Skip to content

පසුගිය දිනෙක තායිලන්තයෙන් ලංකාවට පරිත්‍යාග කල මුතු රාජා හස්තියාව නැවත තායිලන්ත රජය විසින් සිය රටට රැගෙන යාම ලංකාව පුරා මහත් අන්දොලත්මක සිදුවීමක් වුනා. ඒ සිදුවීමත් සමගම හිලෑ අලි ඇතුන් ගැන මෙන්ම, වන අලින්ට මිනිසුන්ගෙන් සිදුවන හිංසා ගැන මේ වෙද්දී සමාජ මාධ්‍ය ජලා තුල බහුවලව දකින්න ලැබෙනවා.

ලංකාවේ තිබෙන බහුතරක් පරිසර සන්විධාන සහ සත්ව ආරක්ෂණ සංගම් පෙන්වා දෙන්නේ, හිලෑ අලි ඇතුන්ට මෙන්ම, වන අලින්ට ද ප්‍රතිකාර කිරීමට හරිහමන් ක්‍රම වේදයක් සහ සත්ව රෝහලක් ලංකාව තුල නැති වීම විශාල අඩු පාඩුවක් බවයි. ඒ වගේම කුඩා කල රැලෙන් තනිවූ අලි පැටවුන්, අබාධයන්ට ලක්වූ සතුන් සංරක්ෂණය කිරීමට නිසි  ස්ථානයක් ලංකාවේ තිබුනානම් අපේ රටේ වන අලි මේ තරම් තර්ජනයකකට මුහුණ නොදෙනු ඇති ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා. එලෙසම පින්නවල, උඩවලව ඇත් අතුරු සෙවණ වැනි ස්ථාන වලින් සතුන්ට සිදුවන කරදර හිරිහැර සහ සමහර අවස්ථා වල ඔවුන් ව හදා ගැනීමට පන්සල් වලට සහ ඇතැම් අයට බාර දීමේදී සිදුවන අක්‍රමිකතා ගැන විවිද අවස්ථා වල නොයෙක් සිදුවීම් අපිට අහන්න දකින්න ලැබෙනවා.

අලි සංරක්ෂණ මධ්‍යස්ථාන කියපු ගමන් ලංකාව ඇතුලේ මතකයට ඉස්සෙල්ලම එන තැන තමයි පින්නවල කියන්නේ. ඊට පස්සේ උඩවලව ඇත් අතුරු සෙවණ.

The Elephant Whisperers කියන්නේ ඒ වගේම අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක කතාවක්.

බොම්මන් සහ බෙලී කියන්නේ කුඩා අලි පැටවුන් බලාගන්න ඉන්දියානු ගෝත්‍රික යුවලක්. The Elephant Whisperers කියන්නෙ ඔවුන් ගැන කියවෙන ඉන්දියානු කෙටි චිත්‍ර පටයක්. මොවුන්ට රඝු නමැති අනාථ වූ අලි පැටවෙකු රැක බලා ගැනීමට ලැබෙනවා. තුවාල වී අසාධ්‍යව සිටි රඝූ ගේ  ජීවිතය බේරාගෙන නිරෝගී තරුණ අලියෙක් දක්වා උස් මහත් කිරීමට ඔවුන් මහත් වෙහෙසක් ගන්නවා. ඒ ගතවෙන කාලය ඇතුලේ බොම්මන්, බෙලී සහ රඝූ අතර ශක්තිමත්, පවුලක් වගේ දැනෙන  බැඳීමක් වර්ධනය වෙනවා.

කාලයත් එක්ක  ඔවුන්ට තවත් අලි පැටවෙක් වුණ අම්මුකුට්ටි හදා වඩා ගන්න සිද්ද වෙනවා. අම්මුකුට්ටිගෙ පැමිණීමෙන් ටික කාලයක පසුව ඔවුන්ට  ඉතා ආදරයෙන් දරුවෙක් වගේ ඇති දැඩි කල රඝු අත්හැරීමට සිදු වෙනවා.

2022 වසරේ දෙසැම්බර් 08 වෙනිදා Netflix හරහා මුදා හැරුණු මේ කෙටි චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 41ක්. මේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kartiki Gonsalves.

කාර්තිකි මේ කෙටි චිත්‍රපටය වෙනුවෙන් කාට්ටුනායකන් ගෝත්‍රයේ අලින් අතර දැඩි බැඳීමක් ඇති පවුලක් සමඟ අවුරුදු 5ක් ගතකරලා තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ මුඩුමලෛ ජාතික වනෝද්‍යානය ඇතුලේ රූගත කර තිබෙන මෙම වාර්තා චිත්‍රපටය එම ස්ථානයේ ස්වභාවික සුන්දරත්වය ද ඉස්මතු කර දක්වනවා. සහ ස්වභාවධර්මයට අනුකූලව එම ගෝත්‍රික ජනයාගේ ජීවිතය ගවේෂණය කරවනවා. මෙම චිත්‍රපටිය සත්වයා සහ මිනිසුන් අතර ඇති බැඳීම සහ සහජීවනය පිළිබඳ හද සසල කරවන කතාවක් පමණක් නොවෙයි, ඉන්දියානු සංස්කෘතිය සහ පරිසර සංරක්ෂණ සම්ප්‍රදාය ද මැනවින් විදහා දක්වන කෙටි චිත්‍රපටියක්.

The Elephant Whisperers කියන්නේ කාර්තිකි ගේ  මංගල අධ්‍යක්ෂණය.ඉතින් සුවිශේෂී කරුණක් වන්නේ කාර්තිකි ගේ මෙම මංගල අධ්‍යක්ෂණය කෙටි චිත්‍රපටය සම්මාන ලාබී සිනමා නිර්මාණයක් වීම. The Elephant Whisperers ප්‍රථම වරට Doc NYC Film Festival හිදී ප්‍රදර්ශනය කෙරිලා තියනවා. 95 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම වාර්ථාමය කෙටි චිත්‍රපටයට හිමි සම්මාන හිමි කර ගත්තා. ඒ වගේම මේ වර්ගීකරණයෙන් තරඟ වැදුණු මුල්ම ඉන්දීය චිත්‍රපටය වන්නේද මෙයයි.

Imdb තුල  7.4/10ක රේටින් අගයක් වගේම Rotten Tomatoes මීටරයේ අගය 100% ක් හා ප්‍රේක්ෂක අගය 92% ලබා ඇති මෙමෙ කෙටි චිත්‍රපටය Times Of India හි අගය කිරීම 4.5/5 ක් ලෙස ලබා තිබෙනවා.

Latest