Skip to content

අභ්‍යවකාශය ජයගත් සංක්‍රමණිකයෙකුගේ ජීවිතාන්දරය​

නාසා ආයතනය විසින් ඔහුගේ ගගනගාමී ඉල්ලුම් පත්‍රය​ අවස්ථාවන් 11කදී ප්‍රතික්‍ෂේප කරන ලදී. නමුදු වත්මන​ ඔහුගේ ජීවන කතාව සිනමා පටයක් බවට පත්වී ද​ හමාරය​. පුරා දශකයකටත් වඩා වැඩි කාල සීමාවකට පසු සංක්‍රමණිකයෙකු වශයෙන් පැමිණ ​නාසා ගගනගාමියෙකු ලෙසින් පළමු වරට අභ්‍යවකාශය තරණය කල ඔහු නමින් José Hernándezය​. විශේෂත්වය වන්නේ මෙම මාසයේදී ඔහු තවත් සන්දිස්ථානයක් කරා ළගා වීමය​.

කැලිෆෝනියාවේ දැවැන්ත වතු යායවල් තුල එලවළු සහ පළතුරු කූඩ එහා මෙහා ගෙන යමින් තම පවුලේ උදවියට උදව් උපකාර සිදුකොට​ ලබාගත් ආරම්භය ඔහුට හොඳහැටි මතකය​. එසේ පටන්ගෙන​ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ඔහුගේ විශිෂ්ඨ ගමන්මගෙහි ගෙනහැරුම​, සැප්තැම්බර් 15 වන දින දියත් වූ විචාරකයින් සහ ප්‍රේක්‍ෂකයින්ගේ අතිශය ප්‍රශංසාවට ලක්වූ Amazon Prime හි වඩාත්ම ජනප්‍රිය චිත්‍රපට ප්‍රවාහය ලෙස සැලකෙන “A Million Miles Away” සිනමා පටය එළි දැක්විණ​..

සුප්‍රසිද්ධ නළු Michael Peña විසින් මෙම සිනමා පටයේ Hernández ගේ චරිතය රග දක්වනු ලබයි.​ පිපිඤ්ඤා සහ චෙරි නෙළමින් හැදී වැඩීමට සිදුවූ නමුත්, තාරකා දෙසට තම දෑස් යොමු කරමින් ඒවා අධ්‍යයනයට පුරුදු පුහුණු වූ කුඩා දරුවා පිළිබඳව දැන ගැනීම සඳහා ඔබ විසින් 'A Million Miles Away' සිනමාපටය​ නැරඹිය යුතුමය​​.

Hernández වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. ලතින් ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යවකාශයට යැවීමේ පළමු ෂටල මෙහෙයුම 2009දී ඉතිහාසගත වී ඇති අතර José Hernández එයින් එක් අයෙකි. "මේ ග්‍රහලෝකයෙන් මිදිලා නොදන්නා තෙරක් නොමැති අභ්‍යවකාශයට යොමුවෙන්න සංක්‍රමණික ගොවිපල සේවකයෙක් හැරෙන්න තවත් සුදුසු කෙනෙක් ඉන්නවද​?" ඔහු සිනමා පටය ප්‍රචාරණයන් තුළදී එසේ පවසා ඇත​.

Hernándezගේ කතා පුවත සිරස්තල මවන්නක් බවට පත්වන්නේ නාසා ආයතනය විසින් 2004 වසරේදී ඔහුව ගගනගාමී පුහුණුකිරීම් සඳහා බඳවා ගැනීමෙන් අනතුරුවය​. වාර්තා කර තිබෙන ආකාරයට CNN මාධ්‍ය ජාලය වෙත වසර ගණනාවක් පුරාවට ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින්; පළමු අභ්‍යවකාශ ගමනේ සිට මෙම චිත්‍රපටය නිකුත්වීම දක්වාම බොහෝවර අදහස් හුවමාරු කොටගෙන ඇත​. Hernández ගේ දෙමාපියන් මෙක්සිකෝවේ Michoacán ප්‍රාන්තයේ පුද්ගලයන්ය​. නමුත් Hernández උපත ලබන්නේ කැලිෆෝනියාවේය​. මාධ්‍ය වෙතට අදහස් දක්වා ඇති ආකාරයට ඔහු ගිම්හාන නිවාඩුවට දැඩි ලෙසට අකමැත්තෙන් සිට ඇත​. මක්නිසාද යත් ගිම්හාන නිවාඩුව තුළදී සතියේ දින හතම ඔවුන්ට වතු වල වැඩකල යුතුව තිබූ නිසාවෙන්ය​.

