Skip to content

සල්ලි ගිලින යකඩ යකා.

2030 වසර වන විට තිරසාර සංවර්ධනයක් සදහා න්‍යය පත්‍රයක් සකස් කර තිබුණද,එහි ප්‍රගතිය මැන බැලීම සදහා වන ඉලක්ක හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර නැතැයි රජයේ විගනන දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් 2022 වසර සදහා නිකුත් කර ඇති වාර්තවේ මේ බව සදහන් වේ.

එම විගනන වාර්තාවේ මෙසේද සදහන් වේ.

නිශ්චිත දුම්රිය කාල සටහනක් අප රටට හදුන්වා දී ඇත්තේ 1865 වසරේදී. නිශ්චිත කාල සටහන හදුන්වා දී වසර 158 ක් ගතවී ඇතත් තවමත් නියමිත වේලාවට දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇත.2022 වසර තුර ධාවනය සදහා සැළසුම් කර ඇති දුම්රිය වාර ගනන 120,993 කි.ඉන් නිශ්චිත වේලාවට ධාවනය වී ඇති දුම්රිය වාර ගනන 32,884 කි.දුම්රිය වාර 10,077 ක් අවලංගු වී ඇත.ඒ අනුව දුම්රිය වාර 78,032 ක් ප්‍රමාද වී ධාවනය වී ඇත.දුම්රිය ධාවනය අවලංගු වීම් සම ප්‍රමාද වීම 72% ක ප්‍රතිශතයක් ගෙන ඇත.මෙම තත්ත්වය සෘජුවම බලපෑම් එල්ල කර ඇත්තේ දුම්රිය භාවිතා කරන මගීන්ටය.

මෙරට සමස්ථ මගී ප්‍රවාහනයෙන් 6% ක් සහ භාණ්ඩ ප්‍රවාහනය සදහා 6.5 % ක් දුම්රිය යොදා ගන්නා බවද හදුනා ගෙන ඇත.ඒ අනුව දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සේවා ලාභීන් දැවෙන ගැටළුවක් වුවද,ඒ සදහා සාර්ථක පිළිතුරක් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් පොහොසත් වී නැත.

මෙරට දුම්රිය සේවය ආරම්භ වීමෙන් අනතුරුව 1934 වන විට තිබී ඇති සමස්ථ දුම්රිය මාර්ගස්ථ ජාලය කිලෝ මීටර් 1521 කි.නමුත් 2021 වසර වන විට එම ප්‍රමාණය කිලෝ මීටර් 56 කින් අඩුවී තිබුණි.ඒ අනුව මේ වන විට අප රට තුළ ඇති සමස්ථ දුම්රිය මාර්ගස්ථ ජාලය කිලෝ මීටර් 1465 කි.මෙම තත්ත්වය උදාවී ඇත්තේ බෙලිඅත්ත දක්වා වන කිලෝ මීටර් 32 ක ම පද්ධතියක් මාර්ගස්ථ ජාලයට එකතු කිරීමෙන් අනතුරුව වීමද  විශේෂත්වයකි.

දුම්රිය හරස් මාර්ග වල අනතුරු සංඥා ආරක්ෂණ පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා සිදුවන අනතුරු ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් ඇති බවක් දක්නට ඇත.ඒ නිරන්තර දුම්රිය හරස් මාර්ග වලදී අනතුරු සිදුවී ජීවිත සහ වාහන වලට හානි සිදු වන බවට පුවත් වාර්තා වන නිසාය.

මෙම තත්ත්වය වැළැක්වීම සදහා මෙරට දුම්රිය මාර්ග වල  සංඥා ආරක්ෂණ පද්ධති 200 ක් සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.එම සංඥා ආරක්ෂණ පද්ධතිය 2017 ජනවාරි මස 27 වැනි දින වන විට සවි කර බාර දිය යුතුව තිබුණි.නමුත් එම සංඥා ආරක්ෂණ පද්ධතිය සවි කිරීම් අවසන් කර ඇත්තේ 2022 අගෝස්තු මස 01 වැනිදාය.

