Skip to content

පුනරුද සමයේ මහා මොළකරු ; ලියනාඩෝ ඩා වින්චි

ලියනාඩෝ ඩා වින්චි ගැන ඔබ දන්නවාද?

සමහර විට ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ කලා කෘතිය ලෙස හදුන්වන මොනාලිසා, අවසාන් භෝජන සංග්‍රහය සහ විටෘවියන් මිනිසා චිත්‍රයට නැගූ පුනරුද යුගයේ කලාකරුවා ලෙස ඔබ ඔහුව දන්නවා විය හැකිය. නමුත් ඔහු ලෝකයේ විශිෂ්ටතම කලාකරුවන් අතරින් කෙනෙකු ලෙස නම් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. සත්‍යය ඊටත් වඩා බොහෝ සෙයින් එහා ගිය දෙයකි.

ලියනාඩෝ ඩා වින්චි

ඔහු මුළු මිනිස් සිරුරම චිත්‍රයට නංවා මිනිස් සිරුර නාමාවලියක් ලෙස ආකෘති ගත කළ ව්‍යුහ විද්‍යාඥයෙකි.

ඔහු තම කාලය සඳහා විප්ලවීය නිර්මාණ වූ මහා නගර සහ ගොඩනැගිලි සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

ඔහු රාත්‍රී අහස අධ්‍යයනය කිරීම සඳහා පළමු දුරේක්ෂයේ ආකෘතිය නිර්මාණය කළ තාරකා විද්‍යාඥයෙකි.

ඔහු ශාක පරීක්ෂා කර ලේඛනගත කළ උද්භිද විද්‍යාඥයෙකි.

ඔහු පළමු සමකාලීන සිතියම් වලින් සමහරක් නිර්මාණය කළ සිතියම් ශිල්පියෙකි.

ඔහු පුදුම යන්ත්‍ර සහ ව්‍යූහයන් රාශියක් නිර්මාණය කළ ඉංජිනේරුවෙකි.

ඔහු පෘථිවිය අධ්‍යයනය කර පොසිල වල මූලාරම්භය සොයාගෙන එය න්‍යායගත කළ භූ විද්‍යාඥයෙකි.

ඔහු තරලවල බලය සහ ප්‍රවාහයන් අවබෝධ කර ගැනීමට කැපවී සිටි ජල ගතික විද්‍යාඥයෙකි.

ඔහු තමාගේ කලා නිර්මාණ වල හරයට ඔහුගේ ගණනය කිරීම් ඇතුළත් කළ ගණිතඥයෙකි.

ඔහු සංගීත භාණ්ඩ වාදනය කිරීම, ඉගැන්වීම මෙන්ම තමාගේම සංගීත භාණ්ඩ කිහිපයක් පවා නිර්මාණය කළ සංගීතඥයෙකි.

ඔහු ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කෙරූ වේදිකා සහ රංග භාණ්ඩ නිර්මාණය කළ රංග ශාලා නිෂ්පාදකයෙකි.

ඔහු නව පෙරළිකාර අදහස් රාශියක් න්‍යායගත කර, ඒවා පරීක්‍ෂා කර අවසානයේ එම අදහස් නිර්මාණ බවට පත් කළ විද්‍යාඥයෙකි.

ඔහු ජීවත් වූ වසර 500 කට පමණ පෙර කාලයේ තිබූ තාක්ෂණයට කළ හැකි සීමාවේ මායිම් බිද දැමූ නව නිපැයුම්කරුවෙකි.

අපි ලියනාඩෝ ඩා වින්චිගේ විශ්මයජනක ජීවිතය දෙස බලා ඔහුගේ නිර්මාණ සහ අදහස් ගවේශණය කර මෙම ප්‍රශ්නයට පිළිතුරක් සොයමු.

"ලියනාඩෝ ඩා වින්චි ලෝකය වෙනස් කළේ කෙසේද?"

1452 වසරේ අප්‍රේල් 15 වැනිදා රාත්‍රී 10.30 ට ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට මායිම්ව තිබූ වින්සි නම් වූ කුඩා ගම්මානයේ, ලියනාඩෝ නම් පිරිමි ළමයෙක් උපත ලැබුවේය. ඔහුගේ පියා සෙර් පියෙරෝ නම් වූ ධනවත් නොතාරිස්වරයෙකු වූ අතර ඔහුගේ මව 14 හැවිරිදි වියේ පසු වූ කැටරිනා නම් ගොවි දැරිවියයි. ඔහුගේ දෙමාපියන් විවාහ වී සිටියේ නැති නිසා  ලියනාඩෝ අවජාතක දරුවෙකු බවට පත් විය. ලියනාඩෝට නූතන අර්ථයෙන් වාසගමක් නොතිබුණි. ඩා වින්චි යනු ඔහු ඉපදුණු නගරය වන "වින්චි" හි නමයි.

වින්චි නගරය

ලෙනාඩෝට විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබුණේ නැත. නමුත් කියවීම, ලිවීම සහ ගණිතය සඳහා මූලික දැනුම ඔහුට පෞද්ගලික ගුරුවරුන් මගින් ලැබුණි. ඔහුට කුඩා කාලයේ කියවීම බොහෝ සෙයින් අපහසු දෙයක් වූ බව වාර්තා වේ. සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් වෙනතකට යොමු වූ ඔහු තමාගේ අවධානය ආකර්ෂණය කර ගැනීමට සමත් වූ නව කාර්යන් සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නේය. ලියනාඩෝගේ සීයා සහ ෆ්‍රැන්චෙස්කෝ මාමා, ඔහුට දඬුවම් කරනවා වෙනුවට ඔහුගේ මනස සහ නිරීක්ෂණ බලය වර්ධනය කිරීමට ඔහුව දිරිමත් කළහ. ඔවුන් විසින් මෙම තරුණ පිරිමි ළමයා ඔවුන්ගේ නිවස වටා තිබූ කෙත්වතු සහ මිදි වතු වලට පිටත් කර හැරියේ කටුස්සන්, දිලිසෙන පණුවන් වැනි වන සතුන් සහ ශාක ගැන අධ්‍යයනය කිරීම සඳහා ය. මෙම ක්‍රියාකාරකම් මගින් වර්ධනය වූ ඔහුගේ කුතුහලයෙන් යුත් මනස සහ නිරීක්ෂණ හැකියාව ලියනාඩෝ ඩා වින්චිගේ බොහෝ සොයාගැනීම් සහ නව නිපැයුම් පිටුපස තිබූ ගාමක බලවේගය විය.

1464 දී පමණ ලියනාඩෝ තමාගේ පියා සමඟ ෆ්ලෝරන්ස් නගරය වෙත සංක්‍රමණය විය. ඔහු පියෙරෝගේ නීත්‍යානුකූල දරුවෙකු වූයේ නම්, තම පියා මෙන් ලියනාඩෝ නොතාරිස්වරයෙකු වීමට අපේක්ෂා කරනු ඇත. නමුත් අපේ වාසනාවට ඔහුගේ අවජාතක කම නිසා ඔහුට ඔහුගේ හදවත කැමති ඕනෑම වෘත්තියක් ලුහුබැඳ යාමට නිදහස ලැබුණි. මේ කාලය තුළ ඔහු කලාව සඳහා සැබෑ දක්ෂතාවයක් පෙන්වීමට පටන් ගත්තේය. ලියනාඩෝ ඔහුගේ ළමා කාලය පුරාවට බොහෝ චිත්‍ර සහ සිතුවම් නිර්මාණය කළේය. ඔහුගේ පියා ලියනාඩෝගේ දක්ෂතාවය පිළිබඳ කොතරම් පැහැදුණාද යත්, ඔහු තම පුතාගේ නිර්මාණ වලින් කොටසක් පවුලේ මිතුරෙකු වෙත ගෙන ගියේය. ඇන්ඩ්‍රියා ඩෙල් වෙරෝචියෝ නම් වූ එම පවුලේ මිතුරා ඒ වන විට ෆ්ලොරන්ස් හි වඩාත්ම ප්‍රසිද්ධ චිත්‍රාගාර වලින් එකක් පවත්වාගෙන ගියේය. වෙරෝචියෝ ලියනාඩෝගේ නිර්මාණ දුටු විට පුදුමයට පත් වූ අතර, ලියනාඩෝ කලාව අනුගමනය කරන බවට වග බලා ගන්නා ලෙස පියෙරෝගෙන් ඉල්ලා සිටියේය.

ඇන්ඩ්‍රියා ඩෙල් වෙරෝචියෝ

වසර හතරකට පමණ පසු 1468 දී ලියනාඩෝ ඩා වින්චි වෙරෝචියෝගේ චිත්‍රාගාරයේ ආධුනිකයෙකු බවට පත්විය. එවකට ෆ්ලෝරන්ස් හි හොඳම කලාකරුවන් කිහිප දෙනෙකු සමඟ වැඩ කිරීමට සහ කලාව අධ්‍යයනය කිරීමට ඔහුට හැකි විය. ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදයේදී මෙඩිචි වංශයේ බලපෑම නිසා ෆ්ලෝරන්ස් නගරය බුද්ධිමතුන්ගේ සහ කලාත්මක විප්ලවයේ කේන්ද්‍රස්ථානය විය. බැංකුකරණයේ ප්‍රධානීන් වූ මෙඩිචි ගෘහය මෙම කාල පරිච්ඡේදය තුළ ෆ්ලොරන්ස් නගරය මත විශාල පාලනයක් සහ බලපෑමක් ඇති කළ දේශපාලන රාජවංශයක් වේ. බොහෝ ඉතිහාසඥයින් විසින් පවසන න්‍යායක් වන්නේ මෙඩිචිවරුන්ගේ අනුග්‍රහය නොමැතිව ෆ්ලොරන්ස්හි කිසි විටෙකත් පුනරුදයක් ආරම්භ වීම සිදු නොවන බවයි. ලියනාඩෝ, බොටිසෙලි සහ මයිකල්ඇන්ජලෝ වැනි කලාකරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා විය හැකි දේශපාලන හා සංස්කෘතික පරිසරයක් නිර්මාණය කිරීමට ඔවුන් උදව් කරන ලදී.

ලෙනාඩෝ ඩා වින්චි ආධුනිකයෙකු ලෙස සිටියදී, ඔහු වෙරෝචියෝගේ බොහෝ වැඩ අධ්‍යයනය කර ඔහුගේ බොහෝ කලා කෘති සම්පූර්ණ කිරීමට උපකාර කළේය. ඩේවිඩ්ගේ ලෝකඩ ප්‍රතිමාව ඇතුළුව වෙරෝචියෝ විසින් නිර්මාණය කරන ලද ප්‍රතිමා ගණනාවක ආකෘති ලියනාඩෝ විසින් නිර්මාණය කළ බව විශ්වාස කරයි. වෙරෝචියෝගේ කලාගාරයේ සිටි ආධුනිකයන්ට එකල කලා නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වූ රසායන විද්‍යාව, ලෝහ වැඩ, ප්ලාස්ටර් වාත්තු, සම් වැඩ, යාන්ත්‍ර විද්‍යාව, ලී වැඩ, චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම, මූර්ති සහ ආකෘති නිර්මාණය ආදී න්‍යායික සහ තාක්ෂණික කුසලතා අධ්‍යයනය කිරීමට දිරිමත් කරන ලදී. වෙරෝචියෝගේ කලාගාරයේ සිදු කරන ලද බොහෝ වැඩ කටයුතු කලාකරුවන් සහ ආධුනිකයන් සියලු දෙනාම දායක වී සහයෝගී උත්සාහයක් ලෙස නිම කරන ලදී. මේ සඳහා කදිම උදාහරණයක් වන්නේ The Baptism Of Christ චිත්‍රයයි. මෙම සිතුවමේ බොහෝමයක් වෙරෝචියෝ සිත්තමට නැගූ අතර ලියනාඩෝ එහි වම් දේවදූතයා සහ පසුබිම් කිහිපයක් පින්තාරු කර ඇත. ලියනාඩෝගේ විසින් පින්තාරු කෙරූ දේවදූතයා යථාර්ථවාදය සහ තාක්‍ෂණය යන අංශ වලින් ගත් කළ වෙරෝචියෝ විසින් සිත්තමට නැගූ ඉතිරි කොටස අභිබවා යන බව බොහෝ දෙනෙක් විශ්වාස කරයි.

