Skip to content

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සම්පූර්ණ කතාව 1

ඉහත දක්වා ඇති ප්‍රධාන ශීර්ෂ පාඨය අපට අවශ්‍යනම් මෙලෙසද සඳහන් කළ හැකිය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ අප්‍රසිද්ධ කතාව, සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ජනප්‍රිය නොවූ කතාව, නැතිනම් සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සැඟවුණු කතාව, එසේත් නැතිනම් සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ රහස් කතාව, අවශ්‍යනම් සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව ආදී මේ ඕනෑම ආකාරයකට යෙදුවත් එය සාධාරණය. මන්ද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ සියළු ශීර්ෂ පාඨයන් එක මිටකට ගත හැකි කරුණු කිහිපයකි.

ශ්‍රී ලංකාවේ බහුතරයක් පිළිගන්නා මතය වන්නේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමට ගත් මේ ජාතික දේශපාලන තීරණය ඉතිහාසයේ අප ගන්නා ලද ඉතාමත් අනුවණ තීරණයක් බවය. එමගින් රට විසඳීමට අපහසු අර්බුධ රාශියකට ඇද දැමූ බවත් එම නිසා පැණනැගුණු අර්බුධවලට අප තවමත් විසඳුම් සොයමින් සිටින බවත් , එහි විපාක තවමත් විඳිමින් සිටින බවත් බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කරුණකි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලේඛකයකු සහ ප්‍රවීණ දේශපාලන විචාරකයකු වන ධර්මශ්‍රී කාරියවසම් මහතා නිතර නිතර අපගේ ඇස නොගැටෙන කරුණු රාශියක් ආශ්‍රයෙන් ඉතාමත් පැහැදිලි විග්‍රහයක් එතුමන්ගේ සොයා ගැනීම් ආශ්‍රයෙන් ඉදිරිපත් කර ඇති අතර මාගේ පුද්ගලික අදහසනම් එම තොරතුරු සියල්ල ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් දැනගත යුතු බවය. මේ ඒ සඳහා කරන උත්සාහයකි.

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ මේ ඓතිහාසික දේශපාලන තීරණය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංධිස්ථානයක් සළකුණු කිරීමට සමත් වූ තීරණයක් වන අතර මේ නිසා අදටද බොහෝ පිරිසක් එල්ල කරන එක් පොදු චෝදනාවකට පිළිතුරක් සැපයීම සුදුසු යැයි සිතුණි. මන්ද මේ සියල්ල නිසි පරිදි තේරුම් බේරුම් කරගෙන සිටීම මා සැමදා කියනවා මෙන් මොළයට ලාභයක් වන හෙයිනි. එහිදී සියල්ල පොදුවේ එල්ල කරන චෝදනාව වන්නේ ශ්‍රී ලංකාවේ අපට අදට ද ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට නොහැකි වී ඇත්තේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ගත් මෙම තීරණය නිසා වන බවය.

නමුත් මේ චෝදනාව සම්බන්ධයෙන් ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසන්නේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමට ගත් තීරණය සහ අපට ඉංග්‍රීසි හොඳින් හැසිරවීමට නොහැකි වීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. එතුමන් තව දුරටත් දක්වන්නේ රාජ්‍ය භාෂාව යනු රජයේ භාෂාව වන අතර එය රජයේ නිල කටයුතු, පරිපාලන කටයුතු සිදුවන භාෂාවයි. ( පාර්ලිමේන්තුවේ වාද විවාද කරන, හැන්සාඩ් වාර්තා තබන, අධිකරණය නිල වශයෙන් පිළිගත් භාෂාව රාජ්‍ය භාෂාවයි ) එසේ නැතිනම් පාසල්වල භාෂාව නොවන බවය.

