
1977 ගිම්හාන මාසවලදී, NASA ආයතනය විසින් ග්‍රහලෝක චාරිකාවක් සඳහා වොයේජර් (Voyager) 1 සහ 2 යන අභ්‍යවකාශ යාත්‍රා 2ක් දියත් කරන ලදී. ඔවුන්ගේ මෙහෙයුම වූයේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් සහ ඒ අතර ඇති සියල්ල අධ්‍යයනය කිරීමයි. නමුත් ඇත්ත වශයෙන්ම එය මුල් සැලැස්ම නොවීය. ඔවුන් මුලින්ම අදහස් කළේ බ්‍රහස්පති සහ සෙනසුරු වෙත පියාසර කර ග්‍රහලෝක දෙකම, ඒවායේ චන්ද්‍රයන් සහ අවට පරිසරය පරීක්ෂා කිරීමට පමණි.

අභ්‍යන්තරයේ ඇති පරිගණක දුරස්ථව නැවත ක්‍රමලේඛනය (Remotely Re-Programming) කිරීමෙන් මීට වඩා විශාල මෙහෙයුමක් කළ හැකි බව ඔවුන්ට වැටහුණේ මෙහෙයුම ආරම්භ වූ පසුවය. මේ අනුව, සෞරග්‍රහ මණ්ඩලයේ දුර බැහැර ප්‍රදේශ ගවේශණය කිරීම සඳහා මෙහෙයුම් පුළුල් කරන ලදී. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ප්‍රශස්ත පිරිසැලසුමකට (Optimal Layout) ළඟා වෙමින් පවතින බව තාරකා විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති අතර එමගින් අභ්‍යවකාශ යානයට තමන් පසුකර යන ග්‍රහලෝකය මගින් කක්ෂීය වේගයක් ලබා ගැනීමට “ගුරුත්වාකර්ෂණ සහාය (Gravitational Asset)” ලෙස හඳුන්වන ක්‍රමයක් භාවිතා කරන ලදී.

එය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා තීරණාත්මක විය. එයින් අදහස් කළේ ඔවුන්ට ඉන්ධන රැගෙන නොගොස් වැඩි වේගයකින් විශාල දුරක් ආවරණය කළ හැකි බවයි. එම ඉන්ධන තවත් උපකරණ රැගෙන යාමට භාවිතා කළ හැකිය. වොයේජර් අභ්‍යවකාශ යානා දෙක දැන් මානව වර්ගයා මෙතෙක් ගොඩනගා ඇති දෙයක් ගමන් කෙරූ විශාලතම දුර වේ. 21 වැනි සියවසේ පළමු දශකය තුළ අභ්‍යවකාශ යාත්‍රා දෙකම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටවී දිනකට සැතපුම් මිලියන ගණනක් ගමන් කර ඇත.
ඒවා එසේ යන අතරමගදී, අපේ ග්‍රහලෝකයේ අසල්වැසියන්ගේ සිත් ඇද ගන්නා සුළු ඡායාරූප කිහිපයක් NASA ආයතනයට ලබා දී ඇත. අපගේ සූර්යයාගේ දීප්තිය ඉදිරියේ පෘථිවිය පික්සලයක් සේ යාන්තමින් පෙන්වන සුප්‍රසිද්ධ “සුදුමැලි නිල් තිත් (Pale Blue Dot)” ඡායාරූපය මේවාට ඇතුළත් වේ. මෙම පින්තූර 1970 ගණන්වල කැමරා තාක්‍ෂණය භාවිතයෙන් ලබාගත් ඒවා යැයි සිතීම ඇත්තෙන්ම විශිෂ්ට දෙයකි. වොයේජර් මෙහෙයුමේ රූප විද්‍යා කණ්ඩායමේ (Imaging Science Team) සාමාජිකයෙක් වන Rich Terrile මෙසේ පවසයි.

“එකල ලෝකයේ විශාලතම පරිගණක තිබූ තාක්ෂණය අද අපගේ සාක්කුවේ ඇති දේවල් සමඟ සැසඳිය හැකිය. ඒ වගේම මම ඔබේ දුරකථනය ගැන කතා කරන්නේ නැහැ. මම ඇත්තටම කතා කරන්නේ ඔබේ කීෆෝබ් එක ගැන."

