Skip to content

පේරාදෙණිය රෝහලේ සිදුවීමට සම්බන්ද ඖෂධය මෙතෙක් ඉවත්කර නැහැ - රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න

උදරයේ ආබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වූ පොත්තපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියට ලබාදිය යුතු සෑම ප්‍රතිකාර්යයක්ම ප්‍රමාදයකින් තොරව නිසියාකාරව ලබා දී තිබෙන බව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න පවසයි.

මෙම රෝගියාට ලබා දී තිබෙන සෙෆ්ට්‍රිඇක්සෝන් නැමැති ප්‍රතිජීවික ඖෂධය රෝහලේ නිතර භාවිතයට ගන්නා එකක් බවත් පසුගිය කාලය තුළ එම එන්නත් කුප්පි 2700  කට අධික ප්‍රමාණයක් රෝහලේ ප්‍රතිකාර ගත් රෝගීන්ට ලබා දී තිබෙන බවත් ඒ අතරින් කිසිවෙකු හෝ බරපතළ අසාත්මිකතාවයට ලක් නොවූ බවද ඒ මහතා කීය.

එකම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල් වලින් රෝගීන්ට ලබාදෙන බවත් මෙම ඖෂධය නිසා මරණය සිදුවූ බවට සැකයක් නොමැති බවත් කී ඒ මහතා මෙය ඉතාම කලාතුරකින් සිදුවන අසාත්සමිකතා කම්පනය (Anaphylactic shock) හේතුවෙන් සිදුවූ මරණයක් බවට සැක කරන බවද අවධාරණය කොට සිටියේය.

රෝගියාගේ මරණය සම්බන්ධ පසුවිපරමේ දී මෙම තත්ත්වය පෙනෙන්නට තිබෙන නමුත් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය තහවුරු කළ නොහැකි යැයි ද හෙතෙම අවධාරණය කළේය. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විවෘත තීන්දුවක් ලබා දී රුධිරය,පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

රෝගියා රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට සිදුකළ ප්‍රතිකාර වලට අදාළ වාර්තා සියල්ල එකින් එක පරීක්ෂා කර බැලූ බවත් ඒ කිසිවක වැරදීමක් හෝ අධිමාත්‍රා ලබා දීමක් සිදුකර නොමැති බවත් තිලකරත්න මහතා කීය.

එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින යම් යම් වෙනස් කම් නිසා අසාත්මිකතා ඇතිවිය හැකි බවත් ඖෂධය මෙතෙක් භාවිතයෙන් ඉවත් කර නොමැති බවත් ඒ මහතා පැවසුවේය.

රෝගියාට වෛද්‍යවරු නිර්දේශ කළ එන්නත මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජර නොතිබූ බැවින් දෙවරක දී අදාළ මාත්‍රාව ලබා දී තිබෙන බවත් එමගින් රෝගියාට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ රෝගියා අත රිදෙන බව ප්‍රකාශ කර තිබෙන නමුත් ඇය තුළින් අසාත්මිකතා ලක්ෂණ දක්නට ලැබී නොමැති බවත් එම ලක්ෂණ දක්නට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා දෙවන වර එන්නත ලබා දීමේ දී බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ප්‍රධානී,මහචාර්ය උදය රළපනාව මහතා උදරාබාධයක් සමඟ වමනය සහ බඩඑළිය යෑමේ තත්ත්වය සමඟ රෝහලට ඇතුළු කළ රෝගියා ගේ ශරීර අභ්‍යන්තරයට ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇතිකර තිබෙන බලපෑම කොයි ආකාරද යන්න මැන බැලීමට සිදු කරන CPR අගය මෙම රෝගියාගේ 270 ක පමණ අගයක තිබූ බවත් සාමාන්‍ය තත්ත්වයේ පසුවන අයෙකු ගේ එම අගය තිබිය යුත්තේ 06 ට අඩුවෙන් බවත් පැවසුවේය.

ශරීරය තුළ බැක්ටීරියා ආසාදනයක ලකුණු තිබෙන අවස්ථාවක ප්‍රතිජීවික ඖෂධ නියම කරන බවත් අදාළ ඖෂධ මාත්‍රාව හෙද සොහොයුරිය විසින් ලබා දී තිබෙන්නේ ඒ අනුව බවත් ඒ මහතා කීය.

දැඩි අසාත්මිකතාව නිසා ඇතිවන කම්පනයක් නිසා මෙම දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරන බවද හෙතෙම පැවසුවේය. වෛද්‍යවරුන් වශයෙන් අපට අවශ්‍ය ඖෂධ අප ඖෂධ කමිටුව හරහා රෝහලට ගෙන්වාගෙන භාවිතා කිරීම සිදු කළත් එම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද මහාචාර්යවරයා පැවසීය.

Latest