Skip to content

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස

1945 දෙසැම්බර් 05 වැනි දින දහවල් කාලයේ Flight 19 නම් වූ එක්සත් ජනපද නාවික හමුදාවේ ටෝපිඩෝ බෝම්බ හෙලන යානා පහකින් යුත් කණ්ඩායම ඔවුන්ගේ කඳවුරේ සිට ෆ්ලොරිඩාවට මදක් එහායින් තිබූ මුහුදු සීමාවේ සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් සඳහා පිටත් විය. අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් සහිතව Flight 19 යානා පහ සහ එහි කාර්ය මණ්ඩලයේ 14 දෙනා පියාසර කෙරුවේ මිනිසා දන්නා වඩාත්ම අභිරහස් මුහුදු සීමාව වන බර්මියුඩා ත්‍රිකෝණය හරහා ය. පැය කිහිපයක් ඇතුළත, ගුවන් යානා පහ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනා පෘථිවියෙන් සදහටම අතුරුදහන් විය.

Flight 19 කණ්ඩායම

සවස් වන විට එක්සත් ජනපද නාවික හමුදාවට වැටහුණේ Flight 19 කණ්ඩායම හට යම්කිසි වැරැද්දක් සිදුවී ඇති බව‍ය. ඒ නිසා ඔවුන් සොයා ගැනීමට වෙනත් ගුවන් යානයක් යැවීමට නාවික හමුදාව කටයුතු සිදු කළේය. ඒ අවම වශයෙන් ඔවුන්ගේ කඩා වැටුණු ගුවන් යානය හෝ එහි සුන්බුන් සොයා ගැනීමටය. අවාසනාවකට මෙන්, එම ගලවාගැනීමේ ගුවන් යානයට ද එම ඉරණමම අත් විය. බර්මියුඩා ත්‍රිකෝණයට ඉහලින් පිහිටි ගුවන් කලාපයට ඇතුළු වීමත් සමඟ මිනිසුන් 13 දෙනෙකු සමඟ පියාසර කෙරූ ගලවා ගැනීමේ ගුවන් යානය ඉහළ අහසේදීම අතුරුදහන් විය. එම සිද්ධිය සිදුවී වසර 75කට අධික කාලයක් ගතවී ඇති නමුත්, අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 27 දෙනාගෙන් කිසිවෙකුගේ හෝ අතුරුදන් වූ ගුවන් යානා 6 න් ඉතුරු වූ කිසිදු කොටසක් සොයා ගැනීමට කිසිවෙකුට හැකියාවක් ලැබී නැත.

1918 මාර්තු මාසයේදී පළමු ලෝක සංග්‍රාමයේ අවසාන භාගයේදී USS Cyclops නෞකාව බ්‍රසීලයට ගිය ගමනකින් පසු ආපසු එමින් සිටියේය. USS Cyclops එකල තිබූ විශාලතම නාවික හමුදා නෞකාව විය. එය දිගින් අඩි 550කට ආසන්න වූ අතර මෙම ගමනේදී මැංගනීස් (Manganese) ටොන් 11,000ක් පමණ රැගෙන ගිය අතර එහි 306 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇත. ඒ වන විට නෞකාව කිසිදු ගැටළුවක් නොමැතිව වසර 8 ක් පුරා මුහුදේ සංචාරය කර ඇත. කෙසේ වෙතත් එම අවාසනාවන්ත දිනයේ, නැව බැල්ටිමෝර් වෙත නැවත යාමට පෙර අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා බාබඩෝස් වෙත යාත්‍රා කරමින් සිටියදී, එය බර්මියුඩා ත්‍රිකෝණයට ඇතුළු විය. නූතන ඉතිහාසයේ අද්භූත සිදුවීම්වලින් එකක් ලෙස නම් කරමින් USS Cyclops නෞකාව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූ අතර, එහි සුන්බුන් හෝ යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 306 දෙනාගෙන් කිසිවකුගේ සිරුරු කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.