ඇත්ත වශයෙන්ම, මෙම යානය අපට ලබා දුන් එකම තෑග්ග ඡායාරූප නොවේ. එම යානා දෙක කොස්මික් කිරණ, ප්ලාස්මා තරංග, චුම්බක ක්ෂේත්‍ර සහ වෙනත් එවැනි දත්ත මැනීමට භාවිතා කරන උපකරණ වලින් අන්තර්ගත වී තිබුණි. මෙම යානා දියත් කර දශක 4කට වැඩි කාලයකට පසුත්, වොයේජර් අභ්‍යවකාශ යානය අද දක්වාම පෘථිවිය සමග සම්බන්ධකම් පවත්වයි.
නමුත් යානයේ එවැනි ඇදහිය නොහැකි දිගු ආයු කාලයක් සඳහා පැමිණි මිලක් තිබේ.
එම විශ්මය ජනක ඡායාරූප ලබා ගත් කැමරා මේ වනවිටත් ක්‍රියා විරහිත වී ඇති අතර, එහි ඇති සියලුම උපකරණවලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් තවමත් ක්‍රියාත්මක වේ. මෙම උපකරණ අඛණ්ඩව නැවත ක්‍රමලේඛනය වෙමින් පවතින අතර එමගින් ඒවායේ ක්‍රියාකාරිත්වය හැකිතාක් දීර්ඝ කිරීමට සමත් වේ. නමුත් ඒ සියල්ල සමඟ වුවද, 2025 වන විට යානය සමඟ ඇති ගුවන්විදුලි සන්නිවේදනය සම්පූර්ණයෙන්ම නතර වනු ඇතැයි නාසා ආයතනය අපේක්ෂා කරයි.
ඒ වන විට, හිරිවැටෙන හීතලක් ඇති අන්තයන්ට එරෙහිව අභ්‍යවකාශ යානා උණුසුම්ව තබා ගැනීමට ප්‍රමාණවත් තාපයක් නිපදවීමට ඇති උපකරණ ක්‍රියා විරහිත වනු ඇත. යන්ත්‍ර ඉතා සීතල වන අතර සංඥා දුර්වල වනු ඇත. එමගින් යානයේ ඇති සියලුම දේවල් ක්‍රමයෙන් ක්‍රියා විරහිත වනු ඇත.
"සියල්ල කීවාට ඇත්තටම එකක් හැර අනික් සියල්ලම ක්‍රියා විරහිත වනු ඇත."
වොයේජර් මෙහෙයුම් ඔවුන්ගේ අභිලාෂකාමීත්වය සහ පරිමාණයෙන් අද්විතීය වූ නමුත් මීට පෙරද එවැනිම අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කර ඇත. 1972 දී සහ 1973 දී Pioneer වැඩසටහනේ අභ්‍යවකාශ යාත්‍රා 2 ක් වන Pioneer 10 සහ 11 පිළිවෙළින් දියත් කරන ලද්දේ, වොයේජර් මෙහෙයුම් සඳහා මග සලසන නිරීක්ෂණ සිදු කිරීම සඳහා ය. අභ්‍යවකාශ යානා දෙකෙහිම රන්-ඇනෝඩීකරණය කරන ලද පුරෝගාමී ඵලක (Gold-Anodized Pioneer Plaques) 2ක් තිබූ අතර යම් හෙයකින් ඈත අනාගතයේදී එම යානා වෙනත් අභ්‍යවකාශ ශිෂ්ටාචාරයක් විසින් සොයා ගැනීම සිදු කෙරුවහොත් ඔවුන් හට කියවීමට තබා ඇති ග්‍රැෆික් චිත්‍ර කිහිපයක් ඒවායේ ඇතුළත් විය. මෙම පුරෝගාමී ඵලක සැලසුම් කිරීම සඳහා Carl Sagan, Frank Drake සහ Linda Salzman වගකිව යුතු විය. වොයේජර් මෙහෙයුම් සූදානම් කිරීමේ අවසන් අදියරේදී, ඔවුන් නැවත වරක් සම්බන්ධ වූයේ මෙවර චිත්‍ර ඇඳීමට පමණක් නොව, මනුෂ්‍යත්වයේ කතාව පැවසීමට උත්සාහ කරන වඩාත් විස්තීර්ණ පණිවිඩ යැවීමේ අපේක්ෂාවෙනි.


ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය වූයේ ස්වර්ණමය වාර්තාව (The Golden Record) ලෙස හැදින්වන නිර්මාණයයි.

