Skip to content

හෙළයේ මහා මංගල්‍යයට දින තීන්දුයි

මහනුවර ශ්‍රී දළදා ඇසළ මංගල්‍යය යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතුමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් සහ දිගු ඉතිහාසයක් සහිත ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වන අතර එහි සංවිධානාත්මක වැඩසටහන් විස්තරය මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අගෝස්තු මස 17 වන දින උදෑසන සුභ මොහොතින් සතර මහා දේවාලයන් හී කප් සිටුවා අනතුරුව දින පහක් තුළ දේවාල අභ්‍යන්තරයේ පෙරහැරවල් පහකින් පසු ශ්‍රී දළදා මාළිගාව ඇතුළු සිව් මහා දේවාල කැටුව වීදි සරණා ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය ආරම්භ වේ.

ඒ අනුව අගෝස්තු මස 21 වන දින සිට 25 වන දා දක්වා කුඹල් පෙරහැරවල් පහකින් ද 26 වන දින සිට 30 වන දා දක්වා රන්දෝලි පෙරහැරවල් පහකින් ද පෙරහැර මංගල්‍යය වර්ණවත් වේ. එහිදී අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු මස 30 වන දින නිකිණි පොහෝය දින වීදි සංචාරය කෙරෙණුයේ දළදා වන්සේ උදෙසා දැක්විය යුතු සියළු පුද සත්කාර ඉටුකරමිනි.

ඉන් අනතුරුව අගෝස්තු මස 31 වන අතීත පුද සිරිත් පරිදි ශ්‍රී දළදා පෙරහැර කරඩුව නැවතත් ඇතු පිටින් කෙටි පෙරහැරක් ඔස්සේ ගෙඩිගේ රජ මහා විහාරයට වැඩමකොට වඩා හිඳුවා පසු දින  දහවල් පෙරහැර වන තුරු පුද පූජා පැවැත්වීමට නියමිතව ඇත.

පාන්දර දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව අගෝස්තු මස 31 වන දින දහවල් ගෙඩිගේ රජ මහා විහාරයෙන් දළදා කරඩුව රැගත් දහවල් පෙරහැර දළදා මාලිගාව කරා නැවතත් වඩම්මවා මාළිගාව වටා තෙවරක් ප්‍රදක්ෂිනා කොට දළදා මාලිගාවට ගෙවදීමෙන් ඇසළ මංගල්‍යය නිමාවට පත්වනු ඇත. ඒ අනුව දින එකොළහක් පුරාවට මෙවරද ශ්‍රී දළදා ඇසළ මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Latest