේ කැණීම් කටයුතු සිදු කරන්න. හැබැයි මේ ගුහාවේ කැණීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වුන මුදල් ප්‍රමාණය ඔහු ලඟ තිබුණේ නැහැ. ඉතින් 1912 වර්ශයේදී තමයි පළමු වතාවට ලව්ලොක් ගුහාවේ කැණීම් කටයුතු සිදු වෙන්නේ. පළමු කැණීම් කටයුතු වල සාර්ථක භාවය නිසා 1924 වර්ශයේදී දෙවනි වතාවටත් ලව්ලොක් ගුහාවේ කැණීමක් සිදු කරනවා.

"ඔවුන් මේ කැණීම් කටයුතු වලදී සොයා ගත්ත දේවල් ගැන 1929 වර්ශයේදී පුදුම හිතෙන වාර්තාවක් ප්‍රකාශයට පත් කරනවා."
ගුහාවට ඇතුල් වන ස්ථානයේ දැඩි ලෙස දැවීමක් සිදු වුන බවට ඒ කියන්නේ එක්ස්ට්‍රීම් ස්කෝර්චින්ග් (Extreme Scorching) එකක් සිදු වුන බවට සාක්ෂි හොයා ගෙන තියෙනවා. ඉතා උණුසුම් සහ දිගු කාලයක් පුරාවට පත්තු වෙලා තිබුණ ගින්නක් නිසා තමයි මේ වගේ දැවීම් සලකුණු ඇති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගුහාවේ එක බිත්තියකින් දැවැන්ත අත් සලකුණකුත් ඔවුන් සොයාගෙන තියෙනවා. ගුහාව ඇතුලේ තිබිලා මිනිස් ඇටකටු සහ කෞතුක වස්තූන් දහසට අධික ප්‍රමාණයක් ඔවුන්ට හම්බෙලා තියෙනවා. සමහර ඇටකටු වල ඇටමිදුළු තිබිලා නැහැ. ඒක මිනී මස් කන එහෙමත් නැතිනම් කැනිබලිසම් (Cannibalism) වල ලක්ෂණයක්.
ප්‍රමාණය 29 ක් වුන උසින් අඩි අටකට වඩා වැඩි කෙනෙක්ට ගැළපෙන පුරාණ සෙරෙප්පුවක් වගේ වස්තුවක් මේ කැණීම් කටයුතු වලදි හමුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සාමන්‍ය මිනිසෙක්ට අදින්න බැරි ප්‍රමාණයේ ඇදුම් රාශියක්ද ඔවුන් හොයාගෙන තියෙනවා. වාර්තා වලට අනුව පළමු කැණීමේදී මමීකරණය කරපු යෝධයන් දෙදෙනෙකුගේ නටබුන් සොයා ගෙන තියෙනවා. උසින් අඩි හතක් විතර වුන ගැහැණු කෙනෙකු සහ උසින් අඩි නවයක් විතර වුන පිරිමි කෙනෙක්. ඔවුන් දෙදෙනාටම රතු පාට හිසකෙස් තිබිලා තියෙනවා.
මූලික සොයාගැනීම් වලට අමතරව යෝධයන් පිළිබඳ තවත් සාක්ෂි ලව්ලොක් ගුහාව අවට ප්‍රදේශයෙන් හම්බෙලා තියෙනවා. 1931 වර්ශයේදී නෙවාඩා පුවත්පතක පළ කරපු ලිපියක සඳහන් වෙනවා ලව්ලොක් ගුහාවට ආසන්නයේ තියෙන හිඳී ගියපු වැවක වළලා තිබුණ යෝධ ඇටසැකිලි දෙකක් ගැන. මේ ඇටසැකිලි වල රතු පාට හිසකෙස් තිබිලා තියෙනවා.
"හැබැයි යෝධයන් පිළිබඳ සාක්ෂි අපිට හම්බෙන්නේ නෙවාඩා කාන්තරයෙන් විතරක් නෙමෙයි."
මහා සර්ප කන්ද එහෙමත් නැති නම් ග්‍රේට් සර්පන්ට් මවුන්ඩ් (Great Serpent Mound) කියන්නේ ඔහායෝ ප්‍රාන්තයේ පීබල්ස් ප්‍රදේශයේ තියෙන අඩි 1370 ක් දිග ප්‍රාග් ඓතිහාසික ව්‍යූහයක්. මේ ව්‍යූහය ගොඩනඟලා තියෙන්නේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි මහා සර්ප කන්ද ආසන්නයේ තියෙන උල්කාපාත ආවටයක් නිසා මේ ප්‍රදේශය ගුරුත්වාකර්ෂණ සහ චුම්බක විෂමතා වලින් පිරිලා තියෙන්නේ. හිස්ටොරිකල් කලෙක්ෂන් ඔෆ් නෝබල් ඔහායෝ කවුන්ටි (Historical Collection Of Noble Ohio County) කියන පොතේ තියෙන විදිහට මේ ප්‍රදේශයෙන් උසින් අඩි අටකට වඩා වැඩි යෝධයන් තුන් දෙනෙක්ගේ අවශේෂ හොයා ගෙන තියෙනවා.


