Skip to content

අල්ලපු වැටේ දෑවැදි භීෂණය.

ඈත අතීතයේ සිටම ඉන්දියානුවන් තම පවුලට දියණියක ඉපැදීම සැළැකුවේ පවුලට සිදුවන ඉතා බරපතල අවාසනාවන්ත තත්වයක් ලෙසයි. ඔවුන්ට මේ සිතුවිල්ල ඇති වීමට මූලිකම හේතුව වුයේ දියණියක විවාහ කර දෙන අවස්ථාවේදී ඒ වෙනුවෙන් පුරුෂ පාර්ශවයට විශාල දෑවැද්දක් සැපයිමට සිදුවීමයි. මේ තත්වය නිසා ඉන්දියාවේ දිළිඳු පවුල් බොහෝමයක කාන්තාවන් නිසි වයසේදී විවාහ වීමට නොහැකිව ඉතා අසරණ තත්වයට පත් වෙති.
ඔවුහූ ඒ හේතුව නිසාම සිය දිවි හානි කරගත් අවස්ථාද ඉතිහාසයේ සුලබව දැකිය හැකි කාරණාවකි.

වර්තමාන ඉන්දියාව අතීතයේ තරම් මේ දෑවැද්ද නමැති සංකල්පය පිළිබඳ පටු අදහසින් බැහැර වී ඇති නමුත් අතීත චාරිත්‍ර එලෙසම පවත්වාගෙන යන  ඉපැරණි ගම්මාන බොහොමයක් තවමත් ඉන්දියාව තුල දක්නට ලැබේන්නේ ඔවුනට තමන් සතුව තිබූ ඒ අතීතකාමයෙන් ලෙහෙසියෙන් අත්මිදිය නොහැකි බවට කියාපාමිනි.

ඉන්දියානුවන් දෑවැද්ද සළකන්නේ තමන් විසින් සිදුකර ගන්නා විවාහයේ එක් බරපතල කොන්දෙසියක් ලෙසිනි.  ඒ වෙනුවෙන් කල් පවත්නා බඩු භාණ්ඩ, මුදල්, චංචල දේපළ ආදිය විවාහ වන පුරුෂයාට, ඔහුගේ දෙමවුපියන්ට, ඔහුගේ පවුලට හෝ ඔහුගේ ඥාතින්ට ලබා දීම කාන්තා පාර්ශවයේ වගකීමකි. මෙයට ස්වර්ණාභරණ, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කරන භාණ්ඩ හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණද ඇතුළත් විය යුතුයැයි ඔවුහූ විශ්වාස කරති.

ඉන්දියාවේ මේ දෑවැදි ක්‍රමය නිසා මනමාලිය පමණක් නොව ඇයගේ දෙමව්පියන්ද බොහෝ සේ අසරණ භාවයට පත් වෙති. ස්ත්‍රීන් පත්ව ඇති මෙම අපහසුතාවය මග හැරීම සදහා ඉන්දියාව තුල විවිධ නීති සම්පාදනය කර ඇතත් ඒවා පිළිපදින්නේ ඉතා සුළු පිරිසකි.

දෑවැද්ද ලබාගැනීමට ප්‍රධාන හේතු

විවාහපේක්ෂක පුද්ගලයින් විසින් මෙසේ දෑවැද්ද ඉල්ලා සිටීමට ප්‍රධාන ලෙස බලපාන හේතු කොටස් දෙකකට වෙන් කල හැක. එනම් සමාජ සාධක හා
ආර්ථික සාධක ලෙසිනි. මෙහිදී පැනණැගී ඇති සමාජ සාධක ලෙස පෙන්වා දිය හැක්කේ ඉන්දියාවේ විවාහ ක්‍රමය හා බැඳුණු චාරිත්‍රයි.  උදාහරණයක් ලෙස උතුරු ඉන්දියාවේ යුවලක් විවාහ වූ විට ඔවුන් සාමාන්‍යයෙන් ජීවත් වීමට තෝරාගන්නේ ස්වාමිපුරුෂයාගේ දෙමවුපියන් හා සහෝදර සහෝදරියන් සිටින නිවසයි. මෙම සමාජ වටපිටාව තුල විවාහක කාන්තාවගෙන් විවාහක පුරුෂයාගේ පවුලේ පුද්ගලයින් යම් යම් වත්කම් බලාපොරොත්තු වේ. තවද පුරුෂාධිපත්‍යයක් ඇති ඉන්දීය සමාජය තුල මනමාලියක් කැන්දාගෙන එන විට ඒ සමග දෑවැද්දක්ද ලැබිය යුතුය යන මතය ඈත අතීතයේ සිටම ඔවුන් තුල මුල් බැසගෙන තිබීමයි.