The Baptism Of Christ 

1472 දී, වයස අවුරුදු 20 ක් වූ ලියනාඩෝ The Annunciation චිත්‍රය ඇඳීමට පටන් ගත්තේය. මෙය ඔහු තනිවම සිතුවම් කළ පළමු චිත්‍රය ලෙස සැලකේ. එය සම්පූර්ණ කිරීමට ඔහුට වසර තුනක් ගත වූ අතර යම් යම් අඩුපාඩු තිබුණත් ඔබට ලියනාඩෝගේ විශ්මයජනක සහ නිර්මල කලා ශිල්පය එහි දැකිය හැකිය.

The Annunciation

1473 දී පමණ ලියනාඩෝ ඩා වින්චි චිත්‍ර ශිල්පීන්ගේ සංසදයේ සාමාජිකයෙකු විය. ඔහුගේ පියා නොමසුරුව වියදම් කර ඔහුගේම කලාගාරයක් ගොඩනැගුව ද ලියනාඩෝ වෙරෝචියෝ සමඟ සම්බන්ධ වී තවත් වසර ගණනාවක් සහයෝගයෙන් කටයුතු කළේය.

1476 දී, උසාවි වාර්තාවකට අනුව ලියනාඩෝ සහ තවත් තරුණයන් තිදෙනෙකු සුප්‍රසිද්ධ පිරිමි ගණිකාවක් සම්බන්ධ සිද්ධියකදී ලිංගික හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බව පෙන්නුම් කරයි. එම චෝදනා සාක්ෂි නොමැතිකම නිසා පසුව ප්‍රතික්ෂේප විය. එම නඩුවේ චෝදනා එල්ල වූ හතර දෙනාගෙන් එක් අයෙකු වූ ලියනාඩෝ ටොර්නාබුඕනි එකල ෆ්ලොරන්ස් හි පාලකයා වූ ලොරෙන්සෝ ඩී මෙඩිචිගේ ඥාතියෙකි. පිරිමින් හතර දෙනාට එරෙහි චෝදනා ඉවත් කර ගැනීම සඳහා මෙඩිචි ගෘහය සිය බලපෑම සහ බලය භාවිතා කළේය.

ලොරෙන්සෝ ඩී මෙඩිචි

1478 දී ලියනාඩෝ ෆ්ලොරෙන්ටියානු ජාතික ධනවත් වෙළෙන්දෙකුගේ දියණිය වන ජිනෙව්රා ඩි බෙන්සිගේ චිත්‍රයක් සිතුවම් කළේය. මෙම සිතුවම දැනට වොෂින්ටන් ඩීසී හි ජාතික කලාගාරයේ තබා ඇත. ඇමරිකාවේ මහජනතාවට නැරඹිය හැකි ලියනාඩෝ ඩා වින්චිගේ එකම සිතුවම මෙය වේ.

ජිනෙව්රා ඩි බෙන්සි

එම වසරේම එනම් 1478දී, ලියනාඩෝ ඔහු විසින් සිතුවම් කළ චිත්‍රයකට මුදලින් ගෙවීමක් ලබා ගත්තේය. එය ඔහු තවදුරටත් වෙරෝචියෝගේ චිත්‍රාගාරයේ වැඩ නොකරන බවට ඇඟවීමකි.

1480 දී පමණ ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ සුප්‍රසිද්ධ සටහන් පොත් ලිවීමට පටන් ගත්තේය. ලියනාඩෝ ඵලදායි (Prolific) චිත්‍ර ශිල්පියෙකු නොවූ අතර, එක් සිතුවමක් නිම කිරීමට පමණක් ඔහුට බොහෝ කාලයක් ගත විය. ලියනාඩෝ ඩා වින්චි විසින් අඳින ලද නිම නොකළ සිතුවම් 20 ක් පමණ අදටත් අපට දැක බලා ගත හැකි ය.

කෙසේ වෙතත් ඔහු ඇදහිය නොහැකි තරම් දක්ෂ සටහන් තබන්නෙකු විය. ඔහුගේ ජීවිත කාලය තුළ සටහන් සහ චිත්‍ර පිටු 13,000කට අධික ප්‍රමාණයක් ඔහු විසින් තබා ඇත. ලියනාඩෝගේම අතින් ලියූ 7,000 ක් පමණ සටහන් සහ චිත්‍ර අදටත් නොනැසී පවති අතර ඒවා ඔබට දැක ගැනීමට හැකි වන ලෙස ප්‍රදර්ශන කර ඇත. ලියනාඩෝගේ සටහන් පොත්වල සිත් ඇදගන්නා සුළු දෙයක් වන්නේ, ඔහුගේ ලිවීම් සියල්ලම පාහේ කියවීමට කැඩපතක් භාවිතා කළ යුතුය. ඔහු ලිව්වේ වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ය. සාමාන්‍ය ඇසකට එය යම් ආකාරයක අමුතු කේතයක් ලෙස පෙනේ. නමුත් කැඩපතකින් බැලුවහොත් එය හොඳින් කියවා ගත හැකිය. සමහරු විශ්වාස  කළේ ඔහු මෙය සිදු කළේ ඔහුගේ කාර්යය රහසිගතව තබා ගැනීමට බවය. නමුත් එය පිටුපසට ලියා ඇති බව ඔබට වැටහුණු වහාම එය තේරුම් ගැනීමට සහ කියවීමට පහසුය. ලියනාඩෝ ඩා වින්චි ගැන අප දැන් දන්නා බොහෝ දේ තේරුම් ගැනීමට සහ ඔහුව අවබෝධ කර ගැනීමට ඔහුගේ මෙම අතිවිශාල සටහන් එකතුව උපකාරී වී ඇත.

1994 දී මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෘ බිල් ගේට්ස්, කෝඩෙක්ස් ලීසෙස්ටර් නම් වූ ලියනාඩෝගේ වඩාත් ආකර්ෂණීය විද්‍යාත්මක ලේඛන, චිත්‍ර සහ න්‍යායන් පත්‍රිකා වැනි පත්‍රිකා 36 ක් අඩංගු සම් බැඳි සටහන් පොතක් මිළදී ගෙන ඇත. ලියනාඩෝ තමා ගැන හෝ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන ඔහුගේ සටහන් පොත්වල ලියා ඇත්තේ කලාතුරකිනි. නමුත් ඔහු එසේ කළ අවස්ථා කිහිපයකදී ඔහු ගැන බොහෝ දේ හෙළි කරයි. ඔහු වයස අවුරුදු 28 සිට 30 දක්වා මානසික අවපීඩනයෙන් පෙළුණු කෙනෙක් බව බොහෝ දෙනා විශ්වාස කරයි.

කෝඩෙක්ස් ලීසෙස්ටර්

ජල ඔරලෝසුවක චිත්‍රයක් සහ සූර්යාලෝකයක් ඇතුළත් සටහනක් ඇති ලියනාඩෝගේ මෙම සටහන් පොතේ පිටුවක ඔහු මෙසේ ලියයි.

"අපේ මේ දුක්බර දවස් අපට මැනීමට උපකරණ හිඟයක් නැත."

තවත් පිටුවක ඔහු මෙසේ ලියයි.

"මම ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියලා හිතුවට, මම මැරෙන හැටි ඉගෙන ගත්තේ."

ලියනාඩෝගේ මෙම මානසික අවපීඩනය පිළිබඳ අදහස මේ කාලයේ ඔහු ගැන ඔහුගේ මිතුරෙකු විසින් ලියන ලද කවියක් සමඟ සහසම්බන්ධ වේ.

එම කවියේ එක් පේළියක් මෙසේය.

"ලෙනාඩෝ, ඇයි ඔච්චර කලබල වෙලා."

ලියනාඩෝ ඩා වින්චි යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් කලාකරුවන්ගෙන් කෙනෙකි. මානව ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ කලා කෘතිවලින් එකක් නිර්මාණය කර අදටත් අප ඉගෙන ගන්නා සහ අගය කරන නවෝත්පාදන සහ විද්‍යාත්මක සොයාගැනීම් වල උරුමයක් ඉතිරි කළ අයෙකි. එහෙත් එවැනි ජයග්‍රහණ සහ දක්ෂතා තිබියදීත්, අද අප මුහුණ දෙන මානව ගැටලු සහ හැඟීම් සමඟ ලියනාඩෝ ද සටන් කළේය. ඔහු තම ජීවිතයේ අරුත සහ සමහර අවස්ථාවලදී ලෝකයේ ඔහුට අයිති තැන සොයා ගැනීමට වෙහෙසුණි. අපේ වගේම ඔහුත් මනුෂ්‍යයෙකි.

1481 දී ෆ්ලොරන්ස් හි සැන් ඩොනාටෝ ආරාමයේ සිටි ඔගස්ටිනියානු භික්ෂූන් විසින් Adoration of the Magi නම් වූ චිත්‍රය සිතුවම් කිරීම ලියනාඩෝට පැවරිය. කනගාටුවට කරුණක් නම්, ඔහුට මෙම චිත්‍රය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. වසරකට පසු ඔහු ෆ්ලෝරන්ස් හැර ගියේය. පැවරූ කාර්යයන් සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම ලියනාඩෝට තිබූ නරක පුරුද්දක් විය.

Adoration of the Magi 

එම වසරේම, එනම් 1481 දී, ලියනාඩෝ විසින් මිලාන් හි ආදිපාදවරයා වූ ලුඩොවිකෝ ස්ෆෝර්සා වෙත ලිපියක් ලීවේය. එය අමුතු ලිපියකි, එහි ඔහුගේ කලා කුසලතා ගැන සඳහන් කරන්නේ යාන්තමිනි. ඒ වෙනුවට
ලියනාඩෝ හමුදා අදහස් සහ සැලසුම් ගැන ඔහුගේ අවධානය යොමු කරයි.

ලුඩොවිකෝ ස්ෆෝර්සා

• සටනට සුදුසු, සැහැල්ලු සහ ප්‍රවාහනය කළ හැකි පාලම් නිර්මාණය කරන ආකාරය.

• දිය අගල් වලින් ජලය ඉවත් කරන ආකාරය.

• ගල් කැට කුණාටුවක් ඇති කරන විශේෂ කාලතුවක්කුවක් නිර්මාණය කරන ආකාරය.

• දිය අගල් සහ ගංගා යටින් ශබ්දයකින් තොරව ගමන් කළ හැකි රහසිගත මාර්ග ඉදි කරන ආකාරය.

• සතුරාගේ කාලතුවක්කු ප්‍රහාර හමුවේ ඉදිරියට යෑමට හැකි ආවරණය කළ, ආරක්ෂිත විශේෂ වාහනයක් නිර්මාණය කරන ආකාරය.

• කාලතුවක්කු, මෝටාර් හෝ සැහැල්ලු ප්‍රහාරක අවි නිර්මාණය කරන ආකාරය.

• කැටපෝල්ට්, මැංගනල් සහ ට්‍රෙබුචට් නිර්මාණය කරන ආකාරය.

• මුහුදු සටන් සඳහා යෝග්‍ය වන ප්‍රහාරයට හෝ ආරක්ෂාවට යොදා ගන්නා යුද උපකරණ නිර්මාණය කරන ආකාරය.

• රාජ්‍ය සහ පුද්ගලික ගොඩනැගිලි සැලසුම් කරන ආකාරය.

• එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ජලය ගෙන යන ආකාරය.

