Skip to content

මහානාග රජුගේ මාලිගාව ඇතුලු නටඹුන් දිනෙන් දින විනාශයට ලක්වෙලා

ජයලත් දිසානායක - බදුල්ල - 2023.06.06

මහානාග රජුගේ කාලයේ ඉදිකලා යැයි සඳහන් වන බුත්තල කතරගම පාරේ වෑකඩ හංදියෙන් හැරි මැණික් ගඟ ආසන්නව පිහිටා ඇති යටිඇල්ලාතොට ඓතිහාසික ස්ථානයේ පිහිටි මහානාග රජුගේ මාලිගාව ඇතුලු  නටඹුන්  දිනෙන් දින විනාශවෙමින් පවතින බව ඓතිහාසික යටිඇල්ලාතොට  රජමහා විහාරයේ විහාරාධිකාරි ආචාර්ය පිල්ලෙවෙල නන්දරාම ස්වාමින් වහන්සේ පැවසූහ.

කලකට පෙර මෙම ස්ථානය පුරාවිද්‍යා සේවකයින් විසින් විධිමත් ලෙස නඩත්තු කිරිම් හා පිරිසිදු කිරිම් සිදුකරමින් දැකුම්කලු ආකාරයට පවත්වාගෙන ගියද මේවන විට එම සියලු නටඹුන් කැලෑවට ගොස් තිබේ .

මුරගල්, කොරවක් ගල් මෙන්ම ගල් කනු හා ගොඩනැගිලි  වල නටඹුන්, සෙල්ලිපියක් මෙන්ම ක්‍රිස්තුපුර්ව 8-9 වැනි සියවස්වලට අයත් අග්බෝ ඈපාණන්ගේ අනින් සිදුකල විශේෂ අයිතිවාසිකම් ප්‍රධානයක් සම්බන්ධයෙන් තොරතුරු සෙල්ලිපියක්ද මෙම ස්ථානයේ දක්නට ලැබේ .

එම සෙල්ලිපියට නුදුරින් උමං මාර්ගයෙන් ජලය ගෙන ගිය බව සඳහන් වන ගල් වලින් නිර්මාණය කල පොකුණද දක්නට ලැබේ. මේ වන විට ඒවා සියල්ල සම්පුර්ණයෙන්ම කැලෑවට ගොස් ඇත.

කලකට පෙර මෙම ස්ථානය ආසන්නයේ තිබු ඉපැරණි චෛත්‍යයද නිදන් සොරුන්ගේ ග්‍රහනයට ලක්ව විනාශ වී තිබු අතර මේවන විට එම චෛත්‍යයද සම්පුර්ණයෙන්ම කැලෑවට ගොස් තිබේ.

අනුරාධපුරයේ සිට  රුහුණට එන මහානාග රඡු ඇතුලු පිරිස පොලොන්නරුව මහියංගනය හරහා එදා ගුත්තහාල නුවර ලෙස හඳුන්වපු වර්තමානයේ බුත්තල ලෙස හඳුන්වන ප්‍රදේශයට පැමිණෙන අතරතුර  මහානාග රජුගේ ගැබ්බර බිරිඳට ප්‍රසුත වේදනාව ඇතිවන අතර එහිදි වහා වහා  මේ ස්ථානයේ තාවකාලික මාලිගයක් ඉදිකර ඇති බව ඉතිහාසයේ සඳහන් වන බවත් විහාරාධිකාරි  ආචාර්ය පිල්ලෙවෙල නන්දරාම ස්වාමින් වහන්සේ පවසති.

එහිදි  බිරිඳ පිරිමි දරුවෙක් ප්‍රසුත කල බවත් මැණික් ගඟේ යටිඇල්ලාතොටේ බිහිවුන නිසා යටාල කියන කොටසත් බෑනණුවන්ගේ නමේ තිස්ස කොටසක් එකතුකර යටාලතිස්ස ලෙස නම් තැබිම සිදුකරන බවත් දරුවා ඇතිදැඩි වනතුරු සිටින අතරතුර දරුවා සිහිවිමට චෛත්‍යයක් ඉදිකර ඇති බවත් යටිඇල්ලාතොට වෙහෙර හෙවත් යටාල වෙහෙර ලෙස එම ච්‍යෛතය නම් කර ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු පුරාවිද්‍යා නිළධාරින් අවධානය කඩිනමින් යොමු කලයුතු බවත් කැලෑවට යා නොදි මෙම ඓතිහාසික ස්ථාන සංරක්ෂණයටත් ශුද්ධ පවිත්‍රකර පිරිසිදුව තබාගැනිමටත් අවධානය යොමු විය යුතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වාදෙති.

Latest