මෙම සංඥා ආරක්ෂණ පද්ධතියේ බොහෝ දෝෂ ඇති බවටද විගනන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.කොළඹ සිට දිවෙන දකුණු දුම්රිය මාර්ගයේ සංඥා ආරක්ෂණ පද්ධති 142 ක් සවි කර ඇතත් ඉන් පද්ධති 60 ක් ක්‍රියා විරහිත තත්ත්වයේ තිබී ඇත.එමෙන්ම පුත්තලම මාර්ගයේ සංඥා ආරක්ෂණ පද්ධති 46 ක් සවි කර ඇතත් ඉන් 43 ක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබී නැත.ඒ අනුව සවි කර ඇති සංඥා ආරක්ෂණ පද්ධති 104 ක් ක්‍රියා විරහිතව තිබූ බවද විගනන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.සංඥා පද්ධතිය අක්‍රීය තත්ත්වයේ තිබී මිනිස් ජීවිත සහ දේපල අනතුරු දායක තත්ත්වයක තිබුනත් එම පද්ධතීන් සවි කිරීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් 1,003,446,336 ක මුදලක් අදාල කොන්ත්‍රාත් සමාගමට ගෙවීම් සිදු කර ඇත.

පසුගිය කාලය තුළ පැවති දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් බොහෝ සංඥා පද්ධති වල බැටරි බැටරි වලට හානි සිදුවීම්,හදිසි අනතුරු හේතුවෙන් අලාභ හානි සිදුවීම් සහ ගංවතුර වැනි ස්වාභාවික ආපදාවන් මෙම තත්ත්වයට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව විගනන නිලධාරීන් හමුවේ පවසා ඇත.

අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය ධාවනය වන්නේ වසරකට එක් කාලයක් පමණි.ඒ පොසොන් උත්සවය පැවැත්වෙන කාලයේදීය.මෙම කාලයේදී දින 03 ක් හෝ 04 ක් අනුරාධපුරයේ සිට විශේෂ දුම්රිය සේවයක් මිහින්තලය පුජා භූමිය දක්වා යෙදවීම සාමාන්‍ය ආකාරයට සිදු කරති. අනුරාධපුරයේ සිට උතුරට ඇති දුම්රිය ධාවනය වන්නේ මිහින්තය හන්දිය පසු කරමිනි.ඒ අනුව මිහින්තලය හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කර එතැන් සිට මිහින්තය පූජා භූමිය  දක්වා පමණක් මාර්ගයක් ඉදිකර දුම්රිය ධාවනය කිරීමට හැකියාව ඇත.නමුත් අනුරාධපුරයේ සිට මිහින්තලය පුජා භූමිය දක්වා කිලෝ මීටර් 1.5 ක අතිරේක දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සදහා ඇමරිකාණු ඩොලර් 672,784 ක් හෙවත් රුපියල් 222,018,720 ක ටෙන්ඩරයක් ප්‍රදානය කර ඇති බවද විගනන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. වසරකට දින 03 ක් හෝ 04 ක් පමණක් දුම්රියක් ධාවනය කරන මාර්ගයක් සදහා මෙතරම් මුදලක් වෙන් කිරීම ප්‍රශ්ණකාරී බවද එම විගනන වාර්තාව පෙන්වා දෙයි.

විගනන නිලධාරීන් විසින් පෙන්වා දී ඇති එම කරුණට දුම්රිය දෙපාර්තමේන්තුව කිසිදු පිළිතුරක් සපයා නැත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල දුම්රිය මාර්ග වැඩි දියුණූ කිරීම සදහා ඉදිරි වසර 20 තුළ ඉටු කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක ඇතුළත් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් 2021 වසරේ මාර්තු මාසයේදී අවසන් කර ප්‍රවාහන අමාත්‍යාංශයට බාර දී ඇත.එම ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කර ඇත්තේ ආසියාණු සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන ඇති රුපියල් 1,446,952,881 ක මුදලක් වැය කරමිනි.එම ණය වාරිකය ඇමරිකාණු ඩොලර් 275,000 බැගින් වාරික දෙකකදී ඉකුත් මාර්තු මස 15 සහ මෙම සැප්තැම්බර් 15 වෙනිදා ගෙවීමට රජයට සිදුවී ඇත.

ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි බාධක එම ශක්‍යතා අධ්‍යයන වාර්තාවෙන් හදුනා ගෙන නැත.මෙම තත්ත්වය නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල නිශ්කාරණ වියදමක් බවද විගනන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති ඉඩම් සහ ගොඩනැගිළි බොහෝමයක් මේ වන විට පිටස්තර පුද්ගලයින් අතට පත්වී ඇති බවත්,ඇතැම් ඉඩම් වල ස්ථීර ගොඩනැගිළි ඉදිකර ඒ සදහා ජලය සහ විදුලිය ලබා ගෙන ඇති බවද විගනන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.එමෙන්ම ආදායම් උත්පාදනය වෙනුවෙන් ඉදි කර ඇති ඇතැම් ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබීම තුළින්ද වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් අහිමි වී ඇති බවද එම විගනන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Latest