Skip to content

ආසියා කුසලානය අත මානයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයක

2023 ආසියා කුසලානය ආරම්භ වීමට තවදු ඇත්තේ දින තුනක් පමණ ඉතාම සීමිත කාලයක් වන අතරවාරයේ තරඟාවලිය සඳහා සහභාගීවන ආසියා කුසලාන අත්දැකීම් ඉතාම අවම නේපාල කණ්ඩායමේ සිට සියලුම කණ්ඩායම් මේ වන විට සිය සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇතත් ආසියා කුසලාන තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායෙමේ නිල සංචිතය මේ වන තුරුද ප්‍රකාශයට පත්කර නැත.

කෙසේ නමුත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල සංචිතය නිකුත් වන්නේ ඕනෑම තරඟාවලියක් ආරම්භ වීමට ඉතාම ආසන්නයේදී වූවත් නිල සංචිතය නම් කිරීම සම්බන්ධයෙන් වෙනත් ගැටළු රාශියක් මේ වන විට පැන නැගී ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී.  ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ක්‍රිකට් සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු දැන්වීම සඳහා මාධ්‍ය ප්‍රකාශයකු පත්කරන ලෙස ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් නමුදු එසේ නිල ප්‍රකාශයකයකු තවදු පත්කර නොමැති බවය.

එම නිසා ක්‍රිකට් සම්බන්ධයෙන් නිල තොරතුරක් දැන ගැනීම ඉතාම අසීරුවන නමුත් මාධ්‍ය ආයතන ඇතුළු ක්‍රිකට් වෙබ් අඩවි වාර්තා කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ආසියා කුසලානය ආරම්භය ආසන්නයේ දැඩි අර්බුදයකට ලක් වී ඇති බවත් සහ එයට ප්‍රධාන හේතු වන්නේ ප්‍රභල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්වීම සහ තවත් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීමත් යන බවය.

නිමා වූ LPL තරඟාවලියේ සංවිධානය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් විටින් විට චෝදනා කරමින් කියා සිටියේ තරඟ එක ළඟ එක ක්‍රීඩා කිරිම දැඩි ලෙස අසීරුවන බව වන අතර ඒ අනුව නිමා වූ LPL තරඟාවලිය තුළ පාදයේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රභලම ක්‍රීඩකයා වන වනිදු හසරංග හට  බොහෝ විට තරඟාවලියේ මුල් තරඟ කිහිපය  අහිමි වීමේ අවදානමක් පැන නැගී ඇත. එපමණක් නොව වේග පන්දුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන තුරුම්පුව වන දුෂ්මන්ත චමීර හට ද සිය උරහිසේ ආබාධයක් හේතුවෙන් ආසියා කුසලානය අහිමි වන බවට ද වාර්තා වේ.

මෙම අර්බුධකාරී තත්වය තව තවත් තිවෘ කරමින් කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු සහ ළහිරු කුමාර හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ද වාර්තා වන අතර එහිදී විශේෂයෙන් කුසල් ජනිත් පෙරේරා හට ආසයා කුසලානය අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පාඩුවක් වන බව ද ක්‍රිකට් රසිකයින් සමාජ මාධ්‍ය තුළ සිය අදහස් දක්වමින් කියා සිටී. මන්ද නිමා වූ LPL තරඟාවලිය තුළ ඔහු සුපුරුදු රිද්මයට පැමිණි නිසා ඔහුගේ අත්දැකීම් සහ පිතකරණ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වන බැවිනි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දුවේ සහ වේග පන්දුවේ ප්‍රධාන තුරුම්පු දෙක මෙන්ම පිතිකරණයේ ප්‍රධාන තුරුම්පුව ද ආසියා කුසලානයේදී බොහෝ දුරට අහිමි වනු ඇති අතර කෙසේ නමුත්  වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත ආසියා කුසලානයට සහභාගී වීමේ ඉඩක් පවතින බවට සහ ළහිරු කුමාර වෙනුවට ප්‍රමෝද් මධුෂාන් ද, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට LPL කිරුළ නුවර කණ්ඩායමට දිනා දුන් සහ එම තරඟාවලිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ්  චන්දිමාල් ද බොහෝ දුරට ආසියා කුසලානය නියෝජනය කරනු ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් ආසියා කුසලානයේ සාර්ථකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. වත්මන් ශූරයින් වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර එක්දින රටාව තුළ මෙවර පැවැත්වෙන්නේ 14 වන ආසියා කුසලානයයි. එමෙන්ම විස්සයි විස්ස රටාව තුළ ද එක් ආසියා කුසලානයක් පවත්වා ඇති අතර ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ සමස්ථ දහසය වන ආසියා කුසලානයයි. පැවැත් වූ ආසියා කුසලාන තරඟාවලි 15 දී ආසියා කුසලාන හයක් ශ්‍රී ලංකා කණ්ඩායම ද, ආසියා කුසලාන හතක් ඉන්දීය කණ්ඩායම සහ ආසියා කුසලාන දෙකක් පාකිස්තානු කණ්ඩායම ද ජයගෙන ඇත.

කෙසේ නමුත් අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින රටාවෙන් ආසියා කුසලානයක් ජයගන්නා ලද්දේ 2014 දී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ආසියා කුසලානයේ එක්දින තරඟ 50 ක් ක්‍රීඩා කර ඉන් 34 ක්  ජයගෙන ඇත්තේ වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතය වන 68% ක් ලබමිනි. දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාව 65% ක ජයග්‍රහණය ප්‍රතිශතයක් වාර්තා කරන්නේ එක්දින තරඟ 49 ක දී තරඟ 31 ක් ජයග්‍රහණය කරමිනි. වැඩිම අවසන් මහා තරඟ ක්‍රීඩා කර ඇත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව අවස්ථා හයක දී අනු ශූරයින් බවට ද පත් වී ඇත.

ආසියා කුසලානේ එක්දින රටාව තුළ සාර්ථකම පිතිකරුවා වන්නේ සනත් ජයසූරියයි ( ලකුණු 1220 ). එමෙන්ම ආසියා කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා වන්නේ මුත්තයියා මුරලිදරන් ය ( කඩුළු 30 ) . ශ්‍රී ලංකාව අවස්ථා පහකදී තරඟාවලියේ වීරයා සම්මානය ද දිනාගෙන ඇති අතර ඒ අනුව වැඩිම තරඟාවලි වීරයා සම්මානය ද දිනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් ය. මේ අනුව සමස්ථ ආසියා කුසලාන ඉතිහාසයේ වැඩි ගෞරව හිමි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

Latest