මෙය කළ හැකි වූයේ ෆොනොග්‍රාෆ් වාර්තා (Phonograph Records) භාවිතයෙනි. එකල වඩාත්ම දියුණු සහ මෙහෙවරට සුදුසු කේතීකරණ ක්‍රමය වූයේ එයයි. එය පුරෝගාමී ඵලක මෙන් බර විය හැකි නමුත් තවත් බොහෝ තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව ලබා දෙයි. ෆොනෝග්‍රාෆ් වාර්තා කොතරම් දියුණු වුවත්, ඒවායේ ධාවන කාලය වන්නේ විනාඩි 30ක් හෝ ඊට සමාන කාලයක් පමණි. මනුෂ්‍යත්වය නියෝජනය කිරීම තනිකරම දුෂ්කර කාර්යයක් වූ නමුත් විනාඩි 30කින් එය කිරීම කිසිසේත්ම කළ නොහැක්කකි.
අභ්‍යවකාශ ගවේෂණ කර්මාන්තයේ අනෙක් සෑම දෙයකදීම මෙන්, සීමා මායිම් තල්ලු කිරීමට සහ විසඳුම් සැලසුම් කිරීමට සිදු විය. තැටියේ විප්ලවයේ වේගයට (Revolution Rate Of The Disk) යම් යම් ගැලපීම් කිරීමෙන්, ධාවන කාලය විනාඩි 90 දක්වා වැඩි කිරීමට ඔවුන්ට හැකි විය. දෘඩාංගය නිර්මාණය කිරීමෙන් පසුව, කණ්ඩායමට එහි වාර්තා කිරීමට අවශ්‍ය දේ තීරණය කිරීමට සිදු විය.
අප දන්නා පරිදි, අන්තර් තාරකා සහෝදරයන් සමඟ අප අපේ භාෂා බෙදා ගන්නේ නැත. අපේ ජීවිත අත්දැකීම් බෙදා ගන්නේ නැත. අප බෙදාගන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය වැනි යථාර්ථයේ කරුණු ය. ඇත්ත වශයෙන්ම, මෙම පුවරු වල පණිවිඩ සැකසීමේ මූලික මූලධර්මය වූයේ එයයි.
එහෙත්, මෙය සැබැවින්ම වෙනත් තාරකාවකට හෝ ග්‍රහලෝකයකට හෝ පිටසක්වල යාත්‍රාවකට සම්බන්ධ වීමට ඇති අවස්ථාව කෙතරම් සිහින් වුවත්, අපට ඔවුන්ට කීමට අවශ්‍ය වන්නේ මෙයද?
ඔවුන් අප ගැන දැනගත යුත්තේ මෙයද?
අපට ගණිතය තේරෙනවා කියා පැවසීමද?
නාසා ආයතනයේ කණ්ඩායම නිසැකවම එසේ සිතුවේ නැත. මේ අනුව, මනුෂ්‍ය වර්ගයාගේම මිශ්‍රණය සඳහා සංගීතය, භාෂාව සහ ඡායාරූප මෙහි වාර්තා කිරීම ආරම්භ විය.
මෙහි පරමාර්ථය?
"මිනිස් තත්ත්වය (Human Condition) පිළිබද අදහසක් ලබා දීමට"
මෙම දැවැන්ත කාර්යයේ සෑම පියවරකදීම, වාර්තාවේ අන්තර්ගතය හැකි තරම් පෘථිවි ජනගහනය නියෝජනය කරන බවට වග බලා ගැනීමට කණ්ඩායම උත්සාහ කළේය. එය පැවසන තරම් පහසු වූයේ නැත. 1970 ගණන්වලදී, ඔබේම ජනවිකාසයෙන් (Demographic) පිටත සංගීතයට ප්‍රවේශ වීම අපහසු දෙයක් විය. ඔබ කැසට් පට හෝ ගුවන් විදුලියෙන් සංගීතය අසා තිබුණි. ඒ කාලයේ Spotify හෝ අන්තර්ජාලය නොතිබුණි. ඔබ අසා ඇති දේට ඔබ කැමති වූ විට, ඔබට පිටතට ගොස් භෞතික පිටපත ලබා ගැනීමට සිදු විය. මේ කණ්ඩායම ස්වර්ණමය වාර්තාව නිර්මාණය කලේ මේ ආකාරයටය. හැඟීම් සන්නිවේදනය කිරීමේ හැකියාව සඳහා සංගීත සංග්‍රහය ද විශේෂයෙන් වැදගත් විය.
