ඉතිහාසය පිළිබඳව අප විසින් සාක්‍ෂාත් කරගෙන තිබූ අදහස් වර්තමානය තුළ සිදු කරනු ලබන නවතම පර්යේෂණයන් හරහා සනාථ වන කරුණු මගින් වෙනස්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ඒ අනුව තවත් එක් නවතම සොයාගැනීමක් වශයෙන් සඳහන් වන්නේ විද්‍යාඥයින් විසින් නිර්ණය කොට තිබූ කාලයට වඩා බොහෝ කාල සීමාවකට පෙර ඇමරිකාව වෙතට මිනිසුන් පැමිණ ඇති බවය.
2021 දී නිව් මෙක්සිකෝවේ සිදු කරන ලද පොසිල පා සටහන් සොයා ගැනීම ප්‍රසිද්ධියට පත් වූ පසු එය පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් බවට පත් විය. බැලූ බැල්මටම එය ඓතිහාසික මිනිසාගේ කතා පුවතේ නවමු පරිච්ඡේදයක් බඳු විය. මේ වන විට නවතම පර්‍යේෂණයක් විසින් වැඩිදුර සාක්‍ෂීන් ලෝකයා හමුවේ ඉදිරිපත් කරමින් සිටියි.
මෙම පා සටහන් ඉතා මෑතක නිර්මාණය කළ ඒවා සේ පෙනෙන්නට තිබුණ ද, එම ෆොසිලවල රේඩියෝ කාබන් කාල නිර්ණයන්ට අනුව පා සටහන් මඩවලට තද වී ඇතැයි සැලකෙන්නේ වසර 21,000ත් 23,000ත් වැනි කාලයකට පෙරාතුවය. එකී තහවුරු වීමත් සමගම ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් ජනාවාස කරන ලද අවසාන භූමි භාගය වන ඇමරිකාවේ මානව ඉතිහාසයේ කාල නිර්ණය පසුපසට තල්ලු වී ඇත.
වයිට් සෑන්ඩ්ස් ජාතික වනෝද්‍යානයේ පෞරාණික විලක් අද්දර පිහිටි තුලාරෝසා ද්‍රෝණියේ තිබී සොයා ගත් සටහන් අයත්ව ඇතැයි සලකන කාල සීමාව විද්‍යාඥයන් විසින් විශ්වාස කරනු ලැබුවේ සුවිසල් අයිස් ස්ථරයන් හේතුවෙන් උතුරු ඇමෙරිකාවට ගමන් ගැනීමට ආදි මානවයාට අපහසු වූ කාල සීමාවක් ලෙසට ය. නමුත් මෙම නව සොයාගැනීම් හි දිශානතිය පෙන්නුම් කරනු ලබන්නේ ඊට බොහෝ කලකට පෙර මෙම කලාපයට මිනිසුන් ගමන් කරන්නට ඇති බවටයි.
කෙසේ නමුත් සමහර පුරාවිද්‍යාඥයන් විසින් නගන පැනය වන්නේ මෙම මූලික සොයාගැනීම් මගින් හඳුනා ගන්නා ලද පා සටහන් අයත් යැයි තහවුරු කොට ගෙන ඇති කාල සීමාවන් සම්බන්ධවය. මෙම ෆොසිල වලට ඉහළ සහ පහළ ස්ථරයන් හි සංරක්‍ෂණයව තිබූ ජලජ ශාකයක බීජ රේඩියෝ කාබන් කාල නිර්ණයට යොදා ගෙන ඇතැයි වාර්තා වන අතර, 2021 අධ්‍යයනයේ දී භාවිතා කරන ලද Ruppia cirrhosa වැනි ජලජ පැලෑටි වලට වාතයට වඩා ජලයේ දිය වී ඇති පරමාණු වලින් කාබන් ලබා ගත හැකි නිසාවෙන් මෙම කාල වකවානූන් නොමග යවන සුළු විය හැකි බවට අදහස් දක්වා ඇත.

Science සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පසු විපරම් අධ්‍යයනයක දී, පර්යේෂකයන් පැවසුවේ මෙම සටහන් වල මූලාරම්භයට අදාළව දිනයන් සඳහා නව සාක්ෂි දෙකක් ඉදිරිපත් කර ඇති බවයි. මුල් මානවයන් ප්‍රථම වරට ඇමරිකාවට සංක්‍රමණය වූයේ කවදාද සහ කෙසේද යන්න දිගු කලක් තිස්සේ විවාදයට ලක්ව ඇති අතර එය විටෙක දුර්වල ලෙස වටහාගෙන ඇතැයි පෙනී යන කරුණකි.
