දැඩි ආන්දෝලනයට තුඩුදුන් “කෲඩියා සිලනිකා" හෙවත් පඬු කරඳ ගස ඉවත් කළේ කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
රතු දත්ත පොතට පවා ඇතුළත්වී පවතින මෙරටට ආවේණික ශාකයක් වන පඬු කරඳ ගස මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ මෙම තත්ත්වය මතුවී තිබුණි.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ,

"පඬු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. 2019දී රුපියල් කෝටියකින් කරන්න තිබුණු ව්‍යාපෘතිය අද කරන්න කෝටි 03ක් වත් අඩුම ගාණේ ඕනේ අවාසනාවකට පඬු කරඳ ගහක් හේතුවක් කරගෙන මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරනවා.
නමුත් මේ ගහ ඉතිරි කරලා මේ ව්‍යාපෘතිය වෙනස් කරන්න ගියොත් රජයට රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා මේ ගැන මම අධ්‍යනයක් කළා.මේ ව්‍යාපෘතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තිබෙනවා. උස අඩි 12යි 15යි අතර පඬු කරඳ ගස් 25ක් තිබෙනවා. ඕනේ නම් මම පෙන්වන්නම්."
මේ එක ගහ වෙනුවට පඬු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිට සකස් කරලා තිබෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. මේක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්."


මේ අතර පඩුකරඳ ගස ඉවත්කල ස්ථානයට ගිය පූජ්‍ය පාහියංගල ආනන්ද සාගරහිමියන්ද අදාල ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ,
‘ලෝකෙටම තිබුනේ මේ වගේ ගස් 07 යි දැන් එක ගහක් නැතිවෙලා තියනවා. මේක සාහසික, පාරසරික වගේම ජාතික අපරාධයක් මේ නිසා මේ අපරාදය ගැන සොයන්න වහාම මෙරට වගේම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන්න අවශ්‍ය වෙනවා. යනුවෙනි.
එමෙන්ම පරිසර වේදීන් කිහිපදෙනෙකුම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පවසා සිටියේ මේ වනවිට ඉවත්කරන ලද පඩුකරඳ ගස අතුරුදහන් වෙලා තියෙනවා. එම ගස කුමන ස්ථානය ස්ථානගත කර ඇත්තේද යන්න මෙතෙක් අනාවරනය වෙලා නැහැ. මේ ක්‍රියාවලිය කරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් නිසා වහාම මේ ගැන පරික්ෂණයක් සිදුකල යුතු බවටය.