සිංහල රාජ්‍ය භාෂාව බවට පත් වන්නේ 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පණත මගින් බව දක්වන එතුමන් ඊට පෙර  පාසල්වල සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් ඉගැන්වීම 1943 දී රාජ්‍ය මංත්‍රණ සභාව සම්මත් කළ නීතියකට අනුව ආරම්භ කර තිබූ බව ද දක්වයි. එම නීතිය යටතේ පිහිටවූ විශේෂ අධ්‍යාපන කාරක සභාව තීරණය කර ඇත්තේ පාසල්වල අධ්‍යාපනය ලබාදීම සිංහල සහ දෙමළ භාෂා වලින් ද සිදුකළ යුතු බවය. එම නිසා සිංහල රාජ්‍ය භාෂාව කිරීම සහ ඉංග්‍රීසි භාෂාව අපට නිසිලෙස හැසිරවීමට නොහැකිවීම අතර සම්බන්ධයක් නොමැති බව පැහැදිලි වේ.

ලිපියේ ප්‍රස්තුත කරුණු තුළට යෑමට මත්තෙන් ඉහත කරුණු ඔබට ගෙන ඒමට සිතුණු අතර එය පිළිබඳව ද දැන ගැනීම වැඩියක් නොවන බව මාගේ අදහසයි. එසේනම් ධර්මශ්‍රී කාරියවසම් මහතාගේ දේශපාලන විචාරයන්ට අනුව, එතුමන්ගේ අණාවරණයන්ට අනුව අපගේ ප්‍රස්තුත කාරණාවට යන්නේ නම්

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ තීරණය කෙටි කාලයක් තුළ හිටි හැටියේ සිදු වූවක්නම් නොවේ. 1815 වර්ෂයේ ඉංග්‍රීසීන් රට යටත් කරගත් පසු මෙරට වසර 133 ක් සියලුම කටයුතු සිදු වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන බව අපි දනිමු. මෙම කාල වකවානුවේදී 1833 වර්ෂයේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මෙරට ක්‍රියාත්මක වන අතර එම යෝජනා වලින් එක් යෝජනාවක් වී ඇත්තේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීමය.

මන්ද එතෙක් මෙරට කටයුතු සිදුකර ඇත්තේ ඉංග්‍රීසි දන්නා එංගලන්තයෙන් ගෙන එන ලද නිළධාරීන්ගෙන් වූ බැවින් එය වියදම් අධික කටයුත්තක් වී ඇත. ඉදිං ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම තුළ අවශ්‍ය පාලන කටයුතු සඳහා අවශ්‍ය නිළධාරීන් ශ්‍රී ලංකාවෙන්ම නිෂ්පාදනය කර ගැනීමට හැකි බැවින් කොමිසම එම යෝජනාව ක්‍රියාත්මක කරන්නට විය. ඒ අනුව එතැන් සිට ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් වී ඇත. නමුත් මෙහි ඇති ගැටළුවක් ලෙස හඳුනාගත හැක්කේ සමාජයේ අස්සක් මුල්ලක් නෑර ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් නොවී සමාජයේ එක්තරා පැලැන්තියක පමණක් එය පුළුල් වීමය.

මෙසේ රට තුළ එක්තරා පැලැන්තියක පමණක් ඉංග්‍රීසි උගත් පිරිසක් බිහිවීමත් සමග සමාජයේ ගරු බුහුමන් ලැබෙන්නේ එම පැලැන්තියට පමණක් වී ඇත. එය රට තුළ දරුණු පන්ති බේදයක් ඇති වීමට හේතුවක් වූ බවද කාරියවසම් මහතා දක්වයි. ඉදිං මේ තත්වය තුළ සමාජයේ සිංහල, දමිළ බහුතර සාමාන්‍ය ජනතාව යම් තැතිගැන්මකට ලක් වන්නේ මෙම තත්වය තුළ තම භාෂාවට අණතුරක් වේ යැයි සිතමිනි. මේ තත්වය තුළ 1920 පමණ වන විට කොළඹ සහ යාපනය සමාජය මේ සම්බන්ධයෙන් වැඩිපුර සාකච්ඡා කිරීමට පෙළඹී ඇති බව ද මූලාශ්‍ර පිරික්සීමේදී පෙනී යයි.

