Skip to content

තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංවිධානය හෙලා දකියි.

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර  මහතාව අත්අඩංගුවට ගැනීම, පහර දීම සහ අනීතිකව රදවා තබා ගැනීමට පොලීසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන කීපයක් තම විරෝධය මෙන්ම පිළිකුලද දක්වමින් නිවේදන නිකුත් කර ඇත.

"අණඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිතා කරමින් මාධ්‍ය කරණයේ නිරත වෙමින් සිටියදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම හෙලා දකින බව" මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

"ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ විරෝධතා අවස්ථාවන් වලදී පොලීසිය කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ගනනාවක් ලබා දෙමින්ද, මානව හිමිකම් කොමිෂම නිර්දේශ ගනනාවක් නිකුත් කර ඇති පසුබිමක තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයා හෙලා දකින බවද "ධර්මසිරි ලංකාපේලි මහතාගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මේ අතර, "ගගතලාව එක්සත් මාධ්‍ය සංසදය" ද, තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සංසදයේ සභාපති මනුසංඛ කාරියවසම් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

"මාධ්‍ය වාර්තාකරණයේ නිරත වෙමින් සිටියදී පොලීසිය විසින් තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් ආකාරය අපි කිසිසේත් අනුමත නොකරමු. ඔහුට පහරදී වධහිංසා සිදු කිරීම, අනීතික ලෙස රඳවා තබා ගැනීම සහ වාර්තාකරණයට බාධ කිරීම ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයේ සියළුම මාධ්‍යෙව්දීන් තරයේ හෙලා දකිමු".

තරිදු උඩුවේගෙදර මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකින බව "රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය" ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සංවිධානයේ සභාපති සාලිය ගමසිංහ සහ ලේකම් සුනිල් පැල්ලන්දෙණිය යන මහත්වරුන්ගේ අස්සනින් නිකුත් කර ඇති එම ලිපියේ මෙසේ සදහන් වේ.

"කිසියම් පිරිසක් හෝ සංවිධානයක් විසින් පවත්වන විරෝධතාවයක්, උද්ඝෝෂණයක් ආවරණය කිරීම මාධ්‍යවේදියාගේ රාජකාරියයි. මන්ද, ජනතාවට ඇති තෙරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරණු ලබන්නේද මාධ්‍යවේදියා විසින් වන බැවිනි.

තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන ඇත්තේ තම මාධ්‍ය රාජකාරි අවසන් කර නික්ම යාමට සුදානම් වන අවස්ථාවේදීය. ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස පොලීසිය දක්වා ඇත්තේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සහ රාජකාරියට බාධා කිරීම යන්නයි. මාධ්‍ය අවරණය කටයුත්තක් සිදු කිරීම අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සහ රාජකාරියට බාධා කිරීම යනුවෙන් පොලීසිය කුමන ආකාරයකට උපකල්පනය කර තිබේද යන්න ගැටළුක් වී ඇත.

රාජංගනය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කළ ව්‍යපාරිකයෙකු කියා ගන්නා පුද්ගලයෙකුව අත්අඩංගුවට නොගෙන අධිකරණයට කරුණු වාර්තා කරන පොලීසිය තම රජකාරි කටයුත්තකට ගිය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගත්තේ කාගේ අවශ්‍යතාවයක් මතදැයි "රටවටා ජනමධ්‍යවේදියෝ" සංවිධානය තම නිවේදනයෙන් ප්‍රශ්ණ කර සිටී.

Latest