Skip to content

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය නැවත ලියැවෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය

1996 වසරේදි ලෝක ශූරයන් ලෙස කිරුළු පැලැඳි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කන්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට එක්දින ලෝක කුසලානය තරගාවලියකට සුදුසුකම් ලැබීමේ අවදානමට මුහුණ දී සිටියි. අද (ජුනි 18) එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමගින් තරගයෙන් ඇරඹෙන ඉදිරි සති කිහිපය දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තම ක්‍රිකට් වංශ කතාවේ අභිමානය රැකගැනීමේ වගකීම පැවරී තිබේ.

කොහොමද මෙහෙම වුණේ?

එක් වතාවක් ලෝක ශූරයින්, දෙවතාවක් අනුශූරයින් වූ කණ්ඩායමක් මෙතරම් පහතට වැටුනේ කොහොමද? විවිධ පැහැදිලිකිරීම් ගණනාවක් ගෙන හැර පෑ හැකි නමුත් සරල පිළිතුරනම් ශ්‍රී ලංකා ක්‍රිකට්, පසුගිය වසර කිහිපයේ ලෝක මට්ටමේ නොතිබීම යන යථාර්තයයි.

2019 වසරේ එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ගත වූ සිව් වසරේදි ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග ගණන 42කි. ඉන් ජයගන්නට සමත් වන්නේ තරග 18ක් පමණි. එම තරග 42 අතුරින් ලෝක කුසලාන සුපර් ලීග් තරග 24කි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග 24න් ජයගන්නේ 7ක් පමණි.

පසුගිය කාල වකවානුවේ ලෝක ක්‍රිකට් තරග බිමේ ප්‍රධාන අවිය බවට පත්වන්නේ පිතිහරඹයයි. එවට සමාන්තරව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට හේතුව වන්නේද පිති හරඹයයි. ලකුණු 300ක් වාර්තා කිරීම සාමාන්‍යකරනය වූ යුගයක ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වන්නේ ප්‍රවේගකාරි පිතිහරඹයන්ගෙන් පමණක් නොවෙයි. කෙටි, ඉක්මන් ලකුණු ලබාගැනීම, අන්ත මාරු කරගනිමින් පිතිකරණ සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල වීම මේ පසුබෑම පිටුපස ඇති ප්‍රධාන රහසයි.

•	ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරගවලදි ලකුණු 300 සීමාව ඉක්මවන්නේ ඉනිම 09කදි පමණි.
•	එක්දින තරගවල වඩාත් වැදගත්ම කාල සීමාව වන අවසන් පන්දුවාර 10දි ශ්‍රී ලංකාව ලකුණු නොලබා නාස්ති කළ පන්දු ප්‍රතිශතය 38.26කි. ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් ශ්‍රී ලංකාවට වඩා නරක ලෙස පන්දු නාස්ති කළ කණ්ඩායම් වන්නේ සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්තානය පමණි. 
•	11වැනි පන්දුවාරයත් 40වැනි පන්දු වාරයත් අතර කාලයේදි සියයට පනහක් පන්දු අපතේ යැවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් කටයුතු කර ඇත. 

කෙසේ නමුත් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ලැබුණු තරග කාල සටහනද යම් දුරකට මෙම කඩාවැටීමට හේතු වුවද එය ක්‍රීඩාවේ කොටසක්ම වන බැවින් නිදහසට කරුණක් ලෙස ගෙන හැර පෑ නොහැකිය. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි ප්‍රභල කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුවද එම තරගාවලි සුපර්ලීගයට අයත් නොවීම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සටහන් කළ හැකිය.

එසේම, විටින් විට කණ්ඩායම් සංයුතිය වෙනස් කරමින් කළ අන්තෝනමතික අත්හදාබැලීම් අසාර්ථක වීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට බලපෑ බව සිහිපත් කළ යුතුය. විශේෂයෙන් දිමුත් කරුණාරත්නගේ නායකත්වය අහෝසි කරමින් ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් තරුණ සංචිතයක් හදුන්වා දුන්නද අවසානයේ නැවතත් දිමුත් කණ්ඩායමට කැඳවීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින්ගේ දුර්වල සැලසුම් පිළිබඳ කදිම නිදසුනකි.

එසේම පසුගිය කාලය පුරා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වැදුණු මරු පහරකි. විශේෂයෙන් වේග පන්දු බල ඇණියේ තුරුම්පුව වන දුෂ්මන්ත චමීර, ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ එක්දින පිටියේ හොඳින් දස්කම් දැක්වූ අවිශ්ක ප්‍රනාන්දු විටින් විට ආබාධවලට ලක්වීමෙන් තරග නොකිරීම දැඩි ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවලට ඍජු බලපෑමක් එල්ල කළේය.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට යන්න පුළුවන් වෙයිද?

සුදුසුකම් ලැබීමේ තරගාවලි සංයුතිය සලකා බැලීමේදි එතරම් අසීරු කරුණක් නොවන නමුත් දිනයේ වාසනාව මත තරගයක්/දෙකක් ශ්‍රී ලංකාව අසාර්ථක වුවහොත් ඉලක්කය පහසු නොවනු ඇත.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන කණ්ඩායම් අතුරින් ප්‍රභල අභියෝගයක් එල්ල විය හැක්කේ අයර්ලන්තයෙනි. නෙසේ නමුත් එක්සත් අරාබි එමීරය, ඕමානය සහ ස්කොට්ලන්තය සුළුවෙන් තැකිය නොහැකිය.

පළමු වටයේ තරගවලින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන රැඳෙන කණ්ඩායම් තුන සුපර් සික්ස් වටයට පිවිසෙන අතර එහිදී යම් කණ්ඩායමක් සමග පිවිසෙන අනෙක් කණ්ඩායම් දෙක සමග තරගවල ප්‍රථිඵල සුපර් සික්ස් වටයේ ප්‍රසාද ලකුණු සටහනට එක් වෙයි. ඒ අනුව සියළු තරග ජය නොගතහොත් අවසන් කණ්ඩායම් දෙක අතරට එක්වීම අසීරු ඉලක්කයක් බවට පත්වනු ඇත.

යම්කිසි විස්මයානුකූල පෙරළියක් සිදුනොවුනහොත් ශ්‍රී ලංකාවට සුපර් සික්ස් වටයේදි හමුවීමට නියමිත වන්නේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දිය කොදෙව්වන් සමග නෙදර්ලන්තය/ඇමෙරිකා එක්සත් ජනපදය/නේපාලය යන කණ්ඩායම් අතරින් එකකි.

කෙසේ නමුත්, පසුගිය සමයේ කෙතරම් පහත අඩියක සිටියත් තමාගේ දිනයේදි ලොව ප්‍රභලතම කණ්ඩායම් දණ ගැස්සවීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මෙම තරගාවලියෙදිත් එම හැකියාව දිගටම රඳවා ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් අභිමානය තවදුරටත් ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇත.

Latest