මෙරට අක්කර 100 ක හෝ 200 ක මුඩු බිම් ප්‍රමාණයක් තුළ "වන වගා" කිරීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.
ලෝකයේ රටවල් 200 ක් අතරින් රටවල් 04 ක් තෝරා ගෙන වන වගාවන් සිදු කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.එසේ තෝරා ගෙන ඇති රටවල් 04 කට ශ්‍රී ලංකාවද අයත් වීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චිය මහත්මිය සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයින් අතර පසුගියදා පවත්වන ලදි.
දැනට තිබෙන වනාන්තර රැක ගැනීම සහ අළුතින් වනාන්තර ඇති කිරීමේ වැදගත්කම පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇත. විවිධ ආකාරයෙන් සිදුවන පාරිසරික බලපෑම් අවම කර ගෙන අනාගත පරපුර ඒ සදහා මුහුණ දීමට නම් හැකි තාක් වනාන්තර ඇති කළ යුතු බවද මෙම සාකච්ඡාවේදි කථා බහ කර ඇත.
පරිසර හානිය අවම කිරීම,පරිසර දුෂණය වළක්වා ගැනීම, පරිසරය සම්බන්ධයෙන් ජනතාව තුළ යහපත් ආකල්ප ඇති කිරීම හා පරිසර සංරක්ෂණය පිළිබදව ජනතාව දැණුවත් කිරීම මෙම වන වගා වැඩ සටහනේ අරමුණ වී ඇත.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ද, වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වල නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
