විශ්වයේ වෙනත් තැනක බුද්ධිමත් ජීවයක් පවතින්නේ නම්, අපි කොහොමද දන්නේ?
තාරකා භෞතික විද්‍යාඥ ඇඩම් ෆ්‍රෑන්ක් විසින් පිළිතුරු සෙවීමට උත්සාහ කළ ප්‍රශ්නය මෙයයි. 2017 මුලදී, ෆ්‍රෑන්ක් මෙම පෙරළිකාර අදහස ඉදිරිපත් කළේය. පෘථිවියේ සිදු වෙනවා මෙන් වෙනත් ඕනෑම ග්‍රහලෝකයක ඇති වූ ඕනෑම දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් විසින් එම ග්‍රහලෝකයේ දේශගුණික විපර්යාසයක් ඇති විය යුතු බව ඔහු කල්පනා කළේය.

එය එසේ වෙනවා, අනෙකුත් ග්‍රහලෝකවල ඉක්මන් උෂ්ණත්වය ඉහළ යන බවට සාක්ෂි සොයා ගැනීම බුද්ධිමත් ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමේ පළමු පියවර විය හැකි බව ඔහු තේරුම් ගත්තේය. මෙය විමේ හැකියාව තවදුරටත් ගවේෂණය කිරීමේ අදහසින්, ෆ්‍රෑන්ක් ඔහුගේ අදහස NASA ආයතනයේ එහි කීර්තිමත් ගොඩාර්ඩ් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයට ගෙන ගියේය. ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ ගැවින් ෂ්මිට්ගේ කාර්යාලයේ පෙනී සිටියේය.

ඔහු තම අදහස ඉදිරිපත් කිරීමට පටන් ගත්තේය, නමුත් ඔහු එම අදහස ගොඩනඟන විට, ෂ්මිට් හදිසියේම ඔහුට බාධා කළේය.
"තප්පරයක් ඉන්න,"
"අපේ ග්‍රහලෝකයේ ශිෂ්ටාචාරයක් තිබූ එකම අවස්ථාව අපි බව පමණක් ඔබ දන්නේ කෙසේද?"
එම ප්‍රශ්නය ෆ්‍රෑන්ක්ව නතර කළේය. එම ප්‍රශ්නයේ අරුත ඔහු තේරුම් ගත්තේය. පසුගිය වසර 300 තුළ පමණක් ඇති වූ දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් සමඟ නූතන මානවයා වසර 300,000 කට පමණ පෙර සිට ඇත. එහෙත් වසර මිලියන 400ක් පුරා සංකීර්ණ ජීවය පෘථිවියේ පැවතුනි. වෙනත් විදිහකින් පවසනවා නම් දියුණු ශිෂ්ටාචාර එකක් හෝ කිහිපයක නැගීම සහ වැටීම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් මානව වර්ගයාට පෙර පෘථිවි ඉතිහාසයේ ගත වී ඇත.
ෆ්‍රෑන්ක් යෝජනා කරන්නේ ඈත ග්‍රහලෝකවල බුද්ධිමත් ජීවීන් පිළිබඳ පැරණි සාක්ෂි සෙවීමට ක්‍රමයක් ගැන නම්, මෙම අදහස අපගේ ග්‍රහලෝකයට අදාළ නොකරන්නේ ඇයි?
ස්මිට්ගේ අදහස මෙය විය. මෙය ෆ්‍රෑන්ක්ගේ මනස අවුල් කළේය. ඔහු ඉදිරියේ සිටින කීර්තිමත් නාසා ආයතනයක අධ්‍යක්ෂකවරයෙකි. ඔහු පෘථිවිය මත නවීන මානවයා පෙනී සිටීමට වසර මිලියන ගණනාවකට පෙර පැවතිය හැකි බුද්ධිමත් ජීවයක් එසේත් නැති නම් දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් තිබෙන්නට හැකියාවක් ඇති බව යෝජනා කරයි.
මෙය සිදු විය හැකිද?
මිනිසුන් අත්කරගත් දේ මීට පෙර පෘථිවියේ මත වෙනත් ශිෂ්ටාචාරයක් විසින් අත් කරගෙන සිටියා විය හැකිද?
එසේ නම්, අප එය ගැන දැන ගන්නේ කෙසේද?