මනුෂ්‍යයන් තුළ අවබෝධයට හා සිතීමට වඩා බොහෝ දේ ඇත. මිනිසා යනු දැනෙන ජීවීන් (Feeling Creatures) වේ. කෙසේ වෙතත්, අපගේ චිත්තවේගීය ජීවිතය ගැන සන්නිවේදනය කිරීම වඩා දුෂ්කර ය. විශේෂයෙන් වෙනස් ජීව විද්‍යාවක් සහිත ජීවීන් සමග.
සංගීතය, අවම වශයෙන් මානව හැඟීම් ප්‍රකාශ කිරීමට ගත් උත්සාහයක් බව පෙනේ.
සංගීතයේ ගණිතමය ගුණාංග උද්දීපනය කිරීම සඳහා විශේෂයෙන් තෝරාගත් Bach සහ Beethoven ගේ සංගීතය ස්වර්ණමය වාර්තාවේ අන්තර්ගත කර ඇත. මීට අමතරව ඔවුන් පුරාණ චීනය, බල්ගේරියාව, අසර්බයිජානය, කොංගෝ, පේරු සහ තවත් බොහෝ ස්ථානවලින් කලාකරුවන් ඉදිරිපත් කළේ ලෝක සංගීතයේ විවිධත්වයට සාධාරණයක් ඉටු කිරීමේ මංමුලා සහගත උත්සාහයක් වශයෙනි.
Ann Druyan සහ Carl Sagan එකිනෙකාට සමීප විය. 1977 ජූනි 1 වෙනිදා, ස්වර්ණමය වාර්තාවට සංගීතය එකතු කිරීමේ ක්‍රියාවලියේ අවසාන දිනවලදී, ඈන් විසින් සොයා ගත් චීන සංගීත ඛණ්ඩයක් පිළිබඳ දුරකථන ඇමතුමක් ඈන් සහ කාල් බෙදා ගත්හ. ඇමතුම අවසන් වන විට, ඇන් සහ කාල් එකිනෙකා කෙරෙහි ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කර ඇති අතර විවාහ යෝජනා කිරීම පවා සිදු විය. ගැඹුරු සංගීත ඛණ්ඩ සැකසීමේ ක්‍රියාවලිය ඔවුන් දෙදෙනා තුළ ස්වයංසිද්ධ ආදරයක් ඇති කර ඇති බව පෙනේ. අභ්‍යවකාශ යානා මෙහෙයුමෙන් පසු වසර කිහිපය තුළ, ඔවුන් දෙදෙනා විවාහ වූ අතර, 1996 දී කාල්ගේ මරණය දක්වා ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය එකට ගත කළහ.

මේ අතර පිටසක්වල ජීවීන් සමඟ සන්නිවේදනය කිරීමට වෙනත් ක්‍රමයක් ගැන ද ඈන් කල්පනා කර තිබුණි. EEG යන්ත්‍රයක සටහන් වී ඇති අපගේ මොළයේ තරංග දෙස බැලීමෙන් ප්‍රමාණවත් තරම් දියුණු ශිෂ්ටාචාරයකට අපගේ සිතුවිලි විකේතනය කළ හැකි දැයි ඇය කල්පනා කළාය. මෙම අදහස කාල් වෙත යොමු කරන ලද අතර පසුව ඈන්ගේ මොළයේ තරංග ස්වර්ණමය වාර්තාවේ ඇතුළත් කිරීමට ඔහු තීරණය කළේය. ඇන් සහ කාල් එකිනෙකාට විවාහ යෝජනා කර දින කිහිපයකට පසුව 1977 ජුනි 3 වන දින ඈන්ගේ මොළයේ තරංග පටිගත කිරීම සිදු විය. ඇයගේ "මානසික ගමන (Mental Itinerary)" බොහෝමයක් ගෝලීය සිදුවීම් වලින් සමන්විත වුවද, ඇයට කාල් කෙරෙහි ඇති නව ආදරය ගැන සිතීම වළක්වා ගත නොහැකි විය. ඇය මෙසේ පවසයි.
