Skip to content

අතින් ක්‍රියාත්මක කරන මෙරට එකම සෝපානය අක්‍රීය වේ

අතින් ක්‍රියාත්මක කරන මෙරට එකම සෝපානය වශයෙන් සැලකෙන මහනුවර ජාතික රෝහලේ භික්ෂු වාට්ටුවේ ඇති සෝපානය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන විශේෂ කඹය දිරාපත් වීම හේතුවෙන් මේ වන විට එම සෝපානය වසරක පමණ කාලයක් අක්‍රීයව පවතී.

සුදු ජාතිකයන් විසින් මෙරට පාලනය කරන අවධියේ හන්තාන තේ වතු සමාගමට අයත් භූමියක මෙම භික්ෂු වාට්ටු ගොඩනැගිල්ල ස්ථාපිත කොට ඇති අතර මෙම සෝපානය වසර සියයකට ආසන්න පැරණි එකක් බව සඳහන් වේ.

එම සෝපානය විදුලි භාවිතයකින් තොරව කඹයක ආධාරයෙන් රෝහල් කාර්යමණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ අතර මේ වන විට එම කඹය දිරායාම හා මීයන් කෑම හේතුවෙන් සෝපානයේ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක පවතී.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එම ස්ථානයට ගිය අතර ස්ථාන පරීක්ෂාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සෝපානය  ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කඹය ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවය.

මීට වසර ගණනාවකට පෙර මෙම කඹය අබලන් වීම හේතුවෙන් සෝපානය ක්‍රියා විරහිතවී ඇති අතර ඒ පිළිබඳව දැනගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විදේශයකින් එම කඹය ගෙන්වා සෝපානයේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

විදේශයන්හි නිෂ්පාදනය කරන මෙම කඹ විශේෂය  මෙරට නාවික හමුදාව විසින් භාවිතා කරන බව සඳහන් කළ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම කඹය නාවික හමුදාවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරන බවත් එසේ නොමැති වුවහොත් විදේශ රටකින් හෝ ලබා ගැනීමට පියවර ගන්නා බවද කීය.

Latest