1891 වර්ශයේදී මානව විද්‍යාඥයෙක් වුන ෆෙඩ්රික් වෝඩ් පුට්නම් 1891 වර්ශයේදී මේ ප්‍රදේශයෙන් උසින් අඩි හතකට වඩා වැඩි විශාල ඇටසැකිලි කිහිපයක් සොයාගෙන තියෙනවා. මිනිස් හිස් කබල වගේ දෙගුණයක ඝනකමක් මේ ඇටසැකිලි වල හිස් කබලේ තිබිලා තියෙනවා.

මහා සර්ප කන්දේ ඉඳන් සැතපුම් 70 ක් විතර දුරින් තියෙන මියාමිස්බර්ග් කන්දෙන් සොයාගෙන තියෙන යෝධ ඇටසැකිලි ගැන රෝස් හැමිල්ටන් කියන විද්වතා ලියලා තියෙනවා. හැමිල්ටන් කියන විදිහට මේ ඇටකටු ප්‍රාදේශීය කෞතුකාගාරයකට ලබා දීලා තියෙනවා. හැබැයි අද වෙද්දි මේ ඇටසැකිලි තියෙන්නේ කොහෙද කියලා කවුරුත් දන්නේ නැහැ.

ආචාර්‍ය ඩොනල්ඩ් ඩ්‍රැගූ කියන්නේ කාර්නෙගී කෞතුකාගාරයේ හිටපු භාරකරුවෙක්. 1959 වර්ශයේදී ඔහු බටහිර වර්ජිනියාවේ තියෙන ක්‍රීසෙට් පස් කන්දේ කැණීමක් සිදු කරනවා. මේ කැණීම් වලදි උසින් අඩි හතයි අඟල් දෙකක් විතර වුන ඇටැසැකිල්ලක් සොයාගෙන තියෙනවා.

1868 වර්ශයේදී සවුක් රැපිඩ්ස් වෝටර් පවර් (Sauk Rapids Water Power) සමාගමේ සේවය කරපු කම්කරුවන්ට මිසිසිපි ගඟේ වෙරළේ තිබිලා උසින් අඩි දහයක් විතර වුන ඇටසැකිල්ලක නටබුන් හම්බෙලා තියෙනවා. දින කිහිපයකට පස්සේ මේ ඇටසැකිල්ල අතුරුදහන් වෙලා තියෙනවා.
1897 වර්ශයේදී ස්මිත්සෝනියන් ආයතනය අයෝවා හි නැහෙනහිර කඳුකරයේ කැණීමක් සිදු කරලා තියෙනවා. ස්මිත්සෝනියන් වාර්ගික විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා වුන ජෝන් වෙස්ලි පවෙල් කියන විදිහට උසින් අඩි හතයි අඟල් හයක් වුන ඇටසැකිල්ලක් මේ කැණීම් වලදී ඔවුන් සොයා ගෙන තියෙනවා.

1933 වර්ශයේ ජූනි 11 වෙනිදා මිසූරි ප්‍රාන්තයේ ස්ටීල්විල් ප්‍රදේශයෙන් උසින් අඩි අටකට වඩා වැඩි ඇටසැකිල්ලක් හමුවෙලා තියෙනවා. මේ ගැන ලේඛනගත කරපු වාර්තාවක් ස්ටීල්විල් ලෙජර් (Steelville Ledger) එකේ තියෙනවා.

1895 වර්ශයේදී කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ ප්‍රදේශයෙන් උසින් අඩි අටයි අඟල් හතරක් වුන ඇටසැකිල්ලක් සොයා ගෙන තියෙනවා. මහාචාර්‍ය තෝමස් විල්සන් සහ තවත් විද්‍යාඥයන් පිරිසක් තමයි මේ ඇටසැකිල්ල පරීක්ෂා කරලා තියෙන්නේ. තෝමස් විල්සන් කියන්නේ ස්මිත්සෝනියන් ආයතනයේ සේවය කරපු මානව විද්‍යාඥයෙක්.

ආධුනික පුරාවිද්‍යාඥයෙක් වුන රැල්ෆ් ග්ලිඩන් 1919 වර්ශයත් 1930 වර්ශයත් අතර කාල සීමාවේදී දකුණු කැලිෆෝනියාවේ කැටලින් දූපතේ කරපු කැණීම් වලින් දැවැන්ත ඇටසැකිලි 3781 ක් සොයා ගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා.