"27 හැවිරිදි කාන්තාවක් ලෙස මගේ හැඟීම්, උමතු ලෙස ආදරයෙන් බැඳී ඇති අතර, ඒවා එම වාර්තාවේ තිබේ,"
ගිනිකඳු, ගිගුරුම් සහ වෙනත් එවැනි ස්වාභාවික සංසිද්ධි වලින් ආරම්භ වන ශ්‍රව්‍ය රචනද (Audio Essay) Saturn V යානය ඉහළ නැංවීම වැනි නවීන නිර්මාණ වලින් ඇති වන ශ්‍රව්‍ය රචන ද ස්වර්ණමය වාර්තාවේ අඩංගු වේ. එය අපගේ ශිෂ්ටාචාරයේ කතාව කාලානුක්‍රමිකව තනිකරම ශබ්දයෙන් පැවසීමට අදහස් කරයි. මීට අමතරව භාෂා 55කින් සුබපැතුම් ද ස්වර්ණමය වාර්තාවේ ඇතුළත් වේ. එම වාර්තාවල ඇනලොග් ආකාරයෙන් සංකේතනය කරන ලද රූප 115ක් ද රැගෙන යන ලදී. සමහර රූපවල තාක්ෂණික ස්වභාවය, නියතයන් විස්තර කිරීම සහ දේවල්වල පරිමාණය විදහා දක්වයි.
මේ අතර, NASA ආයතනය පිපිරුම්වල පින්තූර ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒවා යුද්ධයෙන් පීඩා විඳි රටවල බොහෝ මිනිසුන්ගේ ජීවිතවල කොටසක් වුවද එය සතුරු හා ප්‍රහාරාත්මක යැයි හැඟේ යැයි ඔවුන් බිය විය. කාල් සහ ඔහුගේ කණ්ඩායම ඔවුන් බලාපොරොත්තු වූ නිරුවත් යුවළකගේ ඡායාරූපය ඇතුළත් කිරීමට ඉදිරිපත් වූ අතර එය මිනිස් ජීවිතවල තීරණාත්මක අංගයක් පෙන්නුම් කළේය.
"ජීවය බිහිකිරීම"
NASA ආයතනය විසින් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලද්දේ ඍණාත්මක මහජන ප්‍රතිචාරයක් පිලිබඳ භීතියෙනි, ඒ වෙනුවට එම රූපයේ Silhouette අනුවාදයක් ස්වර්ණමය වාර්තාවට ඇතුළත් කළේය.
මෙම වාර්තා සහස්‍ර ගණනාවක් පැවතීමට නියමිත ය. රන් ආලේපිත තඹ තැටිය අවම වශයෙන් ඉදිරි වසර බිලියන සඳහා පවතිනු ඇතැයි සිතිය හැකි විද්‍යුත් ආලේපිත ඇලුමිනියම් ආවරණයක් මඟින් ආරක්ෂා කර ඇත. එය ප්‍රායෝගිකව අසීමිත ආයු කාලයකි. ඒ වන විට සූර්යයා එහි තාපය තවදුරටත් පෘථිවියේ ජීවය පෝෂණය නොකරනු ඇත. පෘථිවිය විනාශ කරන තරමට සූර්‍ය ප්‍රසාරණය වනු ඇත.
එසේ නම්, ස්වර්ණමය වාර්තාවල සැබෑ අරමුණ කුමක්ද?
ව්‍යාපෘතිය දෙස ආපසු හැරී බලන විට, පිටසක්වල ජීවය සෙවීමේ පුරෝගාමියෙකු ලෙස පිළිගැනෙන B.M Oliver පැවසුවේ, “ එහි සැබෑ කාර්යය වන්නේ මිනිස් ආත්මයට ආයාචනා කිරීම සහ පුළුල් කිරීම සහ පිටසක්වල බුද්ධිය සමඟ සම්බන්ධ වීම මානව වර්ගයාගේ පිළිගැනීමේ අපේක්ෂාවකි."

“මෙය කුඩා දුර බැහැර ලෝකයකින් ලැබුණු තෑග්ගකි. අපගේ ශබ්ද, අපගේ විද්‍යාව, අපගේ රූප, අපගේ සංගීතය, අපගේ සිතුවිලි සහ අපගේ හැඟීම්වල සංකේතයකි. අපි ඔබේ කාලය තුළ ජීවත් වීමට අපගේ කාලය තුළ නොනැසී සිටීමට උත්සාහ කරන්නෙමු. කවදා හෝ අප මුහුණ දෙන ගැටලු විසඳා, මන්දාකිණි ශිෂ්ටාචාරවල ප්‍රජාවකට සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම වාර්තාව අපගේ බලාපොරොත්තුව සහ අපගේ අධිෂ්ඨානය සහ විශාල හා විස්මිත විශ්වයක අපගේ යහපත් කැමැත්ත නියෝජනය කරයි."
ඇමරිකානු එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපති ජිමී කාටර්