අතීතයේ පෘථිවියේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතියේ දැයි පැවසීම පහසු බව පෙනේ. අනුමාන වශයෙන්, අප කළ යුතුව ඇත්තේ නවීන මානව ශිෂ්ටාචාරයේ මෙන් පැරණි භෞතික සාක්ෂි සෙවීමයි. එනම්, වසර මිලියන ගණනක අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක සාක්ෂි අනාවරණය කර ගැනීමට නම් පුරාණ ඊජිප්තුවරුන් හෝ ඇස්ටෙක්වරුන් සඳහා අප කළ ආකාරයටම සාක්ෂි සොයා ගැනීම සිදු කළ යුතුය.
නමුත් ඇත්ත වශයෙන්ම, එය එතරම් සරල නැත. ගැටලුව වන්නේ පෘථිවි භූ විද්‍යාත්මක වාර්තාව ලෙස හැඳින්වෙන දෙය වසර මිලියන 2.6 කට පමණ පෙර චතුරස්‍ර යුගය (Quaternary Period) ඉක්මවා නොයෑමයි. එතැනින් එහාට ඇති දේ දැනටමත් කාලයත් සමඟ දුහුවිලි අංශු බවට පත් වී ඇත. දියුණු ශිෂ්ටාචාරයක් අතීතයේ වසර මිලියන ගණනකට පෙර පැවතුනේ නම්, ඔවුන්ගේ නගර, මාර්ග සහ සංස්කෘතිය පිළිබඳ සාක්ෂි අපට සොයාගත නොහැකිය.

නමුත් පොසිල ගැන කුමක් කිව හැකිද?
දියුණු ඉපැරණි ශිෂ්ටාචාරයක් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි ෆොසිල වාර්තා තුළ ඉතිරි කරන බව පෙනෙන්නට තිබේ. යථාර්ථයේ දී, මෙය අනිවාර්යයෙන් සත්‍යයක් නොවේ. වසර මිලියන 165 කට පෙර පෘථිවියේ සිටි ඩයිනෝසෝරයන් ගැන සිතන්න. අද දක්වා, ඩයිනෝසෝරයන් ජීවත් වූ කාලයේ සිටි වර්ග 20න් පමණ, අද වින විට "සම්පූර්ණ" ඩයිනෝසෝර නිදර්ශක කිහිපයක් පමණක් සොයාගෙන ඇත.
පසුගිය වසර 300 තුළ පමණක් පැනනැඟී ඇති මානව වර්ගයාගේ වත්මන් කාර්මික ශිෂ්ටාචාරය සලකා බලන්න. මෙම කාර්මික ශිෂ්ටාචාරය තවත් වසර මිලියන ගණනක් පැවතියද, එය තවමත් ඩයිනෝසෝරයන් සිටි කාලයෙන් කොටසක් පමණි. වෙනත් වචන වලින් කිවහොත්, අපේම දියුණු කාර්මික ශිෂ්ටාචාරය දිගු කාලීන ෆොසිල වාර්තා තුළ පෙන්නුම් කිරීම විය නොහැක්කකි. අතීතයේ වසර මිලියන ගණනක් පැවති දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් සඳහාද එය එසේම සත්‍ය වනු ඇත. පෘථිවියේ දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවට මේ ආකාරයේ සෘජු සාක්ෂි වසර මිලියන ගණනක් හරහා පැමිණෙන්නේ නැති බව ෆ්රෑන්ක් සහ ෂ්මිට් දැන සිටියහ. ඔවුන් පෞරාණික නටබුන් හෝ පොසිල සාක්ෂි සඳහා ගවේශණයක් සිදු කෙරුවේ නැත.
එසේනම් ඔවුන් සෙව්වේ කුමන ආකාරයේ සාක්ෂිද?
මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට හොඳම ක්‍රමය නම් මානව ශිෂ්ටාචාරය එහි වර්තමාන සංවර්ධන අවධියේදී බිඳ වැටුණහොත් අප ඉතිරි කරන සාක්ෂි මොනවාද යන්න තේරුම් ගැනීම බව ඔවුන් දෙදෙනාට වැටහුණි. සරලව පවසනව නම්, ශිෂ්ටාචාරයක් සැබෑ ග්‍රහලෝක පරිමාණයන් කරා ළඟා වූ පසු, එයට ජීවය ලබා දුන් පරිසර පද්ධති පිළිබඳව යම් ප්‍රතිපෝෂණ තිබිය යුතුය. පෘථිවියේ පරිසර පද්ධතිවල ඉතිරිව ඇති වාතය, ජලය, පාෂාණ, එහි දේශගුණය මෙම ග්‍රහලෝකයේ නොමැකෙන පා සටහන් වේ. දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් සොයා ගැනීම සඳහා යතුර වනු ඇතැයි ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් විශ්වාස කළේ මෙම පා සටහන් ය.
