Skip to content

නිවසටම ගිහින් ප්‍රතිකාර කරන හෙද නිළධාරිනිය

රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නොහැකි රෝගීන් සදහා නිවෙස් වෙතම ගොස් ප්‍රතිකාර කිරීමේ සේවාවක් වැලිමඩ මූලික රෝහල මගින් මේ වන විට ආරම්භ කර ඇති බව වැලිමඩ මූලික රෝහලේ වැඩ බලන රෝහල් අධිකාරි වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා පැවසීය.

මේ සේවාව ගැන ජනතාව එතරම්ම දන්නේ නැහැ. මේ සේවාව ලබා දීමේදී රෝගින්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. අපේ රෝහලේ ඉන්න මහජන සෞඛ්‍ය හෙද නිළධාරිනියක් මගින් තමයි අපි මේ සේවාව ලබා දෙන්නේ. ඇය ඉතා උනන්දුවෙන් මේ සේවාව රෝගීන් වෙත සපයනවා. ඇයට ප්‍රවාහන පහසුකම් දෙන්න අපිට හැකියාවක් නැහැ. රෝගීන්ටත් එවන් හැකියාවක් නැහැ. නමුත් ඇය පොදු මගී ප්‍රවාහන සේවාව භාවිතා කරමින් ඉතා දුෂ්කර ගමනාන්ත කරා ගොස් මෙම සේවාව සපයනවා. මේ සේවාව හරහා රෝගින්ට මෙන්ම රෝගි පවුල් වල අයටත් අපි විවිධ සේවාවන් සපයනවා. වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් වලට රැගෙන එන්න අපහසු රෝගීන් ඉන්නවා. ඉතිං මේ සේවාව මගින් ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර අපි නිවෙස් වලටම ගොස් සපයනවා. මේ සේවාව ලබා ගන්න කරන්න ඕනි මුලින්ම වෛද්‍ය වරයෙක් හරහා අපේ රෝහලේ මෙම සේවාව ලබා ගන්න ලියාපදිංචි වෙන්න ඕනි. ඊට පස්සේ ඒ අයට අපි මේ සේවාව සපයනවා.

වැලිමඩ මූලික රෝහලේ මහජන සේඛ්‍ය හෙද නිළධාරිනි මධුකි ජයසේකර මහත්මිය මෙම සේවාව සම්බන්ධයෙන් මෙසේ පැවසීය

මේ සේවාව ආරම්භ කලේ 2018 වර්ෂයේ. විශේෂයෙන්ම අපි මේ සේවාව සපයන්නේ නිවෙස් වල ඉන්න වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ඔත්පල වෙච්ච රෝගීන් , නැගිටගන්න බැරි රෝගීන් ආදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලක් වෙත පැමිනෙන්න බැරි රෝගීන්ටයි. විශේෂයෙන්ම අපි මේ සේවාව සැපයිමේදී තුවාල වලට සැරවුම් දැමීම , මූත්‍රා බට මාරු කිරීම , රැධිරගත සීනි ප්‍රමාණය බැලිම , රුධිර ගත ක්ලොස්ට්‍රරෝල් ප්‍රමාණය බැලීම, ආදී බොහෝ සේවාවන් සපයනවා. ඒ වගේම අපි මේ නිවෙස් වලට ගියාම රෝගීන්ගේ මෙන්ම එම පවුල් වල අයගේ මානසික ශක්තිය වර්ධනය කරන්න උපදේශන සේවාවද සපයනවා. රෝහලකට රෝගියෙක් ආවම අපි පොදුවේ තමයි ප්‍රතිකාර කරන්නේ. නමුත් මෙහිදී අපි රෝගියාගේ නිවෙස් වලටම යන නිසා ඔවුන්ගේ ආර්ථික තත්වයත් ගැන සලකලා බලලා ඔවුන්ට ගැලපෙන ලෙස රෝගියා බලා ගන්න ඕනි ආකාරයත් කියාදෙනවා. ඒ වගේම බෝ නොවන රෝග පාලනය සම්බන්දවත් අපි ඒ පවුල් වලට ගියාම දැණුවත් කරනවා. මෙම රෝගින් සියළු දෙනා ඉන්නේ මාර්ග ආසන්නයේ නෙමෙයි. සමහර රෝගින් බලන්න ඉතා දුෂ්කර ගමනාන්ත වලට යන්න වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සදහා අවශ්‍ය උපකරණ , ඖෂධ ආදියත් මම අරන් යන්න ඕනි. එහෙම වෙලාවට දුෂ්කරතා රැසක් මැද තමයි යන්නේ. මොකද මේ සේවාව සපයන්න යනකොට මට රෝහලෙන් ප්‍රවාහන පහසුකම් ලැබෙන්නේ නැහැ. රෝහලට එහෙම මට ප්‍රවාහන පහසුකම් දෙන්න ක්‍රමවේදයක් නැහැ. කොහොම වුනත් මම ඒ දුෂ්කරතා විදගෙන මෙම සේවවා සපයනවා. මගෙන් සේවාව ලබාගෙන දිනක් හෝ වැඩිපුර ජීවත් වුනා නම් මට ඒ ඇති. මම මේ සේවවා සපයන්නේ ගොඩක් සතුටින්. සමහර රෝගීන් මම එනකම් බලාගෙන ඉන්නේ. සමහර රෝගින්ට මම දැන් එයාලගේ පවුලේ කෙනෙක් වෙලා .

Latest