2009 දී CNN සමඟ සිදුකරන ලද​ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහුගේ පියා වූ Salvador Hernández තම දරුවන් වෙහෙස මහන්සි වී වතු යායවල වැඩ කරන ලද ආකාරය පිළිබඳ මතකාවර්ජනයක යෙදී ඇත​.

"මම ළමයින්ව මෝටර් රථයේ පසුපස අසුන්වල වාඩිකරව ගත්තා. ළමයි ටික දුහුවිල්ලෙන් නෑවිලා හිටියේ. මම ඒ වෙලාවේ ඔවුන්ට කිව්වා පාසල් යන එක සහ අධ්‍යාපනය බොහොම බැරෑරුම්ව හිතට ගන්න කියලා. මොකද එහෙම කලේ නැත්නම් ජීවිතේ ඉතුරු කාලයත් ගෙවා දමන්න වෙන්නේ මේ විදිහටම කියන එක මම ඔවුන්ට තේරුම් කලා."

Hernández පවසන ආකාරයට ගගනගාමියෙකු වීමේ සිහිනය ඔහු කරා පැමිණෙන්නේ 1972 දී ඇපලෝ 17 සඳ මත ගොඩබෑම නැරඹීමෙන් අනතුරුවය​. ඔවුන්ගේ කළු සුදු රූපවාහිනියෙන් මෙම දර්ශණ නරඹන අතරවාරයේ පවුලේ සාමාජිකයන් සමගින් Hernández සිය​ අනාගත සිහිනය පිළිබඳ අදහස් බෙදාහදා ගෙන ඇති අතර ඔහුගේ පියා ඒ අවස්ථාවේදී ඔහුට​ තීරණාත්මක උපදෙස් කිහිපයක් ලබාදීමට ද කටයුතු කර ඇත​.

"මගේ පියාගේ ප්‍රඥාව කොයිතරමින් ද කියනවනම් මාව මුළුතැන්ගෙයි ඉන්දවාගෙන කරුණු 5ක් ඔහු විසින් සඳහන් කෙරුවා." ඒ Hernández 2020 වසරේදී CNN වෙත දක්වා තිබූ අදහසයි. 'A Million Miles Away' සිනමා පටයේ අධ්‍යක්‍ෂකවරිය වශයෙන් කටයුතු කරන Alejandra Márquez Abella විසින් Hernández ගේ කතා පුවත​ නිර්මාණාත්මක ලෙස ගොඩනැංවීමේදී මෙම කරුණු 05 එක් එක් පරිච්ඡේදයන් වශයෙන් භාවිතා කර ඇත​.

1.තමන්ගේ ඉලක්කය හඳුනාගන්න​.
2.තමන් කොපමණ දුරක් පසු කර ඇත්දැයි බලන්න​.
3.ඉලක්කය වෙත යන්න Roadmap එකක් සකස් කරගන්න.
4.කොහොමද කියලා දන්නේ නැත්නම්, ඒ දේ ඉගෙනගන්න​.
5.ඔබ ඒ දේ කළා කියලා විශ්වාස කරනවනම්, බොහොම වෙහෙස මහන්සියෙන් ඉදිරියටත් වැඩ කටයුතු සිදු කරන්න​.

මෙම කරුණු ධාරණය කරගනිමින් Hernández විසින් ඔහුගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා හැකි සෑම දෙයක්ම සිදු කර ඇත​. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය තෙක්ම හදාරන ඔහු Lawrence Livermore හි වසර 15ක කාලයක් සේවයද කර ඇත​. නමුත් නාසාහි ගගනගාමියෙකු වීමේ ඔහුගේ ඉලක්කය තවදුරටත් අවිනිශ්විතය​. 2004 වසරේදී ඔහුව තෝරාගන්නා තෙක්ම ගගනගාමියෙකු වීමේ අයදුම්පත් 11 වතාවක් ප්‍රතික්‍ෂේප වී ඇති අතර Hernández ගේ නොපසුබට උත්සාහය චිත්‍රපටයේ මනාව නිරූපණය කර ඇත​. මෙම සම්පූර්ණ ගමන් මාවත තුල ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් සිදුකරන ලද අනේකවිධ කැපකිරීම් ද නිර්මාණය තුළින් නොඅඩුව​ පෙන්නුම් කර ඇත​.