ස්ව භාෂාවෙන් වැඩකටයුතු කිරීමට අවශ්‍යයැයි එහිදී ප්‍රථම වරට ප්‍රභල අදහසක් ගෙන එන්නට වී ඇත්තේ යාපනය තරුණ සංගමයයි. ශතවර්ෂයකට අධික කාලයක් මෙම ඉංග්‍රීසි භාෂාව නිසා ඇති වූ සමාජ පරතරය දිගින් දිගටම වැඩෙන්නට වී ඇති අතර ඒ වන ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිස සිටි ලංකා ජාතික සංගමය මේ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක් වූ බව ද ඉතිහාසය කියයි. මන්ද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඉංග්‍රීසීන් යටතේ ඔවුන්ගේ සහයෝගය ලබමින් ලංකාවේ පාලන කටයුතු පවත්වාගෙන යෑමටත් ඒ සඳහා සුදුසු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දිනා ගැනීමටත් ය.

එවකට ශ්‍රී ලංකාවේ පැවති මෙම තත්වය තුළ 1920 දශකයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව චරිතයක් පිවිසෙන අතර ඔහු නමින් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ය. එංගලන්තයේ අධ්‍යාපනය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණ කෙලින්ම දේශපාලනයට පිවිසෙන ඔහුද ලංකා ජාතික සංගමයේ සාමාජිකයෙකි. නමුත් දේශාපාලන විචාරකයින් පවසන්නේ ඔහුගේ අවධානය ලංකා ජාතික සංගමයේ අවධානයට වඩා වෙනස් එකක් වූ බවය.

කාලයක් ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි පාලනය නිසා හෙම්බත්ව සිටි ශ්‍රී ලංකාවේ තත්වය ඉතා හොඳින් හඳුනාගෙන සිටි ඔහු 1934 වර්ෂයේ මැයි මස 10 වන දා ලක්මිණ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටින්නේ ස්වදේශික ජනතාව ඉංග්‍රීසි පාලන තත්ත්‍රය යටතේ පීඩාවට පත් වී සිටින බව සහ එම නිසා නිදහස ලබාගත යුතු බවය. විශේෂයෙන් සිංහල ජනතාවගේ අනන්‍යතාවය නැති වී ඇතැයිද ඔහු එහිදී සඳහන් කරන අතර ඉන් දවස් අටකට පසු 1934 මැයි මස 19 වන දා කොළඹ පිටකොටුවේ බෞද්ධ මන්දිරයේදී නව සංව්ධානයක් අරඹන අතර එහි නම සිංහල මහා සභාවයි. එහි සභාපති වන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ය.

කෙසේ නමුත් සිංහල මහ සභාව ආරම්භ වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ලංකා ජාතික සංගමයට බයක් තැති ගැන්මක් ඇති වූ බව ද දේශපාලන විද්වතුන්ගේ අදහසයි. කෙසෙ නමුත් 1935 වර්ෂයේ ලංකා ජාතික සංගමය අධ්‍යාපනය ස්ව භෂාවෙන් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගන්නා අතර එයට ප්‍රධාන හේතු වී ඇත්තේ යාපනයේ තරුණ සංගමය ස්ව භාෂා ක්‍රියාවලියක් පිළිබඳව සාකච්ඡා කිරීම සහ සිංහල මහා සභාව පිහිටුවා ගනිමින් බණ්ඩාරනායක සමාජයේ පහළ ස්තරයට කතා කරමින් පහල ස්තරය ආකර්ෂණය කර ගැනීමත් ය.

කෙසේ නමුත් ලංකා ජාතික සංගමය සම්මත කරගත් මෙම යෝජනාවට රටේ බොහෝ පිරිස සිය ප්‍රසාදය ලබා දුන් බව ද ඉතිහාසය කියන අතර 1936 රාජ්‍ය මංත්‍රණ සභා මැතිවරණය වන විට මෙම අදහස දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයට ලක් වී ඇත. මැතිවරණයෙන් පසුව මුල් කාලයේ රාජ්‍ය මංත්‍රණ සභාව රැස් වූ විට ද මෙම ස්ව භාෂාවෙන් කටයුතු කිරීම පිළිබඳ අදහස වැඩි උද්යෝගයකින් අවධානයට ලක් කළ බව ද මූලාශ්‍රවල සඳහන් ය.

