විශේෂයෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව තුළ කතා බහට ලක් වූ ප්‍රධානතම මාතෘකාව වූයේ කෘෂිකර්මාන්තය හේතුවෙන් මෙරට පස තුළට විශාල වශයෙන් බැර ලෝහ එකතුවන බවත් සහ වකුගඩු රෝගය ප්‍රධානකොට ශ්‍රී ලංකාවේ රෝග රාශියකට එය ප්‍රධාන හේතුවක් වන බවය.
රසායනික කෘෂිකර්මාන්තය අතහැර කාබනික කාබනික වශයෙන් රට පුරා ප්‍රචාරයක් දියත් කිරීමටත්, මෙරට ආහාර අර්බුධයක් ඇති කිරීමටත් සහ අවසානයේ ඔහුට ධූරය අතහැර පලා යෑමට ද ප්‍රධාන හේතුව වූයේ එයයි. විශේෂයෙන් අනුරුද්ධ පාදෙනිය සහ අතුරලියේ රතන හිමියන් ද මෙම සටනේ පෙරමුණගෙන තිබුණි.
එකල බොහොමයක් පුද්ගලයින් යම් යම් උපකල්පන මත මෙරට පසෙහි බැර ලෝහ විශාල වශයෙන් අඩංගු වන බවත් සහ නාථ දෙවියන් ද එය ප්‍රකාශ කළ බවත් දැක් වූ අතර නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව මේ සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණයකින් මේ වන විට පෙන්වා දෙන්නේ වෙනස්ම තත්වයකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවල පස් සාම්පල රැස්කර ඒවා පර්යේෂණයන්ට භාජනය කර එක් එක් ප්‍රදේශවල පසෙහි බැර ලෝහ අඩංගු වී ඇති ආකාරය මේ වන විට සිතියම්ගත කර ඇත.
උසස් අධ්‍යාපනය ප්‍රසාරණය කිරීම සහ සංවර්ධනය වේගවත් කිරීම සඳහා මෙරටට ලැබුණු ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වී ඇති මෙම පර්යේෂණය ආරම්භකර ඇත්තේ 2019 වර්ෂයේ දීය. එහිදී 2019/2020 මහ කන්නය ආරම්භ වීමට පෙර දිවයිනේ කුඹුරු වලින් පස් සාම්පල 9067 ක් ලබාගෙන ඇති අතර පසුව ඒවා පර්යේෂණයන්ට භාජනය කර අදාළ තොරතුරු අනුව සිතියම්ගත කර ඇත.
පර්යේෂණ කාර්යයෙහි නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිත් සූරියගොඩ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ
"දිවයිනේ කිසිදු පස් සාම්පලයක බැර ලෝහ සාන්ද්‍රණය සෞඛ්‍යයට හානියක් විය හැකි උපරිම මට්ටම ඉක්මවා නොමැති බව අපට පෙනී ගිය කාරණයක්, තිබෙන ප්‍රමාණය උනත් වැඩිපුර අන්තර්ගත වුනේ කොළඹ, ගම්පහ, කළුතර වගේ පහතරට තෙත් කලාපයෙන් එකතු කළ පස් සාම්පල වල. වියළි කලාපයේ නම් තිබුණේ අඩුවෙන්. හැබැයි වකුගඩු රෝගය වැඩියම තියෙන්නෙ වියළි කලාපයේනේ. එහෙනම් බැලූ බැල්මට පේනවා වකුගඩු රෝගයට වෙනත් සාධකවල බලපෑමක් ඇති බව. මේ පරස්පර සම්බන්ධතාවය හින්දා බැර ලෝහ ශරීරගත වීම නිසා වකුගඩු අකර්මණ්‍ය වෙනවා කියන මතවාදය ගැන අලුතින් හිතන්න වෙනවා". යනුවෙනි.
Arc Gis මෘදුකාංගය බාවිත කරමින් මෙසේ නිර්මාණය කර ඇති සිතියම් සියල්ල ඔබට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ද ඉහළ විභේදනයක් සහිතව නැරඹිය හැකිය.