2018 දී, ඔවුන් දෙදෙනා තාරකා ජීව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළහ. පෘථිවියේ අතීතයේ දියුණු කාර්මික ශිෂ්ටාචාරයක සාක්ෂි ලෙස සේවය කළ හැකි යැයි ඔවුන් විශ්වාස කළ විවිධ භූ විද්‍යාත්මක පා සටහන් පිළිබදව එහි විස්තරාත්මකව දක්වා ඇත. මෙම පත්‍රය විද්‍යාත්මක ලෝකයේ කැළඹීමක් ඇති කළේය. පෘථිවි අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතීමේ හැකියාව පිළිබඳ මනස්කාන්ත අදහසක් මතු කිරීම පමණක් නොව, අපේම දියුණු ශිෂ්ටාචාරය පෘථිවිය මත ඇති කරන බලපෑම ගැන අදහසක් එමහින් නිර්මාණය කළේය. ඔවුන් ඔවුන්ගේ න්‍යාය මෙසේ හැඳින්වූයේ ය.
"සිලූරියන් උපකල්පනය"
මෙය ආරම්භ කිරීම සඳහා, ෆ්රෑන්ක් සහ ෂ්මිට් පෘථිවියේ බිලියන 8 කට ආසන්න ජනතාව පෝෂණය කිරීමට අවශ්‍ය කෘෂිකර්මාන්තය ගැන කල්පනා කළහ. මෙම පරිමාණයෙන් ආහාර නිෂ්පාදනය කිරීමට අපගේ කාර්මික ශිෂ්ටාචාරය නයිට්‍රජන් කෘත්‍රිමව “ස්ථාවර” කිරීමේ ක්‍රම සොයාගෙන ඇත. එමගින් වායුගෝලයේ නයිට්‍රජන් පරමාණු එකට තබා ඇති රසායනික බන්ධන බිඳ දැමීම මගින්
පොහොර ලෙස භාවිතා කරන ජීව විද්‍යාත්මකව ප්‍රයෝජනවත් අණු නිර්මාණය කිරීම සිදු වේ. කෘෂිකර්මාන්තය තුළ අපේ මහා පරිමාණ පොහොර භාවිතය දැනටමත් පෘථිවි අවසාදිතයන් තුළ හඳුනාගත හැකි ආකාරයෙන් ග්‍රහලෝකයේ නයිට්‍රජන් ප්‍රවාහ වෙනස් කර ඇත. අතීතයේ පෘථිවියේ නයිට්‍රජන් ප්‍රවාහයේ වෙනස්වීම් පිළිබඳ සමාන සාක්ෂි දියුණු කාර්මික ශිෂ්ටාචාරයක පැවැත්ම පෙන්නුම් කරන එක් සාක්ෂියක් විය හැකි බව ෆ්රෑන්ක් සහ ෂ්මිට් යෝජනා කළහ.
ඊළඟට, ඔවුන් ප්ලාස්ටික් සලකා බැලූ අතර, පසුගිය වසර 75 තුළ, මිනිසුන් විශාල වශයෙන් ප්ලාස්ටික් සාගරයට බැහැර කර ඇත. කාලයාගේ ඇවෑමෙන්, මෙම ප්ලාස්ටික් සුළඟ, හිරු සහ රළ පහර නිසා අන්වීක්ෂීය ප්ලාස්ටික් අංශු නිර්මාණය කරමින් අවසානයේ සාගර පත්ලට ගිලී යයි. සියවසකටත් අඩු කාලයකට පසු, අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම ප්ලාස්ටික් එනම් “සාගර අපද්‍රව්‍ය” වෙරළබඩ ප්‍රදේශවල, ගැඹුරු ද්‍රෝණිවල සහ ආක්ටික් ප්‍රදේශවල මුහුදු පතුලේ තට්ටුවක් සාදන බවයි. සාගර පත්ලට යටින් වැළලී ඇති මේ හා සමාන ස්ථරයක් අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක් පෙන්නුම් කිරීමට හැකියාව ඇත.