ලියනාඩෝගේ ලිපිය

මිලාන් ආදිපාදවරයාට ලියනාඩෝ විසින් ලියූ මෙම දිගු ලිපියේ අවසානයේ පමණක් ඔහුගේ මූර්ති හා පින්තාරු කිරීමේ දක්ෂතාවය ගැන සඳහන් කරයි. මෙය මෙවැනි දක්ෂ කලාකරුවෙකු සාමාන්‍යයෙන් නොකෙරූ වෙනස් දෙයකි. ඒ වන විටත් ලියනාඩෝ ඩාවින්චි යනු ෆ්ලෝරන්ස් හි හොඳම කලාකරුවන් කිහිප දෙනෙකු යටතේ පුහුණුව ලබා එම ගුරුවරුන් පහසුවෙන් අභිබවා ගොස් ඔහුගේ කලාවේ දක්ෂතාව තුලින් නාමයක් ගොඩ නගා ගත් කලාකරුවෙකි. මෙය අපට ලියනාඩෝගේ මනස තුළ සිතීමේ රටාව පිළිබඳ අවබෝධයක් ලබා දේ. සමහර විට ඔහු චිත්‍ර කලාව සහ පින්තාරු කිරීම රැකියාවක් ලෙස සැලකූ පුද්ගලයෙකු විය හැකිය. ඔහු එය මුදලට කළ දෙයකි. ඔහුගේ සැබෑ ආශාව වූයේ නව අදහස් ගවේශණය කිරීමට, නිශ්පාදනය කිරීමට සහ සැලසුම් කිරීමට ඔහුගේ කුතුහලයෙන් යුත් මනස සහ ඔහුට තිබූ බලවත් නිරීක්ෂණ කුසලතා භාවිතා කිරීමය.

1482 දී ලෙනාඩෝ ඩා වින්චි ෆ්ලෝරන්ස් නගරයේ සිට මිලාන් නගරය වෙත පදිංචිය සඳහා ගියේය. නමුත් ඒ ඔහු බලාපොරොත්තු වූ පරිදි හමුදා ඉංජිනේරුවෙක් ලෙස වැඩ කිරීමට නොව කලාකරුවෙකු, සංගීතඥයෙකු සහ නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙස තම ජීවිතය ඉදිරියට ගෙන යාමට ය. ලෙනාඩෝ දක්ෂ සංගීතඥයෙක් විය. Lira da braccio නමින් හැඳින්වෙන වයලීනයකට සමාන තත් භාණ්ඩයක් දක්ෂ ලෙස වාදනය කිරීමේ හැකියාවක් ඔහුට තිබී ඇත. ඔහු මිලාන් උසාවියේ වෙනුවෙන් එම සංගීත භාණ්ඩය වාදනය කර ඇති අතර එය වාදනය කරන ආකාරය අන් අයට ඉගැන්වීම ද ඔහු විසින් සිදු කළේය. ඔහුගේ පසුකාලීන ජීවිතයේදී ඔහුටම ආවේණික අද්විතීය සංගීත භාණ්ඩ නිර්මාණය කිරීම පවා සිදු කර ඇත.

Lira da braccio 

නාට්‍ය සහ සංදර්ශන සඳහා වේදිකා, ඇඳුම්, පසුබිම් සහ විශේෂ යන්ත්‍ර සැලසුම් කර ඔහු අද අප දකිනා පරිදි නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ නිර්මාණ එම නාට්‍යයේ කතාව ජීවමාන කිරීම සඳහා උපකාරී විය. බොහෝ අය විශ්වාස කරන්නේ ලියනාඩෝ ඔහුගේ සමහර අදහස් සහ නව නිපැයුම් මුලින්ම සංකල්පනය කළ ස්ථානය මෙම රඟහල බවයි. නිදසුනක් වශයෙන්, එක් සංදර්ශනයක භාවිතා කිරීම සඳහා පියාපත් ගසා පියාසර කරන ලී වලින් සාදන ලද යාන්ත්‍රික කුරුල්ලෙක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කළේය. මෙයට ඔහුගේ කුතුහලය දනවන සිත ඇවිස්සීමට හැකි විය. කුරුල්ලන් පියාසර කිරීමට සමත් වූ ආකාරය ගැන වශී වූ ඔහු එය ඉතා විස්තරාත්මකව නිරීක්ෂණය කිරීම සහ අධ්‍යයනය කිරීම සිදු කළේය. මිනිස් බලයෙන් ක්‍රියා කරන පියාසර යන්ත්‍ර සඳහා සැලසුම් බොහොමයක් ලියනාඩෝ නිර්මාණය කළ අතර ඔහුගේ පසුකාලීන ජීවිතයේදී එම නිර්මාණ අත්හදා බැලීමද ඔහු විසින් සිදු කර ඇත.

1483 දී ලිනාඩෝට Virgin Of The Rocks නම් වූ චිත්‍රය සිතුවම් කිරීමට පැවරීය. ගෙවීම් සම්බන්ධ ආරවුලක් හේතුවෙන්, ලියනාඩෝ Virgin Of The Rocks චිත්‍ර දෙකක් නිර්මාණය කෙරුවේය. එක චිත්‍රයක් 1483 දී නිම කෙරූ අතර අනිත් චිත්‍රය 1508 දී පමණ් ඇම්බ්‍රොජියෝ ද ප්‍රෙඩිස් සහයෙන් නිම කර ඇත. මෙම සිතුවම් දෙකම අද දක්වාම පවතී. පළමුවැන්න පැරීසියේ ලුවර් හි ප්‍රදර්ශනය වන අතර දෙවැන්න ලන්ඩනයේ ජාතික ගැලරියේ ප්‍රදර්ශනය කෙරේ.

Virgin Of The Rocks

1485 දී පමණ ලියනාඩෝ පළමු පැරෂුටය යැයි සමහරු විශ්වාස කරන නිර්මාණය සඳහා ආකෘතියක් ඇන්දේය. විශාල උසකින් වැටෙන මිනිසෙකුගේ වේගය මන්දගාමී කිරීම ලියනාඩෝගේ අරමුණ විය. එය අවුල් සහගත නිර්මාණයක් ලෙස සැලකූ බොහෝ දෙනා කිසි විටෙකත් එම පැරෂුටය ක්‍රියා නොකරනු ඇතැයි විශ්වාස කරන ලදී. කෙසේ වෙතත් 2000 වසරේ ජුනි මාසයේදී ඒඩ්‍රියන් නිකලස් නම් වූ මිනිසෙක් එලෙස සිතූ සෑම කෙනෙකුම වැරදි බව ඔප්පු කළේය. මීටර් 3,000 ක් එනම් අඩි 10,000 ක් පමණ උසින් ගමන් කෙරූ උණුසුම් වායු බැලූනයකින් ඔහු බිමට පැන්නේ ලියනාඩෝ ඩා වින්චිගේ ආකෘතියට නිර්මාණය කෙරූ පැරෂුටයක් සමඟ ය. එය සම්පුර්ණයෙන්ම ඉදිකර ඇත්තේ 15 වන ශතවර්ෂයේ අගභාගයේදී ලබා ගත හැකි වූ ද්‍රව්‍ය භාවිතා කරමින් පමණි. එය සාර්ථක විය. ඒඩ්‍රියන් පැවසුවේ ඔහු මීට පෙර භාවිතා කළ බොහෝ නවීන පැරෂුට් වල ගොඩබැසීමට වඩා එය සුමට ගොඩ බැසීමක් වූ බවයි.

ලියනාඩෝගේ පැරෂුට සටහන

මෙම කාලය තුළ එනම් 1485 දී පමණ ලියනාඩෝ පුළුල් පරාසයක යන්ත්‍ර සඳහා බොහෝ ආකෘති අඳිමින් සිටියේය. ඉන් එකක් ගුවන් ඉස්කුරුප්පුවක් වූ අතර එය අද අපි හෙලිකොප්ටරය ලෙස හඳුන්වන දේට සමාන වේ. මිනිසාට රැගෙන පියාසර කිරීමට හැකියාව ඇති ගුවන් ඉස්කුරුප්පුවක් ගැන ලියනාඩෝ ඩා වින්චි පරිකල්පනය කර එයට ආකෘතියක් නිර්මාණය කර ඇත්තේ මීට වසර 500 කට පමණ පෙර බව මතක තබා ගන්න. 15 වැනි සියවසේ ජීවත් වූ මිනිසෙකුට විද්‍යාත්ම මූලධර්ම පිළිබඳ තිබුනා යැයි කියා ඔබ උපකල්පනය කරන අවබෝධයට වඩා ගැඹුරු අවබෝධයක් ලියනාඩෝට තිබුණි. පියාසර කිරීමට අවශ්‍ය තල්ලුව ලබා ගැනීම සඳහා යන්ත්‍රය වේගයෙන් භ්‍රමණය වීම වැළැක්වීමට ඝර්ෂණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ඔහු තේරුම් ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් භ්‍රමණය වන තල අතර ඝර්ෂණය අඩු කරන පළමු බෝල බෙයාරිං එක ලෙස හැදින්විය හැකි දේ ඔහු නිර්මාණය කළේය.

ගුවන් ඉස්කුරුප්පුවේ සටහන

යෝධ හරස් දුන්නක් සඳහා ද ඔහු ආකෘති ඇන්දේය. වසර ගණනාවක් පුරා භාවිතා කළ සම්මත හරස් දුන්න ලියනාඩෝ විසින් ඊළඟ මට්ටමට ගෙන ගියේය. ඔහු ගණිතය සහ විද්‍යාව පිළිබඳ ඔහුගේ අවබෝධය භාවිතා කරමින් නිර්මාණය කෙරූ මෙම යෝධ හරස් දුන්න, මෙතෙක් කාලයක් මිනිසා විසින් නිර්මාණය කර තිබූ වෙනත් ඕනෑම දුන්නකට වඩා වැඩි නිරවද්‍යතාවක් සහ බලයක් තිබී ඇත.

1487 දී ලියනාඩෝ විසින් ඔහු සටන් වාහනයක් ලෙස හැඳින්වූ දේ ගැන සටහනක් නිර්මාණය කළේය. මෙය කැස්බෑවෙකුගේ කටුවකින් ආභාශය ලබා ගත්
සන්නද්ධ වාහනයක් විය. ඝන ලී වලින් නිර්මාණය කර ඇති මෙම වාහනය සතුරු ප්‍රහාරයකදී ඇති විය හැකි ගින්නෙන් වන හානිය වැලැක්වීම සඳහා මෙහි මතුපිට ලෝහ තහඩු වලින් ආවරණය කිරීම මගින් ශක්තිමත් කර ඇත. මෙහි ඇතුළත ශක්තිමත් මිනිසුන් හතර දෙනෙකු විසින් ක්‍රියාත්මක කරන විශාල දොඹකර දෙකක් විය. මෙම වාහනය අවම වශයෙන් කැනන් තුවක්කු අටකින් සමන්විත විය යුතු බවට ලියනාඩෝ යෝජනා කළේය. 15 වන සියවසේ සම්පූර්ණයෙන්ම විප්ලවීය අදහසක් වූ මෙම සටන් වාහනය නවීන යුධ ටැංකි සඳහා මූලාකෘතියක් බව බොහෝ දෙනෙක් පවසයි. මෙම නිර්මාණය කිසි විටෙකත් යුධ පිටියට යැවීමට අවසර ලැබුණේ නැත. මන්ද එය මිනිසුන් විසින් දොඹකර කරකවා බල ගැන්වීමට නොහැකි තරම් බර යන්ත්‍රයක් විය. නමුත් එය ලියනාඩෝගේ නිර්මාණ සහ පරිකල්පන හැකියාව එකල තිබූ තාක්ෂණයට වඩා බොහෝ දියුණු බවට උදාහරණයකි.