පසුගිය වසර 200 ඇතුළත උතුරු ඇමරිකාවට අයිති ප්‍රදේශවලින් උසින් අඩි හතකට වඩා වැඩි ඇටසැකිලි හමුවෙලා තියෙනවා කියලා සඳහන් වෙන වාර්තා රාශියක් අපට හොයා ගන්න පුලුවන්. පුවත්පත් වාර්තාවල, නගර සහ ප්‍රාන්ත ඉතිහාස වාර්තාවල, ලිපිවල, විද්‍යාත්මක සඟරාවල, දිනපොත්වල සහ ස්මිත්සෝනියන් ජනවාර්ගික වාර්තාවල මේ සොයා ගැනීම් ගැන ලේඛනගත කරලා තියෙනවා. ගොඩක් අවස්ථාවලදී මේ දැවැන්ත ඇටසැකිලි භාර දීලා තියෙන්නේ ස්මිත්සෝනියන් ආයතනයට.


මේ වාර්තා ඇත්ත නම් ස්මිත්සෝනියන් ආයතනයට භාර දුන්න ඇටසැකිලි වලට මොකද වුනේ?
ස්මිත්සෝනියන් ආයතනය වැරදි කටයුතු වල යෙදෙනවා කියන එක ගැන කවුරුත් කිසිම අවස්ථාවකදී සැක කරේ නැහැ...

හැබැයි 1950 වර්ශයේදී සිදුවුන සිදුවීමක් නිසා මේ හැමදෙයක්ම වෙනස් වෙනවා...
1892 වර්ශයේදී ඇලබාමා ප්‍රදේශයට අයිති ක්‍රම්ප්ස් ගුහාව කියන ස්ථානයෙන් පැරණි ලී මිනී පෙට්ටි කිහිපයක් සොයා ගන්නවා. මේ මිනී පෙට්ටි සමඟ තවත් කෞතුක භාණ්ඩ කිහිපයක් ස්මිත්සෝනියන් ආයතනයට භාර දෙනවා. මේ හැමදෙයක්ම හොඳින් ලේඛනගත කරලා තියෙනවා. ස්වදේශික ඇමරිකානුවන් කියන්නේ මිනී පෙට්ටි භාවිතා කරපු පිරිසක් නෙමෙයි. ඉතින් 1950 වර්ශයේදී ෆෙඩ්‍රික් ජේ. පෝල් කියන පර්යේෂකයා මේ මිනීපෙට්ටි ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා ස්මිත්සෝනියන් ආයතනයට ලිපියක් යවනවා. පෝල් යවපු ලිපියට ස්මිත්සෝනියන් ආයතනයෙන් ලබා දෙන්නේ මේ වගේ පිළිතුරක්.
"මේ නිදර්ශක ස්මිත්සෝනියන් ආයතනයට ලැබුණු බව වාර්තා වෙලා තිබුණත් අපගේ එකතුව තුළ ඒවා සොයා ගැනීමට නොහැකි වී ඇත."
1992 වර්ශයේදී ඩේවිඩ් බැරන් කියන පර්යේෂකයත් මේ මිනී පෙට්ටි ගැන ස්මිත්සෝනියන් ආයතනයෙන් අහලා තියෙනවා. එතකොට ස්මිත්සෝනියන් ආයතනයේ උත්තරය වෙලා තියෙන්නේ ඒවා මිනීපෙට්ටි නෙමේ කියන එක. ඔවුන් කියන විදිහට ක්‍රම්ප්ස් ගුහාවෙන් සොයාගෙන තියෙන්නේ ගවයන්, අශ්වයන් සහ ඌරන් වගේ ගොවිපල සතුන්ට ආහාර ලබා දීම සඳහා භාවිතා කරපු සෘජුකෝණාස්රාකාර බහාලුම් කිහිපයක්. හැබැයි යුරෝපීය ජාතිකයන් එන්න කලින් උතුරු ඇමරිකාවේ ගවයන්, අශ්වයන් හෝ ඌරන් වගේ ගොවිපල සතුන් හිටියේ නැහැ. එහෙම හිටියත් බහාලුම් යොදාගෙන ආහාර ලබා දීමේ ක්‍රමයක් ස්වදේශික ඇමරිකානුවන් යොදා ගත්තේ නැහැ.
මේ ගැන ඩේවිඩ් ස්මිත්සෝනියන් ආයතනයට කීවාට පස්සේ ඔවුන් ලබා දුන්න උත්තරය මොකක්ද දන්නවාද?
"ඔබට මේ මිනී පෙට්ටි හෝ ආහාර බහාලුම් දැකීමට අවශ්‍ය වුනත් එය සිදු කිරීමට නොහැකිය. මේ නිදර්ශක ගබඩා කර ඇත්තේ ඇස්බැස්ටොස් (Asbestos) නිසා අපවිත්‍ර වූ ගබඩාවකය. මේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා වසා දමා ඇත."
ඔයා හිතන්නේ කොච්චර කාලයක ඉඳන් මේ ගබඩාව වහලා තියෙනවා කියලද?
"වසර දහයක්."
1881 වර්ශයේදි තමයි ස්වදේශික ඇමරිකානු පුරාවිද්‍යාත්මක සාක්ෂි යටපත් කිරීම මුලින්ම සිදු වෙන්නේ. ඒ මොහොත වෙනකන් ස්මිත්සෝනියන් ආයතනය මෙහෙයවීම සිදුවුනේ ජෝන් වෙස්ලි පවෙල්ගේ අධීක්ෂණය යටතේ.