USS Cyclops නෞකාව

එය සිදුවූයේ USS Cyclops විසින් නාවික හමුදා කඳවුරට "කාලගුණ‍ය නිස්කලංකයි, සියල්ල හොඳයි" යනුවෙන් පණිවිඩයක් යැවීමෙන් පසුවය. කිසිදු සඳහනක් නොමැතිව, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට SOS පණිවිඩයක් යැවීමට පවා වෙලාවක් නොතබමින්, මුළු නැව සහ එහි වූ මැංගනීස් ටොන් 11,000 ඇතුළුව මුලු කාර්ය මණ්ඩලයම සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය. Cyclops නෞකාව සොයා ගැනීම සඳහා නැව් ගණනාවක් පිටත් කර යවන ලද නමුත් ඒවා සියල්ලටම නෞකාව සොයා ගැනීමට නොහැකි විය. USS Cyclops නෞකාව අතුරුදහන් වී ශත වර්ෂයකට වැඩි කාලයක් ගතවී ඇති නමුත් අද වන විට එහි නටබුන් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර අතුරුදහන් වීමට හේතුව තවමත් අභිරහසකි.

එක්සත් ජනපද නාවික හමුදාවේ අවි ගබඩාවේ තිබූ විශාලතම නෞකාව කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වන්නේ කෙසේද?

අඩි 550ක් දිග මැංගනීස් ටොන් 11,000ක් රැගත් නෞකාවක් සහ කාර්ය මණ්ඩලය 306ක් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වන්නේ කෙසේ ද?

මළ සිරුරු 306ක් නැවත කිසිදා නොපෙනී මුහුදට අතුරුදන් වන්නේ කෙසේද?

වසර සියයක් ගෙවී ගියත් කිසිවක් නැවත වෙරළට ගසාගෙන ආවේ නැත්තේ කුමන හේතුවක් මතද?

මානව වර්ගයාගේ වඩාත්ම ද්‍රෝහී මුහුදු සීමාව ලෙස හදුන්වන බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස මෙයයි.

බර්මියුඩා ත්‍රිකෝණය යනු මියාමි, බර්මියුඩාව සහ පුවර්ටෝ රිකෝ වලින් මායිම්ව ඇති අත්ලාන්තික් සාගරයේ කොටසකි. මෙම මුහුදු තීරය බොහෝ දෙනා සලකන්නේ නැව්, ගුවන් යානා සහ මිනිසුන් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වන අද්භූත ස්ථානයක් ලෙස ය.

නමුත් බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

එය ඇත්තෙන්ම අභිරහස් දෙයක්ද?

එසේත් නැතිනම් එහි සිදුවන සෑම දෙයකටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේද?

එය සොයා ගැනීමට නම්, අපට එම ප්‍රදේශයේ සිදුවූ අමුත සිදුවීම් පිළිබඳ පැරණිතම වාර්තාවට ආපසු යා යුතුය. බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන ඕනෑම අද්භූත දෙයක් ගැන අපට ඇති පළමු වාර්තාව ලබා දී ඇත්තේ ක්‍රිස්ටෝපර් කොලම්බස් විසිනි. 1492 දී අත්ලාන්තික් සාගරයේ මෙම මුහුදු සීමාව හරහා යාත්‍රා කරන විට, කොලොම්බස් ඔහුගේ මාලිමා යන්ත්‍රය ක්‍රියා විරහිත වීමට පටන් ගත් බවත්, දුරින් ගිනි බෝලයක් මුහුදට කඩා වැටෙනු තමා දුටු බවත් ඔහුගේ සටහන් පොතේ ලියා ඇත. කොලොම්බස් දකින්නේ කුමක්ද යන්න අවතක්සේරු කිරීමට උපකාර වන පැහැදිලි කිරීම් බොහොමයක් තිබුණද, බොහෝ අය සරලව විශ්වාස කරන්නේ ඔහු දුටු සහ අත්විඳින ලද දේ අද්භූත සිදුවීමක් විය යුතු බවයි.

ක්‍රිස්ටෝපර් කොලම්බස් 

ඒ වගේම ඔබ සිතනවා ඇති,

"අපි කොහොමද කොලම්බස්ව විශ්වාස කරන්නේ? අපට දැන් තියෙන විද්‍යාත්මක ක්‍රමවල භාවිතා කිරීමට හැකියාවක් ඔහුට තිබුණේ නැහැ."

