Skip to content
FeaturedTechWorld

ඩොලර් මිලියනයේ වෙබ් අඩවිය

ඔබ සතුව ඇති සෑම ඩිජිටල් උපාංගයකම පාහේ තිරය දර්ශනය වන්නේ පික්සල් නම් කුඩා ඒකකවල ආධෘරයෙනි. එය ඔබ බොහෝ දෙනා  දන්නා කාරණයක් වුවත් පික්සල් භාවිතයෙන් මිලියන ගණන් ආදායම් ගත් පුවතක් දැන සිටියාද?

Tew යනු බ්‍රිතාන්‍යයේ නොටින්ග්හැම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබු ශිෂ්‍යයෙකි. එහිදී වෙළද කළමනාකරණය හැදැරූ ඔහු විසින් ඒ සදහා අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට මගක් සොයමින් සිටියේය. මේ අතරතුරේදී 2005 වර්ෂයේදී Tew, පෙර නොදුටු ආකාරයේ වෙබ් අඩවියක් ගොඩනගන්නේ, පික්සල් 1000 ක් උස 1000 ක් පළල සැලැස්මකින් යුක්තවය. මෙහි පික්සල් 10x10 කොටසකට 100$ ක වටිනාකමක් ඔහු විසින් පිරිනමනු ලබනවා. ඒ පික්සල් සියල්ලේ සමස්ත වටිනාකම ඩොලර් මිලියනයක් බවට පත්කරමිනි. ඔහුගේ මූලික අරමුණ වූයේ මෙය වෙළද දැන්වීම් සදහා අවකාශයක් බවට පත්කිරීමයි. මෙහි කොටස් ඕනෑම අයෙකුට මිලදී ගතහැකි වූ අතර වසර 5 ක කාලයක් සදහා ඒවා සක්‍රීයව පවතිනු ඇතැයිද ඔහු විසින් පොරොන්දුවක් ලබාදුණි. මෙම වෙබ් අඩවිය "The Million Dollar Homepage" (ඩොලර් මිලියනයේ මුල්පිටුව) ලෙස ඔහු විසින් නම් කරනවා.

මුල්කාලයේදී ඔහුගේ පාරිභොගිකයින් බවට පත්වූයේ යහලුවන් සහ පවුලේ උදවියයි. ඔවුන් හැර මෙවැනි කිසි දිනක අසා නොමැති ආකාරයේ වෙළද දැන්වීම් අවකාශයක් මිලදී ගැනීමට යොමුවන්නේ කවුරුන්ද? එනිසා Tew විසින් තමා ලබාගත් ආදායමෙන්, ඔහුගේ මෙම නව වෙඩ් අඩවිය බ්‍රිතාන්‍ය මාධ්‍යයන්හි පළ කිරීමට කටයුතු කළේය. වෙබ් අඩවියේ දැවැන්ත ගමන ආරම්භ වන්නේ මෙතැනින්ය.

ඔහුගේ මෙම ඩිජිටල් ඉඩමෙන් කොටස් මිලදී ගැනීමට නන් ආකාරයේ පාරිභෝගිකයින් ඇදී එන්නට විය. online කැසිනෝ, Web Hosting සේවා, මාර්ගගත ඇනවුම් සදහා වූ වෙබ් අඩවි මේ අතරින් සමහරක්ය. The Million Dollar Homepage කෙතරම් ප්‍රසිද්ධියක් ලබාගත්තාද කිවහොත් 2006 වර්ෂය වන විට එහි ඉතිරිව තිබුණේ පික්සල් දහසක් පමණයි. එම කොටස eBay තුළ වෙන්දේසි කිරීමට Tew තීරණය කරනවා. ඒ අනුව දින දහයකට පසුව ජයග්‍රාහී ලන්සු මුදල ලෙස $38,100 කට මෙම කොටස මිලට ගන්නේ වෙඩ් අඩවියේ සමස්ත ආදායම $1,037,100 දක්වා ඉශළ නංවමිනි.

මෙම වෙන්දේසිය ආරම්භ වීමත් සමග Tew වෙත අනතුරු අගවමින් ඊමේල් පණිවුඩයක් ලැබෙනවා. ඒ ඔහු විසින් $50,000 ක් ලබා නොදුණහොත් වෙබ් අඩවිය DDoS ප්‍රහාරයක් මගින් බිද වට්ටන බව සදහන් කරමිනි. DDoS ප්‍රහාරයකදී සිදුවන්නේ වෙබ් අඩවිය වෙත සත්‍ය නොවන ඇතුල්වීම් රාශියකින් ව්‍යාජ තදබදයක් ඇතිකොට එහි ස්ථාවරත්වය බිදදැමීමකි. Tew ගේ ඩොලර් මිලියනයේ වෙබ් අඩවියත් මේ නිසාවෙන් කඩා වැටෙන්නේ කප්පම් මුදල නොගෙවීමට ගත් තීරණය නිසාවෙනි. කෙසේහෝ සතියක් ඇතුළත වෙබ් අඩවිය යථාතත්වයට පත්කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා.

අවසානයේදී Tew, විශ්වවිද්‍යාල අධ්‍යාපනය මග නවත්වාදමා මිලියනපතියෙකු ලෙසින් පිටතට පැමිණෙනවා. ඒ අවධියේම බොහෝ අය විසින් Tew ගේ ඩොලර් මිලියනයේ වෙබ් අඩවිය කොපි කිරීමට තැත් කළත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. තවමත් මෙය අන්තර්ජාලය තුළ සක්‍රීයව ඇත්තේ ඔහු විසින් පාරිභෝගිකයින්ට ලබාදුන් අවුරුදු පහේ පොරොන්දුව ඉහටත් උඩින් ඉෂ්ට කරමිනි.

තමන්ගේම ව්‍යාපාරයකින් දියුණු වීමටනම් අලුත් අදහස් අවශ්‍යය. ඒ අදහස අඛණ්ඩව ක්‍රියාවට නැංවීම අත්‍යාවශ්‍යය.

Latest