චිත්‍රපටයේ නිළි Rosa Salazar, Hernándezගේ බිරිඳ​ Adela ගේ චිත්තවේගය නිරූපණය කරන්නේ තම ස්වාමිපුරුෂයාට වගකිවයුතු සහ අත් නොහැරීම පිණිස ඔහුව යොමු කරනා අනගි පාර්ශවකරුවෙකු ලෙසට​ය.

"හයවැනි අවුරුද්දෙත් නාසා ආයතනය මාව ප්‍රතික්‍ෂේප කරන ලිපිය එවලා තියෙද්දී මම ඒක පොඩි කරලා නිදන කාමරයේ පැත්තකට විසි කරලා දැම්මා. මම මගේ උත්සාහය නවත්වන්න හිටියේ. නමුත් ඇය මාව දිගින් දිගටම දිරිමත් කළා."

"නාසා ආයතනයට ඔයාව නුසුදුස්සෙක් කරන්න ඉඩදෙන්න​. හැබැයි ඔයා ඔයාවම නුසුදුස්සෙක් කරගන්න එපා." මේ ඔහුගේ බිරිඳගේ වචනයි.

සියල්ලන්ගේ බලාපොරොත්තූන් සඵල කරමින් Hernández වයස අවුරුදු 41දී ගගනගාමියෙකු වශයෙන් සිය සිහිනය සැබෑ කරගනු ලැබීය​.



අභ්‍යවකාශයේ සිට ආපසු පැමිණීමෙන් පසු Televisa සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, Hernández එව​ක මතභේදයට තුඩු දුන් ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ ජනපති ඔබාමාගේ පාලන තන්ත්‍රය යටතේ සංක්‍රමණ ප්‍රතිසංස්කරණයන් සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය​. ඔහු විසින් එහිදී සළකුණු කරනු ලැබූවේ අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙස හැරී බලන විට එහි කිසිදු දේශසීමාවක් සටහන් වී​ නොමැති බවය​. ඔහුගේ මෙම ප්‍රකාශය හේතුවෙන් නාසා ආයතනයට තමන්ගේම ස්ථාවරයක් ගැනීමට සිදුවූ අතර එහිදී ඔවුහු මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් දක්වා සිටියේ Hernández විසින් පළකරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික ඒවා වන අතර කුමන අයුරකින් හෝ අභ්‍යවකාශ ඒජන්සිය විසින් ඒවා නියෝජනය නොකරන බවයි. ප්‍රකාශය මගින් නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය අදහස් ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ අයිතියක් අනෙකුත් පුරවැසියන්ට මෙන්ම Hernández සඳහාද හිමි බවයි.

Hernández ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කටයුතු කරමින් සිටින අයුරු. [2009]

2009යේ අභ්‍යවකාශ ගමනින් පසු මාධ්‍යයන් වෙතට කරුණු දක්වමින් Hernández  පවසා සිටියේ කීර්තිය කිසි ලෙසකින්වත් ඔහුව වෙනස් නොකළ බවයි.

"මම තවමත් පරණ පුද්ගලයාම තමයි. මම ඉදිරියටත් පියෙකු සහ ස්වාමිපුරුෂයෙකු වශයෙන් මගේ වගකීම් සමුදාය ඉටු කරාවි. සෑම බ්‍රහස්පතින්දා දිනකම නිවසේ එකතු වන කැළි කසළ ඉවත්කිරීමේ ඉඳන් ගෙදර දොරේ වැඩ කටයුතු මම තවමත් සිදු කරනවා."

අභ්‍යවකාශ ඉංජිනේරු උපදේශකයෙකු ලෙසින් මෙන්ම​ අභිප්‍රේරකයෙකු වශයෙන්ද​ තම ජීවිත කතාව ලෝකය හමුවේ කියාපෑමට වෙහෙස මහන්සි ගන්නා ඔහු තවමත් ඉඩ ලැබුණු අවස්ථාවන් වල වතුයායවල සිය ශ්‍රමය වගුරුවන බවද කියා සිටින්නේ මහත් ආඩම්බරයකිනි. ඔහුගේ ජීවිත කතාව හරහා උගත හැකි පාඩම් කොතෙකුත් ඇති අතර​ 'A Million Miles Away' සිනමා පටය අප සියල්ලන්ටම අභිප්‍රේරණයක් සපයන්නක් වනවා නොඅනුමානය​​.

A Million Miles Away (2023) ⭐ 7.4 | Biography, Drama
2h 1m | PG

Latest