කොකෙන් මමී, ග්‍රෑන්ඩ් කැනියොන් ගවේෂණය සහ පිරමීඩ ගැන ආටිකල් එකේ ජෝන් වෙස්ලි පවෙල් ගැන මම ඔයාට කියලා දුන්නා මතකයි නේද?
පවෙල් කියන්නේ වින්නෙබගෝ (Winnebago) ඉන්දියානුවන් සමඟ බොහෝ කාලයක් ගත කරපු කෙනෙක්. වින්නෙබගෝ ඉන්දියානුවන් කල්පනාකාරී සහ බුද්ධිමත් මිනිසුන් කොට්ටාසයක් කියන එක ඔහු දැනගෙන හිටියා. ස්වදේශික ඇමරිකානුවන් කියන්නේ දියුණු ශිෂ්ටාචාරයකින් පැවතගෙන එන මිනිසුන් කොට්ටාසයක් කියන අදහස පවෙල් විශ්වාස කෙරුවා. පවෙල් කියන විදිහට ඔවුන් උතුරු ඇමරිකාව පුරා තිබුණ සියලු සංස්කෘතීන් සමඟ සන්නිවේදනය සහ වෙළඳාම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර විට ඔවුන් ලෝකයේ අනිත් රටවල් සමඟ සම්බන්ධකම් පවා ඇති කරගෙන තියෙනවා. සංස්කෘතියක් පුලුල්ව පැතිරීම කියන අදහසට කියන්නේ විසරණවාදය එහෙමත් නැති නම් ඩිෆියුෂනිසම් (Diffusionism) කියලා. ස්මිත්සෝනියන් ආයතන මේ අදහස ප්‍රවර්ධනය කිරීම පවා සිදු කෙරුවා.
හැබැයි ඊට පස්සේ සයිරස් තෝමස් කියන පුද්ගලයාව ස්මිත්සෝනියන් ඊස්ටර්න් මවුන්ඩ් අංශයේ අධ්‍යක්ෂකවරයා විදිහට පවෙල් පත් කරනවා. මෙන්න මෙතනදී තමයි ස්මිත්සෝනියන් ආයතනය ඇතුලේ දේශපාලනික අර්බුදයක් පටන් ගන්නේ. තෝමස් කියන්නේ ස්වදේශික ඇමරිකානුවන්‍ට කැමති කෙනෙක් නෙමෙයි. ස්වදේශික ඇමරිකානුවන් කියන්නේ වනචාරීන් එහෙමත් නැති නම් සැවේජස්ලා (Savages) කියලා ඔහු විශ්වාස කෙරුවා. ඉතින් මේ වනචාරීන් අතර පුලුල්ව පැතිරුණ සංස්කෘතියක් තිබුණා කියන අදහසට ඔහු එකඟ වුනේ නැහැ. ස්වදේශික ඇමරිකානුවන් සාගරයක් හරහා යාත්‍රා කරා කියන අදහස ඔහු සැලකුවේ විහිලුවක් විදිහට. ශිෂ්ටාචාරයක් ස්වාධීනව වර්ධනය වුනා යැයි කියන අදහසට කියන්නේ හුදකලාවාදය එහෙමත් නැති නම් අයිසොලේෂනිසම් (Isolationism) කියලා.

