2024 ඉන්දීය මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීම අරමුණු කරගෙන පිහිටුවාගත් INDiA සන්ධානය මේ වනවිට බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක ලෙස මූලික පරිසරය සකසාගනිමින් සිටින බව පෙනී යයි. විවිධ පක්ෂ 26 කින් යුක්ත මෙම සන්ධානය එක්සත්ව පවත්වාගැනීම ඒ අතරින් වැදගත් අභියෝගයකි. මෙම එක්සත්කමෙහි අනාගතය පිළිබඳ අනාවැකි පළකිරීම අපහසු වන අතර සන්ධානය කඩා ඉහිරවීම සඳහා භාරතීය ජනතා ද උපරිම උත්සාහය දරනු ඇත.
කෙසේ වෙතත් INDIA සන්ධානයට මේ වනවිට ද ඉටු කරගත නොහැකි වූ තීරණාත්මක කරුණු දෙකක් වෙයි. එක් අතකින් ජනතාව වෙත ඔවුන් විසින් ඉදිරිපත් කළ යුතු පණිවිඩය, වැඩපිළිවෙළ පිළිබඳ තවම අවබෝධයක් ඔවුන් තුළ ඇති බවක් නොපෙනේ. එමෙන්ම ඔවුන් තවමත් අගමැති අපේක්ෂකයකු නම්කර නැත.
INDIA සන්ධානයට අගමැති අපේක්ෂකයකු පත්කිරීම සැලකියයුතු අභියෝගයක් බවට පත්ව තිබේ. කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධි අපේක්ෂකයා ලෙස නම් කිරීම පිළිබඳ එම පක්ෂයේ අවධානය යොමුව ඇති බවට ඉඟි පළවෙමින් පවතී. කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය අභියෝගයට ලක් කිරීමට රාහුල් ගාන්ධි පොහොසත් වනු ඇතැයි සිතීම අපහසු ය. ඇතැම්විට මමතා බැනර්ජි සහ අර්වින්ද් කෙජ්රිවාල් වැනි අයකුට මෝදි වෙත වඩා ප්‍රබල අභියෝගයක් ඉදිරිපත් කළ හැකි වනු ඇත. නමුත් එවැන්නකු අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කොන්ග්‍රස් පක්ෂය එකඟ වනු ඇතැයි සිතීම ද අපහසු ය.
කෙසේ වෙතත් අගමැති අපේක්ෂකයා ලෙස සැලකියයුතු වෙනස් විකල්පයක් ඉදිරිපත් කළ හැකි අයකු කොන්ග්‍රස් පක්ෂය තුළම වෙයි. ඔහු පක්ෂයේ සභාපති මලික්අර්ජුන් කර්ගේ ය.

මලික්අර්ජුන් කර්ගේ සමාජ ධූරාවලියේ පහත් යයි සම්මත දලිත් කුලයක අයෙකි. රටේ ජනගහනයෙන් හයෙන් එකක් පමණ දලිත්වරුන් වන හෙයින් ඔවුන්ගේ ඡන්දය දිනාගැනීම විපක්ෂ සන්ධානයට වැදගත් ය. විශේෂයෙන්ම කොන්ග්‍රස් පක්ෂයට දලිත් සහය යම් පමණකට අඩු වී ඇති හෙයින් එම තත්ත්වය සැලකීමේදී ද කර්ගේ හොඳ විකල්පයකි. එමෙන්ම කර්ගේ කිසියම් අයුරකින් හෝ අගමැති ධුරයට ළඟා වුවහොත්, ඉන්දියාවේ පළමු දලිත් අගමැතිවරයා ඔහු වනු ඇත.
රාහුල් ගාන්ධිට නිරන්තරයෙන් එල්ලවන චෝදනා අතර කිසිදු අමාත්‍ය ධුරයක හෝ කටයුතු කර නොතිබීම ද ප්‍රධාන චෝදනාවකි. නමුත් කර්ගේ යනු ආන්ද්‍රා ප්‍රාන්තයේ මෙන්ම මධ්‍යම ආණ්ඩුවේ ද විවිධ වගකීම් දරා ඇත්තෙකි. එමෙන්ම රාහුල් ගාන්ධි ඇතුළු කොන්ග්‍රස් පක්ෂය වෙත එල්ල වන තවත් චෝදනාවක් වන මුස්ලිම්වරුන්ට වාසිදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව කර්ගේ වෙත එල්ල කිරීම ද සාර්ථක නොවේ. 1948 දී එවකට හයිදරාබාදයේ රසාකර්වරු ඔහුගේ නිවසට ගිනිතැබූහ. ඔහුගේ මව සහ සහෝදරිය එම ගින්නට හසුව මියගියහ. ඔහුගේ ජීවිතය ගැලවුණේ එම අවස්ථාවේ ඔහු නිවසෙහි නොසිටි හෙයිනි.
කර්ගේ කොන්ග්‍රස් පක්ෂ සභාපති ධුරයට තරග කළේ ගාන්ධි පවුලට පක්ෂපාතී අපේක්ෂකයා ලෙසය. බොහෝ දෙනෙක් ඔහුගෙන් ගාන්ධි පවුලට අවනත අයකු බලාපොරොත්තු වූහ. නමුත් සභාපති ධුරයට පත් වීමෙන් අනතුරුව ඔහු තම දේශපාලන කුසලතා ප්‍රදර්ශනය කරමින් සියළු දෙනාගේ සිත දිනාගන්නටත් නායකත්ව භූමිකාව මනාව ඉටු කරන්නටත් වූයේ ය. කොටින්ම ඔහු ගාන්ධි පවුලේ රූකඩයක් වූයේ නැත.

මෙවැනි කරුණු සලකා බලද්දී කර්ගේ INDIA සන්ධානයට සිටින හොඳම අගමැති අපේක්ෂකයා ලෙස පෙනී යයි. එහෙත් ඔහුට පරහකට ඇති එක ගැටළුවක් ඇත. එනම් ඔහු මේ වනවිට ද අසූ විය ඉක්මවූවකු වීමය. ඉන්දියාවේ විශාල තරුණ ජනගහනයේ බලාපොරොත්තු දැල්වීමට තරම් කර්ගේ වයෝවෘද්ධ වැඩි වීමට ඉඩ තිබේ.
එහෙත්, නරේන්ද්‍ර මෝදි පරාජය කිරීමට යම් හැකියාවක් ඇතැයි පෙනෙන එකම විපක්ෂ නායකයා කර්ගේ ය.