මේ අතර සමසමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධන යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිට ඇත්තේ අධිකරණ කටයුතු සහ පොලිස් වාර්තා තැබීම ඉංග්‍රීසියෙන් වෙනුවට සිංහල සහ දෙමළ භාෂා වලින් සිදුකළ යුතු බවය. මේ යෝජනාව සම්මත වී ඇත. මේ ආකාරයට පසු කාලයේද විටින් විට ස්ව භාෂාවෙන් කටයුතු කිරීම පිළිබඳව අදහස රාජ්‍ය මංත්‍රණ සභාවේ මතු වී ඇති අතර එහිදී ප්‍රධාන වශයෙන් මතුව ඇත්තේ අධ්‍යාපනය ස්ව භාෂා වලින් ද ලබාදිය යුතු බවය. ඒ අනුව මෙම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් ද ලබා දීමට 1943 වර්ෂයේ රාජ්‍ය මංත්‍රණ සභාව තීරණය කරන ලදී.

කෙසේ නමුත් සිංහල භාෂාව, දෙමළ භාෂාව, ස්වාධීන පාලනය ආදී සමාජ කතිකාවන් තුළ පීඩනයට පත්වන ලංකා ජාතික සංගමය ප්‍රථම වරට සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවන් බවට පත්විය යුතු යැයි යෝජනාවක් සම්මත කරන්නට වන්නේ 1939 වර්ෂයේදීය. නමුත් මෙම යෝජනාවට ඇත්ත හේතුව වශයෙන් දේශාපාලන විචාරකයන් දක්වන්නේ බණ්ඩාරනායක මහතාගේ සිංහල මහ සභාව බවය. මන්ද සිංහල මහ සභාව ශ්‍රී ලංකාවේ සිංහල ජන සමාජයේ පහළ ස්තරයේ ආකර්ෂණය දිනාගෙන සිටි බැවිනි.

ඉන් පසු 1943 වර්ෂයේදී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්විය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්විය යුතු යැයි යනුවෙන් නැගුණු යෝජනාව වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ 1943 නොවැම්බර් මස 30 වන දා ජුනියස් රිචර්ඩ් ජයවර්ධන නැතහොත් ජේ. ආර්. ජයවර්ධන විසිනි. නමුත් ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බණ්ඩාරනායක මහතා සාමාන්‍ය සිංහල ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයකු බවට නැගී ආ නිසා බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

බණ්ඩාරනායක අභිබවා යෑම සඳහා ජේ.ආර්. ජයවර්ධන විසින් යෝජනාව රාජ්‍ය මංත්‍රණ සභාවට ඉදිරිපත් කරන පළමු අවස්ථාවේදීම එයට විරෝධතා පැන නැගී ඇති අතර එම විරෝධතාව ඉදිරිපත් කර ඇත්තේ මඩකලපුවේ එවකට මංත්‍රී වල්ලිපුරම් නල්ලයියා විසිනි. ඔහු විරෝධතාව පලකරමින් කියා සිට ඇත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ යෝජනාවේ සිංහල යනුවෙන් සඳහන් කර ඇති සෑම තැනකම දෙමළ යනුවෙන් ද එකතු විය යුතු බවය.

ජයවර්ධනගේ යෝජනාව ඉදිරිපත් වූ දිනට පසු දින සිලෝන් ඩේලි නිව්ස් පුවත්පතේ කතු වැකිය ජාතික භාෂාවක් යන මාතෘකාවෙන් පලකර ඇති අතර සිලෝන් ඔබ්සර්වර් පුවත්පත එතරම් ලේසි නෑ යන ශීර්ෂය පාඨය යටතේ කතුවැකියක් පල කර ඇත. මෙම කතු වැකි දෙක මගින්ම අදාළ යෝජනාව දැඩි ලෙස විවේචනය කර ඇති බව ද ඉතිහාසය කියන අතර ඒ අනුව ඩී. එස්. සේනානායක ද ඇතුළුව ජේ. ආර්. ජයවර්ධනගේ මෙම යෝජනාවට බොහෝ දෙනා සිය විරුද්ධත්වය පලකර ඇත.