සත්‍යය නම්, ඔබ සිතන ආකාරයට එම තර්කය තහවුරු කර ගැනීමට "කරුණු" සොයන්නේ නම්, ලෝකය පිළිබඳ අපගේ දැනුම සහ විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුව සමඟ ඔබට ඔබේ තර්කය තහවුරු කර ගැනීමට කරුණු රාශියක් සොයාගත හැකි වනු ඇත. බර්මියුඩා ත්‍රිකෝණය යනු නැවේ කාර්ය මණ්ඩලයක් නොමැතිව මුහුද හරහා යාත්‍රා කරන දහස් සංඛ්‍යාත අවතාර නැව්වල (Ghost Ships) සිට, බර්මියුඩා ත්‍රිකෝණය තුල කාලය හරහා ගමන් කිරීම පිළිබඳ අභිරහස් අවස්ථා දක්වා මෙම ස්ථානය පිළිබද සත්‍යය සහ සත්‍යය නොවන මතවාද අතර දෝලනය වන මතවාද රාශියක් ඔබට සොයා ගත හැකිය. නවීන විද්‍යාව, පිටසක්වල ජීවීන්ගේ සිට, Wormhole, නැති වූ ඇට්ලන්ටිස් නගරය, ආගමික මත, ප්‍රබන්ධ සහ ගුප්ත විද්‍යාව (Mysticism) යන විෂයන් වලින් ගන්නා සාක්ෂි මත පදනම් වූ උපකල්පන වලින් මේ මතවාද ගොඩ නගා ඇත.

කෙසේ වෙතත්, වඩාත්ම ජනප්‍රිය විද්‍යාත්මක පැහැදිලි කිරීම නම්, මෙම ප්‍රදේශය තුළ සහ ඒ අවට ඇති විද්‍යුත් චුම්භක බලය (Electromagnetic) විසින් මාලිමා යන්ත්‍ර තුල ගැටලු ඇති කරන බවය. මෙම න්‍යාය පවසන්නේ බර්මියුඩා ත්‍රිකෝණයට පෘථිවියේ ස්වභාවික චුම්බක ශක්තියයේ ඉතා ඉහළ ඇදීමක් ඇති අතර එමඟින් ගුවන් යානා සහ නැව්වල මාලිමා යන්ත්‍ර සහ නවීන උපකරණ වල ගැටලු ඇති කරන බවයි. මෙම ප්‍රදේශය හරහා යාත්‍රා කිරීමේදී ක්‍රිස්ටෝපර් කොලම්බස් සතු වූ උපකරණවල සිදුවූ දෝෂය කුමක්ද යන්න මෙයින් පැහැදිලි කළ හැක. ගුවන්විදුලි නිශ්ශබ්දතාවයට මිනිත්තු කිහිපයකට පෙර ඔවුන් පියාසර කරන ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණිය නොහැකි වූ Flight 19 කණ්ඩායමේ නියමුවන් විසින් පටිගත කරන ලද සංවාද ද එයට පැහැදිලි කළ හැකිය.

නමුත් විද්‍යුත් චුම්භක මීදුම (Electromagnetic Fog) තුලින් ගමන් කරන විට තමන් කාලය හරහා ගමන් කළ බව කියන මිනිසුන් ගැන ඔබට කුමක් කිව හැකිද?

මෙම මතය පිළිබද ඇති සාක්ෂි වලින් වඩාත් ජනප්‍රියම එක වන්නේ මේ පිළිබද ඔහුගේම අත්දැකීමෙන් පොතක් ලියා ඇති බෲස් ගර්නන් විසින් ලබා දුන් සාක්ෂියයි. ඔහුගේ පොතේ ගර්නන් පැවසා ඇත්තේ ඔහු කලාපය හරහා සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කරන විට, සිලින්ඩරාකාර හැඩැති වලාකුළකට මුහුණ දුන් බවත්, එය ඇතුලට ඔහුව උරා බොනවාක් මෙන් ඇද ගත් බවය. මොහොතකදී, ඔහු විසින් තමා ආරම්භ කළ ස්ථානයේ සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි මියාමි වෙරළ තීරය දැක ඇත. මෙම සැතපුම් 100 ගමනට තත්පර කිහිපයක් පමණක් ගත වූ බවත්, එම ගමන පුරාටම පහළ භූ දර්ශන වෙනස්වීම් කිසිවක් තමාට නොදැනුන බවත් ගර්නන් කියා සිටියේය.