මේ සම්බන්ධව ස්මිත්සෝනියන් ආයතනයේ ඇති වෙලා තිබුණ වාද විවාද උග්‍ර වෙනවා. අවසානයේ මේ විවාදයෙන් ජය ගන්නේ සයිරස් තෝමස්. අයිසොලේෂනිසම් වලට පුලුවන් වෙනවා ඩිෆියුෂනිසම් පරාද කරන්න. මේ සිදුවීමෙන් පස්සේ ස්මිත්සෝනියන් ආයතනය නිල ස්ථාවරයක් ලබා දෙනවා.
"ඒ ස්ථාවරය තමයි ඩිෆියුෂනිසම් වලට අනුබල දෙන ඕනෑම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් වංචනික සාක්ෂි කියන එක."
ඊට පස්සේ තමයි ඔහායෝ සහ මිසිසිපි නිම්න ශිෂ්ටාචාර අතර සම්බන්ධයක් තිබුණා කියන එක විශ්වාස කරන්න අමාරු දෙයක් විදිහට සලකන්න පටන් ගත්තේ. මායන්වරු හෝ ඇස්ටෙක්ස්වරු සමඟ ස්වදේශික ඇමරිකානුවන්ට සම්බන්ධයක් තිබුණා කියන එක විකාරම අදහසක් බවට පත් වුනා. මේ හේතුව නිසා තමයි ඇමරිකානු ඉතිහාස පොතේ ස්වදේශික ඇමරිකානුවන් ගැන මේ විදිහෙ අදහසක් ඇති වුනේ.
"ස්වදේශික ඇමරිකානුවන් කියන්නේ ප්‍රාථමික සහ මිලෙච්ඡ් මිනිසුන් කොට්ටාසයක්."
ඇමරිකාවේ ජීවත් වුන යෝධයන් කියන්නේ රජයේ විසින් සිදු කරපු කුමන්ත්‍රණයක් ඒ කියන්නේ ගවර්මන්ට් කන්ස්පිරසි (Government Conspiracy) එකක්...
ස්මිත්සෝනියන් කවර් අප් (Cover Up) එකක්...
මේ කතාව සිත් ඇදගන්නාසුළු කතාවක්...
හැබැයි මේ කතාව ඇත්තක්ද?
ඔහායෝ කියන්නේ මේ දැවැන්ත ඇටසැකිලි වල කේන්ද්‍රස්ථානය. විශේෂයෙන්ම 19 වැනි සියවසේදී. මුලින්ම දැවැන්ත ඇටසැකිල්ලක් සොයා ගැනීමේ ප්‍රවෘත්තියට පුලුවන් වෙනවා ඇමරිකාවම කළඹන්න. මේ වගේ අවධානයක් නිසා කරලියට ආපු තවත් කට්ටියක් ඉන්නවා.
"ඒ තමයි ප්‍රෝඩාකරුවන් සහ වංචාකරුවන්."
1882 වර්ශයේදී සින්සිනාටි ප්‍රදේශයේ වැවක් අසල තිබිලා දැවැන්ත ඇටසැකිල්ලක් සොයා ගන්නවා. කොලම්බස් ඩිස්පැච් (Columbus Dispatch) පුවත්පත මේ කතාව ආවරණය කරලත් තියෙනවා. හැබැයි මේ කතාව ප්‍රෝඩාවක්. මිනිසුන්ට ඇටසැකිල්ල සොයා ගත්ත දේපල සහ ඇටසැකිල්ල බලන්න නම් මේ ඉඩමේ අයිතිකාරයට මුදලක් ගෙවන්න වෙනවා. සමහර විට මේ ඇටසැකිල්ල ඇත්ත එකක් වෙන්න පුලුවන්. සමහර විට මේ ඇටසැකිල්ල බොරු එකක් වෙන්න පුලුවන්. කොහොම වුනත් මේ ඇටසැකිල්ල උසින් අඩි පහයි අඟල් අටක ඇටසැකිල්ලක්. ඉතින් මේක යෝධයෙක්ගේ ඇටසැකිල්ලක් නෙමෙයි.
පුවත්පත් ආයතන වල තියෙනවා නරක පුරුද්දක්. කතාව උද්යෝගිමත් එකක් නම් සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන්නේ නැතුව ඔවුන් මේ කතවා පළ කරනවා. යෝධයන් පිළිබඳ කතා ගොඩක් පුවත්පත් වල පළ වෙලා තියෙන නිසා ඇත්ත බොරුවෙන් වෙන් කරලා ගන්න එක ගොඩක් අමාරු දෙයක්.
රැල්ෆ් ග්ලිඩන් කියන්නේ කැටලිනා දූපතේ සොහොන් 800 කින් දැවැන්ත ඇටසැකිලි 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගත්ත පුරාවිද්‍යාඥයෙක්. හැබැයි මේකත් ලොකු ප්‍රෝඩාවක්. ඔහු එක ඇටසැකිල්ලක් සොයා ගෙන තියෙනවා. ඉතින් මෙයා ඒ ඇටසැකිල්ල ලඟ හිටගෙන ඡායාරූපයක් අරගෙන තියෙනවා. රැල්ෆ් මේ ඡායාරූපය තමන්ගේ මිතුරෙකුට පෙන්නලා තියෙනවා. ඒ මිතුරා තමයි රැල්ෆ්ට කියලා තියෙන්නේ මේ ඇටසැකිල්ල යෝධයෙක්ගේ වගේ කියලා. රැල්ෆ් මේ කතාව ඉස්සරහට ගෙනිහින් තියෙනවා. මේ ඇටසැකිල්ලේ කතාව නිසා ඔහුට විශාල මුදල් ප්‍රමාණයක් පවා හම්බෙලා තියෙනවා. හැබැයි මේකත් වංචාවක්.