මෙම වාතාවරණය තුළ ජේ. ආර්. ජයවර්ධනගේ යෝජනාව රාජ්‍ය මංත්‍රණ සභාවේ විවාදයට ගෙන ඇති අතර එහිදී ජයවර්ධන මහතා කියා සිට ඇත්තේ, " සභාපතු තුමනි, භාෂාව ජාතියක වැදගත්ම චරිත ලක්ෂණයයි. ජාතියකට භාෂාවක් නොමැති වූ විට එය වෙනත් ජාතියක ග්‍රහණයට හසු වීමට හෝ එහි අනන්‍යතාවය නැති වීමට හෝ හොඳටම ඉඩ තිබේ. භාෂාවක් තිබේ නම් ජාතියකට ශතවර්ෂ ගණනාවක් නිරුපද්‍රිතව පැවතීමට ශක්තිය තිබේ. සිංහල ජාතිය අවුරුදු 2400 ක් පැවතුණේ අපගේ භාෂාව නිසයි. ස්වාධීන රටක් ලෙස නිදහසේ අරණලු උදාවන තුරු පුන පුනා මෙම සභාවේ සන්ධානගතව සිටින අප ජාතික භාෂාවක් පිළිබඳව දැන් සිටම නිගමනයකට බැසිය යුතුය ". යනුවෙනි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහතාගේ  ප්‍රකාශයද වැදගත්වන අතර ඔහු කියා සිට ඇත්තේ ජාතියකට භාෂාවේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් වන අතර කෙසේ නමුත් මෙම යෝජනාවට සමාජයේ ඉහළ පැලැන්තිවල පිරිස් දැඩි විරුද්ධත්වයක් පලකල බවද මූලාශ්‍ර වල දැක්වේ. දේශපාලන විචාරකයන් මෙහිදී විශේෂ කරුණක් ලෙස දක්වන්නේ ඩී. එස්. සේනානායක මහතා මෙම කරුණ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ඔහු නල්ලයියා මංත්‍රීවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල බව ද සැලකේ.

නල්ලයියා මංත්‍රීවරයා කියා සිට ඇත්තේ සිංහල භාෂාව පමණක් නොව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව කළ යුතුය යන්න වන අතර ඔහුගේ යෝජනාව සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහතාගේ මතය ද මෙහිදී විමසා බැලිය යුතු අතර බණ්ඩාරනායක මහතා කියා සිට ඇත්තේ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් කිසිම හානියක් වෙතැයි ඔහුට නොසිතෙන බවත් භාෂා දෙකම රාජ්‍ය භාෂාව බවට පත් කිරීම පිළිබඳව ඔහුගේ කිසිම පුද්ගලික විරෝධයක් නොමැති බවත් ය.

කෙසේ නමුත් බණ්ඩාරනායක මහතාගේ මෙම යෝජනාවට ජේ.ආර්. ජයවර්ධන මහතා නොසන්සුන් වූ බව ද ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන අතර මෙම කරුණු අනුව අපට පැහැදිලි වන්නේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට මුල් වූ බණ්ඩාරනායක මහතා මුල් කාලයේ දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට කැමැත්තෙන් සිටි බවය.

1944 මැයි මස 25 වන දා ජයවර්ධනගේ යෝජනාවට රාජ්‍ය මංත්‍රණ සභාවේ ඡන්දය විමසන අතර නමුත් විචාරකයින්, විද්වතුන් සඳහන් කරන්නේ රාජ්‍ය මංත්‍රණ සභාව රැස්වීමට පෙර සිටම මංත්‍රීවරුන් සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත්කළ යුතු යැයි යන එකගතාවයෙන් සිටි බවය. කෙසේ නමුත් ‍සංශෝධිත යෝජනාවට ඡන්ද  විමසන අවස්ථාවේදී එයට  පක්ෂව ඡන්ද 27 ක් ලැබෙන අතර විපක්ෂව ලැබෙන්නේ ඡන්ද 2 ක් පමණි.