බෲස් ගර්නන්

මේ කතාව ඇසෙන විට ඔබට ක්ෂණිකව සිතෙන්නේ, පොත් කිහිපයක් විකුණා ගැනීම සදහා ඔහු විසින් සුරංගනා කතාවක් ගොතා පවසනවා බවය. නමුත් එම සීමාව අයිති ගුවන් කටයුතු පාලනය කරන කදවුරේ අය ඔහුගේ කතාව සනාථ කර ඇත. ඔවුන් පවසන පරිදි, යානය රේඩාර් එකෙන් ඉවතට ගොස් තත්පර කිහිපයකින් මියාමි හි නැවත මතු වී ඇත.

ඔහු ඇත්තටම කාලය තරණය කළාද?

නැතිනම් ටෙලිපෝට් වුනාද?

මෙය කවුරුත් උත්තරයක් නොදන්න ප්‍රශ්නයකි.

විද්‍යාඥයන් Wormhole පිළිබද න්‍යාය පිළිබද සත්‍යය මේ වන විට හෙළිදරව් කර ඇති අතර ඔහුට කාලය හරහා ගමන් කළ හැකි ක්‍රමයක් නොමැති බව පවසා ඇත. කෙසේ වෙතත් එදින සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් කිරීමට කිසිවෙකුට නොහැකි වී තිබේ. බර්මියුඩා ත්‍රිකෝණය තුළ සැබවින්ම අද්භූත දෙයක් සිදුවෙමින් පවතින බවට බොහෝ දෙනා තවමත් මතයේ රැඳී සිටින්නේ මේ හේතුව නිසා ය. න්‍යායන් නිෂ්ප්‍රභ කිරීමට පැහැදිලි කිරීම් ඇතත්, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට නිශ්චිත සාක්ෂි නොමැත. ඉතින් මිනිසුන්ට සිතීමට ඉතිරිව ඇත්තේ එය එසේ බව ඔවුන්ට විශ්වාස නැත්නම්, එය මෙසේ නොවන බව අපි සහතික කර ගන්නේ කෙසේද යන්නය.

මන්ද සාක්ෂි නොමැතිකම, දෙයක් පවතින්නේ නැති බව කියාපාන සාක්ෂි නොවන නිසාය (The Absence Of Evidence, Is Not The Evidence Of Absence).

ලෝකයේ බොහෝ සාගර තවමත් අපට අභිරහසකි. චන්ද්‍රිකා සහ සෝනාර් වැනි දේ මගින් සාගරය සිතියම්ගත කර ඇතත් මිනිසා භෞතිකව ගවේෂණය කර ඇත්තේ අපගේ මුහුදෙන් 5%ක් පමණ ප්‍රමාණයකි. ඉතිරිය තවමත් අපට අභිරහසකි. ඒ වගේම තමයි දියකිදුරියෝ, Krakens වගේ දේවල් ඇති බවට මිනිසුන් ඉක්මනින්ම විශ්වාස කරන්නේ මේ නිසාය. මිනිසුන් වශයෙන් අපගේ ස්වභාවය වන්නේ අපට යමක් තේරුම් ගැනීමට අපහසු වූ පසු, තේරුම් ගැනීම සදහා ඒ දේ සරල කිරීමය. මෙම කථා අපගේ මනසෙහි ඇති වූ පසු, ඒවායින් මිදීම දුෂ්කර ය, විශේෂයෙන් ඔබට වෙනත් ආකාරයකින් තහවුරු කර ගැනීමට සාක්ෂි නොමැති විට මෙය තවත් දුෂ්කර වේ. බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ අපිම කියා ගන්නා මේ කතාවලින් එකකි.