තවදුරටත් ඉදිරියට යන විට, ෆ්‍රෑන්ක් සහ ෂ්මිට්ට වැටහුණේ ප්ලාස්ටික් යනු අප අතහැර යන මිනිසා විසින් සාදන ලද එකම මූලද්‍රව්‍ය නොවන බවයි. නවීන ඉලෙක්ට්‍රොනික උපකරණවල භාවිතා වන දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය පෘථිවිය පුරා පැතිර ඇත. දැනටමත් පෘථිවි අවසාදිතවල දිස්වන අප කාර්මික වශයෙන් නිෂ්පාදනය කරන ස්වභාවික නොවන රසායනික ද්‍රව්‍ය ද තිබේ. න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හා සම්බන්ධ විකිරණශීලී සමස්ථානික පවා ඇත. උදාහරණයක් ලෙස ප්ලූටෝනියම්-244 වල වසර මිලියන 80.8 ක අර්ධ ආයු කාලයක් ඇත. එනම් දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පුළුල් පරිමානයෙන් සිදු කලේ නම්, එය අද වාර්තාවේ පෙන්විය හැක.
ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් අප අතහැර දමා යන දේ ගැන පමණක් සලකා බැලුවේ නැත. අපි භෞතිකව පෘථිවිය වෙනස් කරන ආකාරය ගැනද ඔවුන් සලකා බැලුවේය. මහා පරිමාණ කෘෂිකර්මාන්තය සහ මහා වන විනාශය ලොව පුරා පාංශු ඛාදනය වැඩි වීමට හේතු වී ඇත. මුහුදු මට්ටම ඉහළ යාම වෙරළබඩ ප්‍රදේශවල තවදුරටත් ඛාදනයට හේතු වන අතර, සහ ධ්‍රැවීය ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාම අයිස් දියවීමෙන් සහ නිත්‍ය තුහින දියවීමෙන් (Thawing Permafrost) ඛාදනය වැඩි කරයි.
18 වන සියවසේ මැද භාගයේ සිට, මිනිසුන් තම ශිෂ්ටාචාරය බලගන්වා ඇත්තේ පොසිල ඉන්ධන දහනය කිරීමෙනි. මෙය පෘථිවිය මත ඇති කර ඇති බලපෑම් සැලකිය යුතු වේ. පොසිල ඉන්ධන දහනය වන විට, සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලයේ, සාගරවල සහ පසෙහි දක්නට ලැබෙන කාබන්-12 සහ කාබන්-13 අනුපාතය වෙනස් වේ. දැනටමත්, මානව වර්ගයාගේ ෆොසිල ඉන්ධන භාවිතය මෙම අනුපාතය සැලකිය යුතු ලෙස වෙනස් කර ඇත. යම් ආකාරයකින් අනාගතයේ, එය පෘථිවි භූ විද්‍යාත්මක වාර්තාවේ පෙන්වනු ඇත. ෆ්‍රෑන්ක් සහ ෂ්මිඩ් ට අනුව, අතීතයේ පෘථිවියේ කාබන් අනුපාතයෙහි මේ හා සමාන නාටකාකාර වෙනසක් වෙනත් අයෙකු ෆොසිල ඉන්ධන දහනය කෙරූ බවට යෝජනා කළ හැකිය.
උෂ්ණත්වය පිළිබඳ ගැටළුවක් ද තිබේ. 18 වන සියවසේ සිට මානව වර්ගයාගේ කාර්මීකරණය සමඟ 1.8 ° F පමණ උනුසුම් වීමක් සිදු වී ඇත්තේ අනාගතයේ දී වඩාත් සැලකිය යුතු ඉහළ යෑම් පුරෝකථනය කරමිනි. දිගු කාලීනව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමක් සාගර, පාෂාණ, ශාක සහ අයිස් වැනි භූ විද්‍යාත්මක වාර්තා තුළ හඳුනාගත හැකිය.