සටන් වාහනයේ සටහන

ජෝර්ජියෝ වසරි යනු 16 වන සියවසේ ජීවත් වූ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකි. එසේම ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ලේඛකයෙක් සහ ඉතිහාසඥයෙක් ද විය. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ Lives of the Most Excellent Painters, Sculptors, and Architects නම් වූ පොත සඳහා ය. ලියනාඩෝ ඩා වින්චි ගැන බොහෝ දේ ලියා ඇත. ලියනාඩෝ මිලාන්හි ජීවත්ව සිටියදී ඔහුගේ බුද්ධිය සහ කලාත්මක කුසලතා ගැන පමණක් නොව ලියනාඩෝගේ හොඳ පෙනුම, වැඩුණු මාංශ පේශි සහ මෘදු ශෛලිය සඳහා ප්‍රසිද්ධියට පත් වූ ආකාරය ගැන ඔහු කතා කරයි. වසරි පැවසුවේ ලියනාඩෝ ඩා වින්චි කැපී පෙනෙන සුන්දරත්වයකින් සහ කරුණාවකින් යුත් මිනිසෙකු බවත් ඔහුගේ ආශ්‍රය කරදරකාරී ආත්මයන් තිබූ පුද්ගලයන් හට සැනසීමක් ගෙන ආ බවත් ය.

Lives of the Most Eminent Painters, Sculptors, and Architects

1488 දී ලියනාඩෝ ඩා වින්චිගේ මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ පළමු අධ්‍යයනයන් කිහිපයක් අපට ඔහුගේ සටහන් පොත්වලින් දැක ගත හැකිය. මිනිස් සිරුර පිළිබඳ අධ්‍යයනය ලියනාඩෝට තම ජීවිත කාලය පුරාම තිබූ උමතුවක් විය. ඔහු බොහෝ මිනිස් මළ සිරුරු කොටස් කර මිනිසු සිරුරේ සෑම කොටසක්ම ඇඳීමට, වර්ග කිරීමට සහ තේරුම් ගැනීමට උත්සාහ කෙරුවේය. ව්‍යුහ විද්‍යාව පිළිබඳ ඔහුගේ අධ්‍යයනයන් විද්‍යාත්මක වූවක් පමණක් නොව ඔහු එම තොරතුරු ඔහුගේ කලාව වැඩිදියුණු කිරීමට භාවිතා කළේ ඔහුගේ සිතුවම් හැකිතාක් යථාර්ථවාදී සහ ජීවිතයට සමාන කිරීමට කිරීමට ය.

ලියනාඩෝ යනු ඕනෑම පුද්ගලයෙකු තුළ අතිශය කුතුහලයක් ඇති කිරීමට හැකියාවක් තිබූ මෙතෙක් කල් ජීවත් වූ පුද්ගලයන් අතර ප්‍රධාන චරිතයකි. අපගේ ලෝකයේ සෑම අංශයක්ම ක්‍රියාත්මක වන ආකාරය ඉගෙන ගැනීමට, ගවේශණය කිරීමට සහ තේරුම් ගැනීමට ඔහු තුළ තිබූ ආශාව, ඔහුව යොමු කළේ අපගෙන් බොහෝ දෙනෙක් කිසි විටෙක ඇසිමට වත් නොසිතන ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීම සඳහා ය. සෑම සතියකම ඔහු තමාට ඉගෙන ගැනීමට අවශ්‍ය දේවල් හෝ පිළිතුරු සෙවීමට අවශ්‍ය ප්‍රශ්න ලැයිස්තුවක් ලීවේය. අහස නිල් ඇයි වගේ ප්‍රශ්න වල සිට කොට්ටෝරුවෙකුගේ දිව විස්තර කරන්න ආදී දේ එම ලැයිස්තුවේ තිබුණි. එකල වෙනත් කිසිම මිනිසෙකු සිහිනෙන්වත් ලුහුබැඳ යාමට නොසිතන බුද්ධියක් සඳහා ඔහුව තල්ලු කළේ ලියනාඩෝගේ මෙම අදහස් සෙවීමට ඇති කුතුහලය සහ සංකල්පනය කිරීමට ඇති හැකියාවයි.

ලියනාඩෝ ඩා වින්චි නිර්මාංශිකයෙකි. ඔහු මස් වර්ග කිසිවක් අනුභව කළේ නැත. වෙනත් සතෙකුගේ මළ සමක් වූ ලෙදර් ඇඳුම් අඳිනවා වෙනුවට ඔහු වර්ණවත් ලිනන් ඇඳුම් ඇඳීමට කැමති විය. 15 වන සියවසේදී කිසිවෙකුගේ න්‍යාය පත්‍රය තුළ සත්ව අයිතිවාසිකම් ඉහළින්ම නොතිබූ බව ඔබ මතක තබා ගත යුතු කරුණකි. එහෙත් වසර 500කට පමණ පෙර ලෙනාඩෝ ඩා වින්චි විසින් අප ආහාර සඳහා අනුභව කරන සත්වයන් ද අපට සමාන ආකාරයකින් ලෝකය අත්විඳින බව වටහා ගත්තේය. මිනිසෙකුට අවශ්‍ය සියල්ල සපයන සරල ආහාරයක් ලෙස එළවළු ආහාර වේලක් යොදා ගත හැකි බවට ඔහු විශ්වාස කළේය. මස් අනුභවයෙන් වැළකීම සඳහා ඔහුගේ තීරණය විද්‍යාව මත පදනම් වූ සදාචාරත්මක කරුණක් නිසා ඔහුට ඇති විය. ඔහු ශාක හා සතුන් අධ්‍යයනය කරමින් බොහෝ කාලයක් ගත කළ අතර ශාකවලට මෙන් නොව සතුන්ට අපට මෙන්ම වේදනාව දැනිය හැකි බව නිගමනය කළේය.

මෙම ඇදහිය නොහැකි තරම් දයානුකම්පිත හා කල්පනාකාරී මිනිසෙකු වූ ලියනාඩෝ විසින් ම ගණන් කළ නොහැකි ප්‍රමාණයක යුද යන්ත්‍ර සැලසුම් කර ආකෘති නිර්මාණය කර ඇත. ලියනාඩෝගේ මනස තුළ යම් ගැටුමක් තිබූ බව පැහැදිලිය. මහා යුධ යන්ත්‍ර නිර්මාණය කිරීමට ඔහුගේ ආශාව සමඟ අනෙකුත් ජීවීන්ට හානියක් නොකිරීමට ඔහුට තිබූ අවශ්‍යතාව එකිනෙකට ගැලපෙන්නේ නැත. ලෙනාඩෝගේ යුධ යන්ත්‍ර සියල්ලම පාහේ ප්‍රධාන වශයෙන් සාධක දෙකක් නිසා කිසි විටෙකත් ගොඩනැගීමට නොහැකි විය. පළමු සාධකය වන්නේ ඔහුගේ බොහෝ නිර්මාණ ඉතා දියුණු ඒවා වූ අතර එම නිර්මාණ එකල පැවති තාක්ෂණය සඳහා නොගැළපෙන ඉතා දියුණු ඒවා විය. දෙවැනි සාධකය වන්නේ ඔහු තම නිර්මාණය අවසන් කිරීමට ලං වන විට ඔහුගේ අවධානය එයින් ඉවත් වී ලියනාඩෝගේ කුතුහලය ඇවිස්සීමට සමත් වූ ඊළඟ දෙය වෙත ගමන් කිරීම ය.

1489 දී ලියනාඩෝ ගෘහ නිර්මාණ ශිල්පය ගවේෂණය කරන ආකාරය අපට දැක ගත හැකිය. ඔහු මිලාන් නගරය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් සකස් කළේය. ඔහු අළුත් මිලාන් නගරය අළුත්වැඩියා කිරීමට සැලසුම් කළේ සෞන්දර්ය සහ පිරිසිදුකම යන අංග කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙමින් ය. ඔහුගේ අරමුණ වූයේ එකල පැතිරී ගිය ජීවිත රාශියක් විනාශ කළ වසංගත වැනි රෝග පැතිරීම නැවත්වීමය. ඔහු සෑම කුඩා විස්තරයක් ගැනම කල්පනා කළේය. මලප්‍රවාහන පද්ධති, කරත්ත සහ බෙදාහැරීම් පද්ධති සඳහා භූගත ප්‍රදේශ, ජලය බැස යාමට මෘදු බෑවුම් සහිත වීදි සහ භූගතව මතුපිටට සම්බන්ධ කරන අද්විතීය සර්පිලාකාර පඩිපෙළවල් ඔහු විසින් සැලසුම් කළේය.

1489 එම වසරේදී ලියනාඩෝ හට ලුඩොවිකෝ ස්ෆ්‍රෝසා විසින් මීට පෙර මිලාන්හි පාලකයෙකු වූ ෆ්‍රැන්චෙස්කෝ ස්ෆ්‍රෝසා අශ්වයෙකු පිට නැග සිටින යෝධ ලෝකඩ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට පැවරීය. ලියනාඩෝට අශ්වයා පිට නැඟී සිටින මිනිසා ගැන ඉක්මනින් අමතක වී අශ්වයා කෙරෙහි ඔහුගේ කුතුහලය ආකර්ෂණය විය. එය ඇත්ත අශ්වයෙකු හා සමාන ලෙස නිර්මාණය කිරීමට ඔහු උත්සහ කළේය. ඔහුගේ එම සැලසුම ක්‍රියාත්මක වූයේ නම් එකල ලෝකයේ විශාලතම ලෝකඩ අශ්ව ප්‍රතිමාව ඔහු අතින් නිර්මාණය වීමට ඉඩ තිබුණි. නමුත් කණගාටුදායක ලෙස 1494 දී මෙම ප්‍රතිමාව නිෂ්පාදනය කිරීම සඳහා වෙන් කර තිබූ ලෝකඩ ටොන් 66ම ලුඩොවිකෝ ස්ෆ්‍රෝසා විසින් ප්‍රංශ ආක්‍රමණයකින් නගරය ආරක්ෂා කිරීමට කාලතුවක්කු සෑදීම සඳහා ඔහුගේ මස්සිනා හට ලබා දුන්නේය.

අශ්වයාගේ සටහන

1490 දී ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ විටෘවියන් මිනිසාගේ කටු සටහන මහජනතාවට ඉදිරිපත් කෙරුවේය. මෙම කටු සටහන ලියනාඩෝගේ වඩාත් ප්‍රසිද්ධ නිර්මාණ වලින් එකක් වන අතර එය වසර සිය ගණනක් පුරාවට මිනිසුන්ගේ පරිකල්පනය ආකර්ෂණය කර ඇත. රවුමක් සහ හතරැස් කොටුවක පරිපූර්ණ ලෙස ඇඳ ඇති පිරිමි රූපයක් අපට මෙහි දැක ගත හැකිය. එම සටහනේ ඇති රවුමෙහි හරි මැද මිනිසාගේ බුරිය ද, හතරැස් කොටුවේ හරි මැද ලිංගේන්ද්‍රයන් ද සිතුවම් කර ඇත. මිනිස් ස්වභාවය සහ විශ්වය අතර ඇති දිව්‍යමය සම්බන්ධතාව ගැන ලියනාඩෝ විශ්වාස කළ අදහස එයින් නිරූපණය වේ.

විටෘවියන් මිනිසා

එය ලියනාඩෝ ඉපදීමට වසර 1,500 කට පෙර ජීවත් වූ රෝම ගෘහ නිර්මාණ ශිල්පියෙකු, රචකයෙකු සහ ඉංජිනේරුවෙකු වූ විටෘවියස් විසින් ලියන ලද ග්‍රන්ථයක තිබූ ඡේදයක් මත එය පදනම් වී ඇත. දේවත්වය නියෝජනය කරන රවුමට සහ පෘථිවිය නියෝජනය කරන හතරැස් කොටුවට හොඳින් ගැලපෙන මිනිසෙකුගේ ශරීරයක් ගැන ඔහු එහි සදහන් කර ඇත. එය විටෘවියස් ගේ ලේඛන ආශ්‍රයෙන් පරිපූර්ණ මිනිසා දෘශ්‍යමාන කිරීමට ලියනාඩෝ ගත් උත්සාහයයි. එය මිනිසා යනු විශ්වයේ කුඩා ප්‍රතිමූර්තියක් හෝ ක්ෂුද්‍ර ලෝකයක් යන පැරණි අදහස නිරූපණය කරන ජ්‍යාමිතික ඇඳීමකි.