යෝධ ඇටසැකිලි තිබුණ ස්ථාන වල කරපු කැණීම් වල ඡායාරූප අපට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවන්. මේ ඡායාරූප වලින් සමහරක් ඇත්ත ඒවා වගේමයි. හැබැයි මේ ඡායාරූප වලින් ගොඩක් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ 2002 වර්ශයේදී පැවැත්වුන පොටෝශොප් තරඟාවලියකදි.
විද්‍යාවට අනුව යෝධ මිනිසුන් ඉන්න විදිහක් නැහැ. ඔව් මම දන්නවා ගොඩක් උස මිනිසුන් ඉන්නවා කියලා. හැබැයි එහෙම වෙන්නේ රෝගී තත්වයන් සහ ජානමය ආබාධ නිසා. ජයිගැන්ටිසම් (Gigantism) කියන්නේ බොහෝ වෙලාවට පිටියුටරි ග්‍රන්ථියේ ගෙඩියක් නිසා ඇති වෙන තත්වයක්. මේක බරපතල වෛද්‍ය ගැටලුවක්. ජයිගැන්ටිසම් වලින් පෙලෙන ගොඩක් අය ඔවුන්ගේ හදවතේ සහ අනෙක් අවයව වල ඇති වෙන වෙහෙස නිසා තරුණ වියේදීම මරණයට පත් වෙනවා.
මාෆාන් සින්ඩ්‍රෝම් (Marfan Syndrome) කියලා ජානමය තත්වයකුත් තියෙනවා. මේ තත්වය නිසා පුද්ගලයෙකුගේ ශරීරයේ අනෙක් අවයව වලට සාපේක්ෂව අත් පා දිගු වීම සිදු වෙන්න පුලුවන්. ඒබ්‍රහම් ලින්කන්ටත් මාෆාන් සින්ඩ්‍රෝම් එක තිබිලා තියෙනවා කියලා විශ්වාස කරනවා.

මිනිසුන්ට යෝධයන් වෙන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි ස්ක්වෙයාර් කියුබ් ලෝ (Square Cube Law) එක. මේ නීතිය කියන විදිහට ඕනෑම වස්තුවක් වර්ධනය වෙනකොට ඒ වස්තුවේ පරිමාණය එහි මතුපිට ප්‍රදේශයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. යෝධයෙක් සාමාන්‍ය මිනිසෙකුගේ ප්‍රමාණය වගේ දහගුණයක් විශාල නම් නම් යෝධයෙකුගේ සිරුරේ පරිමාව සාමාන්‍ය මිනිසෙකුගේ පරිමාව වගේ 100 ගුණයක් වෙන්න ඕනේ. අස්ථි ඝන අඟලකට රාත්තල් 19000 ක බරක් දරා ගන්න පුලුවන්. හැබැයි මිනිසෙක් වගේ දහගුණයක් ලොකු යෝධයෙක් රාත්තල් 550000 ක් විතර වෙනවා. ඉතින් මිනිස් අස්ථි වලට මේ වගේ බරක් දරා ගන්න බැහැ.
"හැබැයි යෝධයෝ කියන්නේ මිනිසුන් ජාතියක් නොවෙන්නත් පුලුවන්. එතකොට නම් මේ තර්කය සාර්ථක තර්කයක් වෙන්නේ නැහැ."
එතකොට ස්මිත්සෝනියන් කවර් අප් කියන්නෙත් බොරුවක්ද?
ඇත්ත වශයෙන්ම ලෝකය පුරා තිබුණ සංස්කෘතීන් සමඟ ඇමරිකාව සම්බන්ධතා ඇති කරගෙන තිබුණාද?
"මේ ප්‍රශ්න වලට අපිට උත්තර හම්බෙන්නේ බතල ගෙඩියකින්."
බතල වල නිජබිම වෙන්නේ ඇමරිකාව. හැබැයි පැසිෆික් සාගරය මැද තියෙන කුක් දූපතෙන් (Cook Island) ඉපැරණි බතල වර්ගයක් හම්බෙලා තියෙනවා. කාබන් කාල නිර්ණය කියන විදිහට මේ බතල ක්‍රිස්තු වර්ශ 1000 කියන කාල පරිච්ඡේදයට අයිති වෙනවා. මේකෙන් අදහස් කරන්නේ කොලොම්බස් ජීවත් වෙන්න වසර 500 කට විතර කලින් ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයක් පැසිෆික් සාගරය හරහා මේ දූපතට ගිහින් තියෙනවා කියන එක. එහෙමත් නැතිනම් පොලිනීසියානුවන් ඇමරිකාවට ගිහින් ආපහු මේ දූපතට ඇවිත් තියෙනවා කියන එක. වාග් විද්‍යාඥයන් කියන විදිහට මුල් පොලිනීසියානු භාෂාවල බතල හඳුන්වලා තියෙන්නේ කුමාල (Kumala) කියන නමින්. ඉක්වදෝරයේ තියෙන ඇමරිකානු උපභාෂා වල බතල හඳුන්වන්නේ කුමාර (Kumara) කියන නමින්.