ඇඩම් ෆ්‍රෑන්ක් ආරම්භ කර තිබුණේ ඈත ග්‍රහලෝකයක දේශගුණික විපර්යාසයක් පිළිබඳ සාක්ෂි අතීතයේ යම් කාලයක දී බුද්ධිමත් ජීවිතයක් පිළිබඳ සාක්ෂි විය හැකිය යන අදහසෙනි. මෙම අදහස ගැවින් ෂ්මිඩ් වෙත ගෙන ආ පසු, ඔවුන් දෙදෙනා ඊටත් වඩා ඇදහිය නොහැකි අදහසක් වෙත පැමිණ ඇත.
"සමහර විට ඒ හා සමාන සාක්ෂි අපේම ග්‍රහලෝකයේ තිබෙන්න පුළුවන්"
ඔවුන් සම්පාදනය කළ සාක්ෂි දෙස බලන විට, ෆ්‍රෑන්ක් මෙසේ ඇසුවේය.
"මේම අංශු මාත්‍ර අපේ ශිෂ්ටාචාරය ගැන අනාගතයට පැවසීමට ඇති සංඥා නම්, බොහෝ කලකට පෙර ශිෂ්ටාචාර ගැන අපට පැවසීමට බලා සිටින ඒ ආකාරයේ 'සංඥා' දැන් පවතිනු ඇත්ද?"
ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් යන දෙදෙනාම මෙම ප්‍රශ්නයට පිළිතුර නැත යන්න විශ්වාස කළ බව සඳහන් කිරීම වැදගත්ය. ඔවුන්ගේ සිලූරියානු උපකල්පනය තුළ, ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ,
"අපට පෙර "කාර්මික" ශිෂ්ටාචාරයක් පැවතියේදැයි අපි තරයේ සැක කරමු"
එම පත්‍රය ප්‍රකාශයට පත් වූ විට, ෆ්‍රෑන්ක් වොෂින්ටන් පෝස්ට් වෙත නොපැහැදිලි ලෙස මෙසේ පැවසීය.
"අපට පෙර "කාර්මික" ශිෂ්ටාචාරයක් පෘථිවියේ පැවති බව මම විශ්වාස නොකරමි."
ඇත්ත වශයෙන්ම, ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් පත්‍රය තුළ වැඩි ඉඩක් කැප කළේ ඔවුන්ගේම න්‍යාය තුළ ඇති හිඩැස් පෙන්වීමටය. ඔවුන් කතා කළ බොහෝ සාක්ෂි බව සොයා ගැනීමට හැකි වුවද ඒවා මිනිස් ක්‍රියාකාරකම්වලට අනන්‍ය නොවිය හැකි බව ඔවුන් පිළිගත්හ. උල්කාපාත පහරවල් සහ ගිනිකඳු පිපිරීම් හෝ වෙනත් සාධක ගණනාවක් නිසා පෘථිවි භූගෝලීය වාර්තාවේ නාටකාකාර වෙනස්කම් ඇති විය හැක.
එපමණක් නොව, ඔවුන් කතා කරන විශේෂිත සලකුණු වූ විභව සාක්ෂි එනම් පොහොර, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය සහ පොසිල ඉන්ධන වැනි දේ මිනිසා විසින් දියුණුව සඳහා ගන්නා ලද ඉතා නිශ්චිත මාර්ගයක් පමණක් නියෝජනය කළේය. අතීතයේ වෙනත් දියුණු ශිෂ්ටාචාරයක් බිහි වූවා නම්, එම ශිෂ්ටාචාරය මෙම විභව සාක්ෂි ඇති මිනිසා වර්ධනය වූ ආකාරයෙන්ම වර්ධනය වූ බවට සහතිකයක් නොමැත.
අතීතයේ දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් තිබුනේ නම්, එය දිගු කාලයක් පවතියේ නම්, භූ විද්‍යාත්මක පියසටහන විශාල වන තරමට අපට සොයා ගැනීමට ඇති වඩාත් විභව සාක්ෂි රාශියක් ඉතුරු වේ.