මෙය ඇඳීමට උත්සාහ කළේ ලියනාඩෝ පමණක් නොවේ. ඔහුට පෙර ඔහුගේම මිතුරෙකු වූ ගෘහ නිර්මාණ ශිල්පී ජකමෝ ඇන්ඩ්‍රියා විසින් විටෘවියන් මිනිසාගේ අනුවාදයක් සිතුවම් කර ඇත. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ලියනාඩෝගේ විටෘවියන් මිනිසා බොහෝ දුරට ලියනාඩෝගේ ස්වයං ඡායාරූපයක් බවය. දිගු රැලි සහිත හිසකෙස්, වර්ධනය වූ මාංශ පේශි සහ මුහුණේ ලක්ෂණ වලින් ඒ කාලයේ ලියනාඩෝව නිර්වචනය කර තිබූ ආකාරයට එය බොහෝ සෙයින් සමාන වේ. සමහර විට එය ලියනාඩෝ ඩා වින්චි ඔහුගේම දෑසින් තමාව දැක ගත් ආකාරය පිළිබඳ දුර්ලභ දසුනක් විය හැකිය.

එම වසරේම, 1490 දී, ජියාන් ජකමෝ කප්‍රොටි ඩා ඔරෙනෝ නොහොත් සලායි ලියනාඩෝ සමඟ ජීවත් වීමට පැමිණියේය. මේ වනවිට සලායිට වයස අවුරුදු 10ක් පමණ වූ අතර ලියනාඩෝගේ වයස අවුරුදු 40 ට ආසන්න විය. නමුත් තරුණ ආධුනිකයෙක් ඔවුන්ගේ අලුත් කලා මාස්ටර් සමඟ ජීවත් වීමට පැමිණීම ඒ කාලය සඳහා අසාමාන්‍ය දෙයක් නොවිය. සලායි කුඩා යක්ෂයා යන අන්වර්ථ නාමය ලබා ගත්තේය. ලියනාඩෝ ඔහුගේ එක් සටහන් පොතක සලායිගේ වැරදි ලැයිස්තුවක් ලිවීය. එහි ඔහු සලායිව හැඳින්වූයේ "හොරෙක්, බොරුකාරයෙක්, මුරණ්ඩු සහ කෑදරයෙක්, ” ලෙසය. සලායි අවම වශයෙන් අවස්ථා පහකදී ලියනාඩෝගෙන් මුදල් සොරකම් කළේය. මේ සියල්ල සිදු කෙරුවත්, ලියනාඩෝ ඔහු සමඟ කාලය ගත කිරීම ඉතා ආසාවෙන් සිදු කළ අතර සලායි ලියනාඩෝගේ මරණය දක්වා ලියනාඩෝගේ නිවසේ සමාජිකයෙක් ලෙස රැඳී සිටියේය.

සලායි

1491 දී පමණ ලියනාඩෝ දුරේක්ෂයක් සඳහා ආකෘතියක් නිර්මාණය කළේය. එය "සඳ විශාල කර බැලීම" සඳහා යොදා ගන්නා බවට ඔහු තමාගේ සටහන් පොතේ ලියා ඇත. නිවැරදිව විශාලනය කර බැලීම සඳහා අවශ්‍ය වීදුරුවේ ඝනකම දක්වා සවිස්තරාත්මක සැලසුමක සටහන් ඔහු එහි ලීවේය. ලියනාඩෝ ඩා වින්චි තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වය ගැන නිතර කතා නොකරයි. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔහුගේ සොයාගැනීම් සහ නිරීක්ෂණ බොහෝමයක් පසුකාලීනව වැරදි හෝ සාවද්‍ය ඒවා බවට පත් වූ බැවිනි. නමුත් යථාර්ථය වන්නේ ඔහු ගැලීලියෝට වසර 100 කට පමණ පෙර, සඳ විශාල කර රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම සඳහා දුරේක්ෂයක් නිර්මාණය කර ඇත.

දුරේක්ෂයේ සටහන

1492 දී ලෙනාඩෝ ඩා වින්චි Lady with an Ermine චිත්‍රය සිතුවම් කිරීම අවසන් කෙරුවේය. එය එවකට මිලාන්හි ආදිපාදවරයා වූ ලුඩොවිකෝ ස්ෆ්‍රෝසාගේ අනියම් බිරිඳක් වූ සිසිලියා ගැලරානිගේ රූපය සිතුවමට නැංවූ චිත්‍රයක් විය.

Lady with an Ermine

1494 ප්‍රංශයේ VIII වන චාල්ස් රජු ඉතාලිය ආක්‍රමණය කරන ලදී. එම නිසා මිලානෝ වැනි නගර රාජ්‍යයන් යුද්ධයට සහභාගි වීම සිදු විය. ලියනාඩෝගේ යෝධ අශ්ව ප්‍රතිමාව වෙනුවෙන් වෙන් කර තිබූ ලෝකඩ ටොන් 66ම කාලතුවක්කු සඳහා භාවිතා කිරීමට හේතු වූ යුද්ධය මෙයයි.

1495 දී ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර වලින් එකක් වන අවසාන් භෝජන සංග්‍රහය සිතුවම් කිරීමට පටන් ගත්තේය. ඔහු මෙය ඉතාලියේ මිලාන්හි සැන්ටා මාරියා ඩෙල් ග්‍රේසිගේ කන්‍යාරාමයේ භෝජනාගාරයේ බිත්තියක බිතු සිතුවම් කළේය. ජෝන්ගේ ශුභාරංචියේ සඳහන් කර ඇති පරිදි, ජේසුස් වහන්සේ ඔහුගේ අනුගාමිකයින් සමඟ අවසන් භෝජන සංග්‍රහයේ දර්ශනය මෙම චිත්‍රය නියෝජනය කරයි. අනුගාමිකයින් දොළොස් දෙනාගෙන් එක් අයෙක් තමාව පාවා දෙන බවට ජේසුස් වහන්සේ ප්‍රකාශ කිරීමෙන් පසු මොහොත ලියනාඩෝ මෙහි සිතුවම් කළේය. එය ඒ මොහොතේ ඇති වූ හැඟීම් මනාව ග්‍රහණය කර ගත් විශිෂ්ට නාට්‍යමය ස්වරූපයක් නිරූපණය කරන චිත්‍රයකි. ලියනාඩෝ ඩා වින්චි තෙල් මත පදනම් වූ තීන්ත භාවිතා කිරීමට කැමති විය. එය කලාකරුවන්ට සෙමින් වැඩ කිරීමට ඉඩ දෙන, ස්ථර එකතු කිරීම සහ පහසුවෙන් වෙනස්කම් සිදු කිරීමට ඉඩ ලබා දුන් මාධ්‍යයකි. තෙල් මත පදනම් වූ තීන්ත සාම්ප්‍රදායිකව බිත්ති මත පින්තාරු කිරීම සඳහා භාවිතා නොකළේ එම තීන්ත බොහෝ කල් නොපවතින බැවිනි.

අවසන් භෝජන සංග්‍රහය

කෙසේ වෙතත්, ලියනාඩෝ සිතුවේ ඔහුට මෙම බාධකය ජය ගැනීමට නව ක්‍රමයක් තිබූ බවය. නමුත් එය සාර්ථක නොවිය. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදු කෙරූ මිශ්‍රණ ක්‍රම සහ ලෙනාඩෝගේ නව තීන්ත නිසා, රූපය නිම වී වසර 20ක් ඇතුළත මැකී ගොස් බිඳ වැටීම ආරම්භ විය. වසර ගණනාවක් පුරා බොහෝ කලාකරුවන් මෙම විශාල බිතු සිතුවම ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ කළ අතර, බොහෝ විට එම සියලු අවස්ථා වල මිශ්‍ර ප්‍රතිඵල ඇති විය. ප්‍රංශ විප්ලවය අතරතුර, ප්‍රංශ හමුදා විසින් මෙම භෝජනාගාරය අවි ගබඩාවක් ලෙස භාවිතා කළහ. එහි සිටි සොල්දාදුවන් සිතුවමට ගල් ගසමින් අනුගාමිකයන්ගේ දෑස් සූරා ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පාක්ෂික බෝම්බයක් මෙම භෝජනාගාරයට පතිත විය. නමුත් වාසනාවකට ආරක්ෂිත වැලි කොට්ට ව්‍යුහයක් මගින් මෙම සිතුවම බොහෝ දුරට හානි නොවී ආරක්ෂා කර තබා ගැනීමට සමත් විය. 1978 සහ 1999 අතර කාලයේ චිත්‍රය ස්ථායි කිරීම, වෙනත් ප්‍රතිසංස්කරණ මගින් එකතු කරන ලද නොගැලපෙන තීන්ත වැඩ ඉවත් කිරීම සහ ලියනාඩෝගේ මුල් චිත්‍රයේ ඉතිරිව ඇති දේ බොහෝ දුරට ප්‍රතිසාධනය කිරීම වැනි මෙහි ප්‍රධාන ප්‍රතිෂ්ඨාපන කටයුතු සිදු විය.

1496 දී ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ මිතුරෙකු වූ ලූකා පැසියෝලි සමඟ සහයෝගයෙන් ලූකාගේ ගණිතය පිළිබඳ පොත් වලින් එකක් පළ කිරීමට කටයුතු කළේය. ලියනාඩෝ අනෙක් අය සමග සහයෝගයෙන් වැඩ කිරීමට විශිෂ්ට දක්ෂතාවක් තිබූ පුද්ගලයෙකි. ඔහු වෙනත් පුද්ගලයින් සමඟ අදහස් සාකච්ඡා කිරීමට සහ බොහෝ විට ඔහු දන්නා සෑම දෙයක් ගැනම ප්‍රවීණයන්ගෙන් ප්‍රශ්න කිරිමට කැමති විය. ලියනාඩෝ සහ ඔහුගේ මිතුරන් එකිනෙකා සමඟ නව අදහස් විවාද කරමින් සහ ඒවා ගවේෂණය කරමින් පැය ගණනක් ගත කිරීම සිදු කරන ලදී.

1498 දී ලියනාඩෝ ඩා වින්චි පියාඹන යන්ත්‍රයක් සඳහා ඔහුගේ නිර්මාණයක් පරීක්ෂා කළේය. ලියනාඩෝ පියාසර කිරීමට අතිශයින්ම උනන්දු වූ අතර කුරුල්ලන් පියාසර කරන ආකාරය සොයා ගැනීමේ අරමුණින් ඔහු නිරීක්ෂණය සහ අධ්‍යයනය සඳහා විශාල කාලයක් ගත කළේය. ඉතිහාසයේ ඒ කාලයේ බොහෝ දෙනා විශ්වාස කළේ බෝට්ටු ජලය මත පාවෙන ආකාරය හා සමාන ආකාරයකට කුරුල්ලන් ගුවනේ පියාසර කළ බවය. නමුත් එය එසේ නොවන බව තේරුම් ගත් ලියනාඩෝ පියාසර කරන ජීවීන් ගැන අධ්‍යයනය කිරීමට පටන් ගත්තේ මිනිසුන් හට පියාසර කිරීමට හැකියාව ලබා ගත හැක්කේ කෙසේදැයි සොයා බැලීම සඳහා ය.

