අතිශය කාර්‍ය බහුල කොළඹ නගර මධ්‍යයේ පිහිටි , රාජ්‍ය නායකයින් රැසකගේ නිල නිවස ලෙසද කලක් භාවිතා කරන ලද "විසුම්පාය" සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර ඇත.
ඇක්ලන්ඩ් හවුස් (Acland House) ලෙස මුල් කාලයේ ව්‍යවහාර කල මෙම නිවස ඉදිකර ඇත්තේ විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. 1835 වසරේ අගෝස්තු මස 24 වන දින විලියම් රජු විසින් යටත් විජිත සමයේ කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරනු ලැබූ මෙම පෞරාණික ගොඩනැගිල්ල පසු කාලීනව ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන් ගේ නේවාසිකාගාරයක් ලෙසටද භාවිතා කර තිබිණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගේ උපදෙස් පරිදි , පෞරාණික වැදගත්කමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි පෞරාණිකත්වයට හානි නොවන පරිදි ආයෝජනය සඳහා යෙදවීමේ වැඩසටහනට අනුව මෙම හෝටලය නිර්මාණය වීම සිදු වන අතර ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම ජූලි 07 දින නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotel Hospitality Limited ආයතනය අතර කොළඹදී අත්සන් කෙරිණ.
මේහිදී නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති නිමේෂ් හේරත් මහතා ද හොංකොං Azotel Hospitality Limited ආයතනය වෙනුවෙන් එහි සහාපති Adrian Zecha මහතාද එම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබුවේය.
විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitality limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitality limited ආයතනය, හුනාස් හෝල්ඩින් පුද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ඇත. එහිදී සිදු කෙරෙන සංවර්ධන කටයුතු එම ගොඩනැගිල්ලේ පෞරාණිකත්වයට කිසිදු අයුරකින් හානි නොවන අයුරින් සිදු කිරීමටද නියමිත බව වාර්තා වෙයි.