යාත්‍රා කිරීම සඳහා ලොව උචිතම විල වශයෙන් සැලකෙන දකුණු ඇමරිකාවේ පිහිටි Titicaca විලෙහි ජල මට්ටම අධික තාපාංක හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමකින් පහත වැටෙමින් තිබේ. Titicaca විල යනු ඉන්කාවරුන්ගේ උපන් ස්ථානය යැයි ජනප්‍රවාද වලින් පැවත එන කරුණක් ද වන අතර පුරාණ නටබුන් රාශියක නිවහන වශයෙන් හැඳින්වීමෙහි ද වරදක් නැත. එය දකුණු ඇමරිකාවේ විශාලතම මිරිදිය විල වීම ද තවත් එක් විශේෂත්වයකි. කෙසේ නමුත් ඛේදනීය තත්වය වී ඇත්තේ Titicaca විල සිඳී යාම සංචාරක, ධීවර හා කෘෂිකර්මාන්තයට සෘජුව බලපා තිබීමත් එනයින්, ඒ හරහා යැපෙන ප්‍රදේශවාසීන් රැසකට සිය ජීවනෝපාය සිදු කරගෙන යාමේ බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවී තිබීමත් ය.
"දෙසැම්බර් මාසය වෙනකන් මොනව කරන්නද කියල අපිට හිතාගන්න බැහැ. වතුර මට්ටම එන්න එන්නම අඩු වෙනවා." මේ විල ආශ්‍රිතව ජීවත්වන තම ජීවිකාව සඳහා බෝට්ටු මගින් සංචාරකයින් රැගෙන යන 63 හැවිරිදි Nazario Charcaගේ අදහසයි. නිල්වන් සුපිරිසිදු ජල කඳත් විවෘත අහස් ගැබත් සංචාරකයින් වැඩි වැඩියෙන් ආකර්ශණය කර ගැනීමෙහි ලා සමත් වූ Titicaca විල පේරු සහ බොලිවියානු මායිම් හරහා වර්ග සැතපුම් 3,200 කට වැඩි පරාසයක් පුරා විහිදී යන්නකි. අවට ප්‍රදේශය අයිමාරා, ක්වෙචුවා සහ උරෝස් ආදිවාසී ප්රජාවන්ගේ නිවහනද වන අතර “inland sea” යන අන්වර්ථ නාමයෙන් ද බොහෝ දෙනා මෙම විල හඳුන්වනු ලබයි. Inland sea වශයෙන් හැඳින්වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ද ලෝකයේ යාත්‍රා කළ හැකි විල් අතර Titicaca ඉහළම ස්ථානයක තිබීමයි. උන්නතාංශය අනුව විල් ජලය සූර්ය කිරණවලට නිරාවරණය වීමත් ඒ හේතුවෙන්ම වැඩි වශයෙන් ජලය වාෂ්පීකරණයට ලක් වීමත් වත්මන් තත්වයට හේතුව වී ඇතැයි පැවසේ.
ඉහත දක්වා ඇති පරිදි ගොවිතැන් කටයුතු තුලින්, මසුන් ඇල්ලීමෙන් ජීවිතය සරි කර ගත් මෙන්ම සංචාරක කර්මාන්තය මතද රඳා පැවතුණු පිරිස මිලියන තුනකට අධික සංඛ්‍යාවකි. සෑම වසරකම පාහේ ජල මට්ටමේ යම් යම් උච්චාවචනයන් තිබූ නමුත් මෙවර එය වඩාත් ආන්තික වීමට හේතුව වී ඇත්තේ පවතින දේශගුණික විපර්යාසයයි. කාලගුණ විද්‍යාඥ Taylor Ward මහතා සඳහන් කර ඇති ආකාරයට දැඩි තාප තරංග විල් ජලය වාෂ්පීකරණය වඩාත් තීව්ර කර ඇති අතරම එය එහි ජල මට්ටම සීග්‍රයෙන් පහත බැසීමට හේතු කාරක වී තිබේ. සාමාන්‍යයෙන් ජල මට්ටම යථා තත්ත්වයට පත්වන වැසි සමය යැයි සැලකෙන 2022 අගෝස්තු සිට 2023 මාර්තු දක්වා කාලසීමාවේදී වර්ෂාපතනය 49% කින් පමණ අඩුවීමක් පෙන්නුම් කල බවද පේරු හි ජාතික කාලගුණ විද්‍යා අධ්යක්ෂ Sixto Flores මාධ්‍යයන් වෙතට අනාවරණය කර ඇත.
ඔහු විසින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළද ජලය වාෂ්පීකරණයට ලක් වුවහොත් දෙසැම්බර් පමණ වන විට 1996 වර්ෂයෙන් පසුව වාර්තා වූ අවම ජල මට්ටම දක්වා Titicaca විල ගමන් කරනු ඇති බවයි. එය ඉතාම බරපතල තත්වයක් ලෙසින් ද ඔහු විසින් විග්රහ කර ඇත. ඒ බව සනාථ කරවන තවත් කරුණක් වී ඇත්තේ 1992 සිට 2020 දක්වා චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කිරීමත්, එම තොරතුරු අධ්‍යයනයන් තුලින් වසරකට ජලය මෙට්‍රික් ටොන් මිලියන 120 ක් පමණ Titicaca විලට අහිමි වන බවත් තහවුරු වීමය. අඩු වන ජල මට්ටම හා සමගාමීවම ජල ප්‍රභව දූෂණය වීමත් අධික ලෙස මසුන් ඇල්ලීමට ප්‍රජාව යොමු වීමත් ධීවර කර්මාන්තය මත යැපෙන පිරිස් සඳහා මරු පහරක් වී ඇත.
ප්‍රාදේශීය බලධාරීන් වාර්තා කර සිටින්නේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හිගකම නිසා පසුගිය අස්වනු නෙළන සමයේදී බෝගවලට දැඩි ලෙස හානි සිදුව පැවති බවය. දේශීයව ප්‍රධාන ආහාරය වන අර්තාපල් භෝගයට මෙම තත්වය දැඩි ලෙස බලපා ඇතැයි සඳහන් ය. විල වටා බෝට්ටු තුලින් සංචාරකයන් රැගෙන යමින් ආර්ථිකය සරි කරගත් පිරිසට ද මෙම අවස්ථාවේ දැඩි ලෙස දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇත.
ජීවනෝපාය සඳහා විල මත යැපෙන ප්‍රාදේශීය ප්‍රජාවන් සියල්ලන්ටම යථා පරිදි ඔවුනගේ කටයුතු ඉක්මනින් සිදු කරගෙන යාමට හැකිවේවායි සිතමින් සටහන නිමා කරමි.
දේශගුණික විපර්යාස පිළිබඳ සිහි තබාගනිමින් ගෝලීය වශයෙන් අප දැන්වත් ස්වභාවධර්මය ආරක්ෂා කර ගැනීමට කටයුතු සම්පාදනය කල යුතු නොවේද?