Skip to content

මියාමි ධාවන පථයත් රෙඩ්බුල් අණසකට යට වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි වීථී ධාවන පථයේ මැයි 07 වැනි ඉරිදා පැවැති 2023 ෆෝමියුලා 1 තරගාවලියේ 5වන වටයේ ජය, රෙඩ්බුල් ධාවක මැක්ස් වෙස්ටර්පන් සතු විය. වෙස්ටර්පන්ට පිටුපසින් දෙවැන්නා ලෙස කොටු කොඩිය පසු කරන්නේ රෙඩ්බුල් සගයා වන සර්ජියෝ පෙරෙස් ය. 2022 වසරේ ධාවක ශූරතාව ලබාගත් වෙස්ටර්පන් මියාමි ධාවන පථයේ ජයග්‍රහකයාද විය. අද තරගයේ තුන්වැන්නා ලෙස ධාවනය අවසන් කරන්නේ ඇස්ටන් මාටින් කණ්ඩායමේ ෆර්නැන්ඩෝ අලොන්ස ය.

මේ අනුව 2023 වසරේ මෙතෙක් පැවැති වට පහේදිම ජයග්‍රහකයා රෙඩ්බුල් කණ්ඩායමෙන් වාර්තා වූ අතර ඔස්ට්‍රේලියා වටයේදි හැරෙන්නට අනිත් වටවලදි දෙවැනි ස්ථානයත් රෙඩ්බුල් ඩැහැගැනීමට සමත් වී ඇත.

කල්මැනීමේ වටයෙන් ජයග්‍රහණය කර මියාමි ගෝන්ප්‍රී වටයේ ආරම්භක ස්ථානයේ මුලින්ම තරගය ඇරඹුවේ (Pole position) සර්ජියෝ පෙරෙස් ය. පෙරෙස්ට පිටුපසින් දෙවැනි ස්ථානයේ ෆර්නැන්ඩෝ අලන්සෝ තරගය ආරම්භ කළ අතර අවසන් ජයග්‍රාහක වෙස්ටර්පන් තරගය ආරම්භ කරන්නේ 9වැනි ස්ථානයේ සිට ය.

තරගයේ පළමු අර්ධය මුළුමනින්ම තමන්ගේ පාලනය යටතේ තබාගනිමින් පෙරෙස් ධාවනයේ යෙදුනද මනරම් ධාවනයන යෙදුණු වෙස්ටර්පන් 9වැන්නා සිට පළමුවැන්නා දක්වා පැමිනෙද්දි පෙරෙස්ට තම කණ්ඩායම් සගයාට තරගයක් දීමට ඉඩ ලැබුනේ නැත.

තරග අවසානයට වට 10ක් තිබියදී වෙස්ටර්පන්, පෙරෙස්ට ළඟා විය නොහැකි වාසියක් අත්කරගත් අතර දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට පෙරෙස්ට සිදුවිය.
තරග ජයග්‍රහණයට අමතරව තරගයේ වේගවත්ම වටය ධාවනය කිරීමේ ප්‍රසාද ලකුණද වෙස්ටර්පන්ට හිමිවිය.

එසේම මේ වසරේ දෙවැනි හොඳම කණ්ඩායම බවට පත්වීමට මර්සිඩීස් දරන උත්සාහය තවත් තීව්‍ර කරමින් ජෝර්ජ් රසල් සිව්වැන්නා ලෙසත් ලුවිස් හැමිල්ටන් සය වැන්නා ලෙසත් තරගය අවසන් නරනු දක්නට ලැබිණි.
පස්වැනි ස්ථානය හිමිවූයේ ෆෙරාරි හි කාර්ලෝස් සයින්ස්ටය.

අවසන් තරග ප්‍රථිඵල:

ස්ථානය - ධාවකයා

1-මැක්ස් වෙස්ටපන්
2 – සර්ජියෝ පෙරෙෂ්
3 - ෆර්නැන්ඩෝ අලොන්සෝ
4 - ජෝර්ජ් රසල්
5 - කාර්ලෝස් සයින්ස්
6 - ලුවිස් හැමිල්ටන්
7 - චාර්ල්ස් ලෙක්ලර්ක්
8 - පියර් ගැස්ලි
9 - එස්ටැබැන් ඔකෝන්
10 - කෙවින් මැග්නසන්
11 - යුකි සුනෝඩා
12 – ලාන්ස් ස්ට්‍රෝල්
13 - වැල්ටැරි බොටාස්
14 - ඇලෙක්ස් ඇල්බන්
15 - නිකෝ හල්කර්න්බර්ග්
16 - ජෝ ගුඇන්යු
17 - ලැන්ඩෝ නොරිස්
18 - නයික් ඩි ව්‍රිස්
19 - ඔස්කාර් පියස්ට්‍රි
20 - ලෝගන් සාජන්

ධාවන ශූරතාවලිය (Driver’s Championship) ලකුණු සටහන

මැක්ස් වැස්ටපන් - 119
සර්ජියෝ පෙරෙෂ් - 105
ෆර්නැන්ඩෝ අලන්සෝ - 75
ලුවිස් හැමිල්ටන් - 56
කාර්ලෝස් සයින්ස් - 44
ජෝර්ජ් රසල් - 40
චාර්ල්ස් ලෙක්ලර්ක් - 34
ලාන්ස් ස්ට්‍රෝල් - 27
ලැන්ඩෝ නොරිස් - 10
පියර් ගැස්ලි - 8

Latest