මේක අහම්බයක් විදිහට හඳුන්වන්න පුලුවන්...
2007 වර්ශයේදී චිලී රාජ්‍යයේ කරපු කැණීම් වලින් කුකුල් අස්ථි කිහිපයක් සොයා ගෙන තියෙනවා. මේ අස්ථි වල DNA සමඟ සැමෝවා, ටොංගා කියන පැසිෆික් දූපත් වල ඉන්න කුකුළන්ගේ DNA ගැලපෙනවා. කාබන් කාල නීර්ණයට අනුව මේ අස්ථි ක්‍රිස්තු වර්ශ 1304 සහ 1425 කියන කාල පරිච්ඡේදයට අයිති වෙනවා. ඒ කියන්නේ දකුණු ඇමරිකාවට ස්පාඤ්ඤ ජාතිකයන් එන්න කලින් තිබුණ කාලයට තමයි මේ අස්ථි අයිති වෙන්නේ. ඒ විතරක් නෙමේ 2019 වර්ශයේදී කරපු ජාන පරීක්ෂණයකින් හොයා ගන්න පුලුවන් වෙනවා දකුණු ඇමරිකාවේ හිටපු කුකුළන් සහ පැසුෆික් සාගරය මැද තියෙන දූපත් වල හිටපු කුකුළන්ට තියෙන්නේ එකම ජානමය සංරචකයක් ඒ කියන්නේ ජෙනටික් කම්පොනොන්ට් (Genetic Component) එකක් කියලා.
මේ අධ්‍යයනය නිසාම මිනිස් DNA පිළිබඳ අධ්‍යනයක් 2020 වර්ශයේදී සිදු කරනවා. ඒ අධ්‍යනය කියන විදිහට කොලොම්බියාවේ ජීවත් වුන මිනිසුන්ට තිබුණ DNA පොලිනීසියානුවන්ටත් උරුම වෙලා තියෙනවා.
ඒ විතරක් නෙමේ ක්‍රිස්තු පූර්ව 1200 වර්ශයේදී චීන ජාතිකයන්, ක්‍රිස්තු පූර්ව 2000 වර්ශයේදී ඉන්දියානු ජාතිකයන් සහ ක්‍රිස්තු වර්ශ 9 වෙනි සියවසේදී අරාබී ජාතිකයන් සමඟ දකුණු ඇමරිකාව සම්බන්ධතා පවත්වලා තියෙනවා කියන එකට සාක්ෂි හොයා ගෙන තියෙනවා. කොලම්බස් ඉපදෙන්න වසර දහසකට කලින් තිබුණ පීරි රීස් සිතියම වගේ සිතියම් වල උතුරු සහ දකුණු ඇමරිකාව සලකුණු කරලා තියෙනවා.

කොකේන් මමී ගැන ඔයාට මම කියලා දුන්නා මතකද?
1990 වර්ශයේදී ස්වදේශික ඇමරිකානු සොහොන් ආරක්ෂණ සහ නැවත මෙරටට පැමිණීමේ පනත සම්මත වෙනවා. මේ පනතේ විස්තර කරන්නේ මේ වගේ දෙයක්.
"ෆෙඩරල් ආයතන සන්තකයේ තබා ගෙන තියෙන මානව අවශේෂ හෝ පූජනීය වස්තූන් ඇතුළු ස්වදේශික ඇමරිකානු සංස්කෘතික වස්තූන් එම ස්වදේශික ගෝත්‍රවල ඉල්ලීම මත ආපසු ලබා දිය යුතුය."
හැබැයි එක්සත් ජනපද කේත මාතෘකාව 25 පරිච්ඡේදය 32 කොටස 3001 උප වගන්ති 4 සහ 8 වගන්ති වලට අනුව ස්මිත්සෝනියන් ආයතනය මේ පනතට බැඳිලා නැහැ. ඉතින් ඉතිහාසය ආපහු ලියන්න ඕනේ නම් ස්මිත්සෝනියන් ආයතනයෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා.
මේ සම්බන්ධ ගැටලු වලට පිළිතුරු දීමේදී ප්‍රධාන ධාරාවේ විද්‍යාව සහ විශේෂයෙන්ම මාධ්‍ය ප්ලේබුක් (Playbook) එකක් යොදා ගන්නවා. මේ ප්ලේබුක් එකට අනුව මර්දනයේ අදියර හතරක් තියෙනවා. ක්‍රිටිසයිස්ඩ් (Criticized), මාර්ජනලයිස්ඩ් (Marginalized), ඇටෑක් (Attack) සහ සෙන්සර් (Censor) කියන්නේ මේ අදියර හතරට.
උදාහරණයක් කියන්නද?
ඒන්ශන්ට් ඇපොකැලිප්ස් (Ancient Apocalypse) කියන්නේ ග්‍රැහැම් හැන්කොක් නිෂ්පාදනය කරපු ජනප්‍රිය වැඩසටහනක්. මේ වැඩසටහනෙන් ගවේෂණය කරන්නේ යන්ගර් ඩ්‍රයස් පීරියඩ් එක අවසානයේ ඇති වුන මහා ගංවතුර නිසා විනාශ වුන දියුණු සංස්කෘතීන් ගැන. ඔයා මේ න්‍යායට එකඟ වෙන්නත් පුලුවන්. එහෙමත් නැති නම් ඔයා මේ න්‍යායට එකඟ නොවෙන්නත් පුලුවන්. මේ දෙකෙන් මොකක් වුනත් අපි හැමෝටම එකඟ වෙන්න පුලුවන් තව දෙයක් තියෙනවා.