උපුටා ගැනීම : Science සගරාව / දිනය 2023 ඔක්තෝම්බර් 05
හෝමෝ සේපියන්ස් ඇමරිකාවේ සිටි බවට වන පැරණිතම සාක්‍ෂියට අදාළ නිශ්චිත කාල නිර්ණය වනාහි අඛණ්ඩව විවාදයට ලක්වන කරුණකි. එක් මතයක් නම්, එවැනි පැරණිතම සාක්ෂි වසර 16,000 සිට 14,000 දක්වා කාලයකට අයත් යැයි සලකන අතර, ඇමරිකාවේ නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් ජාතික වනෝද්‍යානයේ සංරක්ෂණය කරන ලද පා සටහන් සමූහයක බීජ පිළිබඳ මතභේදාත්මක රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මීට වසර 21,000 සිට 23,000 දක්වා කාලයකට පෙර ඇමරිකාවේ මිනිසුන් සිට ඇති බවය.
Science සගරාවේ ප්‍රධාන කතෘවරයා වශයෙන් මෙන්ම එක්සත් ජනපද භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනයේ පර්‍යේෂණ භූ විද්‍යාඥයෙකු ද වශයෙන් කටයුතු කරන Kathleen Springer සඳහන් කරනු ලබන්නේ බහුවිධ සාක්‍ෂි සහිතව මෙම පරීක්‍ෂා කිරීම් ඉදිරියට ගෙන ගොස් ඇති බවය. එමෙන්ම දැනට තහවුරු වී ඇති කාල සීමාවන් පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බව ද ඒ සඳහා භූ, ජල සහ ස්ථර යන විද්‍යාත්මක සාක්ෂීන් හේතු පාදක වී ඇති බවය.
මුල් මානවයන් ප්‍රථම වරට ඇමරිකාවට සංක්‍රමණය වූයේ කවදාද සහ කෙසේද යන්න දිගු කලක් තිස්සේ විවාදයට බඳුන් වන මුත්, වර්තමාන ඇස්තමේන්තු මීට වසර 13,000 කට පෙර සිට වසර 20,000 කට වඩා පෙර පරාසයක් දක්වාම දිවෙන බව නවතම පර්යේෂණයන් හමුවේ පෙන්වා දී තිබේ. ආදී මානවයාගේ සංක්‍රමණයට අදාළව පැරණිතම පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සොයා සපයා ගැනීම විරල වන නිසාම මෙම පා සටහන් විශේෂ වැදගත්කමක් උසුලනු ලබයි.
මෙම අධ්‍යයනය මානව පරිණාමයේ මෙතෙක් දක්වා තිබූ වෘත්තාන්තයේ පෙරළියක් ඇති කරලීමට සමත්කම් දක්වා ඇති අතර, ඇමෙරිකාව ජනාකීර්ණ වීම පිළිබඳව ගවේෂණ චාරිකාවන්ගේ තවදුරටත් අපැහැදිලි තැන් බොහෝය. මුල් මිනිසුන් පැමිණියේ බෝට්ටුවකින්ද, නැතිනම් ආසියාවේ සිට ගොඩබිම හරහා පැමිණියා ද යන්න තවමත් අවිනිශ්චිතය.
කණ්ඩායම විසින් කාල නිර්ණය සිදු කිරීම සඳහා 'stimulated luminescence' තාක්‍ෂණික ක්‍රමවේදය ද භාවිතා කරන ලද අතර, ඒ හරහා මෙම ෆොසිල අවසාදිතය අවසන් වරට සූර්‍යාලෝකයට නිරාවරණය වූ කාලය තීරණය කරනු ලබයි. මෙම ක්‍රමවේදය මගින් ද යෝජනා වී ඇත්තේ අවසාදිතයේ අවම වයස අවුරුදු 21,500ක් බවය.
විද්වත් අදහස් බොහෝමයක් අන්තර්ජාලයේ විවිධ මූලාශ්‍ර තුල මෙම පර්යේෂණය සම්බන්ධව පල කර ඇති අතරම ඒ අතරින් කැපී පෙනෙන්නක් වන්නේ Kansas විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වශයෙන් කටයුතු කරන සහ “Origin: A Genetic History of the Americas” කෘතියේ කතුවරිය වන Jennifer Raff මහත්මියගේ අදහස ය. ඇය පැවසුවේ මෙම අඩි සලකුණු සොයාගැනීම ක්‍ෂේත්‍රයට “විශාල ගනුදෙනුවක්” වනු ඇති බවය.

"ඇමරිකානු මහාද්වීප යනු නූතන මිනිසුන්ගේ ලොව පුරා ගෝලීය ගමනේ අවසාන පියවරයි. නව කලාපයකට ඇතුළු වී වෙනස් පරිසර තත්ත්වයන් ඉදිරිපත් කළ හැකි අභියෝග (සහ අවස්ථාවන්) සමඟ පොරබදමින් සිටීම කෙබඳු විය යුතු දැයි සිතීම සිත් ඇදගන්නා සුළු ය." ඇය ඊමේල් පණිවිඩයක් හරහා එලෙස දැක්වූවාය.
ඉදිරි සොයාගැනීම් සහ තහවුරුකිරීම් පිළිබඳව ඉතිහාසයට ඇළුම් කරන බොහෝ දෙනා අවධානයෙන් පසු වන බව ද සඳහන් කල යුතුය..