දෙවැන්න නම්, ඉන්දියාවේ ආර්ථික මට්ටමින් අඩු කාන්තාවන් විවාහ කර ගැනීමට බොහෝ පිරිමින් අකමැත්තක් දක්වයි. එයට හේතුව විවාහයේදී ප්‍රමාණවත් තරම් දෑවැද්දක් ලබා දීමට එම කාන්තාවන්ට ආර්ථික ශක්තියක් නොමැති වීමයි. ඉතා දිළිඳු පිරිමියෙක් වුවත්  තරමක් ධනය ඇති කාන්තාවක් හා විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ ඇය ලබා දෙන දෑවැද්දෙන් ඔහුට යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙනි. බොහෝ පිරිමින් තම පවුලේ අඩුලුහුඬු කම් මකාගැනීමට හා ධනය එක් රැස් කර ගැනීමට මාර්ගයක් ලෙසද දෑවැද්ද භාවිත කරන බවක් පෙනේ. එය මේ ගැටලුවේ ආර්ථික සාධකයයි.

දෑවැද්ද නිසා සිදුවන කාන්තා හිංසනය

කාන්තාව නිරන්තරයෙන් ඉන්දීය සමාජය තුල දේපළ පදනම් කර ගනිමින් දැඩි ලෙස කායික හා මානසික පිඩාවට ලක්වන බව අනාවරණය වී තිබේ. අලුත විවාහ වූ කාන්තාවන්ට තමන්ගේ නිවසින් නැවත අලුත් දේපළ රැගෙන එන ලෙස පවසමින් ඔවුන්ගේ ස්වාමිපුරුෂයාගේ නිවසින්  සිදුකරන්නා වූ තර්ජනවලටද නිතර මුහුණ දීමට සිදුවන බව නොරහසකි. මෙහිදී බොහෝ සේ අසරණ වන මනමාලියගේ දෙමාපියන් හට ඇයගේ විවාහයේ අඛණ්ඩ පැවැත්ම සළකා නැවත ඇයට දේපළ ලබාදීමට සිදුවන අවස්තාද බොහෝය. දෑවැද්ද නිසා සිදුවන කාන්තා හිංසනය බහුලවම දැකිය හැකි වන්නේ උතුරු හා නැගෙනහිර ඉන්දියානු ප්‍රදේශවල දීය.

දෑවැද්ද නිසා සිදුවන කාන්තා හිංසන වර්ග

කෲරත්වය
දේපල රැගෙන එන ලෙස බල කරමින් ස්වාමිපුරුෂයා, ඔහුගේ දෙමාපියන් හෝ නෑදෑයන් විසින් විවාහක කාන්තාවට සිදුකරනු ලබන වද හිංසා, හිරිහැර මේ යටතට ගැනේ. කෲරත්වය කායික හා වාචික යන ආකාර දෙකටම මෙම හිංසනය සිදු විය හැක. මීට යම්තාක් දුරට සහනයක් වන්නේ ඉන්දියාවේ පවතින දෑවැදි තහනම් කිරීමේ විවිධ නීති මගින් කෲරත්වය අපරාධමය වරදක් ලෙස දක්වා තිබීමයි.

ගෘහස්ත හිංසනය
ගෘහස්ත හිංසනයද  කෲරත්වය හා බැදි පවතීන්නකි. දේපළ සම්බන්ධ කායික, මානසික, ආර්ථික, ලිංගික හා චිත්තවේගාත්මක හිංසා, තර්ජන හා බියවැද්දීම් ගෘහස්ත හිංසනයට යටතට ගැනේ. ගෘහස්ත හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමේ පනත වැනි නීතිමය බැඳීම්වලින් කාන්තා අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දිය රජය උත්සහ දරා ඇත. එහෙත් රටතුල එය කොතෙක් දුරට සක්‍රීයව ඇද්දැයි සොයා බැලීමද ඉන්දීය බලදාරීන්ගේ වගකීමකි.