එහෙත්, ෆ්රෑන්ක් සහ ෂ්මිට්ට අනුව, මෙය පවා අනිවාර්ය සත්‍යයක් නොවේ. මනුෂ්‍යත්වය දැනට සිටින තැන ගැනත්, අපේම පැවැත්ම ගැන අප ඉගෙන ගන්නා දේ ගැනත් සිතන්න. අපට දැන් ෆොසිල ඉන්ධන දහනය කර පෘථිවිය අපවිත්‍ර කළ ආකාරයටම ඉදිරියටත් අපවිත්‍ර කළ නොහැකි බව අප හඳුනාගෙන ඇත. අප ඉදිරියටත් ජීවත් වීමට බලාපොරොත්තු වෙනවා නම් මෙසේ සිදු නොකළ යුතු බවට අප දැනටමත් එකග වී ඇත. කාරණය වන්නේ ශිෂ්ටාචාරයක් දිගු කල් පැවතීමට නම් පැවැත්ම සඳහා එහි භාවිතයන් වඩාත් තිරසාර (Sustainable) විය යුතුය. එයින් අදහස් කරන්නේ දියුණු කාර්මික ශිෂ්ටාචාරයක අඩිපාර ස්වයං-සීමාකාරී (Self-Limiting) විය හැකි බවයි. ඔවුන් තිරසාර භාවිතයන් වර්ධනය කරනු ඇති අතර එමඟින් ඔවුන්ගේ අඩිපාර හඳුනාගත නොහැකි ලෙස වැසී යෑම සිදු වේ.
සමහරවිට ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් ඔවුන්ගේම විභව සාක්ෂි ගැන සැක කිරීම නිවැරදි විය හැකිය. සමහර විට අපට කියන ලද සාක්ෂි සොයා ගැනීමට නොහැකි වනු ඇත. සමහර විට එය කිසිසේත්ම නොතිබීමට හැකිය. මෙය ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් ඉදිපත කළ සිලූරියානු උපකල්පනයේ අවසානය නොවීය. එය ආරම්භයක් විය. ඔවුන්ගේ පත්‍රිකාවේ, ඔවුන් මෙසේ ප්‍රකාශ කරයි.
"එවැනි ශිෂ්ටාචාරයක් සඳහා සාක්ෂි කෙබඳු විය හැකිද යන්න විධිමත් ආකාරයකින් ප්‍රශ්නයකින් ඇසීම, තාරකා ජීව විද්‍යාව හා මානව විද්‍යාව යන දෙකටම අදාළ ප්‍රයෝජනවත් ප්‍රශ්න මතු කරයි.”
වඩාත් සරලව පවසනවා නම්, ෆ්‍රෑන්ක් වොෂින්ටන් පෝස්ට් වෙත පැවසූ පරිදි,
"විද්‍යාවේ සමස්ත කාරණය වන්නේ ප්‍රශ්නයක් ඇසීම සහ එය යොමු කරන්නේ කොතැනටද යන්න බැලීමයි."
සිලූරියන් උපකල්පනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, බොහෝ දෙනෙක් මෙම උපදෙස එනම් න්‍යාය අනුගමනය කරමින් එය කොතැනට ගෙන යා හැකිද යන්න බැලීමට සිතට ගත්හ. ඉන්පසු සිදු කෙරූ පරීක්ෂණ වලින් පෙන්වා දුන්නේ ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් කතා කළ විභව සාක්ෂි වර්ග අපගේ වර්තමාන විද්‍යාත්මක වාර්තාවේ දැනටමත් පවතින බවටය. එය පැලියෝසීන-ඉයෝසීන් තාප උපරිම (Paleocene-Eocene Thermal Maximum) ලෙස හැඳින්වේ. වසර මිලියන 55 කට පෙර කාල සීමාවක් වූ එහි, පෘථිවි උෂ්ණත්වය අභිරහස් ලෙස 9-15 ° F අතර ඉහළ ගොස් ඇති අතර, ඒ සමගම ග්‍රහලෝකයේ කාබන් අනුපාතය නාටකාකාර ලෙස වෙනස් වී ඇත.

මෙය පැරණි දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් පොසිල ඉන්ධන දහනය කළ බවට සාක්ෂියක් විය හැකිද?
ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් මේ පිළිබදව දැන සිටි අතර මෙම තියුණු උදාහරණය ඔවුන්ගෙර් ව්‍යාපෘතියේ මාතෘකාව සඳහා පදනම සපයා ඇත. ඔවුන්ගේ සිලූරියානු උපකල්පනයේ ශක්‍යතාව සැක කරන බව ඔවුන් පිටතින් ප්‍රකාශ කළත්, ෆ්‍රෑන්ක් සහ ෂ්මිට් මෙම මාතෘකාව තුළ ඔවුන්ගේ සැබෑ විශ්වාසයන් පිළිබඳ ඉඟියක් ඉතිරි කර ඇත.