"ඒ තමයි සාකච්ඡාවට ලක් කරන්න තරම් වටිනාකමක් මේ සිත් ඇදගන්නාසුළු න්‍යායට තියෙනවා කියන එක."
එහෙම නේද?
හැබැයි ප්‍රධාන ධාරාවේ අදහස ඒක නෙමෙයි...
එන්ශන්ට් ඇපොකැලිප්ස් කියන්නේ නෙට්ෆිලික්ස් වල තියෙන භයානකම වැඩසටහන (Ancient Apocalypse Is The Most Dangerous Show On Netflix) කියන නමින් ගාර්ඩියන් (The Guardian) පුවත්පත ලිපියක් පළ කරලා තියෙනවා. මේ තමයි විවේචනය එහෙමත් නැති නම් ක්‍රිටිසයිස්ඩ් කියන පළමු අදියර. අපි විකල්ප න්‍යායන් සාකච්ඡා කරන්නේ නැහැ, මේ න්‍යායන් සාකච්ඡා කරන එක ඇත්ත වශයෙන්ම භයානකයි කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. හැබැයි අපි වගේ අය විවේචන ගණන් ගන්නේ නැහැ. ඒ වගේම තමයි මාධ්‍යය විසින් පෙන්වන දෙයට අමතරව තවත් පැත්තක් තියෙනවා කියන එක අපි දන්නවා.
ඒ නිසා ඔවුන් කොන් කිරීම එහෙමත් නැති නම් මාර්ජනලයිස්ඩ් කියන දෙවෙනි අදියරට යනවා. මේ ලිපියෙම සඳහන් වෙලා තියෙනවා මේ වැඩසටහන කුමන්ත්‍රණ න්‍යායවාදීන් ඒ කියන්නේ කන්ස්පිරසි තියරිස්ට් (Conspiracy Theorist) කෙනෙක් සඳහා පමණක් ගැලපෙන වැඩසටහනක් කියලා. ඉතින් ඔයා මේ න්‍යාය විශ්වාස කරනවා නම් හරි මේ න්‍යාය ගැන උනන්දුවක් දක්වනවා නම් ඔයාව හඳුන්වන්නේ කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් විදිහට. මේ ලිපිය කියන විදිහට මහා ගංවතුරට පෙර දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා යැයි හිතන අය පෘථිවිය පැතලි යැයි කියලා හිතන අයට සමාන වෙනවා. කුමන්ත්‍රණ න්‍යායවාදියෙකු විදිහට හඳුන්වන එක විශාල අපහාසයක්. හැබැයි අද වෙනකොට ඒක සාමන්‍ය දෙයක් වෙලා ඉවරයි. මටත් ගොඩක් අය කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් කියලා කියනවා. මම ඒක ගන්නේ අගය කිරීමක් එහෙමත් නැතිනම් කම්පිලිමෙන්ට් (Compliment) එකක් විදිහට.
ඒ නිසා ඔවුන් පහර දීම එහෙමත් නැති නම් ඇටෑක් කියන තුන්වෙනි අදියරට යනවා. ග්‍රැහැම් හැන්කොක්ගේ මේ වැඩසටහන ජාතිවාදය ප්‍රවර්ධනය කරනවා කියලා MSN ආයතනය ලිපියක් ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමේ ABC නෙට්වර්ක් එකත් මේ වැඩසටහනේ ජාතිවාදී මත තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. හැබැයි මේ වැඩසටහන බලන කවුරුත් මහා ගංවතුරට කලින් හිටපු මිනිසුන්ගේ පාට ගැන උනන්දු නැහැ. ඔවුන් උනන්දු වෙන්නේ මේ ශිෂ්ටාචාරය මොන වගේ එකක්ද කියලා දැන ගන්න. අනික අද වෙද්දි ජාතිවාදියා කියන එකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඉවරයි.
විවේචනය, කොන් කිරීම සහ පහර දීම සාර්ථක වුනේ නැති වුනාම ඔවුන් වාරණය එහෙමත් නැති නම් සෙන්සර් කියන හතරවෙනි අදියරට යනවා. ගාර්ඩියන් ලිපියේ එක තැනක කතුවරයා ප්‍රශ්නයක් අහලා තියෙනවා.
"මේ වගේ වැඩසටහනක් සඳහා අවසර ලබා දුන්නේ කවුද?"
අවසර ලබා දීම කියන එකෙන් ඔහු අදහස් කරන්නේ මොකක්ද?
භාශණයේ නිදහස සඳහා ග්‍රැහැම් හැන්කොක් අවසර ලබා ගන්න ඕනේ කාගෙන්ද?
නෙට්ෆිලික්ස් එකෙන්ද...
රජයෙන්ද...
ප්‍රධාන ධාරාවේ විද්‍යාවෙන්ද...
මේ ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ ආටිකල් එකේ දිග වැඩි වෙන නිසා මෙතනින් නතර කරන්නම්...
එතකොට ඇත්තටම යෝධයෝ හිටියාද?
ඔයා මොකද හිතන්නේ?