දෑවැද්ද නිසා සිදු කරන මරණ
විවාහය සිදු වූ අලුත, විවාහක කාන්තාවගේ දෑවැද්ද ප්‍රමාණවත් නොවීම හේතුකොට ගෙන ස්වාමිපුරුෂයා හෝ ඔහුගේ පවුලේ අය විසින් කාන්තාව මරණයට පත් කිරීම හෝ සියදිවි හානි කරගැනීමට උපදෙස් දීම මෙයට අයත් වේ. බොහෝ අවස්ථාවල වද හිංසා ඉවසා ගැනීමට නොහැකි වන කාන්තාව වස පානය කිරීම හෝ ගෙල වැළලා ගැනීම මගින් මරණයට පත් වේ. ඇතැම් විට ස්වාමිපුරුෂයාගේ පවුලේ අය විවාහක කාන්තාව ලාම්පුතෙල් දමා පුළුස්සා මරා දමනු ලබයි. ඉතා සුලබව දැකිය හැකි දෑවැදි මරණ සිදු කිරීමේ ක්‍රමය වන්නේ ලාම්පුතෙල් දමා පුළුස්සා දැමීමයි. ඉතිහාසයේ වැඩිම දෑවැදි මරණ සිදුවූ වසර දෙක යැයි සැලැකෙන 2012 දී ඉන්දියාව තුල දැවැදී මරණ 8233ක් වාර්තා වූ අතර 2013දී එය 8083කි.
එසේම ඉන්දීය වාර්තා වලට අනුව 2022 වසරෙදී දෑවැදි මරණ හත්දහසට (7000) වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ.

සියදිවි හානි කරගැනීමට අනුබල දීම
ස්වාමිපුරුෂයාගේ හා ඔහුගේ පවුලේ අඛණ්ඩ හිංසනය හේතුවෙන් විවාහක කාන්තාවන් සියදිවි හානි කරගැනීමට පෙළඹේ. මෙසේ සියදිවි හානිකර ගැනීමට මග සැලැස්වීම, ආධාර හා අනුබල දීම නිතිය මගින් වරදක් ලෙස අර්ථ දක්වා ඇති නමුත් ඉන්දීය සමාජය තුල සිදුවන දැවැදී මරණවලින් බොහොමයක් සියදිවි හානි කරගැනීමට අනුබල දීම යටතට වැටේ.

දෑවැද්දට එරෙහිව ඇති නීතිමය රාමුව

දෑවැද්ද පිළිබඳ ඉන්දියාවේ සම්මත වූ ප්‍රථම ව්‍යවස්ථාපිත නීතිය වුයේ 1961 දැවැදි තහනම් කිරීමේ පනතයි. දෑවැද්ද ලබාදීම, දෑවැද්ද ලබාගැනීම හා ඒ සඳහා අනුබල දීම වරදක් ලෙස මෙහි දක්වා ඇති අතර පනතේ 3වන වගන්තිය මගින් එයට නියමිත දඬුවම්ද දක්වා ඇත.

ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය මගින්ද මේවන විට දෑවැද්ද ලබාගැනීම හා ඉල්ලීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර ඇත. දෑවැද්ද නිසා සිදු වන මරණ සඳහා අවම සිර දඬුවම වශයෙන් වසර හතක කාලයක් හා උපරිම වශයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමටද දණ්ඩ නීති සංග්‍රහය මගින් ඉඩ සලසා තිබේ.
තවද ගෘහස්ත හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමට 2005දී සම්මත වූ නිතිය මගින් දෑවැද්ද ඉල්ලා කාන්තාවන්ට සිදු කරන හිංසා පීඩා සිවිල් වරදක් ලෙස දක්වා ඇත. කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කොතරම් නීති රීති සම්පාදය කර තිබුනත් වර්තමානයේදී පවා දෑවැද්ද සම්බන්ධ කාන්තා හිංසනයන් ඉතා සුලබව ඉන්දියාවේ දැකිය හැකිවීම අප මෙහි පූර්විකාවේදී සදහන් කල පරිද්දෙන්ම සාම්ප්‍රදායික ඉන්දියානුවන්ට සිය අතීතකාමයෙන් ලෙහෙසියෙන් අත්මිදිය නොහැකි බවම නොවේද?

මුලාශ්‍ර:

en.wikipedia.org
importantindia.com
quora.com

Latest