පියාසර යන්ත්‍රයේ සටහන

එම වසරේම එනම් 1498 දී ලියනාඩෝ ඔහුගේ සටහන් පොත් කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කළේය. කණගාටුදායක ලෙස ඔහුට මෙය කිසි විටෙකත් කිරීමට නොහැකි විය. ලියනාඩෝ ඩා වින්චි යනු ලොව විශිෂ්ඨතම චින්තකයන්ගෙන් කෙනෙකි. ඔහු මෙතරම් පුළුල් විෂය පරාසයක සොයාගැනීම් සිදු කළ නමුත් කිසි විටෙකවත් ඔහුගේ සටහන් පොත් ප්‍රකාශයට පත් නොකළ නිසා, ඔහුගේ මරණයෙන් වසර ගණනාවක් ගත වන තුරු ඔහුගේ සොයාගැනීම් සහ අදහස් ගැන ලෝකය දැන සිටියේ නැත. ලියනාඩෝගේ සටහන් පොත් ඔහුගේ කාලය තුළ ප්‍රකාශයට පත් කළේ නම්, ඔහුගේ නව නිපැයුම් සහ සොයා ගැනීම් නිසා අද අප දන්නා ලෝකය මූලික වශයෙන් වෙනස් වීමට ඉඩ තිබූ බවට බොහෝ දෙනෙක් විශ්වාස කරයි.

දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔහුගේ කෘතිය මීට පෙර ප්‍රකාශයට පත් කෙරුවා නම් එයට සිදු කළ හැකි වෙනස්කම් මේ සඳහා විශිෂ්ට උදාහරණයකි. අපි දන්න තරමින් ලියනාඩෝ යනු මිනිසාට සාමාන්‍යයෙන් දත් තිස් දෙකක් ඇති බව සඳහන් කර, මිනිස් දත් වර්ග හතර නිවැරදිව ඇඳීම සහ නිරූපණය කිරීම කළ ඉතිහාසයේ පළමු පුද්ගලයා ය. ලියනාඩෝගේ හැකියාවන් විහිදි ගිය පරාසය පෙන්වන දිගු ලැයිස්තුවට දන්ත වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෙකු වීම ද එකතු කළ හැකිය.

දන්ත විද්‍යාවේ සටහන්

ලියනාඩෝ ඩාවින්චි යනු අවශ්‍ය වූයේ නම් පහසුවෙන් සාධාරණ මුදලක් උපයා ගත හැකි අයෙකු වුවද ඔහු මුදල් පසුපස හඹා ගියේ නැත. ඔහුගේ කාලය තුළ ජීවත් වූ බලවත් හා ධනවත් බොහෝ අය ඔහු සොයා ගෙන ඇවිත් ඔවුන් වෙනුවෙන් චිත්‍ර ඇඳීමට විශාල මුදලක් ලබා දී ඇත. නමුත් ලියනාඩෝ ඒ කිසිවක් ගැන උනන්දු නොවූ අතර ඔහු සිදු කළේ ඔහුව සැබවින්ම ආකර්ෂණය කළ දේවල් පසුපස හඹා යාම පමණි. ඔහු එකල රෙදිපිළි කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම විප්ලවීය වෙනසක් ඇති කළ යන්ත්‍රයක් පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කළ අතර ඔහුට එයින් වසරකදී කොපමණ මුදලක් උපයා ගැනීමට හැකිදැයි ගණනය කළේය. එය රන් ඩුකට් 6,000 පමණ විය. එය අද වන විට ඩොලර් 6,000,000 ක් පමණ වේ. නමුත් ඔහු එම අදහස ක්‍රියාවට නැංවූයේ නැත. ඔහු සැබැවින්ම ලුහුබැඳ ගියේ බුද්ධිය මිස මුදල් නොවේ. මුදල් හා ධනය පසුපස හඹා ගිය අයට අහිමි වුන මහා නිධානයක් ගැන ලියනාඩෝ පවසා ඇත. ඔහුට අනුව එම නිධානය දැනුම විය.

1499 දී ප්‍රංශයේ XII ලුවී රජු මිලාන් නගරය ආක්‍රමණය කර නගරයේ පාලනය අල්ලා ගත්තේය. වාර්තා වන පරිදි ප්‍රංශයේ රජු ලියනාඩෝගේ නිර්මාණ වල රසිකයෙක් වූ අතර ඔහුව උසස් ලෙස සැලකුවේය. නමුත් ලියනාඩෝ ඔහුගේ මිතුරන් සහ අනුගාමිකයන් සමඟ නගරය හැර යාමට තීරණය කළේය. ඔවුන් මුලින්ම වැනීසියට ගිය අතර එහිදී ලියනාඩෝ ඉංජිනේරුවෙකු ලෙස රැකියාවක් සොයා ගත් අතර මුහුදු ආක්‍රමණයකින් වැනීසිය ආරක්ෂා කිරීමට හැකි ප්‍රවාහනය කළ හැකි බාධක වලින් සමන්විත ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කළේය. මෙම කාලයේදි දිය යට හුස්ම ගැනීමට හැකි කිමිදුම් ඇඳුමක් ගැන අදහසක් ද ලියනාඩෝ හට ඇති විය.

කිමිදුම් ඇඳුමක සටහන

1502 දී ලියනාඩෝ හමුදා ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ ඉංජිනේරුවෙකු ලෙස සිසරේ බෝර්ජියා යටතේ සේවයට ඇතුළත් විය. සිසරේ බෝර්ජියා යනු VI වන ඇලෙක්සැන්ඩර් පාප්තුමාගේ අවජාතක පුත්‍රයා වූ අතර ඔහු ඉතාලි දේශපාලඥයෙක්, යුධ නායකයෙක් සහ උපායමාර්ගිකයෙක් විය. මැකියාවෙලි විසින් රචිත The Prince නම් ප්‍රසිද්ධ ග්‍රන්ථය සඳහා ඔහුගේ බලපෑම විශාල විය. සිසරේ බෝර්ජියා යටතේ සේවය කරන අතරතුර ලියනාඩෝ ඉමෝලා නගරයේ සිතියමක් නිර්මාණය කර ඇති අතර එය ඔබට අදටත් එම නගරයේ සැරිසැරීමට එය භාවිතා කළ හැකිය.

ඉමෝලා නගරයේ සිතියම

මෙම කාලයේදී බොහෝ සිතියම් නගරවල පල්ලි, මාලිගා සහ හමුදා බලකොටු වැනි ප්‍රධාන සංකේතාත්මක ලක්ෂණ පමණක් ඉස්මතු කෙරූ ඒවා විය. නමුත් සවිස්තරාත්මක සංචලනය (Detailed Navigation) සඳහා ඒවා නිෂ්ඵල විය. ලියනාඩෝ ඩා වින්චි වෙනස් දෙයක් නිර්මාණය කිරීමට තීරණය කළේය. සංචලනය සහ සැලසුම් කිරීම සඳහා භාවිතා කළ හැකි නිවැරදි සිතියමක් නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍ය විය. සවිස්තරාත්මක මිනුම් භාවිතා කරමින් ඔහු ඉමෝලා හි සෑම වීදියකම, ගොඩනැඟිලි හා බිත්තිවල දුර සහ කෝණ මැන එම විස්තර වාර්තාගත කළේය. වසර 500 කට පෙර, ඔහු විසින්ම නිර්මාණය කරන ලද උපකරණ පමණක් භාවිතා කර නවීන චන්ද්‍රිකා සිතියමකට සමීපව දෙයක් ලියනාඩෝ නිර්මාණය කළේය. මෙය ලියනාඩෝගේ බුද්ධිය සහ වැඩ කිරීමේ දක්ෂතාවය පිළිබඳ තවත් උදාහරණයක්. ඔහුගේ කුතුහලය දනවන මනස විසින් ඒ කාලයේ සිදු කළ හැකි යැයි සිතූ දේවල් වල සීමාවන් එහාට තල්ලු කරමින්, ඔහුගේ විස්මිත නිරීක්ෂණ කුසලතා මගින් ඔහුගේ එම අදහස් යථාර්ථයට ගෙන ඒමට උපකාරි විය.

1502 දී, සිසරේ බෝර්ජියා යටතේ සේවය කරන අතරතුර, ලියනාඩෝ හට තරුණ නිකොලායි මැකියාවෙලි මුණගැසුණි. මැකියාවෙල්ලි ඉතාලි පුනරුද රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, දාර්ශනිකයෙක් සහ ලේඛකයෙක් විය. නූතන දේශපාලන දර්ශනයේ සහ විද්‍යාවේ පියා ලෙස ඔහු බොහෝ විට විස්තර කෙරේ.

නිකොලායි මැකියාවෙලි

ලියනාඩෝ ඩා වින්චි සහ මැකියාවෙලි එක්ව ආර්නෝ ගඟ වෙනතකට යොමු කිරීමට සැලසුම් කළහ. එවකට ෆ්ලෝරන්ස් පීසා නගරය සමඟ වසර හතක යුද්ධයක් කරමින් සිටි අතර, ලියනාඩෝ සහ මැකියාවෙලි සිතුවේ ගඟ හරවා යැවීමෙන් පීසාහි ජල මූලාශ්‍රය පැහැරගෙන ඔවුන්ට නගරය අඩපණ කරමින් යුද්ධය අවසන් කළ හැකි බවය. ලියනාඩෝ ඔහුගේ සියලු විද්‍යාත්මක කුසලතා සහ ජල චලනය, භූ විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුම උපයෝගී කර ගනිමින් සවිස්තරාත්මක සැලසුමක් නිර්මාණය කළේය. එය විශාල ව්‍යාපෘතියක් වූ අතර ලියනාඩෝ හට එය සම්පූර්ණ කිරීමට මිනිස් දින (Man Days Of Labouring) 54,000ක් වැය කිරීමට සිදු වන බව ඔහු ගණනය කළේය. මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමට ෆ්ලොරෙන්ටින් රජයට වසර ගණනාවක් ගත වූ අතර එය අනුමත වූ පසු ඔවුන් හට මුදල් ඉතිරි කර ගැනීමට අවශ්‍ය වූ නිසා ලියනාඩෝගේ සැලසුම් අනුගමනය කළේ නැත. අවසානයේ එම ව්‍යාපෘතිය අසාර්ථක විය.

1503 දී ලියනාඩෝ ඩා වින්චි ෆ්ලොරන්ස් වෙත ආපසු ගොස් මොනාලිසා චිත්‍රය සිතුවම් කිරීමට පටන් ගත්තේය. මොනාලිසා යනු මානව ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ කලා කෘතිය ලෙස හැදින්විය හැකිය. මෙම සිතුවම ඉතාලි ජාතික වංශවත් කාන්තාවක් වූ, සේද වෙළෙදාමේ යෙදී සිටි ෆ්‍රැන්චෙස්කෝ ඩෙල් ජියෝකොන්ඩෝගේ බිරිඳ වූ ලීසා ඩෙල් ජියෝකොන්ඩෝගේ යැයි විශ්වාස කෙරේ. ලියනාඩෝ Sfumato සිතුවම් ශිල්පීය ක්‍රමයේ පුරෝගාමියෙකු විය. මොනාලිසා යනු එම ක්‍රමයේ භාවිතය පිළිබද පෙන්වන වඩාත් ප්‍රසිද්ධ උදාහරණයයි.

