මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් ගේ විකිරණ ප්‍රතිකාර සඳහා භාවිතා කරන "ලීනියර් ඇක්සලේටර් වේරියන් යන්ත්‍රය (linear accelerator varian machine ) ක්‍රියා විරහිත වීමෙන් රෝගී දරුවන් රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්ථා වෙයි.
රෝගීන්ගේ දෙමාපියන් පවසන්නේ පසුගිය මස 22දින සිට එම යන්ත්‍රය ක්‍රියාවිරහිතව ඇති බවයි. මේ හේතුවෙන් සිය දරුවන්ට විකිරණ ප්‍රතිකාර නිසි පරිදි නොලැබෙන බවත් එය එසේ සිදුවීමෙන් සිය රෝගී දරුවන් ගේ ජීවිත දැඩි ලෙස අනතුරට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
එසේම එම විකිරණ ප්‍රතිකාරය අධාල නිර්දේශිත කාලය පුරාවට අකණ්ඩව ලබා දිය යුතු බවද , එය ප්‍රමාද වීමෙන් ඉන්පසුව විකිරණ ප්‍රතිකාරය ලබා ගැනීමට පොරොන්දු ලේඛනයේ සිටින රෝගී දරුවන්ගේ ප්‍රතිකාරද කල්ගත වන බවටද ඔවුන් චෝදනා කරයි.
අපේක්ෂා රෝහල තුල එවැනි යන්ත්‍ර 5ක් පවතින බවත් ඉන් එක යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිතව පවතින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ක්‍රියා විරහිත යන්ත්‍රය සඳහා අවශ්‍යය කොටස් අධාල සමාගමෙන් ඇනවුම් කර ඇති බවත් ඒවා ලද විගස නැවත යන්ත්‍රය භාවිතයට ගැනීමට හැකි වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේය.
එනමුත් රෝගී දරුවන් ගේ මව්පියන් චෝදනා කරන්නේ යන්ත්‍රය අක්‍රීය වූ දින සිටම බලධාරින් මෙසේ ප්‍රකාශ කලද තවමත් යන්ත්‍රය සාදා නොමැති බවය.
මේ අතර අද (ජූනි 07) මාධ්‍ය හමුවක් කැඳවමින් විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා මෙසේ පැවසීය. "අද වනවිට අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී කුඩා දරුවන් ගේ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. මෙම ප්‍රතිකාරය ක්‍රියාත්මක කෙරෙන්නේ දින කිහිපයක ප්‍රතිකාරයක් ලෙස. මේ අතර මගදී ප්‍රතිකාරය නවතිනවා කියන්නේ පිළිකා සෛල බාගෙට මරලා නවත්තනවා. එහෙම වුනාම නැවත ඒ සෛල වර්ධනය වීමට පටන් ගන්නවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ යන්ත්‍ර වල වාර්ශික නඩත්තු සේවා ගිවිසුම් යලිත් ගිවිසුම් ගත වෙලා නොමැතිකම."