Skip to content

කැරිබියන් යෝධයින් බිමට සමතලා කළ නෙදර්ලන්තය

සැබෑම ලෝක කුසලාන අත්දැකීමක් සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන්ම විඳ ගැනීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට අවස්ථාව උදා වී ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බවත් උණුසුම් බවත් මනාව පෙන්නුම් කරන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ආරම්භයයේදී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මෙය ඇල් මැරුණු තරඟාවලියක් වන බවට මුලින් සිතා සිටිය ද එය එසේ නොවන බව මේ වන විට ඔප්පු වී අවසන් ය. ඒ ඊයේ දිනයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයත් සමඟය.

තරඟාවලියේ 18 වන තරඟය වූ එය නිමා වූයේ නම් එසේ මෙසේ ආකාරයට නොවේ. විස්තර විචාරකයින් ද කියා සිටියේ ඔබ මේ තරඟය සජීවීව නැරඹුවා නම් මම ඔබට සුභපතන බවය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා ගොස් තරඟයක් සම කෙරූ අවස්ථාව ඊයේ දිනයේ උදා වූ අතර තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 374 ක් වැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා විට සියල්ල සිතුවේ මෙය කොදෙව් කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරණු ඇති බවටය.

නමුත් දෙවනුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම
තරඟයේ මුල් අදියරේදී තරමක් අසීරු අඩියකට පත්ව තිබුණ ද අවසාන භාගයේදී තරඟය උඩු යටිකුරු කිරීමට සමත් විය.  අවසාන පන්දුවාරයේ අවසාන පන්දුවේදී ජයග්‍රහණය සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට එක ලකුණක් අවශ්‍ය වූ අතර නමුත් ජේසන් හෝල්ඩර් උඩ පන්දුවක් ලබා ගැනීම හේතුවෙන් තරඟය 374 - 9 ක් ලෙස සම වන්නට විය. එය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවසන පරිදි හාට් ඇටෑක් සෑදුණු මොහොතක් විය.

නෙදර්ලන්තය කණ්ඩායමේ හතරවන කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 170 දී වන අතර නමුත් ඔවුන් ඉතා සංයමයෙන් ඉනිම ගොඩ නගන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ පස්වන කඩුල්ල දැවී යන්නේ ලකුණු 313 දීය. කෙසේ නමුත් තරඟයේ 45 වන පන්දුවාරයෙන් පසු කොදෙව් කණ්ඩායම නැවතත් තරඟයට අවතීර්ණ වී නෙදර්ලන්තයේ කඩුළු කිහිපයක් එක ළඟ බිඳ හෙලන්නට විය. නමුත් අවසානයේ තරඟය සම කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වීම මෙහි උණුසුම තව තවත් වැඩි කරන්නට වූ සිද්ධියක් වූ අතර සුපිරි පන්දුවාරයේ ප්‍රථනයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම දැවැන්ත ලකුණු 30 ක් වාර්තා කිරීමට සමත් විය. විශේෂත්වය වූයේ එම පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද්දේ කොදෙව් කණ්ඩායමේ අත්දැකීම් බහුලම පන්දු යවන්නා වූ ජේසන් හෝල්ඩර් විසින් වීමය. එහිදී වෑන් බීක් නම් නෙදර්ලන්ත ක්‍රීඩකයා එම ලකුණු 30 වාර්තා කිරීමට සමත් විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ වෑන් බීක් කොදෙව් සම්භවයක් ඇති ක්‍රීඩකයකු ද වීමය.

සුපරි පන්දුවාරය සඳහා පිළිතුරු දීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත්ත ද අවසානයේ ඔවුන්ට කඩුළු දෙකක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8 ක් පමණි. මෙම ඉතිහාසගත ජයග්‍රහණය නෙදර්ලන්තයට අත්කර දීමට සහ ඉතිහාසගත පරාජය කොදෙව් කණ්ඩායමට අතකර දීමට මුල් වූ වෑන් බීක් තරඟයේ වීරයා සම්මානය දිනාගන්නා ලදී.

කොදෙව් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට මෙන්ම නෙදර්ලන්ත කණ්ඩායමට ද පරාජයට පත් වූ බැවින් ඔවුන් super six වටයට පිවිසෙන්නේ එකදු ප්‍රසාද ලකුණක් හෝ
නොමැතිවය. ඒ අනුව ඔවුන් super six වටයේ තරඟ තුනම ජයග්‍රහණය කළ ද ඔවුන්‍ට හිමි වන්නේ ප්‍රසාද ලකුණු හයක් පමණි. මෙය කොදෙව් කණ්ඩායමට විශාල ගැටළුවක් වී ඇති අතර බොහෝ දුරට ඔවුන්ගේ ලෝක කුසලාන ගමන නිමාවන්නට ද ඉඩ ඇත.

එමෙන්ම කොදෙව් කණ්ඩායම වැනි ප්‍රභල කණ්ඩායමකට ද නෙදර්ලන්තය දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් එයද සුපිරි පන්දුවාරයකින් ජයග්‍රහණය කිරීමට සමත්වීම තුළ පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් ඉතා සැහැල්ලුවෙන් ගත නොයුතු බවය. එමෙන්ම අපට super six වටය ආරම්භ කිරීමට ද ඇත්තේ නෙදර්ලන්ත කණ්ඩායම සමඟය.

පවතින තත්වය අනුව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායම් ද්විත්වය ද යන බව මේ වන විට අවිනිශ්චිත ස්වාභාවයකට පත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තීරණාත්මක තරඟයක් අද දිනයේ ස්කොට්ලන්තය සමඟ  පැවත් වේ.

Latest