මොනාලිසා

Sfumato ක්‍රමය යනු මූලික වශයෙන් මිනිස් ඇස අවධානය යොමු කරන ප්‍රදේශයට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ වර්ණ අතර සංක්‍රාන්තිය (Transition) මෘදු කිරීම සඳහා පින්තාරු කිරීමේදී යොදා ගන්නා තාක්ෂණයකි. ඔබට මෙම තාක්ෂණය මොනාලිසාගේ ඇස් සහ මුඛය වටා දැකිය හැකිය. ආලෝකය සහ ජීවිතයේ යථාර්ථයන් අනුකරණය කරමින් සජීවී සිතුවම් ගෙන ඒමට Sfumato ක්‍රමය ලියනාඩෝ හට උපකාරී විය. මොනාලිසා පිළිබඳ විශ්ලේෂණයකින් හෙළි වන්නේ ලියනාඩෝ එයට වර්ණ එකතු කිරීම කිසි විටෙකත් නතර නොකළ බවයි. ඔහු Sfumato Effects නිර්මාණය කිරීම සඳහා කුඩා බුරුසු පහරවල් ස්ථරයෙන් ස්ථරයට තබා ඇත. මොනාලිසාගේ මුහුණ වසර ගණනාවක් පුරා සෙමින් එකතු කරන ලද තීන්ත ස්ථර 35 කින් නිර්මාණය වී ඇත. මොනාලිසා අදටත් එහි අලංකාරය සහ අද්විතීය බව රඳවාගෙන සිටින විශිෂ්ට කලා කෘතියක් බවට සැකයක් නැත.

නමුත් ලෝකයේ බොහෝ කලාත්මක විශිෂ්ට කෘති ඇත. නමුත් ඒවා මොනාලිසා තරම් ප්‍රසිද්ධ නැත.

එසේනම් මෙම කලා කෘතිය මෙතරම් ප්‍රසිද්ධ වන්නේ ඇයි?

මොනාලිසා මෙතරම් ආකර්ෂණීය වී ඇත්තේ ඇයි?

ලියනාඩෝගේ මරණයෙන් පසු ඔහුගේ සහයකයා වූ, ජීවිත කාලය පුරාවටම ඔහු සමඟ සිටි සලායි හට ලබා දුන් බව විශ්වාස කරයි. ඔහු එය ප්‍රංශයේ රජු හට එය විකුණුවේය. 1789 ප්‍රංශ විප්ලවය තෙක් චිත්‍රය ප්‍රංශ රාජකීයයන් අත පැවතිණි. විප්ලවයෙන් පසු, අද වන තෙක් මොනාලිසා පැරිසියේ ලූවර් හි ප්‍රදර්ශනය කිරීමට තබා ඇත. මෙම චිත්‍රය කලා ලෝකයෙන් පිටත පුළුල් ලෙස ප්‍රසිද්ධ නොවූ අතර නිසැකවම එය මහජනයා අතර ජනප්‍රිය වූයේ නැත. ඒ 1911 වසර දක්වා පමණි. එම වසරේ අගෝස්තු 21 වැනිදා මොනාලිසා සොරකම් කරන ලදී.

එය නැති වූ බව මිනිසුන්ට තේරුම් ගැනීමට පවා දවසක් ගත විය. චිත්‍රය වසර දෙකකට වැඩි කාලයක් අතුරුදහන් වී තිබුණි. ඇත්ත වශයෙන්ම මෙම අතුරුදහන් වූ කාලය නිසා මොනාලිසා ප්‍රසිද්ධ විය. සොරකම් කිරීමට පෙර, එය ප්‍රදර්ශනයේ තිබූ බොහෝ විශිෂ්ට කෘතිවලින් එකක් පමණි. නමුත් එය නැති වූ වසර දෙක තුළ පුවත්පත් විසින් ගණන් කළ නොහැකි තරම් ලිපි පළ අතර සෑම විටම එය විශිෂ්ට කලා කෘතියක් සහ ලෝකයේ හොඳම සිතුවම් වලින් එකක් ලෙස සඳහන් කර ඇත.

මෙම අපරාධය ගැන විවිධ පුද්ගලයන්ට චෝදනා කරමින් කුමන්ත්‍රණ න්‍යායන් තැනින් තැන මතුවිය. එක් අවස්ථාවක තරුණ පැබ්ලෝ පිකාසෝ අත්අඩංගුවට ගෙන මොනාලිසා හොරකම් කිරීම ගැන ප්‍රශ්න කිරීම සිදු කරන ලදී. මෙම චිත්‍රය අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුට සිදු කෙරූ චෝදනා වලින් පිකාසෝ පසුව නිදහස් විය. සොරකම වටා ඇති අභිරහස ගෝලීය පුවතක් ලෙස වසර කිහිපයක් ලොව පුරා පැතිරුණ අතර එමගින් මොනාලිසා මහජනයාගේ අවධානය ලබා ගත්තේය.

පැබ්ලෝ පිකාසෝ

සිතුවමේ වීදුරු පෙට්ටිය ඉදිකිරීම සඳහා උදව් කළ ලුවර් හි සේවකයෙකු වූ වින්චෙන්සෝ පෙරූජියෝ නම් පුද්ගලයා මෙහි සැබෑ වරදකරු වේ. වැඩ කරන කාලය තුළ ගොඩනැගිල්ලට ඇතුළු වී ඔහු කොසු ගබඩාවේ සැඟවී සිට පසුව සිතුවම ඔහුගේ කබායේ සඟවාගෙන කෞතුකාගාරය වසා දැමීමෙන් පසු පිටතට පැමිණ ඇත. වින්චෙන්සෝ යනු ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ ඉතාලි කෞතුකාගාර වෙත ආපසු ලබා දිය යුතු බව විශ්වාස කළ ඉතාලි දේශප්‍රේමියෙකි. මොනාලිසා ඔහුගේ මහල් නිවාසයේ වසර දෙකක් තිස්සේ සඟවා තබාගෙන සිටි අතර අවසානයේ ඔහු ෆ්ලොරන්ස් හි උෆිසි ගැලරියේ අධ්‍යක්ෂක වූ ජියොවානි පොජ්ජි හට විකිණීමට උත්සාහ කරන විට හසු විය.

වින්චෙන්සෝ පෙරූජියෝ

මොනාලිසා පසුව උෆිසි ගැලරියේ සති දෙකක් ප්‍රදර්ශනය කෙරූ අතර 1914 ජනවාරි 4 වන දින නැවතත් ලුවර් හි කෞතුකාගාරය වෙත යවන ලදී. පෙරුජියා මාස 6 ක් සිරගතව සිටි අතර ඔහු නිදහස් වූ පසු ඉතාලි ජාතිකයින්ගේ ප්‍රශංසාව ඔහුට හිමි විය. චිත්‍රය ලූවර් වෙත ආපසු ගිය විට, මොනාලිසා ගැන බොහෝ දේ අසා තිබු විශාල පිරිසක් එය නැරඹීමට පැමිණි අතර එදා සිට අද වනතෙක් එය නැරඹීමට මිනිසුන් පැමිණීම නතර වී නැත. අද පැරීසියේ ලුවර් කෞතුකාගාරය වෙත පැමිණෙන අමුත්තන්ගෙන් 80%ක් පැමිණෙන්නේ මොනාලිසා නැරඹීමට පමණක් බව වාර්තා වේ.

1505 දී ලියනාඩෝ පියාසර කිරීම ගැන අධ්‍යයනය කිරීමට කුරුල්ලන් සහ කෘමීන් නිරීක්ෂණය කිරීම සිදු කළේය. පියාසර යන්ත්‍රයක් පරීක්ෂා කිරීමට ඔහු ගත් දෙවනි උත්සහය ද අසාර්ථක විය.

එම වසරේම ඔහුට Battle of Anghiari in the Hall of Five Hundred චිත්‍රය සිතුවම් කිරීමට පැවරිය. මෙම චිත්‍රයේ අශ්වයන් පිට නැගී සිටින දරුණු සටනක නිරත වූ මිනිසුන් හතර දෙනෙකු නිරූපණය කිරීමට ගතික තරල සංයුතියක් (Dynamically Fluid Composition) නිර්මාණය කිරීමට ලියනාඩෝ අපේක්ෂා කළේය. ලියනාඩෝ මෙම කාර්යය සම්පූර්ණ කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර එම චිත්‍රය සම්පූර්ණ කිරීමට ඔහුට නොහැකි විය. 1603 දී පීටර් පෝල් රූබන්ස් විසින් මෙම චිත්‍රය සම්පූර්ණ කළ අතර අද අපට එය දැක ගත හැකිය.

Anghiari in the Hall of Five Hundred

ලියනාඩෝ ඩා වින්චි ෆ්ලෝරන්ස් හි ජීවත් වූ කාලය තුළ එම සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු බවට පත්විය. මේ කාලයේදී ඉතිහාස කලාකරුවන් බොහෝ විට වඩු කාර්මික ශිල්පියෙකු හෝ ගඩොල් කපන්නෙකු ලෙස සලකන ලදී. ලියනාඩෝ මෙම රාමුව බිඳ දැමූ පළමු අයගෙන් කෙනෙකි. ඔහුගේ කලාත්මක නිර්මාණ ෆ්ලෝරන්ස්හි අවට ප්‍රදේශ වල ප්‍රසිද්ධ වු අතර ඔහුගේ නිර්මාණ බැලීමට මිනිසුන් උනන්දු විය.

1506 දී ලියනාඩෝ නැවත මිලාන් වෙත ගිය අතර එහි වසර හතක් පමණ නැවතී සිටියේය. මේ කාලයේ දී ලියනාඩෝ හට ලොම්බාර්ඩිහි වංශාධිපතියෙකුගේ පුත්‍රයෙකු වූ ෆ්‍රැන්චෙස්කෝ මෙල්සි හමුවිය. මෙල්සි ලියනාඩෝගේ ප්‍රියතම ශිෂ්‍යයා බවට පත් වූ අතර ලියනාඩෝ මිය යන තුරුම ඔහු සමඟ සිටියේය.

ෆ්‍රැන්චෙස්කෝ මෙල්සි

1509 දී ලියනාඩෝ ව්‍යුහ විද්‍යාව පිළිබඳ ඔහුගේ අධ්‍යයනය දිගටම කරගෙන ගියේය. ප්‍රාදේශීය රෝහලක රෝගීන් නිරීක්ෂණය සහ ඔවුන් සමඟ කාලය ගත කිරීම ඔහුගේ පුරුද්දක් විය. ඉන් පසු ඔහු ව්‍යුහ විද්‍යාව හැදෑරීම සඳහා මළසිරුර  විච්ඡේදනය කිරීම සිදු කළේය. මිනිස් ස්වරූපය ගැන තමාට සොයා ගැනීමට හැකි සෑම දෙයක්ම ගැනම ගවේෂණය කිරීමට ලියනාඩෝ මළසිරුර සිරුරු 30 කට වඩා වැඩි ප්‍රමාණයක් විච්ඡේදනය කළ බව සදහන් වේ. ඔහු මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මක චිත්‍ර 240 කට අධික ප්‍රමාණයක් සිතුවම් කර ඇති අතර ඒවායේ සෑම කොටසක්ම පාහේ පරිපූර්ණ ලෙස විස්තර කර ඇත. ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදය තුල එය ඉතා සුළු පිරිසක් විසින් කර තිබූ දෙයකි.

සාර්ථක කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ ලියනාඩෝට ෆ්ලෝරන්ස්, මිලාන් සහ රෝමයේ රෝහල් ගණනාවක් විසින් මිනිස් සිරුරු විච්ඡේදනය කිරීමට අවසර ලබා දී ඇත. මේ කාලයේ කලාකරුවන් බොහෝ විට මිනිස් ස්වරූපය අධ්‍යයනය කිරීම සිදු කළේය. නමුත් ලියනාඩෝ එය ඊළඟ මට්ටමට ගෙන ගියේය. ඔහු මිනිස් සිරුරු සහ ඒවායේ කොටස් විච්ඡේදනය කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ සිතුවම් කිරීමට බොහෝ කාලයක් ගත කළේය. බොහෝ අවස්ථාවලදී සම්පූර්ණ මරණ පරීක්ෂණයක් අවසන් කිරීමට පෙර එම මළසිරුරු දිරාපත් වීම සිදු විය. ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුගේ ව්‍යුහ විද්‍යාත්මක අධ්‍යයනයන් ප්‍රකාශයට පත් කළේ නම් ඔහු වෛද්‍ය ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි දැන් විශ්වාස කෙරේ. ඔහු සොයාගත් සමහර න්‍යායාත්මක දේවල් සහ නිරීක්ෂණ ඔහුගේ මරණයෙන් වසර සිය ගණනකට පසු ප්‍රතිනිර්මාණය කිරීම හෝ නැවත සොයා ගැනීම සිදු කිරීමට හැකි වූයේ නැත.