1970 ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන Doctor Who හි එක් කථාංගයක, අක්‍රමිකතා රාශියක් ඇති න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට යටින් ඇති ගුහා විමර්ශනය කිරීමට වෛද්‍යවරයා කැඳවනු ලැබේ. එහිදී, ගැඹුරු භූගත ප්‍රදේශයක, ඔහු උරග මානව වර්ග (Reptilian Humanoids) විශේෂයක් සොයා ගනී. වසර මිලියන 55 කට පමණ පෙර ඉයෝසීන යුගයේදී (Eocene Era) ඔවුන් පෘථිවියේ දියුණු ශිෂ්ටාචාරයක කොටසක් වූ බව මෙම උරගයන්ගෙන් ඔහු ඉගෙන ගනී.

එම උරග කොට්ටාසයේ නම?
"සිලූරියන්වරු"
කතාවට අනුව, ඔවුන්ගේ බලයේ උච්චතම අවස්ථාවෙහිදී, සිලූරියන්වරුන් සොයා ගත්තේ පෘථිවියට ආසන්නව දැවැන්ත ග්‍රහලෝකයක් ගිනිගෙන ඇති බවයි. එය යම් ආකාරයකින් පෘථිවි වායුගෝලය ඉවත් කිරීම සිදු කිරීම නිසා එය පෘථිවියේ ජීවත්වන ඕනෑම කෙනෙකුට ව්‍යසනකාරී වනු ඇත. ඉදිරියේදී එන මෙම ව්‍යසනයෙන් බේරීමට, සිලුරියන්වරු භූගතව වාසය කිරීමට තීරණය කර ඇත. ඔවුන් ස්වයං-ප්‍රේරිත ශිශිරතරණයේ (Self-Induced Hibernation) සිටීමට අදහස් කරේ, පෘථිවි වායුගෝලය නැවත පැමිණි පසු ස්වයංක්‍රීයව නින්දෙන් අවදි වීමට ය. කෙසේ වෙතත්, එම ග්‍රහලෝකය පෘථිවිය පසුකර ගියේ නැත. පෘථිවියේ කක්ෂය මගින් එය අල්ලා ගෙන, අවසානයේ එම ග්‍රහලෝකය පෘථිවියේ සඳ බවට පත්විය. මෙය සිලූරියන්වරු නැවත අවදි කිරීමට නියමිත යාන්ත්‍රණය බිද වට්ටමින් වැරදි වසර මිලියන ගණනක් ඔවුන් නිදාගෙන සිටීමට හේතු විය.

මෙම කතාව නූතන මිනිසුන්ට සම්බන්ධ යැයි සිතන්න. අද වන විට දේශගුණික විපර්යාසයේ ප්‍රතිවිපාක මුළු ලෝකයටම දැනෙමින් පවතින බැවින්, මනුෂ්‍යත්වයේ ප්‍රභූ පැලැන්තිය එළැඹෙන ව්‍යසනයෙන් බේරීමට සැලසුම් සකස් කරමින් සිටී. ඊලෝන් මස්ක් වැනි අය රොකට් වලට සහ අඟහරු ග්‍රහයා යටත් විජිත කිරීමට මෙතරම් උනන්දු වන්නේ එබැවිනි. පෘථිවිය මිනිසුන්ට වාසය කළ නොහැකි වූ විට, ඔවුන් පෘථිවියෙන් පිටව යනු ඇත.
එය දැන් සිදු වන්නේ නම්, එසේ නම් ඈත අතීතයේ සිටි දියුණු ශිෂ්ටාචාරයක් ද ව්‍යසනය හමුවේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට මෙම ග්‍රහලෝකය හැර යෑමට හෝ සිලුරියන්වරු කළාක් මෙන් කිරීම සිදු කිරීම විය නොහැක්කක්ද?
මෙම ප්‍රශ්නය වෙනත් ආකාරයකින් ඇසිය හැකිය.
දියුණු ඉපැරණි ශිෂ්ටාචාරයක් තිබුණා නම් මෙම ව්‍යසන හමුවේ ඔවුන්ට මොකද වුණේ?
ඔවුන් බේරුණොත්?