සාගරයේ ගමන් කරන වෙනත් ප්‍රදේශයකට වඩා මෙම මුහුදු සීමාවේ නැව් සහ ගුවන් යානා වලට අනතුරු බහුලව සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැත. සත්‍යය නම් එය බර්මියුඩා ත්‍රිකෝණයට පමණක් අනන්‍ය වූවක් නොවේ. දැනට ලොව පුරා නැව් සුන්බුන් මිලියන තුනකට වඩා ඇති අතර, මෙම සුන්බුන් වලින් මෙතෙක් සොයාගෙන ඇත්තේ 1% ක් පමණි. ඇත්ත වශයෙන්ම, බර්මියුඩා ත්‍රිකෝණය යන පදය පර්යේෂකයන් හෝ විද්‍යාඥයන් හෝ නාවිකයන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. එය වින්සන්ට් ගැඩිස් නම් ලේඛකයා විසින් නිර්මාණය කරන ලද්දකි. ඔහු මෙම පදය ප්‍රථම වරට භාවිතා කළේ 1964 දී ය. වින්සන්ට් ගැඩිස් යනු ස්වාභාවික හේතු නොසලකා හරිමින් වෘත්තියක් කළ අද්භූත දේ නිර්මාණය කරමින් ජීවිතය ගෙන ගිය ලේඛකයෙකි. එක්සත් ජනපද භූගෝලීය නාම පුවරුව බර්මියුඩා ත්‍රිකෝණය නිල නාමයක් ලෙස හඳුනා නොගන්නා අතර එම ප්‍රදේශය පිළිබඳ නිල ගොනුවක් පවා එහි නොමැත.

වින්සන්ට් ගැඩිස්

මම කුඩා කාලයේදී බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ අදහස පිළිබද උමතුවෙන් මෙන් සොයා බැලූ අතර කෙදිනක හෝ වෙනත් කිසිවෙකු යාමට තරම් නිර්භීත නොවන මේ බර්මියුඩා ත්‍රිකෝණයේ හදවතට යෑමට තීරණය කෙරුවෙමි. නමුත් කාලයත් සමග බර්මියුඩා ත්‍රිකෝණය යනු කවුරුවත් ඇතුල් වෙන්න ධෛර්යවත් නැති මා සිතා සිටි තරම් භයානක ස්ථානයක් නොවන බව මා අවබෝධ කර ගත්තෙමි. එය ඇත්ත වශයෙන්ම මිනිසුන් එදිනෙදා ගමන් කරන මුහුදේ ඉතා සාමාන්‍ය කොටසකි. සෑම දිනකම නැව් සහ ගුවන් යානා දුසිම් ගණනක් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරයි. ඇමරිකාව, යුරෝපය සහ කැරිබියන් වෙත යන යාත්‍රා බොහෝ විට මෙම මාර්ගයේ ගමන් කරන අතර ඒවායින් බොහොමයක් අනතුරකින් තොරව ගමන් කරයි.

බොහෝ අය තවමත් බර්මියුඩා ත්‍රිකෝණයේ පුරාවෘත්තය සහ අනෙකුත් මිථ්‍යා කථා විශ්වාස කිරීමට හේතුව වන්නේ ස්වභාවයෙන්ම මිනිසා හට පවතින තත්වයන්ගෙන් ( Fundamental Human Condition) එකක් නිසාය. ඒ මිනිසාට තමාට වඩා විශාල, අවධානය ලබා ගැනීමට හැකි වඩා වැඩි දෙයක කොටසක් වීමට (To Be A Part Of Something Bigger) ඇති අවශ්‍යතාවය. එය අප සියලු දෙනා තුළම ගැඹුරින්, ලෝකයේ අපට දැකිය හැකි හා අත්විඳිය හැකි දේට වඩා විශාල දෙයක් පවතින බවට හැඟීමකි. විශ්වාස කිරීමට භෞතික සාක්ෂි නොමැති විට ද  පිටසක්වල ජීවීන් සහ ආගමික දෙවිවරුන් සිටින බවට මිනිසුන් විශ්වාස කිරීමට පෙළඹෙන්නේ හැඟීම නිසාය.

ඇත්ත වශයෙන්ම, එම හැගීම හට ගැනීම ගැන කිසිවෙකු විසින් කිසිවෙකු හට දොස් පැවරිය හැකිද?

දේවල් එසේ වන්නේ ඇයි දැයි තර්කානුකූලව සිතීමේ හැකියාව ඔබට ආශීර්වාදයක් වන විට සෑම දෙයක්ම තේරුම් ගැනීමට සිත තුල ඇති වන කුතුහලය ඔබට ශාපයක් වීමට ද ඉඩ ඇත.

සමහර විට ඒ ශාපය පිළිබද තවම නිවැරදිව අවබෝධ කර ගැනීමට අපට නොහැකි වී ඇති බව මගේ අදහසයි.

Latest