ව්‍යූහ විද්‍යාවේ සටහන්

ඔහු ව්‍යුහ විද්‍යාවේ පුරෝගාමියෙකු වූ නමුත් මෑතක් වන තුරුම අපි ඒ ගැන දැන සිටියේ නැත. මක්නිසාද යත් ඔහු කිසි විටෙකත් ඒ සම්බන්ධව ඔහුගේ කෘති ප්‍රකාශයට පත් නොකළ බැවිනි. මොළයේ අභ්‍යන්තර ව්‍යුහය උණුසුම් ඉටි එන්නත් කිරීමෙන් ආකෘතිගත කිරීමේ ක්‍රමයක් ඔහු නිර්මාණය කළේය. ශරීරයේ අභ්‍යන්තර ව්‍යුහයේ හැඩය සහ ප්‍රමාණය නිර්වචනය කිරීම සඳහා පළමු ආකෘතිය නිර්මාණය කිරීමේ ගෞරවය ලියනාඩෝ ඩා වින්චි හට උරුම වේ. මෙම තාක්ෂණය වෙනත් කෙනෙකු විසින් අනුකරණය කිරීම සඳහා වසර 200 කට වැඩි කාලයක් ගත විය. ඔහු මානව හදවත ක්‍රියා කරන ආකාරය ඉතා ප්‍රවීණ ලෙස ආදර්ශනය කර න්‍යායගත කළේය. රුධිර ප්‍රවාහය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ලියනාඩෝ වැඩ කරන වීදුරු ආකෘතියක් පවා නිර්මාණය කළේය. සිස්ටලික් රුධිර ප්‍රවාහ සුළි පිළිබඳ ලියනාඩෝගේ සමහර අනාවැකි නිවැරදි බව 2014 දී සිදු කළ පරීක්ෂණ මගින් සොයා ගන්නා ලදී.

මොළයේ සටහන්

ඔහු මිනිසුන්ට පමණක් සීමා නොවී, අශ්වයන්, එළදෙනුන්, කුරුල්ලන්, වඳුරන් සහ ගෙම්බන් පරික්ෂා කර ඔවුන්ගේ ව්‍යුහ විද්‍යාත්මක ව්‍යුහයන් මිනිසුන්ගේ ව්‍යුහයන් සමඟ සංසන්දනය කිරීම සිදු කළේය. ඔහු මිනිස් හැඟීම් කෙරෙහි ද අවධානය යොමු කළ අතර, එම හැඟීම් ඇති වීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කළේය. මුහුණෙන් මුහුණ විච්ඡේදනය කර, මුහුණේ හැඟීම් ඇති වීමට කුමන කොටස් හේතු වූවාද යන්න සොයා බැලීමට ලියනාඩෝ උත්සාහ කර ඇත. මිනිස් සිරුර සහ ව්‍යුහ විද්‍යාව පිළිබඳ ඔහුගේ අධ්‍යයන තොරතුරු චිත්‍රවලට ආදේශ කිරීමට පටන් ගත්තේ ඔහුගේ සිතුවම් වඩාත් ජීවමාන හා සැබෑ බවට පත් කිරීමේ මාර්ගයක් ලෙස ය. ඔහුගේ මිනිස් සිරුර සහ ව්‍යුහ විද්‍යාව පිළිබඳ ඔහුගේ වැඩ කටයුතු නිසා මානව ඉතිහාසයේ ලියනාඩෝ ඩා වින්චිට වැදගත් ස්ථානයක් උරුම වී ඇත.

1513 දී ලියනාඩෝ පාප්තුමාගේ සහෝදරයාගේ ආරාධනයෙන් රෝමයට ගියේය. ලියනාඩෝ වයස අවුරුදු 60 දී පමණ තමාගේ රූපය එනම් වෙහෙසට පත් මුහුණක්, දිගු කොණ්ඩයක් සහ රැවුලක් ඇති මහලු මිනිසෙක්ගේ චිත්‍රයක් සිතුවම් කළ බව පැවසේ. මෙම චිත්‍රය බොහෝ දුරට අපි ලියනාඩෝ ඩා වින්චිගේ පෙනුම දෙස බලන ආකාරය අර්ථ දක්වා ඇත. එය ඔහු පිළිබඳ අප සතුව ඇති එකම සත්‍යාපිත ස්වයං-ආලේඛ්‍ය (Verified Self-Portrait) චිත්‍රය ලෙස සැලකේ.

ලියනාඩෝගේ චිත්‍රය

1513 සිට 1516 දක්වා කාලයේ රෝමයේ සිටි ලියනාඩෝ ශාන්ත ජෝන් බැප්ටිස්ට් චිත්‍රය සිතුවම් කළේය.

ශාන්ත ජෝන් බැප්ටිස්ට් චිත්‍රය

මේ කාලය ඔහුව මිනිසුන් විස්න් විස්තර කළේ මේ ආකාරයටය.

"ලෝකයේ හොඳම චිත්‍ර ශිල්පීන්ගෙන් කෙනෙකි, ඔහු ඉතා දුර්ලභ කුසලතා ඇති එහෙත් තමාට උරුම කලාව හෙළා දකින...".

1517 දී ලියනාඩෝ ඩා වින්චි ප්‍රංශ රජු වන පළමුවන ෆ්‍රැන්සිස්ගේ ආගන්තුකයෙකු ලෙස ප්‍රංශයේ ඇම්බෝයිස් වෙත ගියේය. පළමුවන ෆ්‍රැන්සිස් රජුගේ පළමු චිත්‍ර ශිල්පියා, ඉංජිනේරුවා සහ ගෘහ නිර්මාණ ශිල්පියා යන පදවි නාමය ලියනාඩෝ හට පිරිනැමීම සිදු කරන ලදී. ප්‍රංශයේ සිටියදී ලෙනාඩෝ සිතුවම් කළේ ඉතා අල්ප වශයෙනි. ඒ වෙනුවට ඔහුගේ අවධානය යොමු කළේ ඔහුගේ අනෙකුත් ආශාවන් හබා යාමට ය. රජුගේ අදහසට අනුව මුළු නගරයම සැලසුම් කිරීම ඔහු විසින් සිදු කළේය. පළමුවන ෆ්‍රැන්සිස් රජු ඔහුගේ පියා මෙන්ම ලියනාඩෝගේ සහ ඔහුගේ වැඩ කටයුතු වල විශාල රසිකයෙක් විය. රජු ලියනාඩෝ සමඟ බොහෝ වේලාවක් ගත කළ අතර, ඔහුට හැකි සෑම දෙයක්ම මෙම කලාකරුවා යටතේ ඉගෙන ගත්තේය.

පළමුවන ෆ්‍රැන්සිස් රජු

ලියනාඩෝගේ සටහන් පොතක අවසාන පිටුවක ඇති ජ්‍යාමිතික සටහනක, ඔහු ඔහුගේ න්‍යායන් ලිවීම නවත්වා "... සුප් එක සීතල වෙමින් පවතී" යනුවෙන් ලියා ඇත. බොහෝ අය සිතන්නේ මෙය ලියනාඩෝ ඩා වින්චිගේ අවසාන සටහන් පොත ලෙසය. ඔහුගේ සිත ඔහුගෙන් දුරස් වෙමින් පැවතුනත් ගැටළු විසඳීමට සහ නව අදහස් සොයා ගැනීමට ලියනාඩෝ උත්සාහ කර ඇත.

1519 මැයි 2 වන දින වයස අවුරුදු 67 දී ලියනාඩෝ ඩා වින්චි මිය ගියේය. වසර 300 පසු ශ්‍රේෂ්ඨ ලියනාඩෝ ඩා වින්චිගේ අවසන් මොහොත සිතුවමකට නංවා ඇත. එම චිත්‍රයේ ලියනාඩෝ ඇඳේ වැතිරී මිය යමින් සිටින අතර, පළමු ෆ්‍රැන්සිස් රජු ඔහුගේ හිස අල්ලාගෙන ලියනාඩෝගේ දෑස් දෙස බලා සිටින ආකාරය අපට දැක ගත හැකිය.

The Death Of Leonardo Da Vinci

ඉතින්, ලියනාඩෝ ඩා වින්චි ලෝකය වෙනස් කළේ කෙසේද?

ඔහුගේ කලා කෘති සියල්ල අවුරුදු 500 කට වැඩි කාලයක් අපේ පෘථිවිය මත මිනිසුන්ට ආස්වාදයක් සහ ආකර්ෂණයක් ලබා දී ඇත. අන් කිසිවකුටත් කළ නොහැකි ආකාරයට ජීවිතයේ ස්වභාවය කලා කෘතියකින් නිරූපණය කිරීමට ඔහු සමත් විය.

ඔහුගේ දැවැන්ත වැඩ කොටස ගැන කිසිවෙකු දැන සිටියේ නැත. ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුගේ සටහන් පොත් ප්‍රකාශයට පත් කළේ නම්, ඔහුගේ සොයාගැනීම්, න්‍යායන් සහ නව නිපැයුම් බොහෝ දුරට අපේ පෘථිවියේ සහ සමාජයේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඉඩ තිබුණි. ලියනාඩෝ ලෝකය වෙනස් කිරීම අවසන් කර නැත. ඔහු කාලය හරහා රැල්ලක් ලෙස ගමන් කරන ඔහුගේ උරුමය ඉතිරි කළේය.

අපි ඔහු ගැන වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා විට, වඩාත් කුතුහලයෙන් හා නිරීක්ෂණයෙන් සිටින ලෙස ඔහු අපට උගන්වයි.

තවත් ප්‍රශ්න ඇසීමට සහ තවත් පිළිතුරු සෙවීමට උනන්දු වෙන ලෙස ඔහු අපට උගන්වයි.

මේ වන විට අප ජීවත් වන ලෝකය සෑම ක්ෂේත්‍රයකම පාහේ ලියනාඩෝට වඩා දක්ෂ මිනිසුන් බිහි වී ඇත. නමුත් මෙතරම් විශ්වීය දක්‍ෂතා ඇති කෙනෙකු ඔබට හමුවන්නේ කලාතුරකිනි. ඔහු ඕනෑම පුළුල් විෂය පථයකට ඔහුගේ කුතුහලය දනවන මනස සහ නිරීක්ෂණ ඇස යොදා ගෙන බොහෝ රසවත් නව අදහස් සහ පිළිතුරු සොයා ගැනීම සිදු කළේය.

ඔහු දක්ෂයෙක්, නමුත් ඔහු ඉපදුනේ දක්ෂයෙකු ලෙස නොවේ. ඔහුගේ කුතුහලය ඔහුව ඉගෙනීමට, ගවේශණය කිරීමට සහ ප්‍රගුණ කිරීමට ඔහුව පෙලඹවූ අතර එමඟින් ඔහු ශ්‍රේෂ්ඨත්වය කරා පැමිණියේය. නිසැකවම, අපි කිසි විටෙකත් ලියනාඩෝ ඩා වින්චි තරම් දක්ෂ නොවනු ඇත, නමුත් අපට ඔහුව එතරම් ශ්‍රේෂ්ඨ බවට පත් කළ චින්තන රටාව අනුගමනය කළ හැකිය.

ලියනාඩෝ ඩා වින්චි ගැන වැඩිදුර දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් වෝල්ටර් ඉසැක්සන් විසින් රචිත "Leonardo Da Vinci" පොත මම නිර්දේශ කරමි

Latest