මේ අනුව යෝජනාව රාජ්‍ය මංත්‍රණ සභාවේ සම්මත වූව ද එය ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා මතුවන්නට වී ඇති අතර එහිදී මතුව ඇති ප්‍රධාන දුෂ්කරතාව වී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධයයි. ඔවුන් එක හෙලා කියා සිට ඇත්තේ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත්විය යුතුය යනුවෙනි. දෙවෙනි දුෂ්කරතාව වී ඇත්තේ මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්නට අදාළ උසස් නිළධාරීන් දැක්වූ අකමැතිබාවයයි. ඒත් සමගම ඒ වන විට ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය හිමිකරගෙන සිටි උසස් පැලැන්තිය ද මෙයට දැඩි ලෙස විරුද්ධ වී ඇති බව ඉතිහාසය කියයි. විචාරකයින් පවසන්නේ ඔවුන්ගේ විරෝධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර සිටීම බවය.

මේ සම්බන්ධයෙන් ආචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා දක්වා ඇත්තේ මෙවන් අදහසකි. " මේ විවාදයේදී අනාගත වැදගත්කමකින් යුක්ත වූ තෙවැනි විශේෂ ලක්ෂණයක් ද විය. එනම් සිංහල සමග දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් හැටියට පිළිගැනීමේ යෝජනාවට නිල අංශ වලින් සහ දේශපාලන ක්ෂේත්‍රයේ ස්ථාපිතව සිටි නායකයින්ගෙන් සහයෝගය ලැබුණත් සිංහල බෞද්ධයන් හඩ නගා පලකල දැඩි විරෝධතාවයි. ඔවුන් එක හඩින් කියා සිටියේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව වියයුතු බවයි ".

මේ ආකාරයට ජේ. ආර්. ජයවර්ධනගේ යෝජනාව රාජ්‍ය මංත්‍රණ සභාවේ සම්මත වූවද සභා නායක ඩී.එස්. සේනානායක මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් නොදැක් වූ බව විද්වතුන්ගේ අදහසයි. යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ නොවීය. කිසිදු නියෝගයක් කිසිවෙකුට හෝ නිකුත් නොවීය. එම නිසා ජයවර්ධන මහතා බොහොම සිත් රිදවීමකින් සිටි බව ද ඉතිහාසය කියයි.

මේ අතරවාරයේ 1946 වර්ෂයේ ඩී. එස්. සේනානායක යටත්විජිතබාර මහ ලේකම්වරයා හමුවීම සඳහා ලන්ඩනයට යන අතර ඔහු මාස දෙකක් පමණ ලන්ඩනයේ සිටින අතරවාරයේ රාජ්‍ය මංත්‍රණ සභාවේ තේරීම්කාරක සභාවක් පත්කර ඇත. ඩී.එස්. සේනායක ශ්‍රී ලංකාවේ නොසිටින මාස දෙකක කාලය තුළ ඔහුගේ තණතුරේ වැඩ බැලීම බාර වන්නේ බණ්ඩාරනායක මහතාට වන අතර කෙසේ නමුත් ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ දැක්වෙන්නේ මෙම තේරිම් කාරක සභාව පත්කර ගැනීමට ජේ. ආර්. විසින් බණ්ඩාරනායකව පොළඹවාගත් බවය. මෙම තේරිම්කාරක සභාවේ සභාපති වන්නේ ජේ. ආර් ජයවර්ධනය.

මෙම තේරිම්කාරක සභාව කරුණු නිරීක්ෂණය කර කියා සිට ඇත්තේ රාජ්‍ය පරිපාලන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව වසර දහයක් තුළ ක්‍රමාණුකූලව ඉවත්කළ යුතු බව වන අතර නමුත් මේ සම්බන්ධයෙන් ද ඩී. එස්. සේනානායක වැඩි උනන්දුවක් දක්වා නැත. මන්ද දේශපාලන විචාරකයින් පවසන ආකාරයට ඒ මොහොතේ ඔහු කල්පනා කරමින් සිට ඇත්තේ නුදුරු කාලයේ ලංකාවට ඩොමීනියන් නිදහසක් ලබා ගත හැකි බව සහ එම අවස්ථාවේ ඔහුට ප්‍රථම අගමැති වීමට හැකිය යන කාරණය සම්බන්ධයෙනි.

මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ බලය හුවමාරු කිරීමට මැතිවරණයක් පැවැත්විය යුතු බවට සුදු ආණ්ඩුව තීරණය කරන අතර එම නිසා රාජ්‍ය මංත්‍රණ සභාවේ සාමාජිකයින්ට අනෙක් සියළුම කරුණු අමතකොට දමා මහ මැතිවරණය සඳහා සූදානම් වීමට සිදු වී ඇත. ඒ අනුව 1947 දී මැතිවරණය පවත්වා ඇත. එහිදී එක්සත් ජාතික පක්ෂය මුළු ආසන 95 න් ආසන 42 ක් ජයග්‍රහණය කරන අතර විචාරකයින් පවසන්නේ ඒ මොහොතේ ඩී. එස්. සේනානායක දේශපාලන සටකපට කමකින් කෙසේ හෝ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමත් වූ බවය.

මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ඩී. එස් . සේනානායක පත්වන අතර ආණ්ඩුවේ දෙවැනියා ලෙස පත් වන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ය. ඔහු පාර්ලිමේන්තු සභා නායක තනතුරට පත්වන්නට විය. ඉන් සුළු කාලයකට පසු ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වයේ නිදහස හිමිවන නමුත් ඒ වන විටද පාර්ලිමේන්තුවේ කතා පවත්වා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.

එම නිසා මේ කාලය තුළදී අපට අපගේ භාෂාවෙන් කතා කිරීමට අවශ්‍ය යැයි පාර්ලිමේන්තුවේ ප්‍රභල හඬක් මංත්‍රීවරුන්ගෙන් නැගෙන්නට විය. මෙම හඬ නැගූවන් අතර  කැපී පෙනෙන චරිත බවට පත්ව ඇත්තේ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, කේ. වී. ඩී. සුගතදාස, සෝමවීර චන්ද්‍රසිරි සහ එදිරිමානසිංහම් යන අයයි. මෙම හඬ නැගීම්වල ප්‍රතිඵලයක් ලෙස ඊට දවස් කිහිපයකට පසු දවසකට විනාඩි 20 ක් සිංහලෙන් කතා කිරීමට අවසර හිමි වී ඇත. නමුත් එයට ද ඊට ප්‍රථමයෙන් කතානායගෙන් අවසර ගත යුතුය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතා ආන්දෝලනාත්මක තීරණයක් වූ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ මූලික පසුබිම් කතාන්දරය මෙය වන අතර මින් පසුව එළඹෙන්නේ එම කතාන්දරයේ වැදගත්ම කොටසයි. ඒ පිළිබඳව ඊ ළඟ දෙවන ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර සැබවින්ම ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසන ආකාරයට ඉතිහාසයේ මේ සියළුම කරුණු නිසි ලෙස නොදැනීම හේතුකොටගෙන අප යම් යම් කාරණා සම්බන්ධයෙන් වැරදි නිගමනවලට එලඹීමේ අවස්ථා ඕනෑතරම් ඇත.

එපමණක් නොව ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන විට සමාජයේ සෑම පුද්ගලයකුම පාහේ අල්ලා ගනුයේ තමන්ට අවශ්‍ය තැනින් පමණක් වන බව ද අප නිරීක්ෂණය කර ඇති අතර මෙයට හොඳම උදාහරණය වන්නේ අරගලය පිළිබඳව එක් එක් පාර්ශව දක්වන අදහස් ය. ඔවුන් සාකච්ඡා කරන්නේ ඔවුන්ට වාසි කොටස පමණි. නමුත් ඕනෑම කතාවක සම්පූර්ණ කතාවම දැන සිටීම වටිනා හෙයින් මෙම  දේශපාලන තීරණයේ සම්පූර්ණ තොරතුරු විද්වත් මූලාශ්‍ර ඇසුරින් ගෙන ඒමට අපට සිත් වූබැවින් මෙම ව්‍යායාමයේ දෙවන උත්සාහය මී ළඟට බලාපොරොත්තු විය හැකිය.

Latest